Labels

Tuesday, August 15, 2017

වස්සානයේ කථාව

ක්‍රි.පූ. හයවන සියවසේ දී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල්කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං’ යන උපදේශනයයි. ඒ අනුව දෙදෙනකු එක මඟ නොයා තනි තනිව ගමන් කරන ලෙස උපදෙස් දී තමන් වහන්සේ ද උරුවෙල් දනව්ව බලා පිටත් වූහ. සැට නමක් වන රහතන් වහන්සේලා ද නිස්සරණාධ්‍යාසයෙන් ධර්මදූත කාර්යයෙහි නිරත වූහ.
ඒ මහරහතන් වහන්සේලා දැක්මෙන් ප්‍රසාදයට පත් බොහෝ දෙනා තමන් ද පැවිදි කර ගන්නා ලෙස ඒ ඒ රහතන් වහන්සේලාගෙන් අයැද සිටියහ. උන්වහන්සේලා ද පැවිදි වනු කැමැති පිරිස බුදුරදුන් වෙත කැඳවාගෙන අවුත් පැවිදි කරවූහ. කාලයාගේ ඇවෑමෙන් එසේ පැවිදි කිරීමේ බලය ඒ ඒ භික්ෂූන් වෙතම පැවරිණි. තවත් කල් යාමෙන් පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව වැඩි විය. ඔවුහු අව්වැසි නොබලා ධර්ම චාරිකාවේ යෙදුණහ. එය සමාජගත ප්‍රශ්නයක් බවට පත්වූයේ වස්සාන සෘතුවේ දී ය.

වස්සාන සෘතුව

වස්සාන සෘතුව නමින් සැලකෙන්නේ ඇසළ (ජූලි මස) පුර පසළොස්වක ගිය අවපස පෑළවිය දිනයේ පටන් ඔක්තෝබර් මාසයට යෙදෙන බිනර පසළොස්වක පෝය දක්වා කාලයයි. වැසි සමයට වස්සාන කාලය වස්සාන සෘතුව යන නම්ද යෙදේ. බුද්ධ ශ්‍රාවකයන් වැස්සේ තෙමි තෙමී චාරිකාවේ යෙදෙනු දුටු මිනිස්සු ඒ ගැන දෝෂාරෝපණය කරන්නට වූහ. අලුතින් හටගන්නා තණකොළ පෑගීමෙන් ඒකේන්ද්‍රීය ප්‍රාණීන් විනාශ වීම, ක්ෂුද්‍ර ප්‍රාණීන් විනාශ වීම යන කරුණු ඔවුන්ගේ විවේචනවලට පදනම් වී ඇත. විශේෂයෙන් එම විවේචන එල්ල වූයේ, ‘අහිංසා පරමො ධර්මං’ යන ස්ථාවරයෙහි පිහිටි ජෛනාගමිකයන්ගෙනි. සමාජයෙන් පැන නැගෙන ඒ විවේචනයන් ගැන බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළහ. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ ය. ගහකොළවලට ප්‍රාණයක් ඇතැයි යන විශ්වාසය එවක භාරතීය ජනතාව තුළ මුල් බැසගෙන පැවතියකි. එම විශ්වාසයේ සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් සමාජ සම්මතයට ගරු කිරීමක් වශයෙන් ‘අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං’ යන විනය ප්‍රඥප්තිය පනවා වදාළහ.
ඊළඟ ප්‍රශ්නය වූයේ වස් එළඹීම් කොපමණද? යන්නයි. ‘ද්වේමා භික්ඛවේ, වස්සූපනායිතා, පූරිමිකාච, පච්ඡිමිකාව, අපරජ්ජුගතාය, ආසාළ්හිය, පුරිමිකා උපගන්තබ්බා, මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා, ඉමා ඛො භික්ඛවේ ද්වේ වස්සුපනායිකං’ (මහාවග්ගය) මහණෙනි, පෙරවස් එළඹීමයි පසු වස් එළඹීමයි වස් එළඹීම් දෙකක් ඇති ඇසළ මස අව පෑළවිය දින පෙරවස් සමාදන් විය යුතු ය. නිකිණි මස අවපෑළවිය දින පසුවස් සමාදන් විය යුතු යි. මේ ඒ වස් එළඹීම් දෙකයි.
ඒ වස් සමාදන් වීම් ගැන ජබ්බග්ගිය භික්ෂූන් තුළ එතරම් කැමැත්තක් නොවීය. කෙසේ වෙතත් ඒ අනුව වස් සමාදන් වූ ජබ්බග්ගිය භික්ෂුහු වස් සමාදන් වූ පසු පුරුදු පරිදි චාරිකාවෙහි යෙදෙන්නට වූහ. එයද සමාජයේ විවේචනයට භාජනය විය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, වස් වැසීමෙන් පසු චාරිකාවෙහි නොයෙදි යුතු යි. එසේ යන්නාට දුක්කටාපත්ති වන්නේය.’ යන ශික්ෂාපදය පැනවූහ. එසේ දුක්කටාපත්ති ශික්ෂාපදයක් පැන වූ විට ජබ්බග්ගිය භික්ෂූන්ගේ තීරණය වූයේ වස් වසන්නේ නැතිව සිටීමටයි. ඒ බව දැන ගත් බුදුරජාණන් වහන්සේ වස් එළඹෙන්නේ නැතිව සිටීමෙන් දුක්කටාපත්තියක් වෙතැයි ශික්ෂාපදයක් පැනවූහ. ඉන්පසු ජබ්බග්ගිය භික්ෂූන් තීරණය කළේ වස් එළඹෙන දිනයේ ආවාසයේ නො සිට බැහැර යාමටය. ඒ නිමිති කරගෙන ද දුක්කටාපත්ති ශික්ෂාපදය පැන වූහ. එයින් පසු භික්ෂුහු නිහඬ වූහ. ජබ්බග්ගිය භික්ෂූන්ගේ විරෝධතාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ වස්සූපනායික ශික්ෂාපදය භික්ෂු විනයෙහි අනිවාර්ය අංගයක් බවට පත්වීමය. උපසම්පදා භික්ෂුව පෙරවස් හෝ පසුවස් සමාදන් විය යුතුමය. යන සම්මතය සමාජය තුළ ද දැඩිව කාවැදිණි. එහෙත් භික්ෂුවක් වස් සමාදන් වීම යනු ගිරවා කූඩුවක හිරකරගෙන සිටීම වැනි ක්‍රියාවලියක් නොවේ. භික්ෂු, භික්ෂුණී, සික්ඛමානා, සාමණේර, සාමණේරී, උපාසක, උපාසිකා, මව, පියා වැනි පිරිසගේ අවශ්‍යතාවකදී මෙන්ම ශාසනික විනය කර්ම, පින්කම් වැනි කටයුතුවලදී ආරාධනා ලැබ සත්තාහකරණියෙන් ගොස් සම්බන්ධ වීමට විනය නීතියෙන් කිසිදු අවහිරයක් නැත. එපමණක් නොව, වස් විසූ තැන සිවුපාවුන්ගෙන්, සර්පයන්ගෙන් සොර සතුරන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, ආහාරපාන නොලැබීමෙන් පීඩාකාරී බවක් ඇත්නම් වස් වැසූ තැන අතහැර ගියත් ඇවැතක් සිදු නොවේ. එසේම උපස්ථායකයකු නැත්නම්, තමාගේ බ්‍රහ්මචර්ය ජීවිතයට අනතුරු ලක්ෂණ පෙනේ නම් යම් යම් අයගේ ක්‍රියාකලාපයන් නිසා සංඝ භේදයක් ඇතිවිය හැකි පෙර ලකුණු පෙනේ නම්, වස් විසූ තැන අතහැර යාමේ කිසිදු බාධාවක් නැති එසේ කිරීමෙන් ඇවැතක් සිදුවන්නේ ද නැත.

ලක්දිව පළමු වස් විසීම මිහින්තලේ


ක්‍රි.පූ. හයවන සියවසේ දී එවක භාරතයේ පැවැති දේශගුණික ලක්ෂණවලට අනුව ආරම්භ කෙරුණු වස්සාන සෘතුවේදී උපසම්පදා භික්ෂූන් වස් විසීමේ චාරිත්‍රය අදත් භික්ෂු සමාජයේ නොකඩවා පැවැත්වෙයි. ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ දී ධර්මාශෝක රජතුමා විසින් ආරම්භ කරන ලද විදේශ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ අනුව සිරිලකට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා එය මෙරටේ ද ව්‍යාප්ත විය. උන්වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස අනුරාධපුරයේ දී දෙවනපෑතිස් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසමින් සිට, මහමෙව්නාව ද පිළිගෙන, මිහින්තලාවට යළි වැඩම කළහ. එසේ වැඩම කළේ ආපසු දඹදිව බලා පිටත්ව යාමට දැයි සැක කළ දෙවනපෑතිස් රජතුමා සපිරිවරට හදිසියේම මිස්සක පව්වට පැමිණ මිහිඳු මාහිමියන් මුණගැසී තොරතුරු විචාළේ ය. ඒ පුවත විනයට්ඨකතාවේ සඳහන් වෙයි. එහි දැක්වෙන පරිදි අරිට්ඨ ඇමැති ප්‍රමුඛ පිරිස පැවිදිව රහත් වූ පසු දෙවනපෑතිස් රජතුමා කණ්ඨකසෑය වටා ලෙන් තනවා මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්ෂූන්ට වස් විසීමට අවශ්‍ය පහසුකම් සැලසූ බවත් සඳහන් වේ.

මෙසේ ප්‍රථම වරට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේ මිහින්තලේ කණ්ටක සෑය වටා ගල්ලෙන්වල පළමු කොට වස් වැසීමෙන් ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ වස් විසීම ආරම්භ විය. ඒ ඓතිහාසික සිද්ධියේ කැපකරු දායකයා වස් ආරාධකයා වූයේ දෙවනපෑතිස් රජතුමායි රාජ්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කැරුණු ඒ උදාර වැඩ පිළිවෙළ පශ්චාත් කාලීන සිංහල බෞද්ධ රජවරුන් මහත් ශ්‍රද්ධාවෙන් අඛණ්ඩව ඉටු කළ බව වංශ කථාවන්හි දැක්වෙයි එහෙත් ශ්‍රී ලංකාව විදේශ ආක්‍රමණිකයන්ගේ යටත් විජිතයක් වීමෙන් පසු රාජ්‍ය අනුග්‍රහය නැති විය. එසේ වුවත් ශ්‍රී ලාංකික භික්ෂුහු අනුන්ගේ සහායක් නොපතා වස් වැසීමේ චාරිත්‍රය රැකගත්හ. ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන වස්සාවාසිකය සපයාගෙන වස් තුන් මාසය ගත කළහ. එබඳු භික්ෂූන්ට සැදැහැවත් උපාසක – උපාසිකාවෝ හැකි පමණින් සිව්පසය සපයා දුන්හ. එසේ කරන ලද්දේ වස් වසන භික්ෂුවකට සිවුපසය පිළිගැන්වීමෙන් තමන්ට පින් රැස්කර ගත හැකිවීමත්, උන්වහන්සේලා ඇසුරින් වස් කාලය තුළ ධර්ම ඥානය දියුණු කර ගත හැකි වීමත්, කඨින චීවර පූජාවෙන් ලැබෙන උදාර ආනිශංසත් සැලකිල්ලට ගැනීමෙනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක 
මීරිගම, මිණිඔලුව 
විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂ
ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 07 වන සඳුදා  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment