බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි අන්‍ය තීර්ථකයන් අමතා මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. සැවැත් නුවර ජේතවනාරාමය අසල සිටි ඇතැම් පරිබ්‍රාජකයෝ විවිධ උග්‍ර වත තපස් රකිමින් ආගමික නිෂ්ඨාවක් අපේක්ෂා කළහ. ඔවුන්ගේ තපස් පිළිවෙත දුටු භික්ෂූන්වහන්සේ එම තපස් පිළිවෙතින් කිසියම් මාර්ග ඵලයක් ලැබිය හැකිදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියහ. භික්ෂූන්ගේ පැනයට පිළිතුරු සැපයූ තථාගතයන් වහන්සේ ‘පොළොව පෙරළේ යැයි’ කියා’ දිවූ සාවා මෙන ්ම ඔවුන්ගේ වත තපස් නිශ්ඵල දෙයකැ’යි දේශනා කළහ.
එම පුවත අසනු රිසි වූ භික්ෂූන් වහන්සේලා සාවා පිළිබඳ අතීත සිද්ධිය ගෙනහැර දක්වා වදාරන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇයැද සිටියහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ එම අතීත පුවත ගෙනහැර දැක්වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ සිංහ රාජයෙකුව ඉපිද එක්තරා පර්වතයක වාසය කළහ.
එක් දිනෙක එක් සාවකු මුහුද අසබඩ තල් ගස් හා බෙලි ගස්වලින් ගහණ වන ලැහැබක වැද හෙව පොළොව පෙරළුණහොත් කුමක් කරන්නේදැ’යි කල්පනා කරමින් සිටියේ ය. එකිනෙහි ම ඉදුණු බෙලි ගෙඩියක් තල් අත්තකට වැටුණේ, මහත් හඬක් ඇති විය. මෙයින් බියපත් වූ සාවා සැබැවින් ම පොළොව පෙරළීගෙන එතැ’යි සිතා වේගයෙන් පැන දිව්වේ ය. සාවාගේ දීවීම දුටු සෙසු සාවෝ කුමක් නිසා දුවන්නේදැයි විමසා සිටියහ. පොළොව පෙරළීගෙන එන හෙයින් දුවන්නේයැ’යි කියමින් වේගයෙන් දිව ගියේ ය. උගේ වචනය පිළිගත් සෙසු සාවෝ දහසක් ද ඉදිරිය බලා වේගයෙන් දිව ගියෝ ය. සාවුන්ගේ දිව යාමට හේතු විමසා දැනගත් මුවෝ ද ඒ අනුව ඉදිරියට දිව ගියහ. මුවන්ගේ දීවීමට හේතු දැනගත් ඌරෝ ද ඉදිරිය බලා දිවුහ. මෙසේ වේගයෙන් දිව යන්නාවූ උනුන්ගෙන් කරුණු විමසා පිළිවෙළින් ගෝන්නු, කඟවේණු, ඇත්තු අශ්වයෝ, ව්‍යාඝ්‍රයෝ හා සිංහයෝ ද වේගයෙන් ඉදිරිය බලා දිව ගියෝ ය. බෝසත් සිංහ රජු පර්වතයෙන් බැස වේගයෙන් ඉදිරිය බලා දිව යන විවිධ සිවුපාවුන් දැක එක් සිංහයෙකුගෙන් ඒ ගැන විමසී ය. පොළොව පෙරළීගෙන එන හෙයින් සියලු සිවුපාවෝ එසේ ඉදිරිය බලා දිව යන්නෝ යැ’යි පැවසී ය. එය ඔබට පැවසුවේ කවරෙක්දැයි සිංහ රජු විමසා සිටියේ ය. තමා එය ව්‍යාඝ්‍රයන්ගෙන් අසා දැනගත් බව එම සිංහයා ප්‍රකාශ කළේ ය. ව්‍යාඝ්‍රයන්ගෙන් ඇසූ කල්හී ඇතුන්ගෙන් එය ඇසී යැයි දැන්වීය. මෙසේ පිළිවෙළින් උනුනුන් අසා දැනගත් පිළිවෙළ සාවා දක්වා ම ප්‍රකාශ විය. බෝධිසත්ත්වයන් වහන්සේ සාවා කැඳවා කරුණු විමසී ය. මුහුදු බඩ තල් ගසින් හා බෙලි ගසින් යුක්ත වනයක වැදහොත් කල්හී එසේ පොළොව පෙරළී ගෙන එනු දුටුවේයැයි ප්‍රකාශ කළේ ය. එසේ නම්, එම ස්ථානය තමාට පෙන්වන මෙන් සාවාට දැන්වී ය. සාවා එයට එකඟ වූ හෙයින් ඌ තම පිට මත තබාගත් බෝසත් සිංහයා තල් හා බෙලි වනය බලා පිටත්ව ගියේ ය. සාවා තමා වැදහොත් තැනට යාමට බිය වූ හෙයින් බෝසත් සිංහයා එහි ගොස් පොළොව පෙරළීගෙන එතැ’යි සාවා බිය වූයේ කුමකටදැ’යි පැහැදිලිව වටහා ගත් අතර සෙසු සිවුපාවුන් ද එහි යවා ඔවුන්ට ද කරුණු වටහා දුන්නේය. සාවාගේ අපරික්ෂාකාරී වදන් පිළිගත් සිවුපාවෝ විශාල ප්‍රමාණයක් මුහුදට බිලි වීමට ඉඩ නොදී කරුණු මැනවින් පරීක්ෂා කොට ඔවුන් සැම බේරා ගැනීමට බෝසත් සිංහයා දැරූ ප්‍රයත්නය අගය කරමින් බුදුරජාණන් වහන්සේ ‘දද්දභ ජාතකය’ නිමවා වදාළහ.
කරුණු මැනවින් පරීක්ෂා නොකොට යමක් නො පිළිගත යුතුයැයි මෙම ජාතක කථාවෙන් ඉදිරිපත්කරන ප්‍රධාන උපදේශය යි. බුදුදහම පුද්ගල නිදහස මෙන් ම විචාරාත්මක චින්තනයට විශේෂ තැනක් ලබා දී තිබේ. කාලාම, චංකී, සන්දක ආදී සූත්‍ර දේශනාවල යමක් විමසා බලා පිළිගැනීමේ ක්‍රමවේදය මැනවින් පැහැදිලි කොට තිබේ. තමන් වහන්සේද පරීක්ෂාවට භාජනය කළ යුතුයැයි උන්වහන්සේ විසින් ම දේශනා කළ ආකාරය වීමංසක සූත්‍රයේ ඇතුළත් වේ. ආගමික ඉතිහාසයේ එවැනි ප්‍රකාශයක් කළ එකම ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය.
බෞද්ධ පිළිවෙත අනුව පරීක්ෂාවෙන් තොරව යමක් නො පිළිගත යුතු වේ. කරුණු නිසි ලෙස නො විමසා කටයුතු කරන තැනැත්තා විවිධ අනතුරුවලට ලක් වේ. විද්‍යාව හා තාක්ෂණය විශාල වශයෙන් දියුණුව තිබෙන වර්තමාන ලෝකයේ ඇතැම් පුද්ගලයන් අන්‍යයන්ගේ ගොදුරු බවට පත්ව තිබෙන්නේ මෙම වීමංසන බුද්ධිය නොමැති නිසයි. අතීත කථාවෙහි එන සාවා ලෝකය පෙරළීගෙන එතැ’යි බියට පත් වූයේ තල් කොළයකට බෙලි ගෙඩියක් වැටීම නිසයි. එහෙත් ඌ එය නිසි පරිදි පරීක්ෂා නොකොට ලෝකය පෙරළීගෙන එතැයි සැක කොට පලා යාමට පටන් ගත්තේ ය. යම් හෙයකින් ඌ එය මනාකොට පරීක්ෂා කළේ නම් සිවුපාවුන් අතර එවැනි කලබලයක් ඇති නොවේ. සාවා පමණක් නොව සෙසු සිවුපාවුන් ද විචාරයකින් තොරව කටයුතු කර ඇති බව පැහැදිලි ය. එකිනෙකා කී දෙය විචාරයකින් තොරව පිළිගෙන දුවන්නන් වාලේ දුවන්නට විය. අවසානයේ දී බෝසත් සිංහයාගේ බුද්ධිමත් භාවය හේතුවෙන් අනතුර වළක්වා ගැනීමට හැකි විය. ලොව සියල්ල සිදුවන්නේ හේතුඵල ධර්මතාවන්ට අනුව ය. ඒවා මානසික හෝ භෞතික විය හැකි ය. බෙලි වනයේ වැදහොත් සාවා මනෝ ලෝකයක අතරමංව සිටියේ ය. ඌ ලෝකය පෙරළුණොත් කුමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටි කෙනෙහි ම බෙලි ගෙඩියක් තල් අත්තකට වැටීමෙන් විශාල ශබ්දයක් නිකුත් විය. එය බිහිසුණු හඬක් ලෙස ඌට වැටහුණේ තමා සිටි කල්පනා ලෝකයේ බලපෑම නිසයි. මෙවන් දෑ කවරෙකුට වුව සිදුවිය හැකි ය. එහෙත් ඒ දෙස විමසිල්ලෙන් බලන කෙනෙකුට එහි සෑබෑ ස්වභාවය වටහාගත හැකි ය. මනෝ ලෝකවල සැරිසරමින් සිටින බොහෝ දෙනෙක් සැබෑ ලෝකයේ සිදුවන දෑ වටහා ගන්නේ වැරැදි ආකාරයට බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ. තමා අසන දකින දෙය කෙරෙහි විමසිලිමත් නොවීමෙන් බොහෝ අර්බුද නිර්මාණය වේ. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ජාලයන්හි දැක්වෙන ඇතැම් ප්‍රකාශ කෙරෙහි විමර්ශනශීලි නොවීම නිසා සමාජ දේශපාලන මෙන් ම ඇතැම් විටෙක ආගමික හා වාර්ගික ගැටුම් ද නිර්මාණය වී තිබේ. ඒවායේ පසුබිම විමර්ශනය කරන්නෙකුට මිස අදානග්‍රාහීව පිළිගන්නෙකුට සත්‍ය වටහාගත නො හැකි ය. විචාර බුද්ධියෙන් යුක්ත ව යමකට පිළිතුරු දීමේ වටිනාකම බෝසත් සිංහයාගේ හැසිරීමෙන් පැහැදිලි වේ. විමර්ශනයෙන් තොරව කලබල වී ප්‍රතිචාර දැක්වීම අර්බුද රැසකට හේතු වේ. ඕනෑම දෙයක් විමර්ශනය කළ විට එහි සත්‍ය ඉතා අල්ප බවත් අසත්‍ය බහුල බවත් වැටහේ. වර්තමාන කථාවෙහි දැක්වෙන පරිදි විචාරයකින් තොරව අනුගමනය කරන ආගමික පිළිවෙත් මගින්ද යහපත් නිශ්ඨාවක් අපේක්ෂා කළ නොහැකි බව වටහා ගත හැකිවේ. බුදුසමය එවැනි නිරර්ථක ආගමික පිළිවෙත් බැහැර කරන දහමකි.
නුවණැතියා විමසීමෙන් තොරව යමක් නො පිළිගනී. විමර්ශන බුද්ධිය සෑම දෙයකටම පොදු වේ. එය දියුණුවට හේතු වේ. අන්‍යන් විසින් නැටවෙන රූකඩයක් බවට පත් නොවී යමක් පිළිබඳ ඍජුව තීරණගත හැකි වන්නේ එවැනි විමර්ශන බුද්ධියකින් යුක්ත අයකුට පමණි.
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment