Labels

Tuesday, November 21, 2017

වරද නිවැරැදි කර ගත්තෝ උසස් අය බවට පත්වෙති

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි පෙහෙවස් සමාදන් වූ පන්සියයක් උපාසක පිරිස අමතා පංචුපෝසථ ජාතකය දේශනාකොට වදාළහ.

අතීතයේ කසී, කොසොල් හා මගධ රාජ්‍යයන් මධ්‍යයෙහි මහා වනයක් පිහිටා තිබුණි. එකල බෝධිසත්ත්වයන් වහන්සේ බමුණු මහසල් කුලයක ඉපිද පංච කාම ලෝකයේ පවතින ආදීනව අවබෝධ කර ගෙන ගිහි ගෙයින් නික්ම එම කැලෑවට ගොස් පන්සලක් සාදවා ගෙන තවුස් දම් රකිමින් වාසය කළහ. එම අසපුව නුදුරෙහි වූ උණ පඳුරක පරෙවි ජෝඩුවක් ද තුඹසක සර්පයෙක් ද ආසන්න වන ලැහැබෙහි සිවලෙක් හා වලසෙක් ද වාසය කළහ. මෙම සතුන් සිව් දෙනා කලින් කලට බෝධිසත්වයන් වෙසෙන පන්සලට ගොස් බණ කථා ඇසීමට පුරුදුව සිටියෝ ය. එක් දිනෙක පරෙවි ජෝඩුව කැදැල්ලෙන් නික්ම ගොදුරු සොයා යන අවස්ථාවෙහි උකුස්සෙකු පැමිණ පරවි ධේනුව පැහැර ගෙන ගොස් මරාගෙන කෑවේ ය.
පරවියා තම ආදරණීය බිරිඳගේ මරණය නිසා හටගත් ශෝකයෙන් ද, ඈ කෙරෙහි හටගත් සෙනෙහස නමැති රාගයෙන් ද පීඩාවට පත්වූයේ කෙසේ හෝ එම ශෝකය හා රාගය සංසිඳවීමේ අරමුණින් පන්සලට ගොස් තාපසයා සමීපයෙහි පෙහෙවස් සමාදන්ව වාසය කළේ ය. සර්පයා ද එක් දිනක් පසල් ගමකට ගොස් ගවයන් තණ කන පිටියක ගොදුරු සොයමින් සිටියේය. එකිනෙහි එම පසල් ගමේ ප්‍රධානියාට අයත් ප්‍රධාන වෘෂභයා තණ පිටියේ ඇති තුඹසක් තම අඟින් බිඳමින් විනෝදවන්නට විය. වෘෂභ රාජයාගේ ක්‍රියාවෙන් බියට පත් සර්පයා ආරක්ෂාව පතා තුඹසට රිංගා ගැනීමට වේගයෙන් බඩ ගා යන විට ගවයගේ පා පහරක් වැදීමෙන් කෝපයට පත්ව දෂ්ට කළේ ය. සර්ප විෂ හේතුවෙන් වෘෂභ රාජයා මරණයට පත් වූ අතර ගම් දෙටුවා ඇතුළු පිරිස පැමිණ මහත් ශෝකයෙන් හඬා වැළපී භූමදාන කටයුතු සිදුකර එම සොහොනෙහි සුවඳ දුම් හා මල් පුදා නිවෙස් බලා ගියෝ ය. සර්පයා ද සියල්ලන් පිටව ගිය පසුව තුඹසින් එලියට පැමිණ තමාගේ කෝපය නිසා වෘෂභ රාජයා මරණයට පත් වූයේයැයි කම්පාවට පත්ව තවදුරටත් ගොදුරු

සොයා නොගොස්, කෝපය පාලනය කිරීම උදෙසා තාපසයා සමීපයෙහි පෙහෙවස් සමාදන්ව වාසය කළේ ය. එක් දිනක් සිවලා ගොදුරු සොයමින් යන්නේ ඉදිමී ගිය ඇත් කුණක් දැක මහත් ප්‍රීතියට පත්ව එහි ගුදය පෙදෙසේ මස් උදුරා කෑමට පටන් ගත්තේ ය. එයින් සෑහීමට පත් නොවී ක්‍රමයෙන් ඇත් කුණෙහි අභ්‍යන්තරය දක්වා කමින් ඉදිරියට ගොස් අවසානයේ ඇත් කුණ අභ්‍යන්තරයේ ම හිර විය. දින කීපයක් මහත් ලෝභයෙන් එහි ඇති මස් හා ලේ අනුභව කරමින් ඇත්කුණ අභ්‍යන්තරයේ ම වාසය කළේ ය. දින කීපයක් ඇවෑමෙන් සුළගින් ඇත් කුණ වියළී ගිය අතර කැණහිලාට එළියට යා ගත නොහී එහිම සිර වී වාසය කිරීමට සිදූ විය. දින කීපයක් ඇවෑමෙන් මහා වැසි වැටීමෙන් ඇත් කුණ පෙර පරිද්දෙන්ම මොලොක් වන්නට විය.
එසද කැණහිලා මහත් ආයාසයෙන් ඇත් කුණෙන් එළියට යන්නේ උගේ සියොලඟ ලොම් හා සම ගැලවී ගොස් තල් කඳක් මෙන් සුදුපාට විය. එයින් මහත් පීඩාවට පත් සිවලා තමාගේ ලෝභය නිසා මේ සා විශාල විපතක් සිදු වී යැයි ශෝක කොට ලෝභය දුරු කිරීමේ අරමුණෙන් ආරාමයට ගොස් තාපසයන් සමීපයෙහි පෙහෙවස් සමාදන්ව වාසය කළේය. වලසාද වනයෙහි ඇති ගොදුරු පිළිබඳ සෑහීමට පත් නොවී ගොදුරු ලොභින් අසල වූ ගම්මානයකට ගියේය. එහි ගම්වැස්සෝ වලසෙකු පැමිණි බව දැන පොලු මුගුරු හා අවි ආයුධ රැගෙන වලසා පිටුපස හඹා ගියෝය. ගම්වැසියන්ගේ පාහර කෑමෙන් පීඩාවට පත් වලසා හිසින් ලේ හලමින් ආපසු වන ලැහැබ බලා දිව ගියේය. තමා තුළ පැවතී අතිච්ඡතාව හෙවත් දැඩි ආශාව නිසා මේ සා විපතකට 2 ගොදුරු වූයේ යැයි සළකා ගොදුරු සොයා නොගොස් අසපුවට වැද අතිච්ඡත්‍රාව පාලනය කිරීම උදෙසා තාපසයන් අභිමුවෙහි පෙහෙවස් සමාදන්ව වාසය කළේය. තාපසයාටද මෙතෙක් කලක් තපස් රැක්කේ වී නමුත් කිසිදු ධ්‍යානයක් උපදවාගත නොහැකි වූයේ ජාති මානයෙන් යුක්ත හෙයින්ය. එකල්හී එක් පසේ බුදුවරයන්වහන්සේ නමක් කරුණාවෙන් ලොව බලන්නේ අනාගතයේ බුද්ධත්ත්වයට පත්වන තාපසයා දැක ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ජාති මානයෙන් මුදවනු පිණිස තාපස අසපුවට පැමිණි එහි තාපසයාට අයත් ගල් අසුනෙහි වැඩ සිටියහ. බැහැර ගොස් එහි පැමිණි තාපසයා උන්වහන්සේ දැක ජාති මානයෙන් මත්ව පසේ බුදුවරයන් වහන්සේට නින්දා කළේය.
අනාගතයේ බුදුවන බුද්ධාංකුරයෙකු හෙයින් ජාති මානය දුරු කරන්නැයි පසේ බුදුරදුන් විසින් කොතෙක් අවවාද අනුශාසනා කළ ද තාපසයා ඒ කිසිවක් නොපිළිගෙන ජාති මදයෙන් මත්ව සිටියේ ය. අවසානයේ පසේ බුදරදුන් තම ආධ්‍යාත්මික ශක්තිය පෙන්වා ඔහු ජාති මදයෙන් මිදවීම පිණිස අහසට පැන නැගී එහි සක්මන් කොට ඔබටත් එසේ කළ හැකිදැයි අභියෝග කොට හිමවතට වැඩම කළහ. පසේ බුදුරදුන් වැඩිය සැනින් සියල්ල වටහාගත් තාපසයා තමාගේ ජාති මදය නිසා උන්වහන්සේට නමස්කාර නොකළ බවත් අනාගතයේ බුදුවීම පිළිබඳ කිසිවක් දැනගත නොහැකි වූ බවත් කල්පනා කොට ශෝකයට පත් වූයේ ය. ඉක්බිති ජාති මදය වනාහි අපායට මාර්ගයයක් බව වටහාගත් අතර එය දුරුකිරීම පිණිස පිළිවෙත් පිරිය යුතුයැයි වහා අධිෂ්ඨාන කොට බවුන් වඩා අෂ්ඨ සමාපත්ති පංච අභිඤ්ඤාවන් උපදවාගෙන සක්මන් මළුවේ කෙලවර පිහිටි ගල් අසුනෙහි වැඩහුන් සේක. බෝධිසත්ත්වයන් වහන්සේ විසින් විමසන ලදුව සෙසු සතර දෙනා ද තමන් කුමක් අරභයා පෙහෙවස් සමාදන්ව වෙසෙන්නේ දැයි පෙර සඳහන් කළ පරිද්දෙන් පැහැදිලි කළහ. බෝධිසත්ව තාපසයා ද තමන් පෙහෙවස් සමාදන් වූ හේතුව සෙසු සතර දෙනාට පැහැදිලි කළේ ය. තාපසයා හා සතුන් සිව් දෙනාද පෙහෙවස් රකිමින් ද, ධර්මය ශ්‍රවණය කරමින්ද ජීවිතයේ ඉතිරි කාලය දැහැමින් ගත කළහ. තාපසයා මරණින් මතු බඹලොව ඉපදුන අතර සෙසු සත්ත්වයෝද ස්වර්ගගාමි වූහ. එබැවින් පෙහෙවස් සමාදානය උතුම් දෙයකැයි දක්වා බුදුරජාණන් වහන්සේ ජාතක කථාව නිමකොට වදාළහ.
ඉතා විසිතුරු ජාතක කථාවක් වන පංචුපෝසථ ජාතක කථාවෙන් පෙහෙවස් සමාදානයේ ආධ්‍යාත්මික අරමුණ කවරේද? යන්න පැහැදිලි වේ. මෙම කථාවෙහි එන සතුන් සිව් දෙන රාගය, ක්‍රෝධය, ලෝභය හා අතිච්ඡතාව හෙවත් දැඩි ආශාව ආදී වූ මානසික දුර්වලතා නැති කිරීම පිණිස පෙහෙවස් සමාදන්ව වාසය කළහ. බෝසත් තාපසවරයා ජාතිමානය දුරුකරගැනීම උදෙසා පෙහෙවස් සමාදන්විය. ඔවුන් සියල්ලෝම තම අත්දැකීම් ආශ්‍රයෙන් තම තමන්ගේ මානසික හා චර්යාමය දුර්වලතා මැනවින් හඳුනාගත්හ. අනතුරුව එම දුර්වලතා ඉවත්කරගැනීමේ අරමුණින් පෙහෙවස් සමාදානයට යොමු වූහ. තමාගේ මානසික හා චර්යාමය දුර්වලතා දන්නේ තමාමය. එබැවින් ඒවා විනිශ්චය කිරීමේ ප්‍රධාන විනිසුරුවරයා වන්නේ ද තමාය. මෙහි එන බෝසත් තාපසයාට අධ්‍යාත්මික දියුණුව අත්පත්කරගත නොහැකි වූයේ ජාති මානය නිසයි. එය කෙතරම් ප්‍රබල කෙලෙස් ධර්මයක් ද යන්න පසේ බුදුන්වහන්සේ කෙරෙහි ඔහු දක්වන ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. ජාති මානය ජාතිවාදියෙක් නිර්මාණය කිරිමට හේතුවන අතර එවැනි දුර්වලතා සහිත පුද්ගලයෝ ඉතා ප්‍රචණ්ඩ ආකාරයෙක් ක්‍රියා කරති. ජාතිමානය හා ජාතිවාදය බිහිසුණු යුද්ධ දක්වා දිග්ගැස්සෙන බව විවිධ රටවල පවතින යුද්ධ මගින් සනාථ වේ. වරදක් කළ පසුව පසුතැවීම අනිවාර්යෙන් සිදුවේ. මෙම කථාවෙන් එය මැනවින් ප්‍රකට වේ. සිව් දෙනම තමා කළ වරද පිළිබඳ පසුව දොම්නසට පත්වූහ. එය ඔවුන්ට ආයති සංවරය ඇතිකරගැනීමට අවස්ථාවක් විය. වරදක් කොට පසුතැවිය යුත්තේ ආයති සංවරය ඇතිකරගැනීම පිණිස ය. මෙය පව් සමාකර ගැනීමක් නොවේ. එය තම වරද දැකීමයි. තම වරද නිවරදිව දුටු කෙනාට නිවැරැදි වීමේ හැකියාව නොමඳව තිබේ. වරද නිවැරැදි කරගත් විට ඔහු උසස් අයෙකු බවට පත්වන බව තාපසයා ලද ආධ්‍යාත්මික දියුණුව තුළින් සනාථ වේ.

අධ්‍යාත්මික පාරිශුද්ධත්වය උපොසථ සමාදානයේ මූලික අරමුණ බව සිත් ගන්නා සුළු උපමා භාවිත කරමින් බුදුරදුන් විසින් විශාඛා මහා උවැසිය අමතමින් කරන ලද දේශනයක් විසාඛුපොසථ සූත්‍රයෙහි ඇතුළත් වේ. සිතෙහි පවතින මානසික දුර්වලතා මැනවින් හඳුනාගෙන ඒවා පාලනය කිරීම පිණිස පෙහෙවස් සමාදන්විය යුතුවේ. එවැනි අවබෝධයකින් තොරව කෙරෙන උපෝසථ සමාදානය අර්ථවත් නොවේ. පොහෝ දිනයෙහි විහාරස්ථානවල කෙරෙන ආගමික වැටසටහන් එකී අධ්‍යාත්මික අර්ථය ඉස්මතුවන ආකාරයෙන් සංවිධානය කිරීම අවශ්‍ය වේ. අවබෝධයකින් තොරව හුදු චාරිත්‍රයක් සේ සළකා කෙරෙන උපෝසථ සමාදානය කළයක් යටිකුරු කොට එයට ජලය වක්කිරීම වැනි අරුත් සුන් පිළිවෙතකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ 
බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත ආචාර්ය 
උඩුහාවර ආනන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන  සිකුරාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment