Labels

Wednesday, July 29, 2015

අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලය යි


බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව වර්ෂයකට සෘතු හෙවත් කාල පරිච්ඡේද තුනකි. එනම් හේමන්ත, ගිම්හාන, වස්සාන යන කාල තුනයි. එකල වැසි කාලය, ග්‍රීස්ම කාලය හා හිම වැටෙන කාලය අවුරුද්දේ මාස හතරෙන් හතරට මාරු විය. ඒ අනුව මහජනයා ද ඒ ඒ කාලය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන තමන්ගේ ජීවන රටාව ද කාලයට අනුකූල පරිදි සකස් කරගත්හ. හේමන්ත සමය නම් හිම වැටෙන කාලයයි. වසරේ උඳුවප්, දුරුතු, නවම්, මැදින් යන සිව් මාස හේමන්ත සෘතුවට අයත් වේ. ගිම්හාන කාලය නම් බක්, වෙසක්, පොසොන්, ඇසළ යන හාර මාසය යි. මේ කාලයෙහි උෂ්ණත්වය අධිකයි. වස්සාන කාලය නම් වර්ෂා කාලය යි. එයට නිකිණි, බිනර, වප්, ඉල් යන සිව් මස් ගැනේ. මෙයින් වස් වැසීමට බුදුන් වහන්සේ නියම කොට ඇත්තේ වස්සාන සෘතුවේ ය. සෘතු බෙදීම ඉහත සඳහන් වූ පරිදි වුවක් වස් විසීමට අනුදැන වදාරන ලද්දේ ගිම්හාන සෘතුවේ පුරපසළොස්වක පෝදා පොහොය කොට පෑලවිය දවසේය. බොහෝවිට වර්තමාන මාස ක්‍රමය අනුව පුර පෝය මාසය අගදී පැමිණෙන අතර, ඒ කාලේ පැවැති මාස බෙදීම අනුව මේ දිනය වස්සාන සෘතුවේ ආරම්භක දිනය වශයෙන් පිළිගන්නට ඇත.

අද මාස බෙදීම මෙයට වඩා සුළු වශයෙන් වෙනස් ය. භාරතයෙහි තදින් පැවැති සෘතු විපර්යාස නිසා ඒ අනුව හැඩගැසුණේ මනුෂ්‍යයන් පමණක් නොවේ. සිවුපා, දෙපා, බහුපා සතුන් වගේම පක්ෂීන් පවා ඒ අනුව ඔවුන්ගේ දිනචරියාව හෙවත් පැවැත්ම සකස් කරගත්හ. වැසි සමයෙහි එදවස දඹදිවට අධික ලෙස වැසි ලැබීම නිසා ගංඟා, ඇළ, දොළ දෙගොඩ තලා දියකඳ පැතිරිණි.

පාලම් බෝක්කු ආදිය නොමැති එදා මෙන්ම කවදාත් ගංඟාදිය තරණය කළේ ඔරු පාරු ආදියෙනි. වැසි සමයෙහි වෙසෙසින් ඇළ, දොළ, ගංඟා තරණයට පහුරු අත්‍යවශ්‍ය විය. පිණ්ඩපාතේ වඩින බෞද්ධ භික්‍ෂූන්ට මෙය ඉමහත් හිරිහැරයක් විය. එසේ ම වැසි සමයෙහි ගංඟා පිරී ඉතිරී යන්නාක් මෙන් ම ගස්, වැල්, වනාන්තර, තෘණවර්ගාදිය ද බෙහෙවින් වැඩෙයි. ඒ නිසා මාර්ගවල ගමනාගමනය ද අති දුෂ්කර විය. එසේම පොළොව ආශ්‍රිතව ගුල් හදාගෙන වාසය කරන ක්‍ෂුද්‍ර ප්‍රාණීන්ට ඔවුන්ගේ වාසස්ථාන ජලයෙන් පිරීයාම නිසා ගුල්වල සිටිය නොහැකිව පොළොවේ මතුපිටට එති. සංචාරක ජීවිතයක් ගත කළ භික්‍ෂූන්ට මේ තත්ත්වය අතිශය දුෂ්කර කාර්යයක් විය. සංචාරය කරමින් තම ධර්මය දේශනා කිරීම මෙන්ම පිණ්ඩපාත වැඩම කිරීම ද දුෂ්කර විය.
විශේෂයෙන් ජෛන ධර්මයට අනුව අචේතනික ගස්, වැල්, තෘණාදිය ඔවුන් පිළිගෙන තිබුණේ සප්‍රාණික ඒකින්ද්‍රිය ප්‍රාණීන් වශයෙනි. සංචාරය කරනවිට වැඩෙන ගස්, වැල්, තෘණාදිය පයට පෑගී කැඩී බිඳී යයි. එමෙන්ම පොළොවේ මතුපිටට එන ක්‍ෂුද්‍ර ප්‍රාණීන් ඇවිදින්නන්ගේ පාවලට පෑගී මරණයට පත්වෙයි. මේ හේතු නිසා අන්‍ය තීර්ථකයෝ පොදු මහජනයාත් බෞද්ධ භික්‍ෂූන්ට චෝදනා කළහ. මේ වැසි සමයේ සිවුපා, අපා, දෙපා, බහුපා සතුන් මෙන්ම පක්‍ෂීන් පවා වැසි සමයට පෙර ආහාර ටික කූඩුවලට රැස් කර ගෙන වැසි සමය සමාප්ත වනතුරු කූඩුවලට වී කාලය ගෙවනව. එමෙන්ම තාපසවරු ස්වකීය අසපුවලට වෙලා කල් ගෙවනව. එහෙත් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ අතවැසි මහණහු වැඩෙන තණ පාග පාගා ක්‍ෂුද්‍ර ප්‍රාණීන් පාග පාගා (මරමින් ) සංචාරය කරතියි ප්‍රසිද්ධියේම දොස් කියන්නට පටන් ගත්ත. “කථං හි නාමසමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි ගිම්හානම්පි වස්සම්පි චාරිකං චරි ඒසති. හරිතානි තිනානි සම්මද්දන්තා, ඒකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා, බහු ඛුද්දකු පාණෙ සංඝාතං ආපාද්‍යෝතා ... ඉමෙ හිනාම සකුන්කනා රුක්ඛග්ගෙසු කුලාවතානි කරිත්වා වස්සාවාසං අල්ලියන්ති ... මනුස්සා උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති. ( මහාවග්ගපාලි, බෙන්තොට සද්ධාතිස්ස හිමියන්ගේ පොතේවස්සූපනායිකක්කන්ධකය කියවන්න ) මහජනයාගේ මේ දෝෂාරෝපණය භික්‍ෂූන්ට අසන්නට ලැබී බුදුහාමුදුරුවන්ට ගිහින් කීව ස්වාමීනි, පිණ්ඩපාතෙ යනකොට බෞද්ධ අබෞද්ධ මහජනයා අපට මෙසේ දොස් කියනවයි කියල. භික්‍ෂූන්ගේ ප්‍රකාශය ඇසූ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළේ මහණෙනි, (අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තුං) මම ( නුඹලාට වස්සාන සමයෙහි ) වස් එළඹෙන්නට අනුදනිමි යි වදාළ හ.
මේ බුදුරදුන්ගේ නියමයකි. ඒ අනුව මෙය විනය ශික්‍ෂාපදයකි. උපසපන් හැම භික්‍ෂුවක් ම රෝගාබාධ හෝ වෙනත් ව්‍යසනයක් හෝ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රඥප්ති අනුව ඇසළ පුන් පෝය දිනට පසු දා එනම් ඇසළ පෑලවිය දා වස් සමාදන්විය යුතුය. එසේ නොකිරීම නිසා ‘දුතුළා ඇවැතකට පත් වේ’ වස් එළැඹිය යුතු දිනය ගැන ඇසූ භික්‍ෂූන්ට උන්වහන්සේ වදාළේ “ අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උප ගන්තුං ) වස්සාන සමයෙහි වස් එළඹීමට මම අනුදනිමි යි කියායි. වස් එළඹීම බවුන්වඩන යෝගාවචර භික්ෂූන්ට ඉතාම යහපත් කාලපරිච්ඡේදයකි. භික්‍ෂූන්ට අඹ යුෂ, දඹ යුෂ, කෙසෙල් ගෙඩි යුෂ, ආදී පාන වර්ග ( ගිලන් පස ) උන්වහන්සේ අනුදැන වදාළ හ. භාවනානුයෝගි භික්‍ෂූන්ට කයේ සැහැල්ලු භාවය පවත්වා ගැනීමට, නිදිමත දුරු කර ගැනීමට, දීර්ඝායුෂ ලැබීමට අකාලයේ ආහාර නොගැනීම ඉමහත් උපකාරයක් විය. සංචාරක දිවියක් ගතකරන භික්‍ෂූන්ට වස් සමයෙහි එක තැනක විසීමට හැකිවුණා පමණක්නොව තුන් මාසයක් හෝ චීවර මාසය ද සමඟ සාර මාසයක් වූ මේ කාලය ගමක් අසළ වනයක නිදහස්ව වෙසෙමින් අසල ගමේ වැසියන් දෙන දානයෙන් යැපෙමින් බවුන් වඩන්නට සම්පූර්ණ නිදහස මේ නිසා ලැබුණි. එම ගම්වල වැසියන්ට ද හාමුදුරුවන් ළඟම තුන් මාසයක් වැඩ සිටින නිසා පින් දහම් කරගන්න වගේම භාවනා වඩල ධ්‍යාන මාර්ග ඵල ලබාගන්නත් ඉමහත් පහසුවක් විය.
බුදුරජාණන් වහන්සේ බුදුවී වැඩ සිටියේ හතළස් පස් වසරයි. එයින් මුල් විසිවසර ම භික්‍ෂූන් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිවල නිරත වූයේ බුදුරදුන් වදාළ ඕවාද ප්‍රාතිමොක්‍ෂයෙනි. එනම් “ සබ්බ පාපස්ස අකරණං” කුසලස්ස උපසම්පදා, ස චිත්ත පරියොදපනං ඒතං බුද්ධාන සාසනං” යන ගාථාවෙන් දැක්වෙන අවවාදය අනුවයි. සියලු පව් නොකිරීම සියලු කුසල් කිරීම, තම සිත හික්මවා ගැනීම, යන්නයි බුදුවරුන්ගේ අනුශාසනය වූයේ. මුල් අවධියෙහි පැවිදි වූ හැම දෙනාම පාහේ සසර කලකිරීමෙන් පැවිදි වූවෝ වූහ. උන් වහන්සේට අවශ්‍ය වූයේ සංසාර විමුක්තිය ලබා ගැනීමයි. ඒ නිසා මුල් අවධියෙහි භික්‍ෂූන් වහන්සේ සැම දෙනා ම පාහේ අරහත් ඵලය හෝ වෙනත් මාර්ග ඵල ලබාගත්තෝ වූහ. එහෙත් කල්යත්ම විවිධ පුද්ගලයන් විවිධ හේතු නිසා පැවිදි වන්නට පටන් ගැනීමෙන් ශාසනය අවුල් විය. සැරියුත් හාමුදුරුවන් කීපවරක්ම භික්‍ෂූන්ගේ අකටයුතුකම් නැවැත්වීමට විනය කර්‍ම පනවන්නටයයි ඉල්ලා සිටියත් බුදුරදුන් වදාළේ සාරිපුත්ත, විනය පැනවීම බුදුන්ට අයත් කාර්යයක් කියාය. ඒ අනුව සුදින්න භික්‍ෂුවගේ නොමනා ක්‍රියාව මුල්කර ගෙන විසි වන වසරේදී බුදු රජාණන් වහන්සේ විනය පැනවීමට තීරණය කළහ. ඒ අනුවයි විවිධ පුද්ගලයන්ගේ නොමනා ක්‍රියා මුල්කර ගෙන විවිධ අවස්ථාවල පැනවූ ශික්‍ෂාපද එක්කොට ප්‍රථම සංගීති කාරක භික්‍ෂූන් විසින් විනය පිටකය සංග්‍රහ කොට ඇත.
බුදුහාමුදුරුවෝ වස් විසීම් දෙකක් දක්වල තිබෙනවා. පෙරවස් විසීම හා පසුවස් විසීම කියන දෙකයි. පෙරවස් විසීම කියන්නෙ ඇසළ පුර පෝයට පසු අවපෑලවිය දා පෙරවස් විසීමත් ඉන් මසකට පසු නිකිණි පුර පෝදා පසුවස් විසීමත් කළයුතු සේ අනුදැන වදාළා. කිසියම් සුදුසු ස්ථානයක වස් විසුවාම ඒ භික්‍ෂුව වස් තුන්මාසය තුළම ඒ ස්ථානයෙහි සිටිය යුතුයි. වස් එළැඹි භික්‍ෂුව එම වාසස්ථානයෙන් බැහැරව එක් රැයක් හෝ සත් රැයක් හෝ ගත කරන්නේ නම් “ සත්තාහකරණය හෙවත් මා සත් දිනක් ඇතුළත (හත්වන දිනයෙහි අරුණ නැගෙන්නට පෙර ආපසු එන බව සිහිකොට ( ඒ සඳහා කියන පාලි පාඨයක් තිබේ ) වස් විසූ ස්ථානයෙන් යා යුතුයි. එසේ සිහි නොකොට ගියොත් වස්සච්ඡේදය (වස් කැඩීම ) වේ. නියමිත දිනයෙහි වස් නොඑළඹීමටත් වස් කඩා ගැනීමත් දෙකම දුක්කටාපත්තිවීමට හේතුවේ. එහෙත් ගමනක් ගොස් ගඟකින් එතෙරවන්න නොහැකි වීම, රෝගීවීම වෙනත් ආපදාවකට පත්වීම වැනි අවස්ථාවල හෝ වස් නොයෙළඹීම නිසා හෝ වස්සච්ඡේදය වූයේ නම් ඇවැත් නොවන බවද බුදුහු වදාළහ. මගධෙශ්වර වූ බිම්බිසාර රජතුමා වස් විසීම මුලට අදින්න කැමැතිව නියමිත පොහොයට පෙර පොහොයෙහි වස්වසනු කැමැතියයි භික්‍ෂූන්ගෙන් ඉල්ලූවිට භික්‍ෂූන් එය බුදුරදුන්ට සැළකළ විට බුදුරදුන් එය අනුමත කරමින් “ අනුජානාමි භික්ඛවෙ රාජානං අනුවත්තිතුªං’ යනුවෙන් මහණෙනි, රජුන්ගේ ඉල්ලීමට එකඟ වන්නටය යි වදාළේ වස් විසීම නිමිති කරගෙනයි.


ගිහින මුපකරොන්තානං
නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානෙන
තෙසං පච්චුපකාරකං


වස් සමය එදා මෙන්ම අදත් බෞද්ධයෝ පින්දහම් කිරීමට පෙළඹෙති. ඒ කාලය දානමානාදිය පූජා කරමින් පමණක් නොව විහාරස්ථානයට පැමිණ බුද්ධ පූජා, මල් පූජා, බෝධි පූජාදිය කරමින් සුමධුර ධර්ම දේශනා ද ශ්‍රවණය කරමින් අපමණ පින් රැස්කර ගන්නා කාලපරිච්ඡේදයකි. සිව්පසයෙන් උපස්ථාන කරන දායකයන්ට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරන්නට යයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාළහ.


 රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 22 වන සඳුදා දින බුදුසරණ පුවත්පතෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment