Labels

Sunday, October 15, 2017

ශෝකයක්නොමැත්තේ කාටද? ( මතරොදක ජාතකය )

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙහි එක්තරා කෙළෙඹි පුත්‍රයෙකු අමතා මෙම ජාතකය දේශනාකොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් තම ආදරණීය බැණනුවන්ගේ මරණය නිසා දැඩිලෙස ශෝකා තුර වූයේ ස්නාන ආදී ශරීර පවිත්‍රාදිය නොකර ආහාරපාන වර්ජනය කරමින් දිනකට දෙවරක් සොහොනට ගොස් හඬා වැලපෙයි. මහාකරුණා සමාපත්තියෙන් ලොව බලන බුදුරජාණන් වහන්සේ මෙසේ ශෝකයට පත් කෙළෙඹි පුත්‍රයා දැක ඔහුගේ නිවසට වැඩම කළ සේක.

බුදුරදුන් තම නිවසට වැඩම කළ බව දුටු කෙළෙඹි පුත්‍රයා මහත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේ පිළිගෙන වඩා හිඳුවා නමස්කාරකොට එකත්පසක වාඩිවිය. ඔහුහේ ශෝකාකූල ස්වභාවය දුටු බුදුරජාණන් වහන්සේ එයට හේතු කවරේදැයි විමසූ සේක. තමාගේ ආදරණීය බෑණනුවන් මිය ගිය හෙයින් අතිශය ශෝකයට පත්ව සිටින බවත්, එබැවින් තමාට කිසිදු දෙයක උනන්දුවක් නැති  බවත් කෙළෙඹි පුත්‍රයා පැවසී ය. ඔහු කෙරෙහි කාරුණික වූ බුදුරජාණන්   වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවත් ශරීරය ජරා  ව්‍යාධි දෙකින් පීඩිතව මරණයෙන් කෙලවර වන බවත් ලොව සෑම අයෙකුටම එම ධර්මතාවට මුහුණ දීමට සිදුවන හෙයින් නුවණැති තැනැත්තා එම යථාර්ථය වටහාගෙන ශෝක කිරීමෙන් වැළකිය යුතු බවත් අනුශාසනා කළහ.

වර්තමානයේ පමණක් නොව පෙරත් නුවණැතියෝ තම බෑණනුවන් මියගිය පසුව සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහිකොට ශෝක කිරීමෙන් වැළකුණු බව ද දේශනා කළහ. එම අතීත පුවත දැනගනු රිසි වූ කෙළෙඹි පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ අසූ කෙලක් ධනය ඇති පවුලක ඉපිද දෙමාපියන්ගේ මරණින් පසුව සිටු තනතුරට පත්ව තම බැණනුවන්ගේ සහාය ඇතිව ජීවත් විය. පසු කලෙක බෝධිසත්ත්වයන්ගේ බෑණා වූ සිටු කුමාරයා මරණයට පත්විය. සහලේ ඤාතීහු එයින් මහත් ශෝකයට පත්ව ලෙහි අත්ගසා හඬමින් විලාප දෙන්නට පටන් ගත්හ. මරණය ඇසූ බොහෝ දෙනෙක් මහත් ශෝකයට පත්ව හඬා වැළපුණහ. එහෙත් බෝධිසත්ත්වයන් වහන්සේ හැඬීම තබා ශෝකයක් ඇති බවකුදු නොහැඟවී ය. මෙය දුටු සහලේ ඤාතීහු බෝධිසත්වයන්ට නන් අයුරින් නින්දා කළහ. වස්තු තණ්හාව නිසා බැණනුවන් මිය ගිය පසුව ඔහුගේ ධනය ද තමාට එක්කර ගත හැකි හෙයින් මෙතෙමේ දුක් නොවන්නේය යැයි ද ඇතැම් ඥාතිහු චෝදනා කළහ.
නෑයින්ගේ නානාප්‍රකාර නින්දා අපහාස විඳි බෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන් අමතා ප්‍රකාශ කළේ මිනිසාගේ ජීවිතය අටලෝ දහමට යටත් බවත් මරණය සියල්ලන්ටම සාධාරණ කරුණක් හෙයින් එය දන්නා, එය අවබෝධකරගෙන සිටින තමා වැන්නෙකු මරණය නිසා දුකට වේදනාවට පත් නොවන බවත් එසේ වුවද එය නොදන්නා තැනැත්තා මරණය හේතුවෙන් දුකට වේදනාවට හා වැළපීමට පත්වන බවත්; ඔබ සැම දෙනාම මරණය ගැන අවබෝධයක් නොමැති නිසා මෙසේ හැසිරෙන බවත් ය. බෝසතුන්ගේ කරුණු දැක්වීමෙන් ඤාතීහු නිහඬ වූහ.
අතීත කථාවට සවන් යොමුකළ කෙළෙඹි පුත්‍රයා මරණය කාටත් පොදු සාධාරණ ධර්මතාවක් බව වටහාගත් හෙයින් ඔහුගේ තදබල ශෝකය ක්‍රමයෙන් තුනී විය. වර්තමාන මෙන්ම අතීත කථාවෙන් ද පෙන්වා දෙන්නේ අටලෝ දහම හා මරණයේ සර්ව සාධාරණ බව වටහා ගැනීමෙන් ශෝක කිරීමට කරුණක් නොමැති බවයි. ලොව සියල්ල සිදුවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. එසේ ම සියල්ලෝ ම අටලෝ දහමේ ක්‍රියාකාරිත්වයට යටත් වේ. මෙය පුහුදුන් මිනිසාට පමණක් නොව වීතරාගී උතුමන්ටද සාධාරණ ය. එහෙත් වීතරාගී උතුමන් එයින් ප්‍රකම්පිත නොවන්නේ තම ජීවිතය අටලෝ දහමට යටත්ව පවතින බව අවබෝධකරගෙන ඇති හෙයින් ය.
පුහුදුන් මිනිසා හැම විටම අපේක්ෂා කරන්නේ ලාභ, යසස, ප්‍රශංසා, සැප යන ධර්මතාවන් ය. යමෙක් ඇසුරු කිරීමෙන් ද යමක් පරිහරණය කිරීමෙන් ද ඔහු නිතරම මෙම ධර්මතා අපේක්ෂා කරයි. එහෙත් ලෝක ස්වභාවය එසේ නොවේ. එය මොහොතින් මොහොත වෙනස් වෙයි. අප ඇසුරු කරන පුද්ගලයන් අපෙන් සමුගෙන වෙන්ව යනු ඇත. අප පරිහරණය කරන දෑ ද නිතර වෙනස් වෙයි. සමස්ත ලෝකයේ ස්වභාවය වෙනස් වීමයි. වෙනස් වීම එයට අයත් ස්වභාවයයි. මෙය අවබෝධකර නොගත් තැනැත්තා වෙනස් වීම් හමුවේ මහත් ශෝකයට පත්වෙයි. එහෙත් යමෙක් අවබෝධයෙන් ඉහළට යන විට ප්‍රකම්පිත නොවෙයි.
අතීත කථාවෙහි එන බෝසත් වරයා තම බැණාගේ මරණයෙන් ශෝකයට පත් වූයේ නැත. එයට හේතුව ඔහු මරණයේ සර්වසාධාරණ බවත් ජීවිතයේ යථා ස්වභාවයත් මැනවින් අවබෝධකරගෙන සිටි හෙයින්ය. තවදුරටත් ඔහුට වැළපීමට දෙයක් නොමැති හෙයින් ඔහු නිහඩව එම අවස්ථාවට මුහුණ දුන්නේ ය. සෙසු ඥාතීන් තුළ ඒ අවබෝධය නොවූ හෙයින් ඔවුන් ලෙහි අත්ගසා වැළපෙන්නට විය. එවන් පිරිසක් අතර නොවැළපෙන තැනැත්තා ගැන අන් අයගේ ආකල්පය වන්නේ ඔහු ආත්මාර්ථකාමී අයෙකු බවයි. එහෙත් එවැනි අදහස් පදනම් රහිතය යන්න මෙම කථාවෙන් සනාථ වේ.
කෙනෙකු මියගිය පසුව හඬා වැළපීමෙන් තාවකාලිකව ශෝකය තුනී වී යා හැකි ය. එහෙත් එය ඵල රහිත ක්‍රියාවකි. බෞද්ධයෙකු කිසිවිටෙකත් එසේ හැසිරිය යුතු නැත. එයට හේතුව බුදුරදුන්ගේ මූලික දේශනාව වන චතුරාර්ය සත්‍යයට අයත් පළමු සත්‍ය යටතේ ජීවිතයේ යථා ස්වභාවය පෙන්වා දී ඇති හෙයිනි.
අනෙක් අතට කෙනෙකුගේ මරණින් පසුව ඒ ගැන දුක්වීමෙන් ඵලක් නැත. වඩා වැදගත් වන්නේ එම තැනැත්තා ජීවත්ව සිටින කාලය තුළ ඔහු වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමයි. එය නොසළකා කටයුතු කොට මරණයට පත් වූ පසුව ඒ ගැන පසුතැවීමෙන් කිසිවෙකුටත් යහපත් නොවේ. මේ අවබෝධය නොමැති බොහෝ දෙනා මරණයක් සිදුවූ පසුව ඒ කෙරෙහි අනවශ්‍ය ලෙස ශ්‍රමය ධනය හා කාලය වැය කිරීමට පුරුදුව සිටිති. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව මරණය පොදු ධර්මතාවයකි. මරණින් පසුව ශරීරයට කෙරෙන අනවශ්‍ය සත්කාර නිශ්ප්‍රයෝජන ය. භූමදානය යනු පොළාවට දානය කිරීමයි. අපගේ ශරීරය පෝෂණය වන්නේ පොළොවෙන් ලබා ගන්නා දේ මගින් ය. එබැවින් දිරාපත්වන ශරීරය පොළොවට දීම එක් අතකින් කළගුණ සැළකීමකි. නො එසේනම් වෛද්‍ය විද්‍යාලයකට පරිත්‍යාග කිරීමත් ශරීරයේ කොටස් දන් දීමත් ප්‍රයෝජනවත් කාර්යක් වේ. එයින් තොරව සිදු කෙරෙන බොහෝ අවමංගල්‍ය පිළිවෙත් අර්ථශූන්‍ය බව නුවණින් කල්පනා කළ යුතුවේ.
තෘෂ්ණාවෙන් ලෝකය ග්‍රහණයකරගත් පමණටම දුක හා වේදනාව ද වැඩිවෙයි (තණ්හාය ජායති සොකො). තණ්හාවෙන් මිදුණු පමණට දුකක් ද බියක් ද ඇති නොවේ (තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකො කුතො භයං). වර්තමාන කථාවෙහි එන කෙළඹි පුත්‍රයාද අතීත කථාවෙහි එන ඤාතීන් ද තම බැණා කෙරෙහි අධික තෘෂ්ණාවෙන් බැඳුණෝ වෙති. එවන් තැනැත්තා ඉතා දැඩිලෙස ශෝකයට පත්වෙයි. එවැනි ශෝකයකින් පීඩිත පුද්ගලයාට කල්‍යාණ මිත්‍රයෙකුගේ උපදෙස් අවශ්‍ය වේ. බුදුරදුන් මෙය ආදර්ශයට නැංවූ ආකාරය වර්තමාන කථාවෙන් තහවුරු වේ. වර්තමානයේ වුව ද ආගමික නායකයන්ගේ මෙන් ම කල්‍යාණමිත්‍ර උපදේශකයන්ගේ අවවාද අනුශාසනා ලැබීමෙන් තම මව්පියන් දූදරුවන් ඥාතීන් අහිමි වීමෙන් දුකට පත් පුද්ගලයන්ට සිත ශක්තිමත් කරගැනීමට හැකියාව තිබේ.
මරණයට බිය වීම වෙනුවට එය අවබෝධකරගත් පසුව එයින් ප්‍රකම්පිත නොවී සැහැල්ලුවෙන් එයට මුහුණ දිය හැකි වේ. ප්‍රඥාව හෙවත් යථාවබෝධය ලැබූ තැනැත්තා අටලෝ දහමින් ප්‍රකම්පිත නොවේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍බිනර අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 19 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment