බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි කොසොල් රජුගේ අමාත්‍ය මණ්ඩලයට අයත් එක්තරා යහපත් ඇමතිවරයෙකු අරභයා මෙම ජාතක කථාව දේශනා කොට වදාළහ. කොසොල් රජ්ජුරුවෝ එක්තරා ඇමතිවරයෙකු කෙරෙහි විශේෂ ලැදියාවක් දක්වමින් නොයෙක් ආකාරයෙන් ඔහුට උපකාර කළෝ ය. සෙසු අමාත්‍යවරු ඒ කෙරෙහි ස්වකීය අකැමැත්ත පළකොට එම අමාත්‍යවරයාගේ නොයෙක් දෝෂ පිළිබඳ රජුට කරුණු දැක්වූහ. රජතුමා ඒ සියල්ල අසා සිට ඔවුන් දක්වන දුර්ගුණ එම ඇමැතිවරයා තුළ පිහිටා තිබේදැයි පරීක්ෂා කොට එකී කිසි දෝෂයක් ඔහු වෙත නොදැක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මිත්‍රයාගේ යහපත් ගතිලක්ෂණත් අමිත්‍රයාගේ දුර්ගුණත් වෙන්කොට හඳුනාගන්නේ කෙසේදැයි විමසූහ. රජුගේ පැනයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ අතීතයේත් නුවණැති රජදරුවෝ මිත්‍රයා හා අමිත්‍රයා හඳුනා ගන්නා ලක්ෂණ කවරේදැයි විමසා ඇතිබව ගෙනහැර දක්වමින් ඔවුන් එකිනෙකා වෙන්කොට හඳුනාගන්නා ලක්ෂණ රැසක් ඇතුළත් අතීත කථාව දේශනාකොට වදාළහ.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එම රජුට පණ්ඩිත අමාත්‍යව උපන්නාහ. බ්‍රහ්මදත්ත රජු එක්තරා අමාත්‍යවරයෙකු කෙරෙහි විශේෂත්වයක් දැක්වී ය. සෙසු ඇමතිවරු එම අමාත්‍යවරයාට විරුද්ධ ව රජුට ගතු කීහ. රජු ඒ සියල්ල සාවධානව අසා තම හිතවත් අමාත්‍යවරයා වෙත එකී දෝෂ තිබේදැයි පරීක්ෂා කොට ඒ කිසිවක් නොදැක, පණ්ඩිත අමාත්‍යයන් කැඳවා මිත්‍රයා හා අමිත්‍රයා වෙන්කොට හඳුනා ගන්නා ගති ලක්ෂණ කවරේදැයි පැහැදිලි කරන මෙන් දැන්වූහ
බෝධිසත්ත්වයන් වහන්සේ ද රජුගේ ඉල්ලීම පරිදි මිත්‍රයා හා අමිත්‍රයා සතු ගතිලක්ෂණ කවරේදැයි වෙන්කොට ප්‍රකාශ කළහ. ඒ අනුව පළමුව අමිත්‍රයාගේ ගති ලක්ෂණ සොළොසක් ගෙනහැර දැක්වූහ.
(1) ඒ අනුව මිත්‍ර ප්‍රතිරූපකයා තම මිත්‍රයා දැක සතුටු නොවෙයි.
(2) මිත්‍රයාගේ කථාවට සතුටු නොවෙයි.
(3) මිත්‍රයාගේ මුහුණ නොබලයි.
(4) මිත්‍රයාගේ කථාවට විරුද්ධ වෙයි.
(5) මිත්‍රයාගේ පසමිතුරන් සේවනය කරයි.
(6) මිතුරන් ඇසුරු නොකරයි
(7) ගුණ කියන්නන් වළක්වයි.
(8) නුගුණ කියන්නන්ට ප්‍රශංසා කරයි.
(9) ඔහුට රහස් නොකියයි.
(10) ඔහුගේ රහස් නොරකියි.
(11) මිතුරාගේ කටයුතු අගය නොකරයි
.(12) මිතුරාගේ ප්‍රඥා සම්පත්තිය අගය නොකරයි.
(14) මිතුරාට අවැඩක් වූ විට සතුටු වෙයි.
(15) යහපතක් වූ විට අසතුටු වෙයි.
(16) ලද දෙයක් මිතුරා සමඟ බෙදා ගැනීමට අකැමැති වෙයි.
පණ්ඩිත අමාත්‍යවරයා පළමුව මිත්‍ර ප්‍රතිරූපකයාගේ දොස් දහසය ගෙනහැර දක්වා අනතුරුව යහපත් මිත්‍රයෙකුගේ ගති ලක්ෂණ දහසය පිළිවෙලින් පැහැදිලි කළේ ය. ඒ අනුව කල්‍යාණ මිත්‍රයා
(1)තම මිත්‍රයා දැක සතුටු වෙයි.
(2) මිත්‍රයාගේ කථාවට සතුටු වෙයි.
(3) මිත්‍රයාගේ මුහුණ බලයි.
(4) මිත්‍රයාගේ කථාවට විරුද්ධ නොවෙයි.
(5) මිත්‍රයාගේ මිතුරන් සේවනය කරයි.
(6) පසමිතුරන් ඇසුරු නොකරයි
(7) ගුණ කියන්නන් දිරිමත් කරයි.
(8) නුගුණ කියන්නන් වළක්වයි.
(9) ඔහුට රහස් කියයි.
(10) ඔහුගේ රහස් රකියි.
(11) මිතුරාගේ කටයුතු අගය කරයි.
(12) මිතුරාගේ ප්‍රඥා සම්පත්තිය අගය කරයි.
(14) මිතුරාට අවැඩක් වූ විට දුක් වෙයි.
(15) යහපතක් වූ විට සතුටු වෙයි.
(16) තමා ලද දෙයක් මිතුරා සමඟ බෙදා ගැනීමට කැමැති වෙයි.
මෙකී තිස් දෙවැදෑරුම් ලක්ෂණ අනුව මිත්‍රප්‍රතිරූපකයා හා කල්‍යාණ මිත්‍රයා කවරේදැයි මැනවින් හඳුනාගෙන ඇසුරු කළ යුතුයැයි පණ්ඩිත ඇමැතියා විසින් රජුට උපදෙස් දෙන ලදි. රජු පණ්ඩිත ඇමතියාගේ උපදෙස් පිළිගෙන ඔහුට මහත් සේ ප්‍රශංසා කොට බොහෝ තෑගි බෝග ලබා දුන්නේ ය. පෙර නුවණැතියන් විසින් මෙකී ආදර්ශයන් අනුව මිතුරන් හා පසමිතුරුන් මැනවින් දැන ඇසුරු කළ බව දක්වමින් බුදුරජාණන් වහන්සේ අතීත කථාව නිමවා වදාළ සේක.
මිතුරන් හා පසමිතුරන් වෙන්කොට හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීම මෙම ජාතක කථාවේ අරමුණයි. පුද්ගලයා උපතින් ම සමාජ සත්ත්වයෙකි. සමාජයෙන් තොර පැවැත්මක් ගැන කථා කළ නොහැකි ය. සෑම අයෙකුටම කිසියම් ප්‍රමාණයක සමාජ සම්බන්ධතාවක් අවශ්‍ය වේ. මෙම සමාජ සම්බන්ධතා පවත්වාගත යුතු ආකාරය ධර්මයෙහි විවිධ නයින් විස්තරකොට ඇත. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය එම සමාජ සම්බන්ධතාවේ එක් අංශයක් නියෝජනය කරයි. සමස්ත සසුන ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත පදනම් ව පවතින බව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී ආනන්ද හිමියන් අමතා දේශනා කළහ. පවිටු මිතුරන් බැහැර කොට කල්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරට ගත යුතු යැයි ධර්මයේ දැක්වේ. ඒ අනුව කෙනෙකු විසින් සෑම අයෙක් ම මිතුරන් ලෙස ඇසුරු කළයුතු නොවේ. ඒ වෙනුවට කල්‍යාණ මිතුරන් පමණක් තෝරාගත යුතු වේ. ජාතක කථාවේ එන තිස් දෙවැදෑරුම් ලක්ෂණ ආශ්‍රයෙන් යහපත් හා අයහපත් මිතුරන් කවරේදැයි පහසුවෙන් හඳුනාගත හැකි වේ. එම ලක්ෂණ එකිනෙකක් විශ්ලේෂණය කිරීමෙන් තමන් සමීපව ඇසුරු කරන පුද්ගලයන් සැබෑ මිතුරන් ද, එසේ නොමැති නම් මිත්‍ර ප්‍රතිරූපකයන්දැයි අවබෝධ කර ගත හැකි වේ.
ඇසුර කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට මෙන් ම පරාජයට ද හේතුවේ. වර්තමාන පරිභෝජනවාදී සමාජයේ මානව සම්බන්ධතා තීරණය වන්නේ වාණිජ ස්වරූපයෙන් ය. උන්නතිකාමී මිනිසුන් තම අභිලාෂය වෙනුවෙන් කෙසේ හෝ සමාජ සම්බන්ධතා ඇති කර ගනී. ආත්මාර්ථය පමණක් අරමුණු කර ගත් එවැනි මානව සම්බන්ධතා හානිකර වේ. ධනය හා බලය ඇතිවිට තමා වටා එක්වන මිතුරන් සියල්ලෝ ම එකී බලය ගිලිහී ගිය විට නොකියාම අපෙන් සමුගෙන තවත් එවැනිම බලයක් සහිත කෙනෙකු වටා එක්රොක් වෙති. එබැවින් කෙනෙකු මිතුරෙකු වශයෙන් ඇසුරු කිරීමේ දී පළමුව ඒ ගැන හොඳින් කරුණු සළකා බලා තීරණය කිරීම අවශ්‍ය වේ. තාක්ෂණික පහසුකම් දියුණු ලෝකයේ මානව සම්බන්ධතා ඉතා කඩිනමින් ගොඩනගාගත හැකිවාක් මෙන් ම අනෙකා රැවටීම ද පහසුවෙන් කළ හැකි වේ. විවිධ මාධ්‍ය ඔස්සේ ක්ෂණිකව ඇතිවෙන බොහෝ බැඳීම් කෙළවර වන්නේ තම ආත්ම ගරුත්වය ද වනසා දැමීමෙන් ය යන්න දෛනික සිදුවීම් මගින් පැහැදිලි වේ. දුරදක්නා නුවණක් නොමැති අතිශය සංවේදී තරුණ තරුණියන් අවස්ථාවාදී පුද්ගලයන්ගේ ග්‍රහණයට හසුවී ජීවිත අඳුරු කර ගත් අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ.
ජාතක කථාවේ එන රජු එක් ඇමතියෙකුට පමණක් විශේෂත්වයක් දැක්වීම නිසා සෙසු ඇමතිවරුන් තුළ ඒ කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම ස්වාභාවික ය. පාලකයෙකු ලෙස රජු විසින් එවැන්නක් නොකළ යුතු ය. ඔහු සියල්ලන්ටම එක හා සාමනව සැළකිය යුතු ය. එය නොසළකා කටයුතු කිරීම හේතුවෙන් මැති ඇමැතිවරුන් අතර නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බව පැහැදිලි ය. අනෙක් අතට රජු තම හිතවත් අමාත්‍යවරයා පිළිබඳ කළ චෝදනා සියල්ල පරීක්ෂාවට ලක්කිරීම යහපත් පාලනයක ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය. තම හිතවතාගේ වුව යම් වරදක් තිබේනම්, එය නිවැරදි කර ගැනීම අවශ්‍ය වේ. පරීක්ෂා කළ නිසා එක් අතකින් රජුට තමා කළ ක්‍රියාව පිළිබඳ මෙන් ම තම හිතවත් ඇමතිවරයා පිළිබඳව ද නිවැරදි තක්සේරුවක් ඇති කර ගැනීමට හැකි විය. කෙනෙකු කරනු ලබන චෝදනා පරීක්ෂා නොකර බැහැර කිරීමඋසස් පුද්ගලයෙකුගේ ලක්ෂණයක් නොවේ.
අනෙක් අතට රාජ්‍ය පාලනයේ දී පමණක් නොව ඕනෑම ආයතනයක් පාලනය කරන පාලකයන්ට නිවැරදි උපදෙස් සපයන බුද්ධිමත් උපදේශකයන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව මෙන් ම වැදගත් බව ද මෙම කථාවේ එන පණ්ඩිත ඇමතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි වේ. බුද්ධිමතුන්ගේ උපදෙස් පිළිපැදීමත් යහපත් මිතුරන්ගේ ඇසුර ලැබීමත් ජීවිතය ආලෝකමත් කරගැනීමට හේතුවක් වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
No comments:
Post a Comment