Labels

Monday, July 17, 2017

පරමාදර්ශය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අග්‍රෝපස්ථායක ආනන්ද තෙරුන් අරභයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරුවෝ කොසොල් රජුගේ අන්තඞපුර කාන්තාවන්ට ධර්ම දේශනා කරන සමයෙහි රජතුමා විසින් තමන්වෙත ලද අගනා වස්ත්‍ර යුගල දහසකින් පන්සියයක් ගෙන අන්තඞපුර කාන්තාවන් අතර බෙදා දෙන ලදි.
අන්තඞපුර වැසි කාන්තාවෝ තමන් ලද සළු පන්සියය පරිහරණය නොකොට තබාගෙන ආනන්ද තෙරුන් ධර්මය දේශනා කළ කල්හී උන්වහන්සේට පරිස්කාර වශයෙන් පූජා කළහ. පසු දින දුර්වල වස්ත්‍ර සහිතව පැමිණි අන්තඞපුර කතුන් දුටු කොසොල් රජු තමා විසින් දුන් වස්ත්‍ර යුග්මයට කුමක් කළේදැයි විමසීය. එයටපිළිවදන් දුන් කාන්තාවෝ ඒ සියල්ල ආනන්ද තෙරුන් වෙත පිරිකර වශයෙන් පූජා කළේ යැයි දන්වා සිටියහ. බුදුරදුන් විසින් තුන් සිවුරක් පමණක් අනුදැන වදාරා තිබියදීත් මේ සා විශාල සළු ගොඩක් පිළිගත්තේ වෙළෙඳාම් පිණිස දැයි කෝපයට පත්ව ආනන්ද හිමියන් සොයා දෙව්රම් වෙහෙරට ගියේය. එහි ගොස් ආනන්ද හිමියන්ගෙන් සිවුරු පරිහරණය පිළිබඳ කරුණු විමසා සිටියේය.

බුදුරදුන් විසින් තුන් සිවුරක් ඇනු දැන වදාරා තිබියදීත් මේසා විශාල සළු ප්‍රමාණයක් පිළිගැනීම යෝග්‍ය නොවේ යැයි අදහස් දැක්වූ කොසොල් රජු අමතා ආනන්ද තෙරුන් ප්‍රකාශ කළේ පරිහරණය සඳහා තුන් සිවුර පමණක් අනුදැන වදාරා ඇති නමුත් විශාල සිවුරු ප්‍රමාණයක් පිළිගැනීම වරදක් නොවන බවයි. සිවුරු පරිහරණය සම්බන්ධයෙන් රජු හා ආනන්ද හිමියන් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. සිවුරු පරිහරණය පිළිබඳ බෞද්ධ පිළිවෙත පැහැදිලි කළ ආනන්ද හිමියන් කෙරෙහි පැහැදුණු කොසොල් රජු උන්වහන්සේ වෙත අතිරේක සළු පන්සියයක් පූජා කළේය. පළමු අන්තඞපුර කාන්තාවන්ගෙන් ලද වස්ත්‍ර පන්සියය දුර්වල සිවුරු ඇති භික්ෂූන් වෙත බෙදා දුන් අතර පසුව ලද පන්සියය තමන් වහන්සේට ඇප උපස්ථාන සිදුකරන බාලම භික්ෂුව වෙත ලබාදුන්නේය. එම බාල භික්ෂුව තමන් ලද වස්ත්‍ර ආනන්ද තෙරුන්ගේ පිරිස අතර බෙදාදී එයින් නව සිවුරු කරවා හැඳ පොරවාගෙන බුදුරදුන් දක්නට ගියේය. බුදුරදුන් බැහැදුටු එම භික්ෂුව සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ දැයි විමසා සිටියේය. එයට පිළිවදන් දුන් බුදුරදුන් දේශනා කළේ ආර්ය ශ්‍රාවකයා වෙත එවැනි අගතිගාමි ක්‍රියා නොමැති බවයි.
එසේ නම් අපගේ උපාධ්‍යයන් වහන්සේ තමන්ගේ අතවැසියන් අතර සියල්ලට බාල වූ භික්ෂුවට වස්ත්‍ර පන්සියයක්ම බෙදා දුන්නේ අගතිය නිසා නොවේදැයි එම භික්ෂුව විමසා සිටියේය. ආනන්ද තෙරුන් එසේ මූන බලා කෙනෙකුට විශේෂ කොට නොසළකන බවත් තමන්ට බොහෝ උපකාරී වූ බාල භික්ෂුවට ප්‍රත්‍යූපකාර පිණිස කළ දෙයකැයි දන්වා පෙර උත්තම පුරුෂයන් විසින් ද එසේ ප්‍රත්‍යූපකාර කළේ යැයි දන්වා ඉකුත් වත ගෙනහැර දැක් වූ සේක.
අතීතයේ එක් භවයක බෝධිසත්ත්වයන් වහන්සේ සිංහයෙකු වී ඉපිද පර්වතයක වාසය කළේය.
දිනක් ගොදුරු සොයා යාමේ දී මඩ ගොහොරුවක් අසල තණ කමින් සිටි මුවෙක් දැක පර්වත මස්තකයේ සිට ඌ වෙත පැන්නේය. මුවා පළා ගිය අතර සිංහයා මඩගොහොරුවේ එරී ගියේ සිටි පියවර අනුව ගොඩට ඒ ගත නොහී සත් දිනක්ම නිරහාරව එකතැනම වාසය කළේය. ඒ අසලින් ගිය කැණහිලෙකු සිංහයා දැක බියෙන් පලා යාමට සූදානම් වූ කල්හී තමා මඩෙහි එරී ඇති හෙයින් නොබියව සමීපයට පැමිණ මඩෙන් ගොඩ වීමට සහාය වන මෙන් ඉල්ලා සිටියේය. සිංහයාගේ තතු දත් කැණහිලා දන්වා සිටියේ තමාට අභය දානය ලැබෙන්නේ නම් මඩෙන් ගොඩ ඒමට උපකාර කරන බවයි. එය ඇසූ සිංහයා කිසි විටෙකත් කැණහිලාට අනතුරක් නොකරන බවට සහතික වූයේය. අනතුරුව කැණහිලා විසින් උපක්‍රමශීලිව සිංහයා මඩෙන් ගොඩ ගනු ලැබීය. මඩෙන් ගොඩ ආ සිංහයා මදක් විවේක ගෙන අසල සිටි මීමෙකු මරා එයින් කොටසක් කැණහිලාටත් දී අනුභව කළේය. අනතුරුව සිංහ ධේනුවත් කැණහිල් ධේනුවත් ඔවුන්ගේ පැටවුණුත් සමග ඉතා සමීප ගුහා දෙකක වෙසෙමින් ඉතා සමගිව ඔවුනොවුන්ගේ දුක සැප බෙදා ගනිමින් කාලය ගත කළහ. කලක් ගත වූ පසුව සිංහ ධේනුව විසින් කැණහිල් ධේනුව හා සිංහයා අතර යම් අනියම් බැඳීමක් ඇතැයි සැක කොට ඔවුන් එලවා දැමීම පිණිස කුමන්ත්‍රණය කළ අතර සිංහයා හා කැණහිලා නොමැති අවස්ථාවලදී කැණහිල් ධේනුවට හා ඇගේ පැටවුන්ට හිංසා කරමින් ගුහාව අතහැර යනමෙන් තර්ජනය කළාය. මෙය දැනගත් කැණහිලා ඒ පිළිබඳ සිංහයාට දැන් වීය. සිංහ ධේනුව ඇමතූ සිංහයා තම ජීවිතය බේරුණේ කැණහිලා නිසා බවත් එබැවින් කළ උපකාරයට ප්‍රත්‍යූපකාර කිරීම උත්තම ගුණයක් බවත් දන්වා ඔවුන්ට හිංසා නොකළ යුතුයැයි දන්වා සිටියේය.
අනතුරුව සිංහ පවුලත් කැණහිල් පවුලත් එකම ගුහාවක සමගියෙන් වාසය කළ අතර ඔවුනොවුන්ගේ පරම්පරා හතක් දක්වා මෙම සමගිය අඛණ්ඩව පැවතුණි. කළගුණ සැළකීමේ වටිනාකම අතීත හා වර්තමාන යන කථා දෙකින්ම සැපයෙන පරමාදර්ශය වේ. කළ උපකාරයට ප්‍රත්‍යූපකාර දැක්වීම සත් පුරුෂ ධර්මයක් බවත් එය ලොව දුර්ලබ කරුණක් බවත් දහමෙන් පෙන්වාදෙයි (කතඤ්ඤු කථවේදී පුග්ගලො දුල්ලභො ලොකස්මිං). බොහෝ දෙනෙක් තම දියුණුව සළසා ගත් පසුව ඒ සඳහා උපකාරී වූ පුද්ගලයන් මෙන්ම ආයතන ද ඉතා පහසුවෙන් අමතක කරති. කළ ගුණ සැළකීම බුදුරදුන් ආදර්ශයෙන්ම ක්‍රියාවට නැංවූ බව බුද්ධත්ත්වය පිණිස උපකාරී වූ ඇසතු වෘක්ෂය දෙස සතියක් මුළුල්ලේ අනිමිස ලෝචනයෙන් උපහාර දැක්වීමෙන් පැහැදිලි වේ. තමාට උපකාර කළ දෙමාපියන් ගුරුවරුන් මෙන්ම වෙනත් අය නොසළකා අතහැර දමන අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ. එවැනි සමාජයකට මෙමගින් ලැබෙන ආදර්ශය බෙහෙවින් අර්ථවත් වේ. භෞතික සම්පත් නිසි ලෙස කළමණාකරණය කොට පරිහරණය කිරීමේ වැදගත් කම පෙන්වන වර්තමාන කථාව ගිහි පැවිදි පෙදක්ෂයට වැදගත් ආදර්ශයකි. බොහෝ දෙනෙකු සම්පත් නිසිලෙස ප්‍රයෝජනයට ගැනීමේදී දක්වන්නේ උදාසීන ආකල්පයකි.
එදිනෙදා පරිහරණය කරන ජලය විදුලිය හා වෙනත් දෑ අවබෝධයකින් තොරව පරිහරණය කිරීමෙන් අනාගත ලෝකයේ පැවැත්මට හානිකර තිබේ. ඇතැම් පාරිසරික සම්පත් මිහිතලයෙන් අතුරුදහන් වෙමින් පවතී. එය මිනිසාගේ මෙන්ම සෙසු ජීවීන්ගේ පැවැත්මට ද විශාල තර්ජනයක් වී තිබේ. තිරසාර සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ අනාගත පරපුරට ද යමක් ඉතිරි කොට තම අවශ්‍යතා පසුරා ගැනීමයි. ආනන්ද තෙරණුවන් තමාවෙත ලද වස්ත්‍ර සිවුරු පිණිස යොදාගත් ආකාරය විමසීමෙන් පරිභෝජනය පිළිබඳ බෞද්ධ පිළිවෙත කෙබඳුද? යන්න වටහාගත හැකිවේ. කොතරම් යහපත් මිතුරන් වුවද දීර්ඝ කාලයක් එක්ව විසීමෙන් ඔවුනොවුන් අතර අර්බුද ඇතිවිය හැකි බව සිංහ හා කැණහිල් පවුල් අතර ඇති වූ ගැටුමින් පැහැදිලි වේ. ඇතැම් විටෙක මෙම ගැටුම් අස්ථාන සැකය හා අනවබෝධය නිසා ඇතිවිය හැකි බව එයින් තවදුරටත් ගම්‍ය වේ. සිංහ ධේනුව සිංහයා පිළිබඳ ඇතිකරගත්තේ එවැනි අස්ථාන සැකයකි. සිංහයා හා කැණහිලා එකිනෙකට නොගැලපෙන සමාජ පන්ති දෙකකට අයත් සාමාජිකයෝ වෙති.
එවැනි විෂම පන්ති දෙකක එක්ව විසීම කලාතුරකින් දකින්නට ලැබෙන්නකි. විෂම පන්ති දෙක එකට යා කළ පුරුෂාර්ථය වූයේ කළ උපකාරයයි. එසේම මෙම කථාවෙහි එන සිංහ ධේනුව තම පැටවුන් ලවාද කැණහිල් පැටවුන්ට අකටයුතුකම් සිදු කිරීම ඇතැම් වැඩිහිටයන්ගේ දුර්ගුණ කුඩා දරුවන්ටද පුරුදු පුහුණු කිරීමෙන් ඔවුන්ද අයහපතට යොමුකිරීමේ පිළිවෙතට කදිම නිදසුනකි. වැඩිහිටියන්ගේ යහපත් ආදර්ශය අනාගත පරම්පරාවට බලපාන බව කථාව අවසානයේ සිංහ හා කැණහිල් පරපුර පරම්පරා හතක් එක්ව කටයුතු කළ බව දැක්වීමෙන් පැහැදිලි වේ. මිනිසා ලෝකයට එනවිට කිසිවක් රැගෙන එන්නේ නැත. ලෝකයෙන් ලැබෙන දෑ මගින් ඔහු සුවසේ ජීවත් වෙයි. එසේනම් මිනිසාගේ පරම වගකීම විය යුත්තේ ලෝකයෙන් ලැබුණ දෑ වෙත කෘතඥවී අනාගත ලෝකයේ පැවැත්මට යමක් පරිත්‍යාග කිරීමයි. ලෝකයට අකෘතඥවීම අසත් ගුණයකි. එහෙත් ලෝකයට කෘතඥ වීමෙන් එය ලස්සන තැනක් බවට පත්වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment