ගෘහපතිය, මේ ඉෂ්ට, කාන්ත, මනාප, ලෝකයෙහි ලැබීමට අමාරු මේ කරුණු හතර ලැබීමටනම් අනුගමනය කළ යුතු ධර්ම කරුණු හතරක් තියෙනව. ඒ හතර නම් ශ්‍රද්ධා සම්පත්තිය,ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තිය’ යි යන කරුණු හතරයි
‘චත්තාරො මෙ ගහපති, ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කත මෙ චත්තා රො භොගා මෙ උප්පජ්ජන්තු, භොගෙ ලද්ධා සහධම්මෙන යසො මං අබ්ගුග්ගච්ඡතු, සහ ඤාතිහි, සහ උපප්ක්‍ඛායෙහි, භොගේ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපප්ඣයෙහි චිරං ජිවාම් දීඝම ද්ධානුං පාලෙමි, භොගෙ ලද්ධා, සහධම්මෙන යසං ලද්ධා, සහඤාතිහි, සහ උපප්ක්‍ඛයෙහි චීරං ජීවිත්වා දීඝද්ධායුං පාලෙත්වා කායස්සභෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජාමි.’
බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩසිටි දිනක උන්වහන්සේ දකින්න ගිය අනේපිඬු සිටුතුමාට මේ සූත්‍රය දේශනා කළේ, උන්වහන්සේ සිටුතුමාට වදාරනව, මේ ලෝකයෙහි සිතට පි‍්‍රය උපදවන, කැමැති වන සිත් අලවන, ලැබීමට දුෂ්කර කරුණු හතරක් තියෙනවා. ඒවා නම්, මට භෝග සම්පත් ධාර්මිකව උපදීවා, ධාර්මිකව හරි හම්බ කරගත් භෝග සම්පත් ද මාගේ නෑයන් සහ මා හඳුනන මා ආශ්‍රය කරන අය ඇතුළුව පිරිවර සම්පත්ද වැඩිවේවා. ඒ දැහැමින් ලැබූ භෝග සම්පත් සහ ඤාති මිත්‍රයන් සහිත පිරිවර සමඟ චිරාත් කාලයක් ජීවත් වෙමින් එසේම දැහැමින් ලැබූ භෝග සම්පත් ද ඇතිව, ඤාති මිත්‍රාදී පිරිවර සහිතව, දීර්ඝායුෂ ද ලබා බොහෝ කල් ජීවත් වී මරණින් පසු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදිම්වා යන පැතුම් හතර ඉටුකර ගැනීම ඉතාම දුර්ලභ කරුණුයි. එහෙත් ධාර්මික ගෘහපතියකු මේ ධර්ම හතර ලැබීමට බලාපොරොත්තුවන බව වදාළ බුදුරජාණන් වහන්සේ එය ඉතාම දුෂ්කර බව පෙන්නා දෙමින් මෙසේ ද වදාළ. ගෘහපතිය, මේ ඉෂ්ට, කාන්ත, මනාප, ලෝකයෙහි ලැබීමට අමාරු මේ කරුණු හතර ලැබීමටනම් අනුගමනය කළ යුතු ධර්ම කරුණු හතරක් තියෙනව. ඒ හතර නම් ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තියයි යන කරුණු හතරයි
අනතුරුව කතමා ච ගහපති සද්ධා සම්පදා යනුවෙන් විචාළ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා සම්පත්තිය විස්තර කරමින් මෙසේ වදාළහ. ගෘහපතිය, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතයි. තථාගතයන් වහන්සේ කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සිවුපස ලැබීමට සුදුසු හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද නික්ලේශී හෙයින්ද අර්හත්වන සේක. උන්වහන්සේ අභිඤ්ඤෙය්‍යවූ හෙවත් දතයුතු චතුරාර්ය සත්‍ය ධර්මයන් තමාවිසින්ම අවබෝධ කළසේක. පරිඤ්ඤෙය වූ දුක්ඛ සත්‍යය හාත්පසින්ම අවබෝධ කළ සේක. තෘෂ්ණාව නමැති සමුදය (සත්‍යය) ප්‍රහාණ කළසේක. නිරෝධ සත්‍යය හෙවත් නිර්වාණ සත්‍යය අවබෝධ කළසේක. භාවිත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩූසේක. එහෙයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධවන සේක. උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති, දිව්‍යචක්‍ෂු, ආශ්‍රවක්‍ෂ, විදර්ශනා, මනෝමය, සෘද්ධි, ඉද්ධවිධ, දිබ්බසෝත, චුතපපාත යන අෂ්ට විද්‍යාඥාන හා සීල, ඉන්ද්‍රිය, භොජනමාත්‍රඥතා, ජාගරියානුයොග, ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, බාහුසච්ච, වීරිය, සති, ප්‍රඥා රූපාවචර ධ්‍යාන 4, යන චරණ ධර්ම වලින් යුක්ත වන සේක. උන්වහන්සේ නිවන් මඟට ගිය බැවින්ද නිර්වාණය නමැති සුන්දර ස්ථානයට ගිය බැවින්ද ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ කළ ක්ලේශයන් නැවත නූපදින බැවින් ද ශාස්වත උච්ඡේද වශයෙන් හා කාමසුඛල්ලික, අත්තකිලමථානු යන අන්තයන්ට නොගිය හෙයින් ද අර්ථවත් සත්‍ය වූ පි‍්‍රය මනාප වචන කතාකරන බැවින්ද අසත්‍ය අපි‍්‍රය අමනාප හිස් වචන කතා නොකරන බැවින් ද තථාගත (යහපත් ගමන් ගිය හා යහපත් වචන කතාකරන බැවින්ද) වන සේක. උන්වහන්සේ පඤ්චස්කන්ධය නමැති ලෝකය මනාව අවබෝධ කරගත්සේක. එනම් බඹයක් පමණ මේ (සිත සහිත) පඤ්චස්කන්ධය පිළිබඳවත් එහි හටගැනීමත් එහි නිරුද්ධිය පිළිබඳවත් එය නිරුද්ධ කිරීමට අනුගමනය කළයුතු ප්‍රතිපදාව පිළිබඳවත් උන්වහන්සේ අවබෝධ කරන ලද හෙයින් ලෝකවිදූ වූ සේක. උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම, නාග, හත්ථි, යක්‍ෂ, මනුෂ්‍ය ආදී සත්වයන් ශීලයෙහි පිහිටුවා දමනය කළ හෙයින් ද ධ්‍යාන, මාර්ගලාභීන් ඉහළ ඉහළ ධ්‍යාන මාර්ග ඵලාදියෙහි ද පිහිටුවමින් දමනය කළ බැවින් ද නොදැමුණු අය දමනය කරන්නන් අතර ශ්‍රේෂ්ඨ දමිතයාණන් වූ බැවින් පුරිස දම්ම සාරථී වූ සේක. උන්වහන්සේ පුද්ගලයාට මෙලොවින් වන අර්ථය, පරලොවින් අර්ථය හා නිවන් දැකීමෙන් වන අර්ථය යන ත්‍රිවිධ අර්ථය සඳහා දෙව් මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෘ වනසේක. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින්ම අවබෝධ කළ බැවින් (බෝධිමූලයේදීම සර්වඥතාඥානය ලැබීමත් සමඟ ලැබුණ නිසා) බුද්ධ නම් වූ සේක. උන්වහන්සේ රාග ද්වේශ මොහාදී ක්ලේශයන් බිඳ දැමූ හෙයින්ද සියලු ආශ්‍රවයන් නැති කළ හෙයින් ද, ගරු කළයුතු ශ්‍රේෂ්ඨ, උත්තම පුද්ගලයෙක් වීම නිසා ද භාග්‍යවත් වූ හෙයින් ද භගවා නම් වනසේක.මෙසේ බුදුරදුන්ගේ නව අරහාදී ගුණ දැනගෙන උන්වහන්සේ තුළ මේ ගුණ තිබෙන නිසාම උන්වහන්සේ අන්වර්ථ වශයෙන් ම මේ ගුණවලින් සමන්විතයයි නිසැකව පිළිගැනීමෙන් උන්වහන්සේ පිළිබඳව ඇති වූ විශ්වාසය ශ්‍රද්ධා සම්පත්තියයි. ගෘහපතිය, මේ ගෘහපතියකු තුළ පිහිටිය යුතු පළමු වන ප්‍රතිලාභය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන් සේක.
“කතමා ච ගහපති සීල සම්පදා?” යනුවෙන් ගෘහපතිය සීලසම්පත්තිය යනු කුමක්ද? කියා ප්‍රශ්න කොට බුදුරජාණන් වහන්සේ ම වදාරනවා ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යශ්‍රාවක වූ (උතුම් ගුණ ඇත්තා හෙවත් බෞද්ධයා යන අදහසයි මෙහි ගතයුත්තේ. නියම ආර්යයෝ නම් බුදු පසේ බුදු මහරහත් හා සෝවාන් ආදී මාර්ගඵලස්ථ උතුමෝයි.) බෞද්ධයා හෙවත් ආර්යශ්‍රාවකයා පරපණ නැසීම, නුදුන් දෑ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, මුසාවා ද නොබිණීම, කේලාම් නොකීම, පරුෂ බස් නොබිණීම, හිස් බස් නො බිණීම සහ සුරා මේරයා දී මද්‍ය පානය හා පවට හේතුවන දුසිරිත්වලින් වැළකීම ශීල සම්පත්තියයි. එම කායික වාචසික අකුශල් වලින් බෞද්ධයා වැළකුනේ නම් හේ ශීල ගුණයෙන් යුක්ත වූවෙක් වේ.
“කතමා ච ගහපති චාග සම්පදා?” ගෘහපතිය, ත්‍යාග සම්පත්තිය හෙවත් පරිත්‍යාග ගුණය නම් කිමෙක්ද?. ගෘහපතිය, මේ ලෝකයේ ආර්ය ශ්‍රාවකයා මසුරුකම සිතේ යටපත් කරගෙන වස්තුව පිළිබඳ ආශාවක් නැතිව, දීම සඳහාම සෝදාගත් දෑත් ඇතිව, අත්හැරීමෙහි ඇලුම් ඇතිව, යමක් ඉල්ලීමට සුදුසුව, ඉල්ලනදැයම දීමට නිසිව සිටියේ වේද එය ත්‍යාග සම්පදාවයි.
‘කතමා ච ගහපති පඤ්ඤා සම්පදා?’ ගෘහපතිය, ප්‍රඥා සම්ප දාව නම් කුමක්ද? ගෘහපතිය, අභිධ්‍යාව නමැති (අනුන්ගේ වස්තුව තමාට අත්කර ගැනීමට සිතීම) විෂම ලෝභයෙන් මැඩුණු සිත් ඇති පුද්ගලයා නොකළයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. නොකළයුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසින් (පිරිවර සම්පත්තියෙන්) හා සැපයෙන් පිරිහෙයි. ගෘහපතිය ව්‍යාපාදයෙන් මැඩුණු සිත් ඇත්තා නොකටයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. කටයුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසිනුත් සැපයෙනුත් පිරිහෙයි. ගෘහපතිය, ථීන මිද්ධ දෙකින් මැඩුණු පුද්ගලයා (චිත්ත චෛතසික බල අකර්මණ්‍ය බව) ද උද්ධච්ච කුක්කුච්චයෙන් (සිතේ නොසන්සුන් කමින් හා පසුතැවිල්ලෙන්) යුක්ත පුද්ගලයා ද, විචිකිච්ඡාවෙන් (බුද්ධාදි අට තැන සැකකරන) යුක්ත පුද්ගලයා ද යන මොවුහු නොකළයුතු දෑ කරයි. කළයුතු දෑ නොකරයි. එසේ නොකළ යුතු දෑ කරන කළයුතු දෑ නොකරන හේ යසසිනුත් සැපයෙනුත් පිරිහෙයි.
ගෘහපතිය, ඒ ආර්යශ්‍රාවකයා අභිධ්‍යාව නමැති විෂම ලෝභය සිතකිළිටිකරන්නක් බව ද ව්‍යාපාදය නමැති ක්‍රෝධය සිත කිළිටිකරන්නක් බවද, ථීන මිද්ධය නමැති සිතෙත් චෛතසිකව ලත් ගිලන් බව සිත කිළිටි කරන්නක් බව ද උද්ධච්ච කුක්කුච්චය හෙවත් සිතේ නොසන්සුන්කම හා කුකුස සිත කිළිටි කරන්නක් බවද විචිකිච්ඡාව නමැති සැකය සිත කිළිටි කරන්නක් බව ද දැන ඒවා ප්‍රහීණ කරයි. ගෘහපතිය, මෙසේ මේ පඤ්ච නීවරණ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහාප්‍රඥාවෙයි. පෘථුල ප්‍රඥාවෙයි. එකිනෙකෙහි අර්ථය දනියි. එහි තිබෙන ඉතා සියුම් අර්ථය පවා දකියි. ප්‍රඥා සම්පන්න වෙයි. ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදාවයි. ගෘහපතිය, ආර්ය ශ්‍රාවක ගෘහපතියා ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ කරුණු හතර ලබා ගැනීමට බලාපොරොත්තුවේද ඒවා ලබාගැනීමට තවද දහම් කරුණු හතරක් පිළිපැදිය යුතු යයි වදාළ බුදුරජාණන් වහන්සේ ඒවා මෙසේ වදාළහ. ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් යුතුව දෑතේ මහන්සියෙන් දහදිය වගුරුවා දශකුශල ධර්ම මාර්ගයට පටහැනි නොවී රැස් කරන ලද භෝග කරුණු හතරක් සඳහා පරිභෝග කළයුතුයි. ඒ හතර කවරේද?
ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන්, දෑතේ ශක්තියෙන්, දහදිය වගුරුවමින් අධර්මයෙන් තොරව ධාර්මිකව උපයන භෝගවලින් තමා සැප විඳියි. ශක්තිමත් වෙයි. මනාව සැප විඳියි. මා පියන්, අඹු දරුවන් දාස කම්කරුවන් මිතුරන්, යහළුවන්, සැපවත් කෙරෙයි. බලවත් කෙරෙයි. මනාව සැපවත් කරයි. මෙය ඔහු ලත් භෝගවලින් ගත යුතු එක් ප්‍රයෝජනයකි. (දියයුතු තැනට) ගියේ වෙයි. එම භෝග යායුතු තැනට තම භෝග හේතු සහිතව පරිභෝග කළේ වෙයි.
අප්‍රේල් 22 වන දා පත්‍රය
මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි
එසේම ගෘහපතියා,ආර්යශ්‍රාවකයා විසින් උට්ඨාන වීර්යයෙන්, බාහු ශක්තියෙන්, දහදිය හෙළමින් ධාර්මිකව ධර්මානුකූලව ලබන ලද භෝග ගින්නෙන් හෝ දියෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමා නොකැමැතියන්ට දීමෙන් හෝ උපයන ලද භෝගයන්ට කිසියම් විපතක් වේද එබඳු විපතකදී එම ධනය උපයෝග කරගෙන හෙවත් වැය කොට එම විපතෙන් මිදිය හැකිය. ආත්මය (ජීවිතය) ආරක්‍ෂා කෙරෙයි. ඔහුගේ ධනය යායුතු දෙවන තැනට ගියේ වෙයි. අවශ්‍ය දෙයට වැයවූයේ වෙයි. කරුණු සහිතව පරිභෝග කළේ වෙයි.
එසේම ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන් දහදිය හෙළා අදැහැමින් තොරව ධාර්මිකව උපයා ගත් භෝගවලින් ඤාතිබලි (නෑයන්ට දීම) අතිථි බලි ( ආගන්තුකයන්ටදීම) පුබ්බපේත බලි (මළගිය නෑයන් වෙනුවෙන් දීම) රාජ බලි (රජුන්ට අයබදු වශයෙන් දීම) දේවතා බලි ( දෙවියන් උදෙසා දීම) යන පස් වැදෑරුම් බලි හෙවත් දාන ( තමන් විසින් ඒ ඒ අවශ්‍ය අයට දීම ) වශයෙන් දීම හෙවත් පිදීම ඔහුගේ භෝග යා යුතු තෙවන තැනට ගියේ (දුන්නේ) වේ.
එසේම ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් බාහු බලයෙන් දහදිය වගුරා ධර්මානුකූලව ධාර්මික ක්‍රියාවලින් උපයන ලද භෝග මදයෙන් (මත්වීමෙන්) හා ප්‍රමාදයෙන් ( දුසිරිත්වල යෙදීමෙන්) තොරව වාසය කරන හා අධි වාසනා ක්‍ෂාන්තියෙන් හා සුසිල්වත් බවින් යුක්ත එකම ආත්මය තමා විසින්ම ඉන්ද්‍රිය දමනයෙන් දමනය කරන, එකම ආත්මයෙහි කෙලෙස් සමනය කිරීමෙන් සමනය කරන, එකම ආත්මය කෙලෙස් පිරිනිවීමෙන් නිවන, කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද මරණින් පසු උඩ උඩ ලෝකවල උපදින මහණ බමුණෝ වෙත්ද ස්වර්ගයෙහි ඉපදීමට හීන වූ සුඛ විපාක ඇති, දිව්‍ය වර්ණාදී දශ වැදෑරුම් විශේෂ ගුණයන්ගේ උත්පත්තියට හේතු වන දක්‍ෂිණාව (දානය ) පිහිටුවයි හෙවත් දන්දෙයි. මෙය ඔහුගේ භෝග දියයුතු සතර වන ස්ථානයට දී තම දියයුතු තැනට දීමයි. අවශ්‍ය පරිදිම ධනය වැය වූයේ වෙයි. ගෘහපතිය මෙසේ ඒ ආර්යශ්‍රාවකයා උත්සාහයෙන් දෑතේ ශක්තියෙන් දහදිය හෙළමින් දැහැමි වූ දැහැමින් උපයන ලද භෝගයෙන් ගෘහපතියකු විසින් කළයුතු ක්‍රියා (කර්ම) කළේවේ.
ගෘහපතිය, මේ සිව්වැදෑරුම් කළයුතු යුතුකම්වලින් බැහැරව වෙනත් නොකටයුතු ක්‍රියා වෙනුවෙන් උපයාගත් භෝග විනාශයට පත්වේද ගෘහපතිය, ඔහුගේ මේ භෝග අස්ථාන ගත වූයේ වෙයි. අප්පත්ත ගත වූයේ නොයායුතු තැනට ගියේ වේ. නුසුදුසු තැනට පරිභෝග වශයෙන් ගියේයයි කියති.
ගෘහපතිය, යම් කිසිවකු හෝ මේ භෝග සිවු වැදෑරුම් ප්‍රාප්තකර්මයන් සඳහාම තම භෝග ක්‍ෂය වේද (අඩුවේ ද) එසේ වූයේ නම් ඒ භෝග (ඨානගතා) යා යුතු තැනට ගියේ වේ. (පත්ත ගතා) යා යුතු තැනට ගියේ වේ. (ආයතන සො පරිභුත්තා) ප්‍රයෝජන ගතයුත්තන් ප්‍රයෝජන ගත්ථා යි කියනු ලබති. ඔහු භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරන ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ ප්‍රයෝජන ගන්නා ලදහ. මරණින් මතු පලදෙන මහණ බමුණන්ට දක්‍ෂිණාව දෙනලදහ. තවද පස් බලිද දෙන ලදී.
සංවර වූ බ්‍රහ්මචාරී වූ සිල්වතුන්ට උපස්ථාන කරන ලදී. ගිහිගෙයි වසන පණ්ඩිත තෙමේ යම් අර්ථයක් සඳහා භෝග කැමැති වන්නේ ද මා විසින් ඒ අර්ථය (ඵලය) ලබන ලදී. පසුතැවිලි නොවන කටයුත්තදෑ කරන ලදී.
පඤ්ච ශීල ධර්මයෙහි යෙදී සිටින හෙවත් පන්සිල් රකින ආර්ය (බෞද්ධ) ගෘහපතිය (ගිහිය) ඉහත සඳහන් දහම් සිහි කරමින් තම ජීවිතය නිවැරදිව ගත කරන්නේ නම් ඉහාත්මයෙහි දීම ඔහු අන්‍යයන්ගේ පැසසුමට ලක්වෙයි. මරණින් පසු පරලොවගොස් දෙව් ලොව දෙවියෙකුව ඉපිද දිව්‍ය සැප විඳිමින් සතුටු වෙයි කියා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. එහෙත් එම කරුණු ලබාගැනීම අතිශය දුෂ්කර යි. එම කරුණු හතරම පුද්ගලයාට ඉෂ්ටයි. සිත් බඳින සුළුයි. සිත පිනවන සුළුයි. ඉතාම දුර්ලභයි. (ලැබීමට ඉතාම අපහසුයි)
පළමුකරුණ වන භෝග සම්පත් ලැබිය යුත්තේ ධාර්මිකවයි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන කාය වාග් අකුසල්වලින් දුරුව එසේම නිවැරදි ජීවිකා වෘත්තීන්ගෙනුයි. එවිටයි සපයන දේ ධාර්මික වන්නේ. අන්න එසේ ඉපයූ භව භෝග ඇතිවේවා යන්න පළමු සැපයයි. ඉහත කී පරිදි දැහැමින් භව භෝග (රූපාදී) සම්පත්ත මාගේ දැහැමි ජීවිකා වෘත්තීන්ට අනුව ලබන ඤාතීන්, සන්දිට්ඨ සම්හත්ත (දැකීමෙන් හා ආශ්‍රයෙන්) මිත්‍රයන් ආදී පරිවාර සම්පතුන් සමගම මාගේ දියුණුව සැලසේවා. එසේම එම භෝගත්, පිරිවර සම්පතුත් ලැබ දීර්ඝායුෂ විඳිමින් කලක් ජීවත් වෙම්වා. එසේම දැහැමින් ලද භෝග සම්පතුත් ඤාතීන්, හිතවතුන් ආදී පිරිවර සම්පත් ද දීර්ඝායුෂ ද ලැබ සැපසේ ජීවත් වී මරණින් පසු දෙව් ලොව ඉපිද දෙව් සැප ලබම්වා යන පැතුම් අනුව ඒවා ලබාගෙන ජීවත් වන්න සැබෑ ආර්ය බෞද්ධයා අපේක්‍ෂා කළයුතු යයි බුදුරදුන් වදාළහ.
අනතුරුව බුදුරදුන් වදාරණව ගෘහපතිය, ඉහත සඳහන් සැප ලැබීම පහසු කරුණක් නොවෙයි. ඒවා ලබාගන්නට කැමැති පුද්ගලයා ධර්ම කරුණු හතරක් අනුගමනය කළයුතුයි. ඒවා නම්, ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන හතරයි. එම ධර්ම කරුණු හතර මෙසේ නම් වශයෙන් දැක් වූ බුදුරජාණන් වහන්සේ එකින් එක ඒවා විස්තර කරමින් මෙසේ වදාළහ. ශ්‍රද්ධා සම්පත්ති නම් අරහාදි බුදුගුණ නවය අනුව බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යයි විශ්වාසය ශ්‍රද්ධා සම්පදාවයි. එසේම ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතාදි කායික වාචසික අකුශලයන්ගෙන් හා මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර ( මත්වන දැයින්) පානයෙන් දුරුවීම ශීලසම්පදාවයි. එසේම ආර්යශ්‍රාවකයා මසුරුමළයෙන් තොරවූ සිතින් ගිහි ගෙයි වෙසෙයි. අත්හරින ලද වස්තුව කෙරෙහි ඇල්මකින් තොරව වෙසෙයි. දීමට සෝදාගත් අත් ඇතිව වෙසෙයි. දීමෙහි ඇලුම් ඇතිව වෙසෙයි. ඉල්ලීමට සුදුසුව (කවරෙක්ද තමාගෙන් යමක් ඉල්ලන්නේ කියල දීමට බලාපොරොත්තු වෙන්ම) වෙසෙයි. මෙය ත්‍යාග සම්පත්තියයි. එසේම ප්‍රඥා සම්පත්තිය නම් අභිධ්‍යා, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන චිත්තෝපක්ලේෂයන් දුරු කොට වෙසෙයි. මෙසේ චිත්තෝපලේශ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහා ප්‍රාඥයි. පෘථුල ප්‍රාඥයි. සියුම් අර්ථය පවා දක්නේ වෙයි. එවිට මොහු ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක් වේ. මෙය ප්‍රඥා සම සම්පත්තියයි. මේ සිව් වැදෑරුම් සම්පදාවෙන් යුක්ත පුද්ගලයාගේ ගිහි ජීවිතය සාර්ථක වේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි
බුද්ධ වර්ෂ 2557 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින හා බක් අව අටවක පොහෝ දිනයන්හි රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අප්‍රේල් 14 හා අප්‍රේල්
22 දිනයන්හි බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියන්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment