Labels

Friday, May 13, 2016

වාසනාවන්ත මිනිස් බවක් ලැබීම පහසුද


බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපට අසන්නට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙනි. ධර්මාශෝක අධිරාජයා විසින් සිහලද්වීපයට එවනලද සත් ධර්ම දූත සමාගමේ ප්‍රමුඛයා වූයේ මිහිඳු මා හිමියෝය.
සීහලද්වීපාධිපති තිස්ස රජු පොසොන් පෝ දින එදා රජවරුන්ගේ චාරිත්‍රානුකූලව මිස්සක පව් වනය දෙසට දඩකෙළි සඳහා පිරිවර සමඟ ගියේය. ඒ අවස්ථාවේ මිස්සක පවුවේ අඹතලාගල මතට දඹදිව සිට අහසින් වැඩම කොට සිටි මිහිඳු මා හිමියන්ට මුණ ගැසුණු රජතුමා ප්‍රධාන පිරිස හඳුනා ගෙන තමන් වහන්සේ කවුරුදැයි රජුට හඳුන්වා දුන් මිහිඳු මහරහතන් වහන්සේ ඔවුන් පන්සිල්හි පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් දම් දෙසා තමන් වහන්සේ පිළිගත් බෞද්ධ ප්‍රතිපදාව සූත්‍රය තුළින් මොනවට පැහැදිලි කළහ. අනතුරුව රජුගේ ඇරයුම පරිදි දෙවන දින අනුරාධපුරයට මිහිඳු මා හිමියන් වැඩම කළ පුවත අසා නන්දන උයනට එක්රොක් වූ දහස් සංඛ්‍යාත සීහල දේශීය ජනතාවට බාල පණ්ඩිත සුත්‍රය දේශනා කළේ බුදු දහමින් උගන්වන හොඳ හා නරක දෙක නොඑසේ නම් පව් පින් දෙක හඳුනාගැනීමට මහජනතාව නුවණැත්තන් කිරීමටය.

නුවණ නම් ඥානයයි. ඥානය නම් හරි දෑ නිවැරදි දෑ නිවැරදි ලෙසත්, වැරදි දෑ වැරදි ලෙසත් වටහා ගැනීමයි. අර්ථය අනර්ථය (යහපත් හා අයහපත් දෑ) වටහා ගැනීමයි. තමා කළ යුතු දෑ (කත්තබ්බ) තමා නොකළ යුතූ දෑ (අකත්තබ්බ) වටහා ගැනීමයි. ලජ්ජා භය (පව් කිරීමට ලජ්ජාව හා පව් කිරීමට බය වටහා ගැනීමයි. මේ දෙක දේව ධර්මයයි. එනම් දෙවියන්ගේ ප්‍රතිපත්තියි. එදා අපේ මුතුන් මිත්තෝ පව් පින් දැන නොසිටියහ. එසේ දැන සිටියේ නම් පොහොය දවසෙ දඩකෙළියට යයි ද එමෙන්ම මෙලොවක් හා පරලොවක් තිබෙන බවත් සුගතියක් හා දුගතියක් (යහපත් උප්්පත්තියක් හා අයහපත් උප්පත්තියක්) තිබෙන බවත් ඒ දෙකම ලැබෙන්නේ මෙලොවදී කළ හොඳ නරක ක්‍රියා අනුව බව පෙන්නා දීමටය.
මිහිඳු මා හිමියන් අපට පළමුවෙන් දේශනා කළ බාල පණ්ඩිත සූත්‍ර ධර්මය බුදුන් වහන්සේ විසින් භික්ෂූන් අමතා වදාරනව මහණෙනි” අනුවණයාගේ බාලයාගේ බාලදකුණු’ බාල නිමිති, බාල (මෝඩ) චරිත තුනක් තියෙනව. ඔහුගේ සිතිවිලි අභිධ්‍යා සහගතයි) (එනම් විෂමලෝභයෙන් යුක්තයි) අනුන් සතු දෑ තමන්ට අත්කර ගැනීමට සිතයි. එසේම ඔහුගේ සිතිවිලි ව්‍යාපාදය (අන්‍යයාට හිංසාවක් කරන්නට සිතයි) සහගතයි. එසේම මිථ්‍යා (ආත්මවාද, අනාත්මවාද,උච්ඡේද වාද) සහගතයි. (ඔහු සදාකාලික ආත්මයක් ඇතැයි සිතයි. ආත්මයක් නැතැයි සිතයි. උපන් භවය හැර වෙනත් භවයක් නැතැයි සිතයි. කර්මයෙහි විපාක නැතැයි සිතයි.මේවා අනුවණයාගේ බාල ලක්ෂණයි. එනම් බාලයාගේ චෛතසික ස්වභාවයයි. දුබ්භාසිතභාසී නම් අනුවණයා කථාකරන්නෙ නරක නපුරු වචනයි. විශේෂයෙන් මුසාවාද (අසත්‍ය වචන) පිසුණාවාද (අනුන් විරසක කිරීමට හේතු වන)(කේලාම් වචනයි. එසේම පරුෂාවාච (අසන්නාගේ සිතේ පරුෂ බව නොසන්සුන්කම ඇතිවන) වචනයි. එසේම ඔහු කථාකරන්නෙ, සම්පප්ප්‍රලාපයි. එනම් අනෙකාගේ හිත සුව නසන නිරර්ථක එලොවටත් මෙලොවටත් නැති ඕපාදූප හෙවත් හිස් වචනයි. බාලයාගේ අනෙක් ලක්ෂණය නම් කායික දුෂ්චරිතයයි. එනම් පරපණ නැසීම , අන් සතු දෑ හිමිකරු අකැමැත්තේ ගැනීම, කාමයෙහි වැරදි සේ යෙදීම හෙවත් කාමමිථ්‍යාචාරයයි. බුදුරජාණන් වහන්සේ මෙසේ බාලයාගේ ස්වරූපය දක්වල වදාරනව මහණෙනි, බාලයා තිදොරින් මේ දුසිරිත් නොකරන්නේ නම් මොහු අසද්පුරුෂ මෝඩයෙක්යැයි නුවණැත්තාට දැන ගැනීමට විදියක් නැහැ කියල. යම් හෙයකින් බාලයා මෙසේ දූෂිත සිතිවිලි සිතන නිසාත් දූෂිත බස් දොඩන නිසාත් දූෂිත ක්‍රියා කරන නිසාත් තමයි නුවණැත්තෝ මොහු අනුවණයෙකැයි දැනගන්නේ කියල තවදුරටත් භික්ෂූන්ට පැහැදිලි කොට වදාළ.
අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරණව මහණෙනි, මේ බාලයා ඉහාත්මයේදීම ත්‍රිවිධාකාර දුකකට පත් දොම්නසකට පත්වෙනව. 1. බාලයා පිරිසක් රැස්ව සිටින ස්ථානයක හෝ විදියක ,සිවුමංසලක හෝ ඉන්න අවස්ථාවක එතන සිටින තවත් පිරිසක් මිනිසාගේ කායික හෝ වාචසික හෝ මානසික හෝ දුසිරිත් පිළිබද එහි ඇති වරද පිළිබඳ සාකච්ඡාවක යෙදී සිටිනව.මේ පව්කාරයටත් එය මනාව ඇසෙනව. එම පාප ක්‍රියාවලට මෙලොව පරලොව දෙකේ දීම විඳින්න වන දුක්ගැහැට පිළිබඳ ඒ පිරිස කරන කථා මොහුටත් අසන්නට ලැබෙනව. එවිට පව්කාරයට හිතෙනව මේ අය කථාකරන වැරදි මාත් කරල තියෙනවා. ඒ කර්ම තුළ සිටින අයගෙන් මාත් එක්කෙනෙකි. එසේ සිතන බාලය ට එම සිතිවිල්ල ඉමහත් දුකක්, දොම්නසක්, මෙය බාලයා හෙවත් තිදොරින් පාපක්‍රියා කළ තැනැත්තා දුකට දොම්නසට පත්වන පළමු අවස්ථාව. 2.බාලයා මහමඟ ඉන්න අවස්ථාවක තුන්දොරින් වැරදි කරපු අයෙක් රාජ පුරුෂයන් විසින් අල්ලා ගෙන නොයෙක් වධ හිංසා දෙමින් තල තලා මහමග ගෙනයනව රජුට බාර දීමට. රජතුමා ඔහු කරපු වැරදිවලට සරිලන දඬුවම් පමුණුවනව. ඒ කාලේ අනුව කසවලින් තලනව. දිවැස්හල තබනව. හිස ගසා ලනව. ශාරීරික අවයව කපනව. හිස්කටුව ගලවල තෙල්වත් කරල පත්තු කරනව. ඇඟ හම ගසනව මේ ආදි දරුණු දඬුවම් පමුණුවනවා.මේ දඬුවම් දෙන්නේ මහජනයා බලාසිටියදී.
මේ දෙන දෙතිස් වධ බාලය බලා සිටිනව. ඔහු දුක් වෙනව අහෝ මේ වැරදි මාත් කරල තියෙනව. මාත් රාජපුරුෂයන්ට හසු වුවොත් මටත් අර වද විඳින්නට වෙනව. එසේ සිතන පවුකාරය මෙලොවදීම සිතින් අපමණ දුකට දොම්නසට මානසික වේදනාවට පත්වෙනව.මේ පව්කාරයා මෙලොවද දුක්වන දෙවන අවස්ථාවයි. 3.පව්කාරයා ඉහත කී අවස්ථාවකට පත් නුවූවත් ඔහුගේ ඒ වා හොඳින් දන්නව. ඒකයි බුදුන් වදාළේ මේ ලෝකයෙහි රහසක් කියල දෙයක් නැත. රහසින් පව්කම් කළත් ඒ බව තමාවත් දන්නව. රහසක් නම් කාටක් රහසක් වන්න ඕන. හැම රහසක්ම එක්කෙනෙක් වත් (තමාවත්) දන්න නිසා එය රහසක් නොවේ. සත්‍යය හෝ මුසාව හෝ තමා දන්නා බව බුදුන් වහන්සේ ඔබට මෙසේ දක්වල තියෙනව.
3. මේලොව දී දුක්වෙන තුන්වන පව්කාරයා විවේකව ඉන්න විට ඔහුගේ මනසට ඒවා එකින් එක නැගෙනව. තමා කළ පාපක්‍රියා ඔහුගේ හිසට උඩින් එල්ලෙනව වගෙ පෙනෙනව. ඒවා එහෙ මෙහෙ පෙරළෙනව වගෙ සිතට නැගෙනව. හරියට මහ ගල්කුළුවල සෙවණැලි සවස් යාමයෙහි පොළොවෙ පැතිරීයන්න වගෙයි. තමා කරපු පව් හිතට නැගෙන්නෙ. පුටුවක හෝ ඇඳක හෝ බිම හෝ වැතිර සිටින අවස්ථාවල තමා පුළුවන් කාලේ කරපු පව්කම් සිතින් දකින මේ පව්කාරයා හෙවත් බාලය මෙලොවදි දුකට දොම්නසට පත්වන තුන් වන අවස්ථාවයි. කරන කලට පව් මීරිය මිසේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. යන කවිපද දෙකින්ද කියන්නේ මේ බවයි. අනේ අපොයි පුළුවන්කාලේ මා පිනක් දහමක් කළේ නැහැනේ මේ බියවචනවලින් මිදීමට අවශ්‍ය පින් කළේ නැහැනේ සාපරාධි කුරිරු පාපක්‍රියාමයි කළ තරමක් කළේ. බියෙන් මිදෙන යමක් කළේ නැහැ. එබඳු පාපකාරි පුද්ගලයා මරණින් පසු සතර අපායෙහි උපදිනව නම් මාත් එහි උපදිනව කියල සතර අපායක් තියෙන බව වත් සිහි වෙන්නෙ මේ අවස්ථාවෙහි ය. මෙසේ සිතන පව්කාරයා මෙලොවදීම ශෝකී වෙයි. සිහිමූර්ජාවෙයි. කඳුළු වගුරුවයි. හඬයි. එපමණක් නොව පපුවේ අත්ගසා ගෙන දුකට දොම්නසට පත්වන බව බුදුරජාණන් වහන්සේ වදාළ.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාරනව මහණෙනි. බාලය තිදොරින් දුසිරිත් කොට මරණින් පසු සැපනැති නපුරු, නපුරු උපතක් ඇති. නිරයෙහි උපදිනව. නිරය නම් ඒකාන්තයෙන්ම අයහපත් සිත් නොඅලවන, ස්ථානයකි. මහණෙනි, නිරයෙහි ඇති දුක් පිළිබඳව උපමාවක් වත් හරියට කිය නොහැකියි. එවිට ස්වාමීනි සුළුවෙන් හෝ පමාවකින් එහි දුක් ගැන කියන්නට යයි එක් භික්ෂුවක් කී විට බුදුන් වහන්සේ වදාරනව. මහණෙනි, සොරකු අල්ලල රජුට ඉදිරිපත් කළ විට මොහු ගෙන ගොස් පෙරවරුයෙහි අඩියටි සියයකින් පහර දෙකක් එක්තැනකට නොවදින සේ පහර දෙන්න යයි නියම කරයි. එසේ පහර දුන් පසු තවදුරටත් ඔහු ජීවත් වේ නම් මධ්‍යාහ්නයේත් එසේ පහර දෙන්න නියම කරයි. තවදුරටත් ජීවත්වේනම් සවස් කාලයෙත් එසේම පහරදෙන්න නියම කරයි. දවස පුරා අඩයටි පහරවල් තුන් සියයකින් පහර කන පව්කාරයා මොන තරම් දුක් විඳීද මහණෙනි, එවිට භික්ෂුව පවසනව ස්වාමීනි, එම එක්පහරක් පවා අපමණ දුක් දෙන්නක් බැවින් පහරවල් තුන්සියයක් ඔහු උසුලන්නේ කෙසේදැයි භික්ෂුව ප්‍රකාශ කළ. ඒ අවස්ථාවේ කුඩා ගල්කැටයක් අතට ගත් බුදුහු මේ ගල්කැටයත් හිමාලය පර්වතයත් කෙසේ සැසඳේ දැයි ඇසුව. ස්වාමීනි, මේ ගල් කැටය හිමාලය පර්වතය හා සිය දහස් ගුණයකින් වත් සමාන නොකළ හැකියයි භික්ෂුව කීව.
අනතුරුව බුදුරජාණන් වහන්සේ නිරා දුක් විස්තර දේශනා කළා. අපමණ කාලයක් නරකයෙහි පැසි එයින් මිදිල ආවත් තෘණ බුදින ගව, මහිෂ,කොටළු, මුව, බලු ආදි සතුන් උපදින බවත් එතනින් යළිත් අඳුරෙහි වසන ගඩවිල්ලු,පණුවො, ආදි සතුන්ව උපදින බවත් එතනින් අවුත් මාළු, කිඹුල්, කැසුබ් ආදි සතුන් ව උපදින බවත් එතනින් අවුත් අසූචිවල , කුණු මස් වල මාළුවල පණුවන්ව උපදින බවත් මෙසේ අපමණ කලක් තිරිසන් ආත්මවල දුක් විඳල කිසියම් පෙර කළ පිනකින් මනුෂ්‍යයෙකු වෙලා උපදිනවනම් අවුරුදු සියයකට හෝ දහසකට වරක් මුහුදු පතුලේ සිට දිය මතුවට එන කණ කැස්බෙක් මුහුදේ පා වෙන විය සිදුරකින් යම්සේ බෙල්ල ඇතුළට දමන්නට සමත් වේද මිනිසත් බවක් ලැබේනම් එබඳු මනුෂ්‍යාත්මයක් වත් ලබන්නට ඔහුට අතිශය දුෂ්කර බව වදාළ.
මෙසේ බලන විට පව්කාරයාට මොනතරම් දිගුකලක් වාසනාවන්ත මිනිස් බවක් ලැබීමට අපහසුද යන්න වටහා ගත හැකිය.



රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති 
අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක 
පල්ලත්තර සුමනජෝති නා හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment