Labels

Friday, July 1, 2016

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය

එවං වුත්තෙ භගවා ජාණුස්සොණිං බ්‍රාහ්මණං එතදවොචං. න ඛො බ්‍රාහ්මණ එත්තාචතා හත්ථිපදොපමො විත්ථා රෙන පරිපූරො හොති. අපි ච බ්‍රාහ්මණ යථාහත්ථිපදොපමො චිත්ථාරෙන පරිපූරො හොති, තං සුණාහී සාධුකං මනසිකරොහි භාසිස්සාමි තිං. එවං හො ති ඛො ජාණුස්සොණි බ්‍රාහ්මණො භගවතො පච්චස්සොයි. භගවා එතද වොච (ම.නි. ඕපම්මවග්ග. 1. 3. 7)
පිලෝතික පිරුවැජියා හා ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතා සල්ලාපය පිළිබඳව බමුණා විසින් බුදුරදුන්ට සැලකළ විට බුදුන් වහන්සේ මෙසේ වදාළහ. ‘බමුණ’ මෙපමණකින් හත්ථිපදෝපමාව සම්පූර්ණ නොවේ. හත්ථි පදෝපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වන හැටි මැනවින් අහන්න. අසා මැනවින් මෙනෙහි කරන්න. මම කියන්නම්. පින්වතුන් වහන්ස, හොඳමයි. යනුවෙන් ජාණුස්සොණි බමුණා බුදුරඳුන්ට පිළිතුරු දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ සුළු ඇත්පා සටහන උපමා කොට විස්තර දේශනාව මෙසේ වදාළහ. ඉහත සඳහන් දේශනා පාඨයෙහි තේරුම එයයි.
මේ ධර්ම දේශනාව මිහිඳු මාහිමි එදා හෙළදිව වැසියන්ට දේශනා කළේ මිස්සක පව්වේ අඹතලා ගල මත වැඩ හිඳිමිනි. මිහිඳු මරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස පොසොන් පුර පොහෝ දවසෙ දඹදිව විදිසාවෙ සිට ලක්දිව මිස්සක පර්වතයට අහසින් වැඩිම කළේ බෞද්ධ ධර්ම දූතයන් වශයෙනි. උත්සව දිනයක් වූ එදින හෙළ දිව මහරජ වූ තිස්ස රජතුමා මිස්සක පව්ව දෙසට සේනා සමඟ විනෝදයට මුව දඩයමේ ගියේ රාජ්‍යමය චාරිත්‍රයක් වශයෙනි. එහිදී මිහිඳු මාහිමි හමු වූ තිස්ස රජතුමා උන්වහන්සේ සමඟ කතා සල්ලාපයෙන් පසු පන්සිල් ගෙන බුදුදහම ඒ අවස්ථාවේ වැළඳ ගති. රජතුමා ප්‍රමුඛ පිරිසට පළමුවෙන්ම දෙසූ ධර්ම දේශනාව වූයේ චුල්ල (චූළ) හත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරා අවබෝධ කර ගත් නිවන් මඟ පිළිබඳ පූර්ණ විස්තරයක් ඇතුළත් වේ.

අපේ බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන දවසක වෙළඹුන්, සහිත සියල්ලෙක්ම සුදු වූ රථයකින් දහවල් මද්දහන වෙලාවේ සැවැත් නුවර චාරිකාවේ ගිය ජාණුස්සෝණි බමුණා අතර මගදී පිලෝතික නම් පරිබ්‍රාජකයා හමුවුණා. බමුණා ඇසුව, මේ මහ දවාලේ කොහි සිටද එන්නේ කියල පින්වත. මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි සිටයි එන්නේ කියා පරිබ්‍රාජකයා කීව. බමුණ අහනව ගෞතමයන්ගේ ප්‍රඥාව හා ව්‍යක්ත භාවය ගැන කොහොමද ඔබ හිතන්නේ? හේ පණ්ඩිතයෙක්ද? පිලෝතික කියනව ඒ ගැන කියන්න මම කවරෙක් වෙමිද? උන්වහන්සේගේ ප්‍රඥාව, වියත් බව, පණ්ඩිත බව කියන්න දන්නේ එබඳුම බුදුවරයෙක් පමණයි. බමුණ ඔබ බොහොම ඉහළින් උන්වහන්සේ පසසනව නේද? පිලෝතික, උන්වහන්සේ පසසන්න මා කවරෙක්ද? පැසසුම් ලත් අයත් උන්වහන්සේ පසසනව. දෙවි මිනිසුන් අතර ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. බමුණ අහනව වාත්ස්‍යායන ඔබ මොනමොනු කරුණු දැකලද ඔයතරම් උන්වහන්සේ පසන්නේ?
බමුණ, නාග වනික( ඇතුන් වසන වනයක හැසිරෙන) දක්ෂ පුද්ගලයෙක් ඇතුන් වසන වනයට ඇතුළත් වූ විට ඔහුට හමුවෙනව දිග, පළල මහ ඇත් පා සටහනක්. මේ තමයි මහාම ඇතාගේ පා සටහන කියල ඔහු තීරණය කරන්නාක් මෙන්. ඤාණපද (ඤාණ සටහන්) හතරක් උන්වහන්සේගේ මම දැක්කෙමි. ඒ අනුව ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියා මම තීරණයට පැමිණයෙමි. බමුණ මම මෙහෙම කරුණක් ද දකිමි. සමහර අය ඉන්නව තමන්ගේ ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටි බිඳිමින් හැසිරෙන එබඳු වාද පවත්වා අඳුරෙහි අස්ව ලෝමයට විදීමට තරම් දක්ෂ දුනුවායන් වැනි ඥානවන්ත පඬිවරු සිටිති. ඔවුහු ගෞතමයන් වහන්සේ අසවල් ගමට, අසවල් නියම් ගමට පැමණෙනවයි කියල අහල ඒ පඬිවරු බුදුන්ගෙන් අහන්න ප්‍රශ්න මාස ගණන් තිස්සෙ හදනව. මම ගෞතමයන්ගෙන් මෙහෙම අහනව. උන්වහන්සේ මෙහෙම පිළිදේවි. යළිත් මම මෙහෙම අහනව, එසේ අහල උන්වහන්සේ හා වාදයට පෙළඹෙනව.
මෙබඳු ක්ෂත්‍රිය පඬිවරු, බ්‍රාහ්මණ පඬිවරු, ගෘහපති පඬිවරු හා අන්‍ය දෘෂ්ටික ශ්‍රමණ පඬිවරු යන සිව් පඬිවරුත් බුදුන් වහන්සේ වෙත පැමිණි විට උන්වහන්සේ පළමුව දැහැමි කතාවෙන් කරුණු දක්වල ඔවුන් ලවා ඒවා පිළිගන්න වනවා. ඒවා තහවුරු කරනව. ඒවායින් සතුටු කරවනව. ඒවා පිළිගත් ඔවුන්ට අසන්නට ප්‍රශ්නයක් නැතිව උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙනව. බමුණ, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන පඬිවරුන් මෙසේ බුදුන් සරණ යාම යන ඤාණ පද හතර දුටු මම උන්වහන්සේ සම්මාසම්බුද්ධයි, උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියා නිශ්චය කෙළෙමියි පිලෝතික කීය. මෙය ඇසූ ජාණුස්සෝණි බමුණා රියෙන් බැස උතුරු සළුව එකාංශ කරගෙන දෙව්රම් වෙහෙර දෙසට හැරී ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා යි තෙවරක් කියා කිසියම් දිනක උන්වහන්සේ හමු වී සතුටු සාමීචියේ යෙදෙන්නේ නම් මැනවැයි.
ඉක්බිති බුදුන් වහන්සේ වෙත ගිය බමුණා උන්වහන්සේ සමඟ සතුටු සාමිචී කථා කොට එකත් පසෙක හිඳ පිලෝතික පිරිවැජියා සමඟ කරන ලද කතාව කීය. එවිට බුදුන් වහන්සේ ජාණුස්සෝණි, මෙ පමණකින් පිලෝතික කී හත්ථිපදෝපමාව විස්තර විසින් සම්පූර්ණ වන්නේ නැහැ. එය සම්පූර්ණ වශයෙන් මම විස්තර කරන්නම්. හොඳමයි කියා බමුණා පිළිතුරු දුන් පසු බුදුන් වහන්සේ මෙසේ එය විස්තර දුන් සේක. බමුණා ඇත් වනයට ගිය නාගවනිකයාට පළමුව දිගින් පළලින් විශාල ඇත් පා සටහනක් දක්නට ලැබේ නම් දක්ෂ නාගවනිකයා එය මහ ඇතකුගේ යයි නිශ්චය නොකරයි. එබඳු පා ඇත. මහත් උදරයක් ඇති වාමනිකා (මිටි වූ) නම් ඇතින්නන් සිටින හෙයිනි. හේ ඉන් ඔබ්බට යනවිට දිග පළල නුගාදි ගතවීම අඩියක් හෝ සත් රියනක් උස් තැන්හි පිට ඉලූ තැන්ද දකියි. එයත් මහ ඇතාගේ පා සටහනක් යයි නිශ්චය නොකරයි. කවර හෙයින්ද? එබඳු පා තිබෙන උච්චාකාලාරීක නම් ඇතින්නියන් වර්ගයක් සිටින හෙයිනි. මෙය එබන්දියකගේ පාසටහන් විය හැකියයි සිතයි.
අනතුරුව හේ තවත් ඉදිරියට යෙයි. එසේ ඉදිරියට නාගවනයෙහි යන ඔහුට දිගින් පළලින් මහත් නුග ආදී ගස්වල හත් අට රියනක් උස් තැන පිට ඉලූ පොරවකින් කැපුවාක් වැනි දළින් ඇන්න සළකුණු දකියි. එයත් මහ ඇතකුගේ යයි නිශ්චය නොකරයි. කවර හෙයින් ද උච්චාකණේරුකා (යෂ්ටි සමාන පාද හා උස් පහත් දළ ඇති) නම් ඇතිනියෝ සිටිති. මෙය ඔවුන්ගේ විය හැකියි සිතයි. හේ තවත් ඉදිරියට යනවිට දිගින් පළලින් විශාල මහා ඇත්පා සටහනක් ද අසළ ගස්වල උසම පෙදෙස්වල පිට ඉහල හා දළින් ඇණ සිඳ දැමූ තැන් ද කඩා දැමූ අතු ද දකියි. ඒ අවට බලන නාගවනිකයා ගසක් මුල හෝ එළිමහනෙහි හැසිරෙන හෝ හුන් හෝ වැදහොත් හෝ මහ ඇතකු දකින්නට ලැබෙයි. ඒ ඇතා දැක ඒකාන්තයෙන්ම ඒ මේ මහාම ඇතා යයි නිශ්චය කරගනී. මා දුටු සියල පාසටහන් මොහුගේ යයි නිගමනය කරයි.
2016.06.27  දින පළ වූ ලිපිය
බමුණ, මෙපරිදි කවදා හෝ "අරහං" ආදී ගුණවලින් යුත් තථාගතවරයෙක් ලොව පහළවේද? ඒ බුදුහු මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවද ලෝකය විශිෂ්ට ඥානයෙන් දැන ධර්මය ප්‍රත්‍යක්ෂ කොට දෙති. මුල, මැද, අග යහපත් වූ අර්ථ, ව්‍යඤ්ජන සහිත සම්පූර්ණයෙන් පිරිසුදු ධර්මය දෙසති. ශාසන බ්‍රහ්මචරියාව දෙසති. ඒ ධර්ම අසන්නෝ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනිති. අනතුරුව ඔවුහු මෙසේ සිතති. ගිහිගෙහි විමසීම සම්බාධ (හිරිහැර) සහිතයි. එය රාගාදි කෙලෙස් වලට මාර්ගයකි. පැවිද්ද එළිමහනකි. බ්‍රහ්ම චරියාව පිරීම ගිහිව සිට පහසු නොවෙයි. ගිහිගෙයින් නික්ම පැවිදිවීම යෙහෙකි. එසේ සිතා තම සියලු වස්තුව අතහැර දා නෑ පිරිවර ඇත් හැරදා ගිහිගෙන් නික්ම පැවිදි වෙයි.
පැවිදි වූ හේ පස් පව් ආදියෙන් වැළකී ශික්ෂාපද සුරකියි. පන්සිල්, අටසිල්, දසසිල්, සුරකියි. සියලු දුසිරිත් වලින් වළකියි. හේ තුන්සිවුරෙන් හා පිණ්ඩාහාරයෙන් යැපෙයි. ලිහිණියෙක් සිටි තැනින් වෙනත් තැනට පියාඹනවිට පියාපත් දෙක පමණක් ගෙන යන්නාක් මෙන් තම පාසිවුරු පමණක් රැගෙන යයි. මෙසේ ආර්ය රහතුන්ට අයත් ශීලයෙන් ජීවත්වෙමින් සිතින් නිවැරැදි සැපය විඳියි. තවද එම මහණ ඉඳුරන් පිනවන රූපාදියෙහි නො ඇළීමෙන් ඒවා සංවර කරගෙන ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව කෙලෙසුන්ගෙන් නොවැසුණු කෙලෙසුන්ගෙන් කිළිටි නොවූ සැපය විඳියි. යාම් ඊම් ආදී ඉරියව්වලදීද ආහාර පාන ගැනීමේ දී ද හැමවිටම දැන දැනම කරයි. ආර්ය වූ ශීලයෙන් ද ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන්ද ආර්ය වූ සිහියෙන් ජනයාගෙන් තොර ආරණ්‍ය, ගස්මුල්, පර්වත, කඳුරැළි, පර්වත ගුහා, සුසාන, වනලැහැබි, එළිමහන, පිදුරුකුටි කියන සෙනසුනක වෙසෙයි. හේ විකාල භෝජනයෙන් වැළකී පලක් බැඳ කමටහන් වඩයි. අභිධ්‍යාව දුරලා අනභිධ්‍යාවෙන් (පඤ්චස්කන්ධය පිළිබඳ ආශාව දුරු කොට) ව්‍යාපාදය (හිංසාව) දුරුකොට ථීන මිද්ධය (සිතෙත් කයෙත් අලසකම) දුරුකොට රාත්‍රියෙහි ද ආලෝක සංඥාවෙන් සිහියෙන් හා යහපත් නුවණින් යුතුව සිත පිරිසුදු කරගෙන උද්ධච්ච කුක්කුච්චය (සිතේ නොසන්සුන්කම හා කුකුස) දුරුකොට සන්සුන් සිතින් වෙසෙයි. විචිකිච්ඡාව දුරුකොට (කුශල ධර්මයන් කෙසේද කෙසේද කියා පැවැති සැකය නැති ව විචිකිච්ඡා සිත පිරිසුදු කරගෙන වාසය කරයි. නුවණ දුර්වල කරන මෙම පඤ්ච නීවරයන් දුරුකොට කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව භාවනා වඩා ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. බමුණ මෙය තථාගතයන් වහන්සේගේ ඤාණ පදයකි. නුවණ නමැති ඉල ඇට ඉලූ තැනකි. නුවණ නමැති දළින් සිඳි තැනකි. බමුණ එයින් බුදුන් සම්මා සම්බුද්ධයි, ධර්මය ස්වාක්ඛාතයි. සංඝයා සුපටිපන්නයි කියා නිශ්චය නොකළ යුතුයි. බමුණ අනතුරුව ආර්ය ශ්‍රාවකයා සමාධියෙන් හටගත් පී‍්‍රතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙයද බුදුන්ගේ තථාගත පදයකි. එහෙත් ආර්යශ්‍රාවකයා බුදුහු සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. සංඝයා සුපටිපන්නයි කියා නිශ්චය නොකරයි. යළිත් ආර්යශ්‍රාවකයා උපේ්ක්ෂාවෙන්, සිහියෙන්, ප්‍රඥාවෙන් යුතුව සුඛ විහරණ ඇති තෘතියධ්‍යානයට පැමිණ වෙසෙයි. බමුණ මෙයත් තථාගත පදයකි. එහෙත් හේ මෙයින්ද බුදුන් සම්මාසම්බුද්ධයි, ධර්මය ස්වාක්ඛාතයි. සංඝයා සුපටිපන්නයි කියා නිශ්චයට නොපැමිණේ. යළිත් ආර්යශ්‍රාවකයා සොම්නස හා දොම්නස දුරලීමෙන් නිදුක් වූ නොසැපවූ උපේක්ෂාවෙන් (මැදහත් බව) හා සිහියෙන් පිරිසුදු වූ චතුර්ථධ්‍යාන ලබයි. බමුණා, මෙය ද තථාගත පදයකි. එහෙත් මෙයින්ද බුදුන් සම්මා සම්බුද්ධය, ධර්මය ස්වාක්ඛාතය. සංඝයා සුපටිපන්නය කියා ආර්ය ශ්‍රාවකයා නිශ්චයට නො පැමිණේ. යළිත් ස්ථිර නොසැලෙන සංසුන් සිතින් පෙර විසූ කඳ පිළිවෙල දක්නා වූ පුබ්බෙනිවාසානුස්සති ඤාණය ලබයි. උන්වහන්සේ පිළිබඳ පෙර පැවැති හැම දෙයක්ම දකින නුවණ බමුණ, මෙයත් තථාගත පදයකි. එහෙත් ආර්යශ්‍රාවකයා මෙයින් ද බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය ස්වාක්ඛාතය. සංඝයා සුපටිපන්නය කියා නිශ්චයට නො පැමිණේ.
බමුණ, ආර්යශ්‍රාවකයා යළිත් සත්වයන්ගේ චුතිය හා උත්පත්තිය දකින නුවණ (චුතූපපාත ඤාණය) සඳහා සිත යොමු කරයි. පව්කොට දුගතිවල උපදින හා කුශල් කොට සුගතිවල උපදින සියලු සත්ත්වයන්ගේ ගති පැවැතුම් මේ නුවණින් දකියි. බමුණ, මෙයද තථාගත පදයකි. එහෙත් ආර්යශ්‍රාවකයා එයින් බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. සංඝයා සුපටිපන්නයි කියා නිශ්චයට නො පැමිණේ. අනතුරුව ආර්යශ්‍රාවකයා කෙලෙස් රහිත නොසැලෙන සමාධිගත සිතින් ආසවක්ඛය ඤාණය පිණිස සිත නැඹුරු කරයි. උන්වහන්සේ දුක (ජාති, ජරා, මරණ ආදිය) දුක්ඛ සමුදය (තෘෂ්ණාව) දුක්ඛ නිරෝධය (නිර්වාණය) දුක්ඛ නිරෝධගාමිනී පටිපදා (ආර්ය අෂ්ටාංගික මාර්ගය) යන මාර්ග සත්‍ය හතර තත් වූ පරිදි අවබෝධ කරයි. බමුණ මෙයත් තථාගත පදයකි. මෙතෙක් ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය. උන්වහන්සේගේ සද්ධර්මය ස්වාක්ඛාතය, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය කියා නිශ්චය නොකළ නමුත් දැන් බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. සංඝයා සුපටිපන්නයි කියා නිශ්චයට පැමිණෙයි.
මෙසේ දැනගත් මෙසේ අවබෝධ කරගත් ආර්යශ්‍රාවකයාගේ සිත කාමාසව, භවාසව, අච්ජ්ජාසව යන කෙලෙසුන්ගෙන් මිදෙයි. ඒවායෙන් මිදිනැයි ඥානය පහළ වෙයි. උපත නැතිවිය. බඹසර වැස නිම විය. කළයුතු දෑ කළ බැවින් අර්හත්වය සඳහා තවත් කළයුතු කිසිවක් නැතැයි දැනගනියි. බමුණ, මෙයද තථාගත පදයකි. බමුණ ආර්යශ්‍රාවක තෙමේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයයි නිශ්චයට පැමිණුනේ වෙයි. බමුණ මෙපමණෙකින් ඇත්පිය උපමාව (හත්ථිපදොපමාව) සම්පූර්ණ වේ යයි බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙය ඇසූ ජානුස්සොණි බමුණා ස්වාමීනි, ඔබවහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලදී. ඔබවහන්සේගේ ද ඔබ වහන්සේගේ ධර්මයද ඔබවහන්සේගේ ශ්‍රාවක සංඝයා ද සරණයෙමි. භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් පිළිගන්නා සේක්වායි අයැද සිටියේ ය.

අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 19 වන ඉරිදා දින හා පොසොන් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 27 වන සඳුදා  දිනවලදි  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment