Labels

Friday, July 31, 2015

අතැර සසර නැවැතුම වෙත



පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ

චත්තාරෝ මේ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානො ලොකස්මිං. කතමෙ චත්තාරො? සාවජ්ජො වජ්ජ බහුලො අප්පවජ්ජො අනවජ්ජෝති. (අංගුත්තර නිකාය – චතුක්ක නිපාත)

පින්වත්නි දිනක් බුදු හාමුදුරුවෝ භික්‍ෂූන් අමතා වදාරනවා මේ ලෝකයේ පුද්ගලයන් සතර දෙනකු සිටින බව . ඔවුන් සතර දෙනා මෙසේයි.

1. සාවජ්ජ පුද්ගලයා  (වැරැදි සහිත තැනැත්තා)

2. වජ්ජ බහුල පුද්ගලයා  (වැරැදි බහුල තැනැත්තා)

3. අප්ප වජ්ජ පුද්ගලයා (වැරැදි අල්ප තැනැත්තා)

4. අනවජ්ජ පුද්ගලයා   (වැරැදි නොමැති තැනැත්තා)

ඉහත සඳහන් පුද්ගලයන් සිවුදෙනාම ජීවත් වන්නේ අප අතරමයි මේ පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විට ඔබ අයිති වන්නේ මොවුන්ගෙන් කවර පුද්ගල කොට්ඨාසයටද යන්න ඔබටම වටහා ගත හැකියි. මොවුන්ගෙන් පළමුවැනි හෝ දෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් ඔබට සතුටු විය නො හැකියි.තෙවැනි පුද්ගල කොටසට ඔබ අයත් නම් බොහෝ දුරට සතුටු විය හැකි වුවත් එම සතුට සම්පූර්ණ නොවේ. ඔබ සිවුවැනි පුද්ගල කොට්ඨාසයට අයිති නම් පමණකි ඔබට සම්පූර්ණ සතුටක් භුක්ති විඳිය හැක්කේ. එම නිසා මේ ලිපිය කියවා සම්පූර්ණ සතුටක් මේ භවයේදීම හෝ අනතුරු භවයකදී ලැබීමට උත්සාහ දැරීම ඔබගේ පරම යුතුකමයි.
පෙර කී පුද්ගලයන් සිවු දෙනා ගැනම හැඳින්වීමේදි මෙහි ‘වජ්ජ’ යන වදන භාවිත වෙයි. ‘වජ්ජ’ නම් අකුසල ධර්මයි. මේ පදය නිර්වචනය කරන අටුවාචාරීන් වහන්සේ ‘සබ්බෙ කිලේසා දුච්චරිතා අභිසංකාරා සබ්බේ භවගාමි කම්මං වජ්ජං’ යනුවෙන් දක්වති. සියලු කෙලෙස්, සියලු දුසිරිත්, සියලු අකුසල් ‘වජ්ජ’ නම් වන බව මින් පැහැදිලි කරති. කෙටියෙන් සඳහන් කරන්නේ නම් පුද්ගලයා සසර සැරිසරවන සියලු අකුසල කර්ම ‘වජ්ජ’ යි භවගාමි කර්ම යන්නට කුසල් අකුසල් දෙකම ගැනේ. කුසල්වලින් පුද්ගලයාගේ සසර ගමන කෙටි කොට ඔහු නිවනට ළං කරයි. ඒ නිසා කුසල් ‘වජ්ජ’ ගණයට අයත් නොවේ. එහෙත් අර්හත් ඵලයට පත් වන්නා කුසල් අකුසල් යන සියලුම කර්ම ක්ෂය කළ යුතු ය. පින්වත්නි, කුසල් අපට අවශ්‍ය වන්නේ සසරින් එගොඩ වීමට පමණයි. එය හරියට පාරුවක් වැනියි. ගඟකින් එගොඩ වන්නට පාරුවකට නැඟී එගොඩට යන්න අවශ්‍යයි. ඉන් පසු අප එය කරතබාගෙන යන සිරිතක් නැත. ඒ ආකාරයට අරහත් ඵලයට පත්වීමෙන් පසු භවගාමී කර්ම සිදුවීමක්ද නැත.
පෙර සඳහන් කළ ආකාරයට අප කරන සියලුම භවගාමි අකුසල කර්ම වජ්ජ හෙවත් වැරැදි ක්‍රියායි. එම ක්‍රියා , කය, වචනය, සහ සිත යන තිදොරින් සිදු කරන බව බුදුන් වහන්සේ පෙන්වාදී තිබේ.මේවා කායික, වාචසික, මානසික වජ්ජ නමින් හැඳින්වේ. එම වැරැදි හෙවත් අකුසල් කළ පුද්ගලයා සසර මහ සයුරෙහි ගසාගෙන යමින් අනාදිමත් කාලයක් දුක් ගැහැට විඳිමින් සැරිසරයි. ‘ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සාවජ්ජේන කාය කම්මේන සාවජ්ජේන වචී කම්මේන සාවජ්ජේන මනො කම්මේන සමන්නාගතො හොති’ යනුවෙන් වදාළේ ඒ බවයි. අප කරන කියන සහ සිතන අකුසල කර්ම මෙන්ම කුසල කර්මද සිදු කරන්නේ මේ තුන් දොරෙනි. ප්‍රාණඝාත, අදත්තාදාන, හා කාමමිථ්‍යාචාර යන අකුසල් තුන කයෙනුත් මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච සහ සම්ඵප්පලාප, යන අකුසල් සතර වචනයෙනුත් අභිධ්‍යා (විසම ලෝභය) ව්‍යාපාද, (ද්වේෂය) සහ මිථ්‍යා දෘෂ්ටි යන අකුසල තුන සිතෙනුත් සිදු කරති. මේ දස අකුසල් වජ්ජයි. පාප කර්ම යනුවෙන් ද නම් කරන්නේ මේවායි. මේවා කරන්නා හඳුන්වන්නේ බාලයා හෙවත් මෝඩයා කියායි.
’දිට්ඨ ධම්මික සම්පරායික සංඛාතෙ ද්වේ අනත්ථෙ දේවදත්ත කොකාලිකාදයො ලාති ආදදාති බාලො “ යන්නෙන් මෙලොවෙන් හා පරලොවෙන් වන්නා වූ ද්විවිධ අනර්ථයන් දේවදත්ත කෝකාලික ආදි පාපතර තෙරවරුන් මෙන් තමා වෙතට ළං කර ගන්නා තැනැත්තා බාලයා බව කියැවෙයි. බාලයා මෙලොව යහපතත් පරලොව යහපතත් දෙකම විනාශ කර ගන්නෙක් වෙයි. තවත් විග්‍රහයකට අනුව ‘අත්ථත්ථ පරත්ථ සංඛාතෙ ද්වේ අත්ථෙ ලුණාති ඡින්දති ඛාලො’ යන්නෙන් කීවේද අත්වැඩ පරවැඩ යන උභයාර්ථයම විනාශ කරගත් පුද්ගලයා බාලයා බවයි. බාලයා ඇසුරු නොකළ යුතු බව ‘අසෙවනාච බාලානං’ යන්නෙන් බුදුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේදී දේශනා කරනු ලැබ තිබේ. මෝඩයා නුවණැත්තකු කිරීමේ අදහසෙන් ඔහු කෙරෙහි දයාවෙන් ඇසුරු කිරීම වරදක් බව මෙයින් නොකියැවේ. පුහුදුන් අප අතර වැඩි දෙනකු මෝඩයන් බව ‘දන්ධාබහු ‘ යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ‘යානි කානිචි භික්ඛවෙ භයානි උජ්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො ‘ යන පාඨයෙන් බුදු හිමියන් පෙන්වා දුන්නේ කිසියම් බියක්, විපතක් පිරිසකට, රටකට ලෝකයට හෝ පුද්ගලයකුට ඇති වන්නේ නම් ඒ සියල්ල ඇති වන්නේ බාලයා නිසාය යනුවෙනි. එදත් අදත් කවදත් මිනිසුන් අතර කිසියම් විපතක් ඇති වුණා නම් ඒ ඇති කළ අය මෝඩ, බාල අසද් පුරුෂයන්ය. මේ අනුව, ප්‍රාණඝාතාදි වැරැදි ක්‍රියා සිදු කරන්නේ බාලයා බව පෙන්වා දුන් බුදුහිමියෝ එම පුද්ගලයා සාවජ්ජ (වැරැදි සහිත) තැනැත්තා බව දේශනා කළහ.
දෙවනුව උන්වහන්සේ හඳුන්වා දුන්නේ වජ්ජ බහුල පුද්ගලයාය.ඔහු තුළ ඉහත කී වැරැදි අධිකයි.අප පාපතර පුද්ගලයන් යැයි හඳුන්වන්නේ මෙබඳු අයයි. එහෙත් මොහු පවා කලාතුරකින් පිනක් දහමක් කරයි. එහෙත් ඔහු බහුල වශයෙන් කරන්නේ පාප ක්‍රියාවන්ය. වර්තමාන අපේ සමාජයේ වැඩි දෙනකු වජ්ජ බහුල පුද්ගලයන් බව සඳහන් කළ හැකියි. අද සොරකමෙන් , බොරුවෙන්, හා වංචාවෙන් තොරව අසවල් රැකියාව කරනවා යැයි කිය හැකි පුද්ගලයන් සොයා ගැනීම කළුනික සෙවීමක් වැනිය. එදා ගොවිතැන, වෙළෙඳාම රජයේ සේවය සහ ගෘහ කර්මාන්තය වැනි ජීවිකා වෘත්ති ධාර්මික රැකියා වශයෙන් පිළිගෙන තිබුණත් අද මේ සියල්ලක්ම පාහේ එහි නියුක්ත වූවන් වැඩි දෙනකුගේ අධාර්මික ක්‍රියාකලාප නිසා නිවැරැදි මාවතෙන් පිට ගොස් ඇත.ගොවිතැන වුවද වැරැදි බහුල පුද්ගලයන්ගේ වැරැදි භාවිත නිසා යහපත්ව, දැහැමි ලෙස සිදුවන්නේ නැතැයි වැටහේ. මෙවැනි වජ්ජ බහුල පුද්ගලයන් පිනකට දහමකට යොමු වන්නේ සිය කැමැත්තෙන් නොව අනුන්ගේ පෙළඹවීමෙනි. ඔවුන්ගේ අරමුණ මනුෂ්‍යයාගේ සිට සෑම සත්වයකුටම හිරිහැර කොට හෝ මරා දමා හෝ ක්‍රම ක්‍රමයෙන් මැරෙන්නට හේතු වන හෝ කූඨ උපක්‍රමවලින් මිල මුදල් රැස් කිරීමයි. මෙබඳු වැරැදි බහුල පුද්ගලයා ‘ලෝකීය පෘථජ්ජනයා’ යනුවෙන්ද හඳුන්වයි.
තුන්වැනුව බුදුන් වහන්සේ හඳුන්වා දුන්නේ අල්ප වජ්ජ හෙවත් වැරැදි අඩු පුද්ගලයායි. විශේෂයෙන් සෝවාන්, සකෘදාගාමි සහ අනාගාමි යන මාර්ගඵලවලට පත් පුද්ගලයන් අල්ප වජ්ජ යන්නෙන් මෙහි දැක්වෙයි. මේ අය අපාගත වන කිසිම පාප ක්‍රියාවක් නො කරති. එහෙත් සිතින් වැරැදි මොවුන්ගෙනුත් සිදු වේ. තෘෂ්ණාව ආදි කෙලෙස් මේ අය තුළත් දුරු නොවීම සිතෙන් වැරැදි කිරීමට ඇති හේතුවයි. මාර්ග ඵලලාභි නොවන අල්ප වජ්ජ පුද්ගලයන්ද සිටිය හැකියි. ඒ අය කය, වචනය සංවර කරගෙන සම්පත්ත විරති වශයෙන් අවස්ථානුකූ®ලව කායික, වාචසික වැරැදි වලින් වැළැකී හෝ සමාදාන විරති වශයෙන් ශික්‍ෂා පද සමාදන් වීමෙන් වැරැදි වලින් වැළැකී හෝ සිටින අයයි. මාර්ග ඵලයක් ලබන්නට උත්සාහ කරන්නා පළමුවෙන් සිල්වත්ව දෙවනුව භාවනා වෙන් සිත සංවර කරගෙන තෙවැනුව ත්‍රිලක්‍ෂණය වැඩීමෙන් ප්‍රඥාව දියුණු කරගෙන නිර්වාණාවබෝධය කළ යුතුයි.
මේ සූත්‍රයේ දැක්වෙන සිවුවැනි පුද්ගලයා අනවජ්ජ පුද්ගලයා හෙවත් වැරැදි නැති පුද්ගලයායි. පුද්ගලයා වරදට පෙළැඹීමට හේතු සාධක වන්නේ සිතේ තිබෙන රාග, ද්වේශ, මෝහ ආදි ක්ලේශයෝයි. එම කෙලෙස් සම්පුර්ණයෙන් නැසූ පුද්ගලයා අර්හත් පුද්ගලයා වශයෙන් හඳුන්වති. රහතන් වහන්සේගෙන් පවා සවාසනා වශයෙන් හෙවත් සසර පුරුදු වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් ඇතැමකුට වැරැදි වශයෙන් පෙනී යා හැකියි. එහෙත් ඒවා මෙන්ම උන්වහන්සේ කරන කුසල ක්‍රියාද කර්ම ගණයට නො වැටේ. ඊට අදාළ සිත් ක්‍රියා සිත් ලෙසයි හැඳින්වෙන්නේ. රහතන් වහන්සේ ‘කත කිච්ච’ එනම් කළ යුතු සියල්ල කොට නිමා කළ තැනැත්තායි. උන්වහන්සේට තවත් කළ යුතු කිසිවක් ඉතිරිව නැත.

අතීතං නානුසොචන්ති නප්පජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේන වණ්ණෝ පසීදති

 
රහතන් වහන්සේ අතීතය ගැන සිතමින් දුක් නොවෙති. අනාගතය පිළිබඳ, බලාපොරෙත්තු ද නැත. වර්තමානයේ ජීවත්වෙති. එහෙයින් රහතන් වහන්සේ පිරිසුදු වර්ණයෙන්, එනම් සිරුරේ ප්‍රසන්න පැහැයෙන් යුතු වන සේක. රහතන් වහන්සේ තුළ ජීවත් වීමේ ආශාවක් නැත. එමෙන්ම මිය යෑමටද අවශ්‍යතාවක් නැත. මෙලොව උපන් කර්ම ශක්තිය අවසන් වන තුරු උන්වහන්සේ ජීවත් වෙති. උන්වහන්සේ සිසිල් වූවෙකි. (සීතිභූ®ත) එමෙන්ම නිබ්බුත හෙවත් සකල ක්ලේශයන් නැසූ කෙනෙකි. එහෙයින් මේ උත්තමයා අනවජ්ජ පුද්ගලයා වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා තිබේ.
පින්වත, මිථ්‍යා ධර්මවලින් ගහන මේ ලෝකයෙහි බෞද්ධයකුව උපන් ඔබ අතිශය පුණ්‍යවන්තයි. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් මිනිසත් බවක් ලැබ සිටින ඔබ එහි ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත්ය. ලැබුවා වූ මනුෂ්‍යත්වය කල්ප ගණනකට යළිත් ලැබිය නොහැකි වන අන්දමේ පාප කර්මවලින් වැළැකී සසරින් ආරක්‍ෂා වීමට අප්‍රමාදි විය යුතුය. සසරින් මිදීමට මේ අත්භවයම ප්‍රයෝජනයට ගන්නා ඔබ ජීවිතය ජයගත්තෙක් වෙයි.


නිබ්බානං පරමං සුඛං
නිවීම උතුම් සැපයයි



 දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක,
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති,
මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී
පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි 

No comments:

Post a Comment