Labels

Wednesday, November 15, 2017

දුන් දේ ගැන පසු නො තැවෙන්න අත්හළ ලෝභය යළි කැඳවා නොගන්න ( මය්හ ජාතකය)


දන්දීම උතුම් ක්‍රියාවකි. එය ලෝභය දුරුකිරීම අරමුණු කර ගත් උසස් අභ්‍යාසයකි. එබැවින් දුන් දේ පිළිබඳ පසුතැවීම අත්හළ ලෝභය නැවත කැඳවා ගැනීමකි.'
දන් දී පසු තැවීමෙන් පිනෙහි අගය අඩුවේ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි ආගන්තුක සිටුවරයෙකු අරභයා මය්හ ජාතකය දේශනාකොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා සිටුවරයෙකුට බොහෝ ධන සම්පත් විය. එසේ නමුත් ඔහු කිසි දිනෙක කිසිවෙකුටත් නූල් පොටක් තරමක දෙයක් වුව නො දුන්නේය. ඉතා දැඩි ලෝභියෙකු වූ සිටුවරයා එක්තරා දරුණු රෝගයක් වැළඳීමෙන් අකාලයේම මිය පරලොව ගියේය. දරුවන් නොමැති මෙම සිටුවරයාගේ ධනය ඔහුගේ මරණින් පසුව රාජ සන්තක විය.

එම ධනය රාජ භාණ්ඩාගාරය වෙත ගෙන යාම සඳහා අඛණ්ඩව දින හතක් ගතවූ හෙයින් රජතුමාට බුදුරදුන් බැහැදැකීමට නොහැකිවිය. සත් දිනක් ඇවෑමෙන් බුදුරදුන් හමුවීම පිණිස දෙව්රම් වෙහෙරට ගිය රජු සිදුවූ සියල්ල සැකෙවින් දක්වා මේසා විශාල ධනයක් තිබියදීත් සිටුවරයා විසින් දන් නොදෙන ලද්දේ කවර හේතුවක් නිසා දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේය. මෙම ධනවත් සිටුවරයා පෙර ආත්මයක තගරසිඛී නම් පසේ බුදුරජාණන් වහන්සේ වීථියෙහි පිඬු පිණිස වඩිනු දැක උන්වහන්සේ තම සිටුමැදුරට වැඩමාගෙන ගොස් දන් පිළිගැන්වීමට සේවකයන්ට පවරා කිසියම් හදිසි රාජකාරී කටයුත්තක් සඳහා රජ ගෙදරට ගියේය


ගිය සැනින් රාජකාරිය නිමවා ආපසු නිවසට පැමිණි සිටුවරයා දන් පිළිගෙන වඩින පසේ බුදුරදුන්ගෙන් දන් ලැබුණේදැයි විමසීය. දන් ලබුණේයැයි පසේ බුදුරදුන් විසින් දැන් වූ කල්හී උන්වහන්සේගේ පාත්‍රයට එබී බලා මෙතරම් බත් ප්‍රමාණයක් මුන් වහන්සේට පිළිගැන්වූයේ කවර හේතුවක් නිසාද? මේ බත වෙන මිනිසෙකුට දුන්නේ වී නම් ඔහු මට නොසෑහෙන තරම් සේවය කරන්නේ යැයි පවසා සේවකයන් විසින් පසේ බුදුන්ට පිදූ පිණ්ඩ දානය පිළිබඳ දැඩි ලෙස නොසතුටට පත්විය.

සේවකයන්ට අණකොට දන් පිදූ හෙයින් වර්තමාන භවයේ විශාල ධන සම්පතක් ලැබුණත් පිණ්ඩ දානය පිළිබද පසුව විස්සෝපයට පත්වීම හේතුවෙන් සිටුවරයාට ලද සම්පත් භුක්ති විඳීමේ භාග්‍ය අහිමි වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. අනතුරුව රජතුමා සිටුවරයාට දරුවන් නොමැති වීමට හේතුව කවරේදැයි බුදුරදුන්ගෙන් විමසීය.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ තම පුතණුවන් සොහොයුරාට පවරා දී ගිහිගෙය අතහැර තාපස පැවිද්දට ඇතුළත්විය. පසු කලෙක සොහොයුරාටද පුතෙකු ලදින් දරුවන් දෙදෙනාම එක්ව වැඩුණෝය.
ඔවුන් වැඩිවියට පත් වූ පසුව දෙදෙනාටම තම සම්පත් සමව බෙදා දීමට සිදුවෙන බැවින් තම දරුවාට එයින් අවාසියක් වෙතැයි කල්පනාකොට වැඩිමල් සොහොයුරාගේ දරුවා දැන්ම මරා දැමිය යුතුයැයි අධිටන් කරගත්තේය. ඒ අනුව ස්නානය පිණිස ඔහු කැඳවාගෙන ගොස් දියෙහි ගිල්වා මරා දැමීය. දරුවාගේ මව ඔහු කොහේදැයි විමසූ අවස්ථාවෙහි දියේ ගිලී මළේයැයි පැවසීය. ඇයද දරු සොවින් වැළප කිසිවක් කරගත නොහී නිහඬව උන්නාය. තාපස පැවිද්දට පත් බෝධිසත්ත්වයන් වහන්සේ දිවැසින් බලන්නේ සියලු පවත් දැන සොහොයුරා වෙත ගොස් තම පුතු ගැන කරුණු විමසූහ.
දියේ ගිලී මළේයැයි ප්‍රකාශ කළ කල්හී ඔහු විසින් වස්තු තණ්හාවෙන් සිදුකළ අකටයුත්ත පිළිබඳ කරුණු සහිතව පැහැදිලි කොට නැවත එවැනි අධම ක්‍රියා නොකරන්නැයි අවවාද කොට හිමාලයට ගියේය. ධන තණ්හාවෙන් තම සොහොයුරාගේ පුතණුවන් නැසීමේ පවින් සිටුවරයාට වර්තමාන භවයේ දරු සම්පත් නොලැබීයැයි දක්වා බුදුරජාණන් වහන්සේ ජාතක කථාව නිමවා වදාළ සේක. කරන ලද පාප කර්මයට අනුරූප විපාක ලැබීම හෙවත් කම්මසරික්කතාව පිළිබඳ ආදර්ශය මෙම ජාතක කථාවෙන් ගම්‍ය වේ. දන්දීම උතුම් ක්‍රියාවකි. එය ලෝභය දුරුකිරීම අරමුණු කර ගත් උසස් අභ්‍යාසයකි.
එබැවින් දුන් දේ පිළිබඳ පසුතැවීම අත්හළ ලෝභය නැවත කැඳවා ගැනීමකි. සිටුවරයා පසේ බුදුරදුන්ට දන් පූජා කිරීමට අණකිරීමේ පිනෙන් ධන සම්පත් ලැබුවත්, එම භෝග සම්පත් භුක්තිවිඳීමට නොහැකි වූයේ ඒ පිළිබඳ බලවත් ලෙස පසුතැවිල්ලට පත් වූ නිසයි. එසේම සසර දන් දී පුරුද්දක් නැති හෙයින් වර්තමානයේ කොතෙක් සම්පත් ලැබුණත් පරිත්‍යාග චේතනාවක් ඇති නොවීය. කලාතුරකින් නමුත් ඇති වූ චේතනාව ලෝභකම හේතුවෙන් කිළිටි වූ හෙයින් එහි විපාකද අඩුපාඩු සහිත විය. සම්පත් තිබියදී පරිත්‍යාග චේතනාවක් නොමැති මසුරු ධනවතුන් මෙන්ම දන් දී පසු තැවෙන්නන් පිළිබඳවද කොතෙකුත් නිදසුන් අප අතර දක්නට ලැබේ. දන් දී පසු කලෙක ප්‍රතිග්‍රාහයකයාට නින්දා කිරීමෙන් සිදුවන්නේ කළ පරිත්‍යාගයේ බලය අඩුවීමයි.
එසේම යමක් පරිත්‍යාග කළ යුත්තේ නිරපේක්ෂකවය. සැබෑ පරිත්‍යාගය නම් එයයි. යමක් දී එය ආයෝජනයක් ලෙස සැළකීම මෙන්ම ඒ පිළිබඳ පසු තැවීම ද නොකළයුත්තකි. දානය පාරමිතාවක් බවට පත්වන්නේ එය නිවන් අරමුණුකොට, ලෝභය දුරුකිරීම පිණිස සිදුවන්නේ නම් පමණි. ජාතක කථාවේ දෙවන කොටසින් පෙන්වා දෙන්නේ සිටුවරයාට දරු සම්පත් නොලැබීමේ හේතුවයි. වස්තු තණ්හාව හේතුවෙන් තම සොහොයුරාගේ දරුවා මරණයට පත් කිරීම ඔහු කළ බරපතල අකුසල කර්මයකි. මෙයින් වස්තු කාමයෙහි තීව්‍ර බව පැහැදිලි වේ. ධනයට ලොල් වීමෙන් ඇතැම් පුද්ගලයන් නොයෙකුත් දරුණු අපරාධ සිදුකරන අයුරු කොතෙක් නම් දක්නට ලැබේද? ධන සම්පත් වනාහි එක් අයෙකුට පමණක්ම අයත් වූවක් නොවේ.

අප විසින් නිතර මගේ යැයි සිතාගෙන තිබෙන දෑ අපෙන් පසුව වෙනත් අයෙකුට අයත් වේ. සිටුවරයා මහත් ආශාවෙන් එක් රැස් කළ ධනය අවසානයේ ඔහුට ද ප්‍රයෝජනයක් නොවී රාජ සන්තක විය. ඇතැම් ධනවතුන්ගේ අස්වාමික ධනයට සිදුවන්නේ මෙයයි. එසේම ඇතැම් පුද්ගලයන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ධන සම්පත් එක්රැස් කොට අන් අයට පරිත්‍යාග කිරීම තබා තමන්වත් භුක්ති නොවිඳ මරණයට පත්වේ. එැවැනි අධම ජීවිත බුදුරදුන් හැඳීන් වූයේ නොකා මරණයට පත්විමක් ලෙසයි (අජද්ධුමාරික). දානය උතුම් ක්‍රියාවකි. එය නිරපේක්ෂව කිරීමෙන් උසස් ප්‍රතිඵල ලද හැකි වේ. වස්තු තණ්හාව දුරුකොට තමා සතු ධනයෙන් තමාත් ලෝකයත් හැකි පමණින් සුවපත් කිරීම සැනසුමට හේතුවේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත ආචාර්ය 
උඩුහාවර ආනන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment