බුදුරජාණන් වහන්සේ රෝහිණි ගංගා ඉවුරේ වැඩවෙසෙමින් තමන්වහන්සේගේ ඤාතීන්ගේ සමඟියේ වැදගත්කම ගෙනහැර දක්වමින් මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි එක්තරා වඩු ගමක අසල කැලෑවෙන් ලී දඬු කපා ගෙනවිත් කරත්ත සෑදීම ජීවිකාව කරගත් බමුණෙක් වාසය කළේය. ආසන්න කැලෑවෙහි විශාල කොලොන් ගසක් පිහිටා තිබුණු අතර එක්තරා වලසෙක් ගොදුරු සොයා කා නිතර එම ගස මුලට පැමිණ වැදහෙව වාසය කළේය.
එක් දිනක් එසේ වැදහෝනා අවස්ථාවෙහි මහත් සුළගක් හමා යාමෙන් කොලොන් ගසේ දිරාගිය අත්තක් කැඩී වලසාගේ පිටමත වැටුණේය. එයින් වලසාගේ පිට තැලී ගියේය. බියපත් වූ වලසා වේගයෙන් මඳදුරක් දුවගොස් අපසු හැරී බලා “සිංහයෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු මා පිටු පස ලුහු බඳවාගෙන නොඑන්නේය. ඒකාත්නයෙන්ම මේ කොලොන් ගසේ වාසය කරන වෘක්ෂ දේවතාවා මා මෙතන වැද හෝනා අකැමැත්තේය. ඒ නිසා මෙසේ කළේය” යැයි සිතා වෘක්ෂ දේවතාවා පිළිබඳ අස්ථාන කෝපයක් ඇතිකරගත්තේය. එපමණක් නොව කොලොන් ගස වෙත ගොස් “ඔබගේ ගසින් මම එක් කොලයකුදු නොකෑවෙමි. අත්තකුත් නොබින්දෙමි. එහෙත් ඔබ මා මෙහි වැදහෝනා අකැමැත්තේය. සෙසු සිංහ ව්‍යාඝ්‍ර ඌරු ආදි සිවුපාවුන් මෙහි වාසය කරනු කැමැත්තේය. මාගේ කවර දෝෂයක්ද? මට මේ කළ දෑ වෙනුවෙන් මම ඔබගෙන් පළිගනිමි. තව දින කීපයකින් ඔබ උදුරා දමා කුඩා කැබලිවලට කපා දමන්නෙමි” යනුවෙන් වෘක්ෂ දේවතාවාට තර්ජනය කොට එක්තරා පුරුෂයෙකු සොයා ගියේය.
එක් දිනක් බමුණාද සහයට කීප දෙනෙක් රැගෙන රථ නිපැඳවීමට නිසි දැව සොයමින් වනයෙහි ඇවිදින්නේ කොලොන් ගස සමීපයට පැමිණියේය. බමුණු වඩුවා දුටු වලසා තමාගේ පසමිතුරු වෘක්ෂ දේවතාවාගෙන් පලිගැනීමට සුදුසුම අවස්ථාව පැමිණ තිබේයැයි කල්පනා කොට ඔහු වෙත ගොස් මේ කැලෑවෙහි ඇති ගස් අතරින් කුමන වර්ගයේ දැව කඩක් කැමැත්තේදැයි විමසීය. වලසෙකු විසින් මිනිස් බසින් කථා කරනු අසා විශ්මයට පත් බමුණා ඒකාන්තයෙන්ම මේ කැලෑවෙහි වෙසෙන මෙම වලසා රථයට සුදුසු දැව පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකැයි සිතා, රථයෙහි නිම්වළල්ලට කවර දැව වර්ගයක් සුදුසු වේදැයි උගෙන් විමසීය.
එයට පිළිවදන් දුන් වලසා රථයේ නිම් වලල්ලට කොලොම් දැව හැර වෙනත් දැව වර්ගයක් සුදුසු නොවේ යැයි පැවසීය. අනතුරුව බමුණා තමාට කොලොන් ගසක් පෙන්වන මෙන් වලසාගෙන් ඉල්ලා සිටියේය. වලසා ද මහත් සොම්නසට පත්ව තම පසමිතුරු වෘක්ෂ දේවතාවා වෙසෙන කොලොන් ගස සමීපයටම ගොස් එය පෙන්වීය. බමුණා මහත් සොම්නසට පැමිණ කොලොන් ගස කැපීමට සූදානම් වූයේය. තමා කිසිසේත්ම නොකළ වරදකට අස්ථානයේ වෛර බැඳ ගත් වලසෙකු විසින් තම විමානය විනාශ කරන්නට ක්‍රියාකර ඇතැයි වටහාගත් වෘක්ෂ දේවතාවා, තම විමානය වන කොලොම් ගස සමගම වලසාද විනාශ කොට දමමියි සිතා මිනිස් වෙසක් මවාගෙන ගස කපන්නට සූදානම්ව සිටින බමුණා වෙත ගොස් කවර හේතුවක් නිසා මේ ගස කපන්නේදැයි විමසීය. රථයේ නිම්වළලු සැකසීම සඳහා කොලොන් ලී සුදුසු නිසා මේ ගස කපමියි බමුණා දැන්වීය. කොලොන් ලී ඒ සඳහා යෝග්‍ය යැයි පැවසුවේ කවරෙක්දැයි වෘක්ෂ දේවතාවා බමුණාගෙන් විමසීය. එයට පිළිවදන් දුන් බමුණා වලෙසකු විසින් රථයේ නිම්වළල්ල සෑදීමට කොලොන් ලී සුදුසු බව පැවසීයැයි දැන්වීය. සියල්ල අසා සිටි වෘක්ෂ දේවතාවා, වලසා විසින් මේ කොලොන් ලී එයට සුදුසු යැයි කීම නිවැරදිය. එහෙත් හැකි නම් වලසෙකුගේ කර සම ගෙන එම නිම්වළල්ල වටා යොදන්නේනම් එය ඊටත් වඩා ශක්තිසම්පන්න අලංකාර එකක් වන බවත් එයින් දිගුකලක් ප්‍රයෝජන ගත හැකි බවත් දැන්වීය. ඒ අසා සිටි බමුණු වඩුවා වලස් සම් කෙසේ ලබන්නේදැයි විමසීය. බමුණාට පිළිවදන් දුන් මිනිස් වෙස් ගත් වෘක්ෂ දේවතාවා “කිමෙක්ද? නුවණ නැත්තේද? මේ කොලොන් ගස වනයේ පිහිටි හෙයින් එය තැනින් තැන නොයන්නේය. ඔබට මේ ගස රථයට සුදුසු යැයි කියූ යම් වලසෙක් වේද ඌ වෙතගොස් ආයාචනා කොට මෙහි කැඳවාගෙන විත් ගස කැපිය යුත්තේ කවර තැනින්දැයි විමසන්න. එවිට ඌ තම මුව තබා අසවල් තැන යැයි පවසන සැනින් උගේ හිස මතට තියුණු පොරෝවකින් පහරදී මරා සම උදුරාගෙන මස් අනුභව කොට අනතුරුව ගසද කපාගෙන යවයි” පැවසීය.
බමුණාද රුක් දෙවියාගේ වචනය අසා අද දින මට මඟුල් දවසකැයි සතුටුව කී නියායෙන් වලසා මරා කොලොන් ගසත් කපාගෙන තමාගේ වාසස්ථානයට ගියේයැයි දක්වා බුදුරජාණන් වහන්සේ ජාතක කථාව නිමවා වදාළ සේක. මෙම ජාතක කථාවෙන් පෙන්වන පරමාදර්ශය සමඟියයි. අසමඟිය සියල්ලන්ගේම විනාශයට හේතුවේ. වලසා රුක් දෙවියා කෙරෙහි කරුණු සොයා බැලීමකින් තොරව අස්ථාන කෝපයක් ඇති කරගත්තේය. සුළගින් කැඩීගිය දර අත්තක් තම හිස මත වැටීමෙන් බියට පත් වලසා කල්පනා කළේ එය රුක් දෙවියාගේ ක්‍රියාවක් බවයි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අදාළ පාර්ශ්ව සියල්ලෝම විනාශයට පත්වීමයි. අහේතුකව ඇතිකරගන්නා කෝපයේ බලවත් ස්වභාවය ඒ සිදුවීම් සියල්ලෙන් වටහාගත හැකි වේ. ඔවුනොවුන් අතර පවතින සමඟිය දියුණුවට හේතුවේ. බුදුරජාණන් වහන්සේ විසින් ගිහි පැවිදි දෙපක්ෂයේම සමගිය අවධාරණයකර තිබේ. භික්ෂූන් වහන්සේලා විවිධ අරමුණු ඔස්සේ බෙදී යාමෙන් සසුනේ අනාගත අභිවෘද්ධියක් අපේක්ෂා කළ නොහැකි හෙයින් උන්වහන්සේ භික්ෂුන්ගේ සමගිය (සුඛා සංඝස්ස සමාග්ගි) පිළිබඳ නිතර අනුශාසනා කළහ. භික්ෂූන් ඔවුනොවුන් සමඟ විවාද නොකර කිරි හා දියමෙන් එක්ව වාසයකරමින් අභිමුඛයේ මෙන්ම අනභිමුඛයේත් මෙත්තා සහගත වචී කර්මයෙන්ද, කාය කර්මයෙන්ද, මනෝ කර්මයෙන්ද යුක්තව ප්‍රිය ඇසින් බලමින් වෙසේ නම් එය සසුනේ අනාගත පැවැත්මට උපකාරී වේයැයි සිහිපත් කළ සේක. ලිච්ඡවීන්ගේ සප්ත අපරිහානි ධර්ම අගයමින් එය භික්ෂු සමාජයට ද හඳුන්වා දුන් සේක. බුදුරදුන්ගේ ඉගැන්වීම පුද්ගලයා ජාති ආගම් හා කුල අනුව වර්ග කරමින් බෙදා වෙන්කොට තබන එකක් නොවේ. සියලු සත්වයන් වෙත දයාව හා මෙත් සිත පතුරවමින් මානව විමුක්තිය අවධාරණය කරන චින්තනයකි. අස්ථානයේ ඇතකිරගත් කෝපය නිසා වලසා රුක් දෙවියාගෙන් පළිගැනීමට තීරණය කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් රුක් දෙවියා ද වලසාගෙන් පලිගැනීමට කල්පනා කළේය. එක් පාර්ශ්වයක් විසින් දල්වන ලද කෝපයේ ගින්නට අවසානයේ සියල්ලම ගොදුරු විය. මිනිසුන් එකිනෙකා අතර පමණක් නොව රාජ්‍ය අතර පවත්නා විවිධ ගැටුම්වල මූල බීජය විමසා බැලුවහොත් එය කුඩා හේතුවකින් හටගත්තක් බවට නිසැකවම තහවුරුකරගත හැකිය. මානව වර්ගයා එකිනෙකාට එරෙහිවෙමින් දරුණු ලෙස සටන් වැදීමේ මූල හේතුව ඔවුන් සිත තුළ හටගන්නා කෝපය හා වෛරයයි.
එය මුලිනුපුටා දමන තෙක් තිරසාර සමගියක් අපේක්ෂා කළ නොහැකිය. වෛරය විවිධ හේතු නිසා හටගත හැකිය. ආඝාතය හෙවත් බද්ධ වෛරය මිනිස් සිතෙහි ක්‍රියාත්මක වන ආකාරය අංගුත්තර නිකායේ ආඝාතපටිවිනය සූත්‍රයේ ඇතුළත් වේ. කෝපය ඇති වීමෙහිලා බලපාන හේතු අතර අස්ථාන කෝපයද එක් හේතුවක් වශයෙන් දක්වා තිබේ. මෙම ජාතක කථාවේ එන වෛරයේ මූල හේතුව ලෙස දැක්වෙන්නේ අස්ථාන කෝපයයි. කෝපය ක්ෂණිකව ඇති වී ඉතා හෙමින් බැසගිය ද එහි ප්‍රතිඵලයක් වන බද්ධ වෛරය දිගින් දිගටම ක්‍රියාකාරී වෙමින් දිගු කලක් සිතේ රැඳී සිටී. එහි බලපෑම නිසා මිනිසා තමාට මෙන්ම අන්‍යයන්ටද හානි පිණිස පවතින ක්‍රියාවන්හි නිරත වෙයි. කෝපය වෙනුවට මිනිස් සිත්හි ප්‍රඥාව කරුණාව හා මෛත්‍රිය වර්ධනය කිරීමෙන් ලෝක සාමය ගොඩගැගිය හැකිවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 10 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment