Labels

Wednesday, October 12, 2016

ධම්ම විචය සම්බොජ්ඣංගය

" බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය. "
මනා අවබෝධයට හේතු වන අංග සහිත ධර්මය සෙවීම යන අරුතින් යුතුව ධම්ම විචය සම්බොජ්ඣංග යන වචනය නිපැයී ඇත. බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය.
ධම්ම විචය යනු ප්‍රඥා චෛතසිකයෙකි. නාම රූප දෙකේ පවතින අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ස්වභාවය සොයා දැන වටහා ගැනීම ධම්ම විචය සම්බොජ්ඣංගයෙන් සිදුවන කාර්යයයි. කිං සච්ච ගවේසි ව ඇත්ත කුමක්දැයි සෙවීම, විමසා වටහා ගැනීම එමඟින් සිදුවෙයි. ආධ්‍යාත්මික සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද, බාහිර සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද ඇත. ඒ දෙයාකාර වූ සංස්කාරයන් විමැසීමෙන් උපදින ප්‍රඥාව ධම්ම විචය සම්බොජ්ඣංගයයි.
එය සිව්සස් පිළිබඳ ව විශිෂ්ට නුවණින් දැන ගැනීමට ද, මනා අවබෝධයට ද, නිවන් පසක් කර ගැනීමට ද ආධාර වෙයි. ධම්ම විචය සම්බොජ්ඣංගයෙන් පහළ වන්නේ ආධ්‍යාත්මික හා බාහිර සංස්කාරයන් අරමුණු කොට ඇතිවන විපස්සනා ඤාණයයි.
සම්මා දිට්ඨි, වීමංසිඉද්ධිපාද පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල, පඤ්ඤාපාරමී යන නාමයන් ද ධම්ම විචය සම්බොජ්ඣංගය හැඳින්වීමට යොදනු ලැබේ. පරමාර්ථ වශයෙන් මේ එකම ප්‍රඥා චෛතසිකයෙකැයි සැලකේ. එය බැබළීම හා විශේෂ දැනීම ලක්ෂණ කොට ඇත්තකි. පහන් එළියෙන් අඳුර දුරු වන්නාක් මෙන් නැණ එළියෙන් මෝහය නමැති අඳුර දුරු වී යයි. එහෙයින් ප්‍රඥාව බැබළීම ලක්ෂණය කොට ඇතැයි කියනු ලැබේ. කුසල අකුසල ධර්මයන් මැනවින් දැන ගන්නා නිසා ප්‍රඥාව ප්‍රජානන ලක්ෂණයෙන් යුක්තකි. යථා තත්ත්වය මුවා කරන මෝහය නසාලීම ප්‍රඥාවේ ලක්ෂණයයි. එය මුළා නොවීම, වැටහීම ලක්ෂණ කොට ඇත්තකි. චිත්තේකග්ගතාව (සිත එකඟ කිරීම) ආසන්න කොට ඇත්තකි. යෝනිසෝ මනසිකාරයෙන් පෝෂණය වන්නකි.

1. පරිපුච්ඡකතා 

2. වත්ථු විස කිරියතා, 

3. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, 

4. දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතා 

5. පඤ්ඤාවන්ත පුග්ගල සේවනතා, 

6. ගම්භීර ඤාණවරිය පච්චවෙක්ඛණතා 

7. තදධිමුත්තතා යනුවෙන් ධම්ම විචය සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු හතක් දැක්වෙයි.

1. පරිපුච්ඡකතා
පරිපුච්ඡකතා යන්නෙහි අර්ථය පිළිවිසින බව යන්නයි. බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද නොයෙක් දහම් කරුණු ගැන නිරවුල් ව වටහා ගැනීමට ප්‍රශ්න කරමින් කරුණු රැස්කිරීම මෙයින් අදහස් කරනු ලැබේ. එනම්, ස්ඛන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීය, බල, බොජ්ඣංග, මාර්ගාංග, ධ්‍යාන, සමථ, විපස්සනා ආදී කරුණු ගැන විමසා දැන ගැනීම මෙයින් අපේක්ෂිතය.


2. වත්ථූ විසද කිරියතා
මෙම යෙදුමේ අර්ථය වස්තු පිරිසුදු කිරීම යන්නයි. එනම් ආධ්‍යාත්මික හා බාහිර වස්තුවල පිරිසුදුකම ගැන සැලකිලිමත් වීමයි. දත්, නිය, කෙස් ආදියේ සහ සිරුරෙහි කුණු දහදිය ආදිය තැවරී ඇත්නම් එවිට ආධ්‍යාත්මික වස්තු ද අපිරිසුදු බවට පත් වෙයි. අඳින පොරවන ඇඳුම්, සිවුරු මෙන්ම ගෙවල්, ආවාස, කොට්ට මෙට්ට, ඇඳ – ඇතිරිලි, අපිරිසුදු වී දිරා පත් වී කිළුටු වී තිබේ නම් එවිට බාහිර වස්තු අපිරිසුදු වෙයි. එයින් ඤාණය ද අපිරිසුදු වෙයි. ඒවා පිරිසුදු ව තිබේ නම් ඤාණය ද පිරිසුදු වෙයි. ඒ නිසා ධම්ම විචය සම්බොජ්ඣංගය ද පහළ වෙයි.


3. ඉන්ද්‍රීය සමත්ත පටිපාදනතා
මෙයින් අදහස් කරන්නේ සද්ධා ආදී ඉන්ද්‍රීයන්ගේ සමභාව කරණයයි. (සද්ධාදීනං ඉන්ද්‍රියානං සමභාව කරණං) භාවනා කරන යෝගාවචරයාගේ ශ්‍රද්ධාව බලවත් නම් ඔහුගේ සෙසු ඉන්ද්‍රිය දුබල වෙයි. එවිට සෙසු ඉඳුරන්ට තම තමන්ට නියමිත කටයුතු කිරීමට නොහැකි වෙයි. ඒ නිසා ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියේ ධර්ම ස්වභාවය සිහි කරන්නේ නැතිව එය පිරිහෙළිය යුතු ය. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා යන්නෙන් අදහස් කරන්නේ එයයි. එම ශ්‍රද්ධා ඉන්ද්‍රියේ ධර්ම ස්වභාවය සිහි කරන්නේ නැතිව එය පිරිහෙළිය යුතු ය. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා යන්නෙන් අදහස් කරන්නේ එයයි.


4. දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතාව
අනුවණ පුද්ගල හෝ තිරශ්චීන ප්‍රේත ආදී හීන ආත්මලාභීන්ගේ ආශ්‍රය තමා වෙතින් බැහැර කිරීම මෙයින් අපේක්ෂා කැරේ. යෝගාවචරයකුට ඔවුන්ගෙන් ලැබිය හැකි විපත් හිරිහැර බොහෝ ය. දුම්මේධ, රුහක, නංගලීස වැනි ජාතක කියවා මේ ගැන විමසීමක යෙදෙන්න.


5. පඤ්ඤාවන්ත පුද්ගල සේවනතාව
මෙයින් අදහස් කරන්නේ පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් උදයව්‍ය ලක්ෂණ දන්නා නුවණැති පුද්ගලයන්ගේ ආශ්‍රය යි. සංකිච්ච, සුමන, සෝණුත්තර සාමණේර ආදී කතා කියවා සාකච්ඡා කරන්න.


6. ගම්භීර ඤාණචරිය පච්චවෙක්ඛණතා
මෙයින් අදහස් කරන්නේ ස්ඛන්ධ ධාතු ආයතන චතුසච්ච, පටිච්ච සමුප්පාද ආදී ධර්මයන්ගේ ප්‍රභේදයන් නුවණින් මෙනෙහි කිරීමයි.


7. තදධිමුත්තතාව

ඉඳීම්, හිටීම් ආදි සියලු ඉරියව්වල දීම ධම්ම විචය උපදවනු සඳහා නැමුණු බරවුණු සිත් ඇත්තාට ද මේ ධම්ම විචය සම්බොජ්ඣංගය උපදී. ඉහතින් සඳහන් කළ කරුණු හත හේතු කොට ගෙන, ධම්ම විචය සම්බොජ්ඣංගය සිතේ නගා සිටුවාගෙන එය ම සමීප කොටගෙන යෝගාවචරයා නිවන් පසක් කර ගනී.




මීරිගම, මිනීඔලුව, විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක ධුරන්ධර 
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති 
මකුලෑවේ විමල නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 30 වන  සිකුරාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment