Labels

Wednesday, July 29, 2015

වස් විසීමයි-කඨින පූජාවයි


කරුණා සාගර වූ බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයේදී, භික්ෂූන් වහන්සේට යම් යම් නීති රීති ශික්ෂා පද පැනවූයේ යම් යම් හේතු නිමිති ඉදිරිපත් වූ විටයි. මෙම වස් විසීම නියම කළේ ද මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි.
බුදුරජාණන් වහන්සේ පහළ වන යුගය වන විට දඹදිව සමාජයේ විවිධ ශ්‍රමණ, බ්‍රාහ්මණ, පැවිදි පිරිස විවිධ දර්ශන ජන සමාජයට පෙන්වා දෙමින් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිව, තත් කාලීන ඉතිහාසය හදාරන විට මැනවින් පෙනෙන්නට තිබේ. ඒ සමහර ඉගැන්වීම්වල තිබුණු යහපත් විරිත් බුදුරජාණන් වහන්සේත්, හොඳ යැයි අනුමත කොට භික්ෂූන් වහන්සේටත් එය විනය නීතියක් වශයෙන් අනුගමනය කරන්නට නියම කළ අවස්ථා කීපයක්ම ප්‍රාතිමෝක්ෂයේ දක්නට ලැබේ.
වස් විසීමට නියම කිරීමත් එවැනි අවස්ථාවකි. බුදු දහම පහළ වූ මුල් යුගයේ භික්ෂූන් වහන්සේට වස් කාලය එක් තැනක සිටීමට නියමයක් නොතිබුණු නිසා වර්ෂයේ සෑම දිනකම චාරිකාවේ හැසිරෙමින් උන්වහන්සේ මහජන සේවය සිදු කළහ. එහෙත් ජෛන වැනි ආගම්වල ශ්‍රමණයින්ට වස් කාලයේ එක් තැනකට වී සිටීමට නියමව තිබුණා. චාරිකාවේ යෑම තහනම් කර තිබුණා.
භික්ෂූන් වහන්සේ වස් කාලයේදීත් චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්නට පටන් ගත්තා. “වැසි කාලයේ පොලවෙන් මතු වන සතුන් පවා පාගමින්, ලා තණ නිල්ල මඩිමින් මෙම ශ්‍රමණ භවත් ගොෟතමයන්ගේ ශ්‍රාවකයන් වූ භික්ෂූන් වහන්සේ පිඬු සිඟා වඩිනවා. චාරිකාවේ හැසිරෙනවා වැසි සමයේ කුරුල්ලන් පවා කූඩු සාදාගෙන සිටිනවා. එහෙත් මෙම භික්ෂු පිරිසට එවැනි ශික්ෂණයක් නැහැ” යනාදී කරුණු කියමින් භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කළා.
භික්ෂූන් වහන්සේට මහජනතාවගේ අප්‍රසාදය වැටහුණා. මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා වස් කාලයෙහි එක් තැන්ව සිටීමෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් යුතුව දේශනා කළා.
“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මෙම ශික්ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනුදැන වදාළහ. එහෙත් ජෛන ආගමෙහි මෙන් තණකොළ පෑගීම ආදිය සලකා බලා නොවෙයි. අට මාසයක් ධර්ම චාරිකාවේ හැසිරෙන භික්ෂුන්ට වසර හාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් අධ්‍යාත්මික විමුක්තිය සළසා ගැනීමටත්, තමන්ට ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන් ගේ ගුණධර්ම වර්ධනයටත් මෙම කාලය බෙහෙවින්ම උපයෝගී කර ගැනීමට හේතු වන නිසයි, වඩාත්ම මෙවැනි ශික්ෂා පදයක් පැනවීමට අදහස් කළේය.
වස් විසීමේ ශික්ෂා පදය පැනවූ පසු වස් විසිය යුත්තේ කවදා ද? වස් එළඹීමට දින කීයක් තිබේද? යන ගැටලු මතු වීම නිසා පෙරවස් එළඹීම, පසුවස් එළඹීම යැයි වස් විසීම් දෙකක් ඇති බවත්, ගිම්හාන ඍතුවේ අටවැනි පෝය වූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට පෙර වස් විසිය යුතු බවටත්, වස්සාන ඍතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුර පසළොස්වක දිනයේ පෝය කොට අවපෑලවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු බවටත්, කරුණු පෙන්වා දුන් සේක.
මෙම දින දෙකෙන් එක් දිනකදී වස් නොවිසූ භික්ෂුවට “දුක්කටා පත්ති” නම් ඇවත සිදුවන බවද, ප්‍රඥප්තියකින් පැහැදිලි කර දුන්හ. වස් විසීම පිළිබඳ ස්ථාන, වස් විසූ ස්ථානයෙන් පිටත්ව යෑමට ඇති අවස්ථා එවැනි පිටතට ගිය විට ආපසු පැමිණිය යුතු දින ගණන් ආදිය පිළිබඳ විශේෂයෙන් වස් විසූ භික්ෂූන් වහන්සේ සිහියෙන් යුතුව කටයුතු කොට, වස්සාන ඍතුවේ හය වැනි පෝය දිනයෙහි පවාරණය නමැති විනය කර්මය සිදු කර ගැනීමෙන් කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබති. පෙර වස් විසූ භික්ෂුවට මිස පසුවස් විසූ භික්ෂුවකට “කඨින” නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් නොලැබෙන්නේ ය.

කඨින පූජාව නියම කිරීමේ හේතු 

දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර යන නම් වලින් යුතු තුන් සිවුර අධිෂ්ඨාන කොට පරිභෝග කරන භික්ෂූන් වහන්සේට එම තුන්සිවුරෙන් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීමෙන් ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවතකට පත්වීමට සිදුවේ. එබැවින් තුන් සිවුරු අධිෂ්ඨාන කොට සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේ තමන් යන සෑම තැනකටම මේ තුන් සිවුරු රැගෙන ගියහ. එය භික්ෂූන් වහන්සේට තරමක කරදරයක් බවට පත්වී තිබුණු බව පෙනේ.
වරක් බුදුරජාණන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි කොසොල් රට පාවානුවර තෙචීවරික වූ ආරණ්‍යවාසී තිස් නමක් වූ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිනු කැමැතිව සැවැත්නුවරට යෑමට පිටත් වුවත් සැවැත් නුවර ආසන්න වන විට වස් කාලය එළැඹි නිසා උන්වහන්සේ සාකේත නුවර වස් විසූහ. වස් වැස පවාරණය නිම වූ විගසම බුදුරජාණන් වහන්සේ දැකගැනීමේ බලවත් ආශාව නිසා තවත් වැසි වැටෙද්දීම සැවැත් නුවර බලා පිටත් වූහ. එහෙත් තුන් මාසයක් පැවැති මහ වැස නිසා මාර්ග අබලන්ව තිබිණ. තවමත් මඳ වැසි ද පවතින නිසා මෙම භික්ෂු පිරිස මඩ තැවරුණු දියබේරෙන සිවුරු වලින් යුක්තවයි, ඉතා අපහසුවෙන් ජේතවනාරාමයට ළඟාවූයේ. තමන් බැහැදැකීමට පැමිණි මෙම භික්ෂු පිරිස පත්වී ඇති කරදරය මැනවින් දුටු බුදු පියාණන් වහන්සේ තවත් අතිරේක සිවුරක් තිබුණේ නම් මඩ තැවුරුණු සිවුර සෝදා ගන්නට හැකියාව ලැබෙන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිශංස ආදියත් සලකා “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨින අත්ථරිතුං” යනුවෙන් වස් වසා නිමකොට පැවරූ භික්ෂුවට කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළහ.

කඨින පූජාවේ ආනිසංස

වෙනත් පූජාවන්හිදී පූජාව කරන ලද දායක පක්ෂයට ලැබෙන විශේෂ ආනිශංස ආදිය ඉහළින් දක්වා තිබේ. කඨින පූජාවේ වැදගත්කම නම් පූජාව කරන දායක පිරිසට මෙන්ම ලබන්නා වූ භික්ෂූන් වහන්සේටද, විනය ශික්ෂා පද පහකින් ආරක්ෂා විය හැකි ආනිශංස ලබාගැනීමට හැකිවීමයි.

පඤ්චානිසංස සහිතං
පංච දෝස විවජ්ජිතං
හන්ති වජ්ජංති සංඝස්ස
තස්මා කඨිනමුත්තමං

යයි දැක්වෙන පරිදි දෝෂ පහක් බැහැර කොට පංච ආනිශංස ලබාදීමට සමත්වන නිසා කඨින උතුම් යැයි සඳහන් වේ.
භික්ෂූන් වහන්සේට ප්‍රාතිමෝක්ෂයෙහි පැනවූ ශික්ෂාපද උල්ලංඝනය කිරීමට විනයෙන් ඉඩක් නැත. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට කඨිනය ලැබූ දිනයෙහි සිට මැදින් පුර පොහොය දක්වා (පස් මාසයක්) බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිශංස පහ නිසා යම් යම් ශික්ෂා පද වලින් තාවකාලිකව නිදහස් වීමක් දක්වා ඇත.
එම ආනිසංසනම්,
1. අනාමන්තචාරය
2. අසමාදානචාරය
3. ගණ භෝජනය
4. යාවදත්ථ චීවරය
5. යොචතත්ථ චිවරුප්පාදය යනුවෙනි.

අනාමන්තචාරය

ප්‍රාතිමෝක්ෂයේ ආචේලක වග්ගයේ සයවෙනි ශික්ෂාපදයෙන් නිදහස්වීමේ ආනිශංසයි. මේ ශික්ෂාපදයේ හැටියට විහාරයෙහි වාසය කරන භික්ෂුවකගෙන් නොවිමසා කුල ගෙවල්වල හැසිරීමෙන් ආපත්තියක් සිදුවේ. එහෙත් කඨිනය ඇතිරූ භික්ෂුවට ආරාමයෙහි භික්ෂු නමකට නොදන්වා කුලගෙවල්වල හැසිරීමෙන් වන ඇවතින් නිදහස් වීමට හැකිය. උපනන්ද භික්ෂුව ආරාමයෙහි තවත් භික්ෂූන් සිටියදී තමන් පමණක් කුලගෙවල්වලට ගොස් තනිවම දන් වළඳා එන සිරිත නිසයි, මේ ශික්ෂාපදය පනවා තිබුණේ.
කඨිනානිශංසයක් හැටියට එය ලිහිල් කළේ සිවුරු පූජා කරන කාලයෙහි භික්ෂූන් ගමට නොයෑම නිසා සිවුරු හිඟ විය. එය දැනගත් බුදුරජාණන් වහන්සේ සිවුරු පූජා කරන කාලයෙහි ආරාමයෙහි භික්ෂුවකට නොදන්වා හෝ කුල ගෙවල්වල හැසිරීමෙන් වන ඇවතින් මිදිය හැකි බව අනාමන්තචාර යන ආනිශංසය දැක්වීමෙන් පැහැදිලි කර දුන්හ.

අසමාදානචාර

ප්‍රාතිමොක්ෂයෙහි නිසඟි පචිතිවල දෙවන ශික්ෂා පදයෙන් අධිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රී ඉක්මවීමෙන් ආපත්තියක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවට ඇවැත්
සිදු නොවීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එයද එක් කඨිනානිසංසයකි.
භික්ෂූන් වහන්සේට නොයෙක් තැනින් ලැබුණු සිවුරු තැන්තැන්වල දමා තිබීම ආදිය සලකා මුලින් මේ ශික්ෂාපදය පනවා තිබූ අතර කඨිනය ලැබූ කාලය තුළ මේ ශික්ෂාපදයෙන් නිදහසක් ලැබීමට අවස්ථාව සලසා දී තිබේ.

ගණ භෝජනය

ප්‍රාතිමෝක්ෂයේ භෝජන වග්ගයේ දෙවන ශික්ෂාපදය මේ ගණ භෝජනය යි. එයින් නිදහස් වන අවස්ථා ලෙස ගිලන් සමය ආදී අවස්ථා කීපයක්ද දක්වා ඇත. ගණ භෝජනය ලෙස දැක්වෙන්නේ කිසියම් පුද්ගලයෙක් පැමිණ භික්ෂූවකට පූජාකරන අදහසකට වඩා හිතමිත්‍ර භාවයෙන් කෙරෙන සංග්‍රහයක් වශයෙන් අපගේ ගෙදරට එන්න. ආහාර වේලක් ගන්න යනුවෙන් කරන ඉල්ලීමකදී සතර නමක් හෝ වැඩි පිරිසක් එහි ගොස් වැළඳීම හෝ අපට කෑම වේලක් දෙන්න තමන් කියවා සූදානම් කරගෙන එසේ වැළඳීමෙන් සිදුවන ඇවතයි.
එහෙත් කඨිනය අතුල භික්ෂුවට කඨිනානිශංස කාලය තුළ මේ ඇවතින් නිදහස් බව ලැබී තිබේ.

යාවදත්‍ථචීවර

නිසභි පචිතිවල පළමුවන ශික්ෂාපදයෙන් දස දිනකට වඩා අතිරේක සිවුරක් අධිෂ්ඨානාදිය නොකොට තබා ගැනීමෙන් ඇවතක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට කඨිනානිසංස කාලය තුළ ආරාමයට ලැබෙන සිවුරු යම්තාක් ද ඒවා තබා ගැනීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එය යාවදත්ථ චීවර යන ආනිශංසය ලෙස දැක්වේ.

යෝචතත්‍ථ චිවරුප්පාදය

කඨිනය අතුල භික්ෂුවකට එම සීමාව තුළ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පිදීමෙන් හෝ එම ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සඟ සතු සිවුරු හා පූජා භාණ්ඩ ලැබුණහොත් කඨිනානිංස කාලය තුළ දී කඨිනය අතුල භික්ෂුන්ට හිමිවේ. මෙය කඨිනය අතුල භික්ෂුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස සැලකේ.
මෙසේ කඨිනය ලැබූ භික්ෂුවට කඨින බලය බලපැවැත්වෙන පස් මාසය තුල වරප්‍රසාද පසක් ලැබීමේ ආනිසංස ලැබේ.
කඨින දායකයාට ලැබෙන ආනිසංස

අට මහ කුසල් බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධය.
එහි මුල තැන ලැබෙන්නේ කඨිනයටයි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිසංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ
කඨිනට්ඨ පරික්ඛාරං- වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස - පටිමා කරණං පිච
කරණං වච්චකුටියා - අට්ඨ පුඤ්ඤානි චූච්වරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි 1. කඨින දානය, 2. අට පිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන්දීම , 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිළි කැසිකිළි සෑදීම යන පූජාය.
පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතුරින්ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාවයි. පංචානන්තරිය පාප කර්මය කරගෙන නොමැත්තේ නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින්යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවෙකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ් ගතිය, උපදින තැන ස්ථිරය. කාමසුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.
වසරකට එක් තැනකදී එක්වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙරවස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතුය. එවැනි ස්ථානයකදී වුවද වසරකට එක්වරක්, කරගත හැකි මෙම පින්කම වුවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල්පුර පෝය දක්වා) පමණක් ය.
වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාත් කඨින දානය දුර්ලභ පින්කමකි.
කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිශංස විස්තරය ඇතුළත්වන්නේ නාහිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂූ උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදුකළ භික්ෂූ නමක් සිටීනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිශංස ප්‍රකාශ කළ ආකාරයයි. තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජා කොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්ෂය ඥාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවයි. නිවන කුළුගන්වමින් කරගත් එම පින්කම නිසා එදා පටන් කිසිම අවස්ථාවක දුගතියක නූපන් බවත් මනුෂ්‍ය දිව්‍ය ආත්මවලම පමණක් උපත ලද බවත් ය.
මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.


යාවතා සබ්බ පරික්ඛාරේ - සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස - කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං - සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස - කලංනාග්ඝති සොළසිං

(30 - 31 නාගිතාපදානය)

භික්ෂූ සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිශංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන්සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.

 ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති
මකුලෑවේ විමල හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ ඔක්තෝබර් මස 07 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment