“මිනිස් අත්බව ලැබූ කෙනෙකුට පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන්හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩ වඩා සඵල කරගත හැකිය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේදීම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේදී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකිය.
ක්‍රි.පූ. තෙවන සියවසේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ධර්මදූත පිරිස බුදු සසුන පිහිටුවීම සඳහා සිරිලකට වැඩම කළහ. ඒ ඓතිහාසික සිද්ධිය වූයේ පොසොන් පෝය දිනකය.එවකට සිරිලක රජ කළ පෑතිස් නිරිඳුන් උන්වහන්සේට මුණගැසුණේ මිහින්තලේ දී ය. තමා ඇතුළු පිරිස රජුට හඳුන්වා දෙමින්,
“සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීප ඉධාගත”
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීප ඉධාගත”
යනුවෙන් මිහිඳු මාහිමියන් කළ ප්‍රකාශයේ ඇතුළත් “තවේව අනුකම්පාය” (ඔබට ම අනුකම්පා පිණිස) යන යෙදුම තුළ උන්වහන්සේගේ ආගමනයෙහි මූලික පරමාර්ථය ගැබ් වී ඇත. අඹ පැනයෙන් පෑතිස් රජුගේ නුවණ දැන, අනතුරු ව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරින් රජුට බුදුදහම ගැන මූලික දැනීමක් ලබා දී රජුගේ ආරාධනය අනුව පසු දින රජ මැදුරට වැඩම කොට, දහවල් දානය වළඳා, භුක්තානුමෝදනා වශයෙන් පේතවත්ථු හා විමානවත්ථු මාතෘකා කරගෙන දහම් දෙසූ බව කියනු ලැබේ. එම ධර්ම දේශනාව ගැන අද දක්වා ම පොසොන් උත්සව සමයේ පැවැත්වෙන ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලදී ඉතා ගෞරවයෙන් අනුස්මරණය කරනු අසන්නට ලැබේ.
‘පේත’ යනු මිය ගියවුන් හැඳින්වීම සඳහා යොදන පාලි භාෂාමය වචනයකි. ‘වත්ථු’ යනු කතා යන්නයි. ඒ අනුව පේතවත්ථු යන්නෙන් අදහස් කරන්නේ මළගියවුන් පිළිබඳ කතා යන්නයි. ත්‍රිපිටකයෙහි මළගියවුන් ගැන ම විස්තර අන්තර්ගත ග්‍රන්ථයක් ඇත. ඒ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පසළොස අතර සත්වැන්න සේ සංග්‍රහ කොට ඇති පේතවත්ථු නමින් හැඳින්වෙන ග්‍රන්ථයයි. එහි උරග, උබ්බරි, චූල, මහා යන වර්ග හතරට ඇතුළත් කොට ප්‍රේතයන් පනස් එක් දෙනෙකු පිළිබඳව තොරතුරු ඇතුළත් වෙයි.
උරග වග්ගයේ ඛෙත්තූපම, සූකරමුඛ, පූතිමුඛ සත්තපුක්ත ඛාදිකා, පඤ්චපුත්ත ඛාදිකා, ගෝන, මහා පේශකාර, ඛල්ලාටිය, නාග, උරග යන පේතවත්ථු ඇතුළත් කර ඇත.
සංසාර මෝචක, සාරිපුත්ත මාතා, මත්තා නන්දා, මට්ටකුණ්ඩලී, කණහ, ධනපාල චුල්ල සෙට්ඨි, අංකුර, උත්තර මාතා, කර්ණ මුණ්ඩ, උබ්බරි යන පේතවත්ථු ඇතුළත් වන්නේ උබ්බරි වග්ගයට. චුල්ල වග්ගයට ඇතුළත් කොට ඇත්තේ අභිජ්ජමාන, සානුවාසි, රථකාර, භූත, කුමාර, සේරිණී පඨම මිගලුද්දක, දුතිය, මිගලුද්දක, කූට විනිච්ජයිත ධාතු විවණ්ණක යන පේතවත්ථුය.
අම්බ සක්කර, සේරිස්සත, නන්දක, රේවති, උච්ඡු , කුමාර, රාජපුත්ත, ගූථඛාදක, භෝග සංහරණ, සෙට්ඨිපුත්ත, සට්ඨිකූට සහස්ස යන පේතවත්ථු ඇතුළත් කොට ඇත්තේ මහා වග්ගයටය.
ඉහත නම් සඳහන් පේතවත්ථු පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් අට්ඨ කථාව “පරමත්ථ දීපනි” නමින් හැඳින්වේ. එය අට්ඨකථාචාර්ය ධම්මපාල හිමියන් විසින් ලියන ලද්දකි. මෙම පේතවත්ථු පනස් එකේම ඇතුළත් ප්‍රධාන චරිත අතර ගිහි පැවිදි දෙපක්ෂයේම මළගිය ඇත්තෝ සිටිති. පේතවත්ථුවලත්, විමානවත්ථුවලත් ඇතුළත් වන්නේ මළගිය ඇත්තන්ගේ චරිත කතාය. මනුෂ්‍යාත්මකභාවය ලැබගෙන සිට දුගති මගේ ගමන් කොට මිය ගියවුන්ගේ විස්තර පේතවත්ථුවලත්, සුගති මගේ ගමන් කොට මියගියවුන්ගේ විස්තර විමාන වත්ථුවලත් ඇතුළත් කොට ඇත. ඔවුන්ගේ හැඩරුව, ජීවන යාත්‍රාව, වාසදේශ, කෑම බීම ආදී තොරතුරු ඒවායේ දැක්වේ. පේතවත්ථුවල දැක්වෙන මේ උපුටනයන් කියවීමෙන් පේතයන්ගේ හැටි සොබා ගැන චිත්තරූප මවාගත හැකිය.
‘එම්බල ප්‍රේතය, තාගේ ශරීරය සියල්ල රන් හා සමානය. ශරීරාලෝකයෙන් සියලුම දිශාවන් හාත්පසින් බබුළුවයි. එසේද වුවත් තාගේ මුඛය හූරු මුව හා සමානය.’ (සූකර මුඛ. ප්‍රේ.ව)
“පෙහෙසුන් කී මහණ එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි පැසි මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවරට නුදුරු තැනෙක්හි පූතිමුඛ ප්‍රේතයෙක්ව උපන. ඔහුගේ ශරීරය ස්වර්ණ වර්ණ විය. කටින් වනාහි පණුවෝ නික්මී මුඛය ඔබිමොබ කත්. ඔහුගේ මුඛයෙන් දුර වූද අවකාශය පැතිර දුගඳ වහනය වෙයි. (පූති මුඛ පේ‍්‍ර.ව)
“එම්බල ප්‍රේතිය, නිර්වස්ත්‍ර ව ඉතාමත් බියකරු රූපයෙන් යුක්ත වන්නෙහිය. නපුරුගඳ ඇත්තීය. ශරීරයෙන් කුණු ගඳ හමන්නේය. හාත්පස නිලමැස්සන්ගෙන් ගැවසී ගත්තේමය.” (පඤ්ච පුත්තඛාදිකා පේ‍්‍ර.ව)
“ස්වාමීනි, මම පාපකර්මයක් කොට මේ මිනිස්ලොවේ සිට ප්‍රේත ලෝකයට ඉපදීම වශයෙන් පැමිණියා වූ, දුකට පත් වූ යම ලෝකයයි ලද නම් ඇති ප්‍රේතලෝකයෙහි උපන්නා වූ ප්‍රේතියක් වෙමි. උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙකුන් ද, සවස තවත් දරුවන් සත් දෙනෙකුන් ද, ප්‍රසූත කොට අනුභව කරමි. ඒ දරු තුදුස් දෙනා ම කෑ නමුදු මගේ බඩගින්න නිවීමට ප්‍රමාණ නොවෙත්.” ( සතත පුත්තබාදිකා පේ‍්‍ර.ව)
“පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ස්ත්‍රී තොමෝ අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව කරයි. කවර කර්මයක්හුගේ මේ විපාකයක්ද? යම්බදු ප්‍රේතියක් තොමෝ සෑම කල්හි ලේ හා සැරව අනුභව කරන්නී ද ඕ තොමෝ පෙර කිනම් අකුශල කර්මයක් කෙළේ ද? (මනාපේශකාර ප්‍රේ.ව)
“විළිවැස්මක් නැතිව, නපුරු ශරීර වර්ණ ඇති ව මස් ලේ නැති බැවින් නහර වැල් ඉල් පී ගිය ශරීර ඇතිව උස් වූ ඉල ඇට ඇතිව, කාශ වූ නොහොත් ඇට සම්, සහර පමණක් වූ සිරුරු ඇති බැවින් ඉතාමත් කාශ භාවයෙන් යුක්ත වූ කී මෙහි සිටිනෙහිය. ති කවරියක්දැ’යි අසා වදාළහ. (සංසාර මෝචක ප්‍රේ.ව)
පේතවත්ථු ග්‍රන්ථයෙහි දී හමුවන, පේත නමින් හැඳින්වෙන පනස් එක් දෙනා ම මිසින් බව ලබා ගෙන සිට මිය ගිය පසු පේතාත්මභාවයක් ලැබූ අයයි. ඒ පිරිස අතර පැවිද්දෝවෙති. උතුම් මිනිස් බව ලැබ ගෙන සිටි ඒ පිරිසට දුක්බර දුගති බවයක ඉපදීමට හේතු වූ කරුණු මොනවාද? ඒවා මෙසේ ය.
අනුන්ට බැණ වැදීම, අපහාස කිරීම, කේලාම් කීම, තුනුරුවන් සතු දේපොළ පැහැර ගැනීම, විනාශ කිරීම, වස බෙහෙත් යොදා ගැබිනියන්ගේ දරු ගැබ විනාශ කිරීම, බොරුවට දිවිරීම, පින් දහම් කරන්නවුන්ට බැණ වැදීම, බාධා කිරීම, අනුන් සතු දෑ සොරා ගැනීම, මිසදිටු අදහස් දැරීම, තමාගේ සැමියා නියම කළ දාන වස්තුන් පවා නොදී පැමිණ සිට යාචකයන්ට බැණ වැදී පන්නා හැරීම. අනුන්ගේ සැප සම්පත් ගැන ඊර්ෂ්‍යා කොට ඒවා විනාශ කිරීම, තම සැමියාට නින්දා අපහාස කිරීම, තද මසුරු බවින් යුතු වීම, කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම, ඉසුරු මදින් මත් වී උතුමන්ට නින්දා අපහාස කිරීම. කල්‍යාණ මිත්‍රයන් දෙන උපදෙස් නො පිළිපැදීම. අල්ලස් ගෙන යුක්ති ධර්මය යටපත් කර විනිශ්චය කිරීම, පක්ෂග්‍රාහීව නඩු විසඳීම, කුසල් කරන්නවුන් එයින් වැළැක්වීම.
පූජා සත්කාර ගැන නුගුණ කියමින් ඒවා අවමානයට ලක් කිරීම වැනි ක්‍රියාවන් නිසා උසස් මිනිස් බවින් ඇද වැටෙන හැටි පේතවත්ථු හදාරන්නකුට වැටහෙයි. පේතවත්ථු ඇසුරින් සකස් කළ ඉහත සඳහන් දුර්ගුණ සංග්‍රහය පරාභව හා වසල සූත්‍ර සමඟ සසඳා බැලීම අවබෝධයට වඩාත් හිතකරය.
“මිනිස් අත්බව ලැබූ කෙනෙකුට පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන්හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩ වඩා සඵල කරගත හැකිය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේදීම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේදී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකිය.
ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෝ පසු කාලයෙහි විමාන වත්ථු ආදර්ශයට ගෙන තම ජීවිතය සකස් කර ගත්හ. ඒවා අනාගත පරපුරට වඩාත් පහසුවෙන් වටහා ගැනීමට විහාර බිතුසිතුවම්වල ද ඇඳ තැබූහ. එසේ ම ගද්‍ය, පද්‍ය සාහිත්‍ය කෘති නිර්මාණය කර තැබූහ.
පේතවත්ථුවල දැක්වෙන අප්‍රසන්න චරිතවලට සමාන ලක්ෂණ ඇති දෙබිඩි හා විකෘති දරුවෝ මිනිසුන් අතර ද උපදිති. සිරුරින් මුවින් දුගඳ වහනය වන පේ‍්‍රතාත්ම බඳු ස්ත්‍රී පුරුෂයෝ, දරු ගැබ් විනාශ කරන්නෝ, අත් පා නැති යාචකයෝ, අසාමාන්‍ය දේහධාරී ස්ත්‍රී පුරුෂයෝ ඒ අතර වෙති. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්වැස්සන්ට හඳුන්වා දෙන ලද පේතවත්ථු අතරින් තිරෝකුඩ්ඩ පේතවත්ථුව සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි අත්තිවාරමක් මෙන් බලපා ඇත. සඟ සතු දේපොළ තමන්ගේ පරිහරණයට ගැනීමට, බුද්ධ පූජාව සඳහා තැබූ ආහාරපාන පරිභෝජනයට ගැනීමට සිංහල බෞද්ධයෝ එදා මෙන් ම අදත් බිය වෙති. කොටින් ම සඟසතු ඉඩමක ගස්වල හැදෙන මල් පලතුරු පවා තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමට සිංහල බෞද්ධයෝ කැමති නැත.
“තිණං වා යදි වා කට්ඨං
පුප්ඵං වා යදි වා ඵලං
ද්ධ භෝගඤ්ච
මහාපේතෝ භවිස්සති”
පුප්ඵං වා යදි වා ඵලං
ද්ධ භෝගඤ්ච
මහාපේතෝ භවිස්සති”
යන ප්‍රකාශය කෙරෙහි ඔවුන් දැඩිව විශ්වාසය තබා ඇත. එහෙයින් තෙරුවන් සතු පොදු දේපොල රැක ගැනීමට සැදැහැවත් ගිහි පැවිදි කවුරුත් ක්‍රියා කළහ. අදත් ක්‍රියා කරති.
මියගිය නෑ හිතවතුන්ට පින් දහම් කොට පින් අනුමෝදන් කරවීම ගැන ඉගැන්වෙන තිරෝකුඩ්ඩ පේතවත්ථුව ඔස්සේ සිංහල බෞද්ධ චාරිත්‍රවලට එකතු වී ඇති අංග බොහෝ ය.
මෘත දේහය ආදාහනය හෝ භූමදානය කිරීමට පළමුව මහා සංඝරත්නය වඩමවා ගෙන, ඔවුත් පන්සිල් සමාදන් වීම, අනිත්‍යානුස්මෘති ධර්ම දේශනාවකට සවන් දීම. මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කිරීම, පැන් වඩා පින් අනුමෝදනා කිරීම, සත්දවසේ බණ, සපිරිකර ව සඟ සතු දානය පිරිනැමීම ආදී චාරිත්‍ර විධි ඒ අතර විශේෂයෙන් කැපී පෙනේ.
එසේම අනුබුදු මිහිඳු මාහිමියන්ගෙන් පළමුකොට අසා දැනගත් මඝමානවක විමාන වත්ථුව ද සිංහල බෞද්ධ ජීවිතයට අසීමිතව බලපා ඇත. පේතවත්ථු හා විමානවත්ථු සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි බලපා ඇති ආකාරය ඉතා දීර්ඝ ව සාකච්ඡා කළ යුත්තකි. මේ ලිපිය එයට ආරම්භයක් පමණි.
මීරිගම, මිණිඔළුවේ,
විද්‍යාවංශ මහා පිරුවන් විහාරාධිපති,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
විද්‍යාවංශ මහා පිරුවන් විහාරාධිපති,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 19 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment