Labels

Monday, November 9, 2015

සිත දමනය කරගත් සේක


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“තයො මෙ භික්ඛවෙ මදා, කතමෙ තයො? යොබ්බන මදො, ආරොග්‍ය මදො, ජීවිත මදො, යොබ්බන මද මත්තොවා, ආරොග්‍ය මද මත්තො වා ජීවිත මද මත්තො වා භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො කායෙන, වාචාය. මනසා දුච්චරිතං චරිත්වා කායස්ස හෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති.”


පින්වත්නි, දවසක් බුදුහාමුදුරුවෝ වදාළ මහණෙනි, මද තුනෙකි. කවරේද? තරුණ මදය, ආරෝග්‍යමදය සහ ජීවිත මදය, යන තුනයි මේ ත්‍රිවිධ මදයෙන් මත්වූ මෝඩ පෘථජ්ජනයා කයින්, වචනයෙන් සිතින් දුසිරිත් කරල මරණින් මතු නපුරු උපතක් ඇති නිරයෙහි උපදින බවයි දැක්වෙන්නේ.
මහණෙනි, මම ගිහි කල සිවුමැලියි ( දුක් නැත්තෙක්මි) ඉතාම සිවු මැලියි. අතිශයින්ම සිවු මැලියි. මෙසේ තමන් වහන්සේ ගිහි අවධියෙහි නිදුක්ව නිරෝගීව විසූ බව ප්‍රකාශ කොට තවදුරටත් ඒ බව තහවුරු කරමින් මෙසේද වදාළ, මහණෙනි, මාගේ පියාගේ නිවසෙහි මා සඳහාම පොකුණු තුනක් තනවා තිබුණ. ඉන් එක පොකුණක නිල්මහනෙල් පිපෙනව. එකෙක සුදු නෙළුම් පිපෙනව. එකෙක රතු නෙළුම් පිපෙනව. මේ සූත්‍රයෙහි බුදුරදුන් විස්තර කරන්නේ තමන් සිදුහත් කුමරු වශයෙන් ගිහිගෙයි විසූ 29 වසර තුළ ගත කළ ජීවන තොරුතුයි. එහෙත් පින්වත මේ සූත්‍රයෙන් කියවෙන සැප සම්පත්වලින් දශමයක් තරම් වත් සැප නොවිඳින අප ඒ සුළු සැප සම්පත් අත්හරින්න නොහැකිව විඳින දුක් හිරිහැර කොතරම්ද? කියල හිතන්න. තමන් වින්ද අපමණ සැප සම්පත් උදෑසන ඉවත දමන කෙල පිඬක් තරම්වත් නොසිතූ සිදුහත් කුමරු ගිහිගෙය අත්හැර වන ගතව පැවිදි වූ හැටි මේ සුත්‍රයෙන් හෙළි කරනවා.

දැන් අපි බලමු මේ සූත්‍රයෙහි සදහන් වන පරිදි සිදුහත් කුමරු තම ජෝතිමත් ගෘහ ජීවිතය ගත කළේ කෙසේද? කියල. මෙහිදී බුදුන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරනව තමන් ගිහි කල සියුමැලි දිවිය ගත කළ හැටි. මෙහි සුකුමාල හෙවත් සිවුමැලි යයි කීයේ නිදුක් , අතිශයින්ම නිදුක්, ජීවිතයක් ගත කළ බවයි. උන්වහන්සේට ගිහි කල කිසිම දුකක් ඇති වුණේ නැහැ. කිසිම රෝගයක් වැළඳුනේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ අප්‍රමාණ පින්කරපු උතුමෙකු බව සිතන්න. දුකට පත්වෙන්නෙ, ලෙඩ රෝග වැළඳෙන්නෙ බොහෝ විට පව්කාරයන්ටයි. අදත් නිරෝගිවූ නිදුක් වූ පුද්ගලයෝ කොතෙකුත් සිටින බව සිතන්න. උන්වහන්සේ තමා නිදුක් වූ බව ප්‍රකාශ කළේ සුකුමාල, පරම සුකුමාල අච්චන්න සුකුමාල කියන ඉතාම අර්ථවත් වචනවලින්.
තමන් වින්ද ගිහිසැප විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව මහණෙනි, මම කවරදාකවත් සියුම් නොවූ සඳුන් නොදැරීමි. මාගේ තලප්පාද සියුම්ය. (මට සිළිටියි) පොරෝනාද සියුම්ය. හැට්ට (කබාය) සියුම්ය. උතුරු සළුවද සියුම්ය. ශීත. උෂ්ණ, රජස්, තෘණ පිනි ආදියෙන් මා ආරක්ෂා කිරීමට රෑ දාවල් දෙකේම මාගේ හිසට සේසත් දැරූහ. මහණෙනි, මා සඳහා ඍතු තුනට රම්‍ය, සුරම්‍ය ශුභ කියල ප්‍රාසාද තුනක් තනා තිබුණ. මහණෙනි, මට සොළොස්වන වියේදී විසීමට තැනු මෙම ප්‍රසාද හරියටම දෙව්ලොව සුධර්මා දේව සභාව වැනියි. හේමන්ත ඍතුවට විසීමට තනනලද ප්‍රාසාදය නව මහල්විය. මහල්වල උෂ්ණත්වය ආරක්ෂා කිරීම සඳහා මේ ප්‍රාසාදයෙහි මහල් එකිනෙකට මිටි මිටි වෙන්නයි හදල තිබුණෙ. මෙහි දොර ජනෙල් මනාව වැසෙන සේ සිදුරු නැතිව ඉදිකර තිබුණ. ඒ ඒ තැන්වල අඳින ලද සිතුවම් දිලිසෙන ගිනි ගොඩවලයි ඇඳ තිබුණෙ. බුමුතුරුණු , තිර වියන්, හඳනා පොරෝනා අග හිස්වෙළුම් ලොම්වළින් වියන ලද්දේ විය. සුළඟ ඇතුළට ඒමට හැකිවනසේ දාවල විවෘත වත් රාත්‍රි වසාත් තිබුණි.

ගී‍්‍රෂ්ම ඍතුව සඳහා ඉදිකළ පහය පස් මහල් විය. සිහිල් කිරීම, සඳහා මහල් එකිනෙක උස්වන සේත් ඉඩකඩ තිබෙන සේත් තනා තිබුණි. දොරවල්, ජනෙල් තදින් නොවැසෙන සේ විවර සහිතව දැල් සවිකොට තිබුණි. සිතුවම් උපුල්, සුදුනෙළුම් , රතු නෙළුම් වලින් සරසා තිබුණි. බුමුතුරුණු , තිර, වියන් පොරෝනා හිස්වෙළුම් දුකුල මය( සියුම් වස්ත්‍රමය) විය. ජනෙල්, අළුත් සැළි තබා වතුර පුරවා නිල් මානෙල් ආදියෙන් සරසා තිබුණි. ඒ ඒ තැන්වල වැසි වසින්නාක්මෙන් දිය දහරා නික්මෙන ජලයන්ත්‍ර සවිකොට තිබුණි. පහය ඇතුළත මඩ පිරවූ ඔරු තබා පස්වණක් පියුම් රෝපණය කරල තිබුණ.

පහය මතුයෙහි වියළ මී සම් බැඳල යන්ත්‍රයක් කරකවා (යන්ත්‍රයක ආධාරයෙන් ) වහළ මතට ගල් ඔසවා තබල එහි විසුරුවීය. එම ගල් පෙරළෙන ශබ්දය අහස් ගිගුරමක් මෙන් ඝෝෂාව පැතිරිණි. මෙහි දොර ජනෙල් දාවලට වසා රාත්‍රි කාලයෙහි ඇර තිබුණි.

වර්ෂා ඍතුවෙහි ප්‍රාසාදය හත් මහල් විය. එහි මහල් වලට සීත හා උෂ්ණ යන ඍතු ගුණ දෙකම ලැබෙන සේ ඒවා වඩාත් නූස්වනසේත්, වඩාත් මිටි නොවන සේත් තනා තිබුණි. සමහර තැනක දොර ජනෙල් තදින් වැසෙන සේ ද සමහර දොර ජනෙල් විවර කොටද තනා තිබුණි. එහි සමහර සිතුවම් දිලිසෙන ගිනිගොඩවල් සේද සමහර තැනෙක විල්සේද තනා තිබුණි. බුමුතුරුණූ ලොම්වලින් දුහුල්වලින් දෙවර්ගයෙන් ම මිශ්‍ර වස්ත්‍රවලින් තනා තිබුණි. සමහර දොරටු සහ ජනෙල් රාති‍්‍ර විවෘතවත් දවල් වසාත් තිබුණ. සමහර ඒවා දවාලේ වසාත් රාත්‍රි විවෘතවත් තිබුණි. ප්‍රාසාද තුනේම උසින් එක සමාන මහල්වල විවිධත්ව තිබුණි. මෙසේ නිවාස තනවා නිමකළ සුද්ධෝදන රජතුමා “මාගේ පුතා දැන් වැඩිවිය පත්වෙලා. ඔහුගේ රාජ්‍ය ශී‍්‍ර සම්පත් බලන්න ඕන. සේසත් නගන්න. (ඔටුන්න පළඳවන්න) ඕන කියලා හිතල මාගේ පුතා දැන් තරුණ වයසට පත්වෙලා. ඔහු රාජ්‍යයෙහි පිහිටුවන්න ඕන. ඒ නිසා ඔබ හැමෝම ඔබේ නිවෙස්වල සිටින වැඩිවිය පත් දූවරු ඉන්නව නම් ඒ අය මාගේ ගෙදරට එවන්න කියල සෙසු ශාක්‍ය රජවරුන්ට හසුන් පත් යැව්ව.

මේ පණිවුඩය ලැබුණ ශාක්‍ය රජවරු කීව කුමාරයා නම් හරිම දැකුම්කළුයි. එසේම ඉතාම රූප සම්පන්නයි. එහෙත් කිසි ශිල්පයක් දන්නේ නැහැ. ඒ නිසා අඹුවන් පෝෂණය කරන්න නොහැකියි. අපේ දූවරුන් එවන්නෙ නැහැ කියල රජවරු කියල යැව්ව. සුදොවුන් රජතුමා එම පුවත අහල පුතා ළඟට ගොස් මේ පුවත කීව. එවිට සිදුහත් කුමරු පියාගෙන් කවර ශිල්පයක්ද මා පෙන්වන්න ඕන කියල අහල තියනව.
දාහක් දෙනෙකු විසින් එසවිය යුතු දුන්නක් එසවීමට මා අදහස් කරනව. එසේ කීවාම රජතුමා එ බඳු දුන්නත් ගෙන්නල දුන්න. බෝසතාණන් දුන්න රැගෙන ආසනයෙහි වාඩිවී හිඳ ගෙනම දුන්නේ ලණුව පයේ ඇඟිල්ලෙහි වෙලා අදිමින් පයේ ඇගිල්ලෙන්ම දුන්න ඔසවා වමතින් දුනු දණ්ඩ අල්ලාගෙන දකුණතින් ඇද ලණුව තැලීය. එවිට මුළු නුවරම උඩට නැඟුනාක් මෙන් ගිගුම් දුනි. මේ කවර ශබ්දයක් දැයි කෙනෙක් ඇසූවිට එය අහස් ගර්ජනාවක් යයි සෙස්සෝ කීහ. එවිට වෙනත් අයෙක් කීව නුඹලා දන්නේ නැහැ. අහස ගොරවනව නොවෙයි. අංගීරස කුමාරයාගේ සහස්සත්ථා (දහසකගේ ශක්තිය ඇති) දුන්න ඔසවල දුණු ලණුව තලනවිට දුණූ ලණුව හැපීමෙන් හටගත් ශබ්දය යයි කීය. ඒක අහපු ගමන්ම ශාක්‍යයෝ එම පමණකින්ම සතුටු සිත් ඇත්තෝ වූහ.බෝධි සත්වයෝ තවත් මා කළ යුත්තේ මොනවා දැයි අසා තවත් ශිල්ප රාශියක් පෙන්වා තවද ලෝකයේ තිබෙන සියලු ශිල්ප දවස පුරාම දැක්වූහ. මෙයින් සතුටු වු ශාක්‍ය රජවරු තම තමන්ගේ දූවරුන් සරසල බෝසත් කුමාරයාගේ මාලිගයට යැවූහ. මේ පිරිස හතලිස් දාහක් (නාට්‍යංගනාවන් වශයෙන්) වූ බව අට්ඨ කථාව කියයි.

පින්වත, බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාර කාලයෙහි නිරෝගිව සිටි හැටිත් තමා සඳහා ඒ ඒ ඍතුවලට යෝග්‍ය වනසේ පාසාද තුනක් සාදවා තිබුණු බවත් එතුමා ඇන්ද, පෙරවුව සළු පිළි පිළිබඳවත් දේශනා කොට ඍතු තුනට යෝග්‍ය සේ ඉදිකරනලද ප්‍රාසාදවල විසූ ආකාරයත් විස්තර කරමින් වදාළ.
අනතුරුව බුදුරදුන් දේශනා කරනව මහණෙනි” මෙබඳු සැප සම්පත් නමැති ඍද්ධියෙන් සහ සියුමැලි කමින් ජීවත් වන මට මෙබඳු සිතක් පහළ වුණ. නූගත් පෘථග්ජනයා ජරාව හෙවත් වයස් ගතවීම කාටත් පොදු ස්වභාව ලක්ෂණයක් බව දැන දැනත් ජරාව ඉක්මවවූවකු (රහත් වූවකු) නොවන බවක් දැන දැනත් ජරාවට පත්වූ අනෙක් කෙනකු දැකල අනේ මේ මහල්ලා නිසා ඇති කරදර කියල දුක්වෙනවා. එසේම ලජ්ජා වෙනව. පිළිකුල් කරනව. එසේම මමද ජරාවට පත්වෙන්නෙක්මි. මම ජරාවෙන් මිදුන කෙනෙක් නොවෙමි. එහෙත් මම ජරාවට පත්වූවකු දැකල පෙළෙනවා. ලජ්ජිත වෙනව. පිළිකුල් කරනව. එසේ කිරීම මාවැනි අයෙකුට සුදුසු නොවෙයි. සිතා බලනවිට මාගේ තරුණකම නිසා ඇති වූ මානමදය හෙවත් තරුණ මදය සම්පූර්ණයෙන් ප්‍රහීණ වුණා. නැවතත් බුදුරජාණන් වහන්සේ වදාරනව අනුවණ පෘථජ්ජනය ව්‍යාධිය (රෝගීවීම) ස්වභාව කොට සිටිමින් රෝගියකු දැකල පෙළෙනව. ලජ්ජාවෙනව. පිළිකුල් කරනවා.

නමුත් මම කල්පනා කළා මමත් රෝගී වන්නෙකි. එහෙම සිටින මා රෝගි වූ වෙනත් කෙනෙකු දැකල පෙළීම,ලජ්ජාවීම පිළිකුල් කිරීම මා වැනි අයෙකුට සුදුසු නැහැ. මහණෙනි, මෙසේ නුවණින් සලකාබලනවිට මාගේ නිරෝගිකම නිසා යම් මදයක් (මත්වීමක්) තිබුණ නම් මානය නිසා ඇතිව තිබුණ මාන මදය හෙවත් ආරෝග්‍යය මදය සම්පූර්ණයෙන් පහව ගියා. එසේම මහණෙනි, මරණය ස්වභාව කොට ඇති මා මරණයට පත්වූ අනෙක් කෙනෙකු දැකල පෙළෙනව නම් ලජ්ජා වෙනවනම් පිළිකුල් කරනව නම් (මා හිතුව) එය මට සුදුසු නොවෙයි. මහණෙනි, මෙසේ නුවණින් සලකා බලනවිට මට මාගේ ජීවිතය පිළිබඳ (බොහෝ කල් ජීවත්වීම පිළිබඳව) කිසියම් (මානය නිසා ඇතිවූ) මදයක් වී නම් එය සම්පූර්ණයෙන්ම පහවුණා. (මෙහි මේ මද තුන සිදුහත් කුමාර කාලයෙහිම ප්‍රහීණවයියයි කියා තිබි මෙන් ඒ මද සම්පූර්ණයෙන් ප්‍රහීණ වීයයි . යමකුට සිතන්න පුළුවනි. නමුත් එසේ නොවේ. මේවා සම්පූර්ණයෙන් ප්‍රහීණ වූයේ අර්හත්වයට පත් වූ පසුයි. එමනිසා මෙහි කීයේ මේ මද පිළිබඳව නුවණින් නැවත නැවත සිතා බැලීමේදී ප්‍රහීණ වූ බවත් සතරපෙර නිමිති දැකීමේදී බෝසතාණන්ට ජරා රුවක් දෙවියො පෙන්නුව. ඒවත් එදා සිට රහත් වන තුරුම මේ කී මද කිසිවක් නූපන්නේ යැයි අටුවාව තවදුරටත් කියයි.

තමන් ජරාවට පත්වන්නේ නැහැ කියල අනුවණයා තුළ මානයක් උපදින්න පුළුවනි. එසේම රෝගාබාධ නොවැළඳුණූ ඇතැම් පුද්ගලයන් අනුවණ කම නිසා සිතන්න පුළුවනි. මා නම් කිසිකලෙක රෝගි වන්නේ නැහැ කියල. එහෙම හිතල යමෙකු රෝගියකු දැකල පිළිකුල් කරයිද? එසේම ආරෝග්‍ය මදයෙන් මත් වූ අනුවණයකු මානයෙන් මත්වෙලා තිදොරින් පව් කරනව. එසේම දීර්ඝායුෂ විඳින අනුවණ පුද්ගලයා මම දීර්ඝායුෂ විඳලමයි මැරන්නෙ. කියල හිතල ජීවිත මදයෙන් මත්වෙල මානයෙන් මරණට පත් වූවකු දැකල පිළිකුල් උපදවනව. එසේම තිදොරින් පව්කම් කරනව. මේ විදියට මේ මද නිසා පව්කම් කරල මරණින් පසු නරකයෙහි උපදිනව.

බුදුන් වහන්සේ දේශනා කරනව නූගත් එනම් ධර්මය නොදන්නා කෙලෙස්වලින් භරිත පුද්ගලයා පෙර පින් මහිමයෙන්,ජරා, ව්‍යාධි, මරණ යන ස්වභාවික ධර්මතාවන්ට බිය නැතිව මානයෙන් මත්ව කය, වචන, හිත යන තුන් දොරින් පව්කම් කරල අපාගත වෙන බව. ඒ නිසා තමන් වහන්සේ තුළ එම ජරාව ආදී ස්වභාවික ලක්ෂණ ප්‍රකට නූනත් තමන් වහන්සේ ඒවායින් නොමිදුන කෙනෙකු බව සිතා දුසිරිතින් වැළකී මාන්නය. යටපත් කරගෙන ගිහිගෙයි විසිනව වසරක් ගිහි සැප උපරිම වශයෙන් විඳිමින් වාසය කළ බව.
තව දුරටත් මේ ගැන කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ අනතුරුව මේ දේශනාව සම්පිණ්ඩනය කොට ගාථා පහක් වදාළහ. 







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ඔක්තෝබර් 27 වන අඟහරුවාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment