උස්සූර සෙය්‍යං ආලස්සං
චණ්ඩික්කං දීඝ සොත්ථියං
ඒකස්සද්ධාන ගමනං
පරදාරූප සේවනං
එතං බ්‍රාහ්මණ සේමස්සු
අනත්ථං තෙ භවිස්සති
(ධම්මපදට්ඨ කථාව)
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, අනර්ථකර කරුණු පිළිබඳ විමසූ ‘අනර්ථ පුච්ඡක’ නම් බමුණාට බුදු හිමියන් විසින් දේශනා කරන ලද අනර්ථකර කරුණු සය දැක්වෙන ගාථාවයි ඉහතින් සඳහන් වන්නේ. පළමු අනර්ථකර කරුණ නම් උස්සූරසෙය්‍යාව යි. එනම්, හිරු උදාවන තෙක් නිදීමයි. දෙවැන්න ආලස්‍යය එනම් අලසකම හෙවත් කම්මැලිකමයි. තෙවැන්න චණ්ඩික්ක එනම් සැඩ ඵරුෂකමයි. සිව්වැන්න දීඝසොත්ථිය බව එනම් තමා වෙත පැවැරුණු කාර්යය අතපසු කිරීමයි. පස්වැන්න නම් එකස්සද්ධානගමනයි. එනම් හුදෙකලාව දුර ගමන් යෑමයි. පරදාරූප සේවනය එනම් පරඹුවන් කරා යෑම සයවැන්නයි. යමකු මේවා අනුගමනය කරයි නම් එය ඒ පුද්ගලයාට අනර්ථය පිණිස පවතින බව බුදුන් වහන්සේ වදාළා.
සැවැත් නුවර වැසි එක්තරා බමුණකුට අදහසක් ඇතිවුණා, ‘බුදුහාමුදුරුවො දන්නෙ පුද්ගලයාගේ යහපත පිණිස හේතුවන (අර්ථකර) කරුණු පමණක් ද? උන්වහන්සේ හැමදාම දේශනා කරන්නෙ කෙනෙකුගේ අර්ථයට, දියුණුවට හේතුවන කරුණු පමණයි. උන්වහන්සේ කෙනකුගේ අනර්ථයට හෙවත් පරිහානියට හේතුවන කරුණු දන්නෙ නැතුවද’ කියා. එහෙම සිතා එවෙලෙම බුදුන් ළඟට ගොස් විමසුවා, ‘ස්වාමිනි, ඔබ වහන්සේ දන්නෙ කෙනෙකුගේ දියුණුවට හේතුවන කරුණු පමණක්ද? කෙනෙකුගේ පරිහානියට හේතුවන කරුණු දන්නෙ නැද්ද?’ කියා. බුදුහාමුදුරුවො පිළිතුරු දෙමින් වදාළා, ‘බමුණ, මම කෙනෙකුගේ දියුණුවට හේතුවන කරුණුත් පරිහානියට හේතුවන කරුණුත් යන දෙකම දන්නවා කියා. එසේ වදාළ බුදුන්වහන්සේ මෙම ගාථාවෙන් පරිහානීය කරුණු හයක් දේශනා කළා.
පුද්ගලයාගේ පරිහානියට හේතුවන, බුදුන් වදාළ කරුණු සය දැන් අපි කෙටියෙන් විමසා බලමු. උස්සූර සෙය්‍යාව එනමි හිරු උදාවන තෙක් නිදාගැනීම පළමුවැන්නය. සමහර පුද්ගලයන් ඉන්නව නිදාගන්න බොහොම කැමතියි. මේ අලසයා රාත්‍රි පමණක් නොව දහවල් මද්දහන වනතුරුත් නිදා ගන්නවා. සමහරවිට සවස් වනතුරුත් නිදා ගන්නවා. යන එනකොට, සිටගෙන, ඉඳගෙන, බිම වැතිරි ආදී වශයෙන් ඔහුට නිදන්න නියමිත වෙලාවක් නැහැ. සෑම පුද්ගලයකුටම තම කටයුතු පිළිබඳ කාල සටහනක් තියෙන්න ඕන. එහෙම තිබෙනව නම් කිසිවක් අතපසු කරන්න ඔහුට සිත කියන්නෙ නැහැ. වැඩ කටයුතු අතපසු කිරීම කාලකණ්ණියාගේ ලක්‍ෂණයක්. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ පළමුවෙන්ම කාල සටහනක් අනුව කලට වේලාවට කටයුතු කළ ආදර්ශවත් උත්තමයා. දවසේ යාම පහම පෙරබත් කිස, පසුබත්කිස, පෙරයම්කිස, මැදියම් කිස සහ පැසුළු යම් කිස යනුවෙන් බෙදා වටිනා කාලය නිකරුණේ අපතේ යවන්නේ නැතිව තමන්ගෙත් අනුන්ගෙත් යහපත සඳහා යොදා ගත්තා. එමනිසා බොහෝ වෙලා නිදා සිටීම නැමති අනර්ථ කර ක්‍රියාවෙන් පුද්ගලයාත් රටත් මොන තරම් පිරිහීමකට පත් වෙනවා ද කියලා ඔබ ම සිතා බලන්න.
අලසකම නමැති අනර්ථ කර ක්‍රියාව නිසාත් මොනතරම් අප පිරිහෙනවද කියා සිතා බලන්න. බුදුදහමේ අලසකම හෙවත් කම්මැලිකම කියන්නෙ ථීන කියන තත්ත්වයයි. එනම් කායික අකර්මණ්‍යතාව යි. අලසයා නිකම් ඉන්නකොට සිතේ උපදින සිතිවිලිවල වහලෙක් වෙනවා. කාමාදි සිතිවිලි ඇති වුණාම ඒවා ක්‍රියාත්මක කරන්න පෙළැඹෙන මේ අනුවණයා මොනතරම් විපත්තිවලට භාජනය වෙනවද කියා ඔහුට දැනෙන්නෙ නැහැ. ඔහු පස්කම් සැපයට ගිජු වෙනවා. සොරකම් ආදී දුසිරිත්වලට පෙළැඹෙනවා. ඔහුගේ සිතට නැගෙන පවිටු සිතුවිලි වලින් මිදීමට ඔහු තම සිත මෙල්ලකර ගැනීමට අපොහොසත් වීම නිසා මොනතරම් විපත්වලට භාජනය වෙනවද? අලසයා හුන් තැන හිඳියි. ගිය තැන ගියාමයි. හිසට උණු තෙල් වත්කළත් නොනැගිටියි. දැන් සීතයි, නැතහොත් උෂ්ණයි කියා කර්මාන්තාදිය අතපසු කරයි. සුළු වශයෙන් වත් වේලාව ඉක්මුණොත් කර්මාන්ත අත්හරියි. කම්මැලියාට දිවැස් තිබෙනවයි කියන්නෙ ඒ නිසයි. අලසකමෙන් මිදෙන්න හැම කෙනකුටම උට්ඨාන වීර්යය තිබෙන්න ඕන. උට්ඨාන වීර්යය නැති අලසයාට භවබෝග සම්පත් ලබා ගැනීමට හෝ තමා කරන රැකියාවෙන් දියුණු වීමට හෝ නොහැකියි. ‘විරියෙන දුක්ඛං අච්චේති’ යි වදාළ පරිදි දුක් දුරුකර නිවන් දකින්නට නම් වීර්යය තිබෙන්න ඕන. අලසයාට නිවන් දකින්න බැහැ. සිදුහත් තවුස්තුමා බුදුවන්න විදුරසුනෙ හිඳ ගත්තේ ‘සංගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවේ පරාජිතො’ යනුවෙන් ‘මේ කෙලෙස් සංග්‍රාමයෙන් මියයාම පැරැදි ජීවත් වනවාට වඩා මට හොඳයි’ යන දැඩි අධිෂ්ඨාන චේතනාවෙනි.
තෙවැනි අනර්ථකර කරුණ නම් සැඬ පරුෂකමයි. චණ්ඩිකම, මැරවරකම ද්වේශ චරිතයාගේ ස්වභාවයයි. ‘චණ්ඩික්ක ලක්ඛණො දොසො’ යයි කීවේ ඒ බවයි. මොහු පරණ වනයක් වැනි පුද්ගලයෙකි. පරණ වනය නිතරම පෑරෙනවා. එමෙන්ම ද්වේශ සහගත පුද්ගලයා සුළු දෙයකින් පවා කෝපවන නිසා ඔහු මාන්නන්කාරයකු ද චණ්ඩියෙකුද වෙනවා. මාන්නක්කාරයා නිතරම සිතන්නේ, අනෙකාට වඩා තමා එක්කෝ උසස්, එක්කෝ පහත්, නැත්නම් සමානයි යනුවෙනි. එවිට අනෙකා කෙරෙහි ද්වේශයක්, කෝපයක් උපදිනවා. එවිට ඉවසීම නැතිවෙනවා. මෛත්‍රීය යටපත් වෙනවා.
කුද්ධො අත්ථං නජානාති
කුද්ධො ධම්මං නපස්සති
අන්ධං ගමං තදා හොති
යං කොධො සහතෙ නරං
ක්‍රෝධ කරන්නා යහපත නොදකියි. ධර්මය නොදකියි. හේ තම ක්‍රෝධය යටපත් කර ගන්නා තෙක් ක්‍රෝධය නමැති අන්ධකාරයෙන් වැසුණකු වේ යයි වදාළේ ඒ නිසයි.
සිව්වැනි අනර්ථකර කරුණ ‘දීඝ සොත්ථියං’ යන්නයි. එනම් තමා වෙත පැවැරුණු කාර්යය අතපසු කිරීමයි. වැඩ අන අනා සිටීමයි. වැඩ දිග්ගැස්සීමයි. බුදුහාමුදුරුවො වදාළේ ‘අජ්ජේව කිච්චං ආතප්පං’ කියායි. අද කළ යුතු වැඩේ අදම කරන්න කියායි. අපේ ජීවිතය අස්ථිර නිසා අදම කළ යුතු දේ අද නොකළොත් හෙට කරන්නට අපට හැකිවේදැයි සිතන්න. ‘කොජඤ්ඤා මරණං සුවෙ‘ හෙට වනවිට තමා මැරේදැයි කවරකු නම් දන්නේද? ඒ නිසා වැඩ අතපසු කරන්න එපා. බොහෝවිට රජයේ හෝ පෞද්ගලික අංශයේ රාජකාරි කරන අය වැඩ කරනවාට වඩා වැඩි වේලාවක් නිකම් හිඳීමට, වැඩ අතපසු කිරීමට මිඩංගු කරනවා. ඔහුගේ මේ අමනොඥක්‍රියාව නිසා ඇතිවන අනිෂ්ට විපාකය කොතරම් භයානකද කියා සිතන්න. මේ කාරණය ධර්මයේ හැසිරීම සම්බන්ධවත් අදාළයි. පිළිවෙත් පිරීමට අප අප්‍රමාදි විය යුතුයි. හිස ගිනි ගත්තකු ඒ ගින්න නිවාලීමට මඳකුත් පමා නොවන්නක් මෙන් ඒ තරම් ඉක්මනින් පින්කර ගන්න යැයි දේශනා කළේ ජීවිතයේ අනියත බවත් ප්‍රමාද නොවීමේ අගයක් පෙන්වා දීමටයි.
පස්වැනි කාරණය නම් එකස්සද්ධාන ගමනයයි. එනම් හුදෙකලාව දුර ගමන් යෑමයි. එයින් කියන්නෙ දුර ගමන් තනිව යෑම භයානක බවයි. තනිව දුර ගමන් ගිය විට නොයෙක් දෙනාගේ අතවරවලට භාජන වෙනවා. අතුරු අන්තරා, සොර සතුරු කරදර ආදී නොයෙක් ගැහැටට ලක්වන්න ඉඩ තිබෙනවා. එවිට තම ආරක්‍ෂාව සඳහා පිහිට වන්න කිසිවකු නැතිවෙනවා. එමනිසා තවත් කෙනකු, දෙන්නකු සමඟ යනවා නම් කිසියම් කරදරයකදී ඔවුන් තමා ආරක්‍ෂා කරගනු ඇති.
සයවැනි අනර්ථ කර කරුණ නම් පරදාර සේවනයයි. පරදාර කියන්නේ අනුන්ගේ භාර්යාව යනුයි. කාම මිථ්‍යාචාරය යනු අනුන්ගේ බිරිඳක වෙත යෑමයි. මේ නොහොබිනා ක්‍රියාව නිසා අඬ දබර, කල කෝලාහල, ඇන කොටා ගැනීම් පමණක් නොව ජීවිත හානි ද කොතෙකුත් සිදු වනවා. ‘කාමේසුකි. මෙථුන සමාචාරෙසු මිච්ඡා චාරො එකන්ත නින්දිතො ලාමක සමාචාරො’ යන විග්‍රහයට අනුව කාම ම්චිඡාචාර නම් ඒකාන්තයෙන්ම නින්දා කටයුතු වැරැදි, පහත් හැසිරීමයි. එනම් නොයායුතු ස්ත්‍රී පුරුෂයන් කරා යෑමයි. තිරිසනුන් අතර සදාචාරයක් නැති නිසා ඔවුන් එසේ හැසිරෙනවා. එහෙත් මනුෂ්‍යයන් අතර සදාචාරයක් තිබෙන නිසා තිරිසනුන්ට වඩා වෙනස් පැවැතුම් ඇති මිනිස් වර්ගයා ලජ්ජා භය දෙක දුසිරිත්වලින් වැළකීමේ අයෝමය පවුර සේ සලකා වැරැදි කිරීමට බියවීමෙන් හා ලජ්ජා වීමෙන් සදාචාර ධර්මය සුරැකිය යුතු යි.
බුදුදහමට අනුව, අනුන්ගේ අඹුවන් කරා යෑම පමණක් නොවේ මේ පහත් ක්‍රියාවට අයත් වන්නේ, කවරකුගේ හෝ ආරක්‍ෂාව යටතේ සිටින විවාහක හෝ අවිවාහක කවර ස්ත්‍රියක හෝ කරා ගොස් දුරාචාරයෙ යෙදෙන්නේ නම් එය කාම මිථ්‍යාචාරයයි. මේ ගණයට අයත්වන ස්ත්‍රීන් විසි එක් දෙනකු පිළිබඳව මාතු රක්ඛිතා, පිතුරක්‍ඛිතා, භාතු රක්‍ඛිතා, භගිනි රක්ඛිතා ආදී වශයෙන් අට්ඨකථාවල සඳහන් වේ.
මවුපිය පදවි දෙක මිනිස් සමාජයේ තිබෙන උත්තරීතර පදවි දෙකකි. බෝසත්වරුන් පවා ලොවට බිහි කරන්නේ මවුපිය දෙදෙනායි. ඔවුන් දුරාචාරයේ යෙදෙන්නන් නම් ඒ ගැන දන්නා සමාජය ඔවුන් පිළිකුල් කරනවා. ඔවුන්ට දාව උපන් දරුවන් කවර තත්ත්වයකට පත් වුවත් ඔවුනුත් මහජනයාගේ නින්දාවට, අපහාසයට අනිවාර්යයෙන්ම ඉලක්ක වනවා.
බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුතව මිනිස් ලොව ඉපදීමට පස් මහ බැලුම් බලද්දී විශේෂයෙන් මවත් පියාත් පිළිබඳ සැලකිලිමත් වුණා.
මේ ආදී වශයෙන් සලකන විට, පරදාර සේවනය ඉතාම පහත් නින්දිත ක්‍රියාවකි; අසම්මත හා ග්‍රාම්‍ය ක්‍රියාවකි. පවුල් ජීවිතය අවුල් කරන්නකි. දරුවන්ගේ ආරක්‍ෂාව නැති කරන්නකි. රෝගාබාධ කැඳවන්නකි. ධනය විනාශ කරන්නකි. පවුලේ අය අතර පමණක් නොවෙයි අසල්වැසියන් අතර පවා කල කෝලාහල ඇති කරන්නකි. මත්ද්‍රව්‍යවලට පොළඹවන්නකි. සමාජය දූෂණය කරන්නකි. ආත්ම ගෞරවය නැති කරන්නකි. සමාජයේ පිළිකුළට පුද්ගලයා භාජන කරන්නකි.
මේ ආදී අපමණ ආදිනවයන්ට මූල කාරණය වන පරදාර සේවනය ශිෂ්ට සම්පන්න මිනිසුන් අතර අතිශය පිළිකුල් කටයුත්තක්. එහෙයින් මවුපිය පාරිශුද්ධතාව ආරක්‍ෂා කරන, පතිව්‍රතාව සහ පතිනිව්‍රතාව සුරකින, බෞද්ධ මවක හා පියකු වන්නටත් ඔබ නිසා මෙලොව එළිය දකින දරුවන්ට සෙස්සන්ගේ නින්දා අපහාසවලට ඉත්තන් නොවී නම්බුකාර ජීවිත ගත කරන්නටත් පසුබිම සකස් කරදීම ඔබගේ පරම යුතුකමක් බව සිතන්න.
එසේම ඉහත කී අනර්ථ කර වැරැදිවලින් වැළැකුණු සදාචාර ගුණ වලින් සමන්විත මිනිසුන් වශයෙන් ඔබ ජීවත් වන සුළු කාලය අර්ථවත් කරන්නට උත්සාහ කරන්නේ නම් ඔබ පිරිසුදු බෞද්ධ ජීවිතයක් සිතට එකඟව ගත කරන්නකු වේ.
දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර
ශ්‍රී සුමනජෝති නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා දින
බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment