" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.
සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.
එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමිවේයැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය. එය පානය කිරීමෙන් දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ වූ අතර ඇය ඒ පිළිබඳ තම මෑණියන්ට දන්වා සිටියා ය. මව ස්වකීය ඤාතීන් කැඳවා ඒ පිළිබඳ දැනුම් දුන්නා ය. ඥාතී හූ ඒ සම්බන්ධයෙන් පළමු බිරිඳට චෝදනා කළ අතර ඇය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එසේ නම් ඒ පිළිබඳ දිවුරා පොරොන්දු වන මෙන් දෙවන බිරිඳගේ ඥාතීහු ඉල්ලා සිටිය හ. එම ඉල්ලීම අනුව පළමු බිරිඳ “තමා විසින් මෙම අපරාධය කළේ නම් දුගතියෙහි ඉපිද බඩ සයින් පෙළෙමින් උදේ සවස පුතුන් පස් දෙනා බැගින් බිහිකොට ඔවුන් කෑමෙන් සෑහීමකට පත් නොවේවා! එසේම දුර්ගන්ධව නිල මැස්සන්ගෙන් ගැවසී තැනැත්තියක් වේවායි!” යනුවෙන් බොරුවට සපත කළා ය. පළමුවන බිරිඳ නොබෝ කලකින් කළුරිය කොට එම ග්‍රාමය අසල ම ප්‍රේතියක ව උපන්නා ය.
එක් දිනක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණි තෙරුන් වහන්සේලා අට නමක් එම ගම ආසන්න වනයෙහි සෙනසුන් පනවාගෙන රාත්‍රිය පහන් කළහ. ඉක්බිති ප්‍රේතිය උන්වහන්සේලා ඉදිරියේ පෙනී සිටියා ය. ඉතා දුගඳ හමන, නිලමැස්සන් විසින් ගැවසී ගත් ප්‍රේතිය දුටු මහා තෙරුන්වහන්සේ ඇයගෙන් එයට කරුණු විමසූහ. ප්‍රේතිය තමා විසින් සිදුකළ අතීත පාප කර්මය පිළිබඳ නොවලහා කරුණු දැක්වූවා ය. දරු ගැබ විනාශ කොට එය නොකළේ ය යනුවෙන් කළ ව්‍යාජ දිව්රීම අනුව ප්‍රේතියක් ව ඉපිද උදේ සවස පුතුන් පස් දෙනෙකුන් බිහිකොට ඔවුන් අනුභව කළත් එයිනුත් සෑහීමක් නොමැතිව කුසගින්නෙන් හා පිපාසයෙන් අපමණ දුකට පත්ව සිටින බවත් ප්‍රකාශ කළා ය. තමා ජීවත් වූ නිවසට වැඩම කොට දන් පිළිගෙන එම පින තමාට අනුමෝදන් කරන මෙන් මහා තෙරුන්ගෙන් ඉල්ලා සිටියා ය. ප්‍රේතියගේ ඉල්ලීම පරිදි තෙරුන්වහන්සේලා කෙළෙඹියාගේ නිවස බලා වැඩම කළහ. ගෘහපතියා උන්වහන්සේලා දැකීමෙන් මහත් ප්‍රසාදයට පත්ව සියතින් දන් පිළිගැන්වී ය. මහා තෙරුන් වහන්සේ ප්‍රේතිය පිළිබඳ පුවත කෙළෙඹියාට පවසා ඇයට පින් අනුමෝදන් කරවූහ. ප්‍රාප්ති දානයෙන් අනතුරුව ප්‍රේතිය ප්‍රේතාත්මයෙන් නිදහස් වී දිව්‍ය සම්පත් ලැබ එදින රාත්‍රියෙහි තම ස්වාමි පුරුෂයා ඉදිරියේ පෙනී සිටියා ය. තෙරුන්වහන්සේලා ක්‍රමයෙන් සැවැත් නුවර බලා වැඩම කළ අතර බුදුරජාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සියලු පුවත් ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේ එය මුල්කරගෙන දම්සභා මණ්ඩපයට පැමිණි පිරිසට ධර්මය දේශනා කළ සේක.
ප්‍රේත ලෝකයේ බිහිසුණු විපාක පැහැදිලි කරන මෙම කථාවෙන් ගර්භ නාසනය මෙන්ම බොරුවට දිව්රීමේ ආදීනව පැහැදිලි කෙරේ.
කර්මයට අනුරූප විපාක පමණක් නොව ගැඹුරු සමාජ යථාර්ථයක් ද මෙම කථාවෙන් ඉදිරිපත් වේ. විවාහයට පත්වන සෑම අයෙකුගේ ම ඒකායන පැතුම දරු සම්පතයි. එය නොලැබුණ විට දුකට හා වේදනාවට පත්වන ආකාරය මෙම කථාවෙන් පැහැදිලි වේ. දරුවන් නොමැති යුවතිපතීන්ට අනාගත සුරක්‍ෂිතතාව පිළිබඳ බියක් ඇතිවීම සාධාරණ ය. පළමු බිරිඳ දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ කරන්නට කල්පනා කරන්නේ තම අනාගත සුරක්‍ෂිතතාව අහිමිවේය යන ආකල්පයෙන් ය. ආත්මාර්ථකාමී ආකල්ප නිසා කවරතරමේ වුව දරුණු අපරාධයක් කිරීමට කෙනෙකු පෙළඹිය හැකි ය. දරුගැබ විනාශ කිරීමට යොදාගන්නේ සාමාන්‍ය කාන්තාවක් නොවේ. එයට ආගමික ප්‍රතිපදාවක නිරතවන පරිබ්‍රාජිකාවකගේ සහාය ලැබීම කෙතරම් ඛේදජනක ද? දරු ගැබ විනාශ කිරීමෙන් පමණක් නොව බොරුවට සපත කිරීමෙන් ද පළමු බිරිඳ අපරාධ දෙකක් එකවර සිදුකර තිබේ. මෙහි බරපතලකම නිසාම ඇයට ලැබුණු විපාක ද ඉතා සැහැසිය. බුද්ධ දේශනාව අනුව ගර්භ නාසනය ප්‍රාණඝාත අකුශලයකි. කලලයක් මව් කුසක තැන්පත්වීම සඳහා අවශ්‍ය කරුණු තුනෙන් එකකි විඤ්ඤාණයේ එක්වීම. විඤ්ඤාණය මව් කුසට බැසීමත් සමඟම ජීවියා යන සම්මුතිය ලැබේ. දහමට අනුව එය කවර වේලාවක හෝ කවර දිනෙක සිදුවන්නේ දැයි කිව නොහැකි ය. මෙනිසා ගර්භ නාසනය ප්‍රාණඝාතයට අයත් වේ. භික්ෂු භික්ෂුණී විනයට අනුව ගර්භ නාසනය හෝ එයට අනුබල දීම සපුරා තහනම් වේ. කවර අයුරින් සැළකුවද ගර්භ නාසනයට බුදුදහමින් අනුබල නොසැපයේ. එබැවින් එය සිදුකරන්නාට මෙන්ම එයට අනුබල දෙන්නාට ද ඉතා දුක්ඛදායක විපාක හිමි වන බව පෙතවත්ථුපාලියේ දැක්වෙන බොහෝ කථාවලින් සනාථ වේ.
තමා කළ වරද නොපිළිගෙන එය නොකළේ යැයි සපත කිරීම වංචනික ක්‍රියාවකි. සත්‍ය වසන් කිරීම අපරාධයකි. බොරු දිව්රීම හේතුවෙන් ලද විපාක ද දරුණු බව මෙම පේත කථාවෙන් තවදුරටත් සනාථ වේ. බෞද්ධ සදාචාරය අනුව ධර්මය නීතිය ඉක්මවා සිටී. වරදක් සිදුකොට විවිධ උපක්‍රම මගින් නීතියෙන් බේරී සිටිය හැකිය. එහෙත් ධර්මය අනුව කළ වරදට අනුරූපි විපාක විඳීමට සිදුවේ. පළමු බිරිඳට තම පවුලේ සාමාජිකයන් ඉදිරියේ දිවිරීමෙන් නිවැරදි අයෙක් වශයෙන් පෙනී සිටීමට හැකි වුව ද කර්ම විපාකයෙන් ඇයට කිසිදු නිදහසක් නොලැබුණ බව පේත ලෝකයක ඉපදීමෙන් පැහැදිලි වේ.
දහමට අනුව ප්‍රේත ලෝකය අතිශය දුක්ඛ දායක ය. එයින් නිදහස් වීම ඉතාමත් අසීරු ය.
ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ. මෙම කථාවෙහි එන ප්‍රේතිය තමා වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න යැයි තෙරුන්වහන්සේලාට ආයාචනා කළා ය. ඤාති ප්‍රේතයන් එම දුකින් මිදවිය හැක්කේ පවුලේ ඤාතීන්ටම පමණක් බව මෙම කථාවෙන් තහවුරු වේ. මේ අනුව මළවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් පින්කම් කිරීම උදාර සත්පුරුෂ ගුණයකි. අනන්ත සංසාරයේ ඥාතීහු නොවුණු කෙනෙක් නොමැති බව දහමෙහි දැක්වේ. එවන් දිගු සසරක ඤාතීන්ව සිටි අයකු විසින් සිදුකරනු ලැබූ පවකින් ප්‍රේතයෙකුව ඉපිද සිටිය හැකි ය. දුක් විඳින එවන් ඤාති ප්‍රේතයන් සිහිකරමින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ට ලැබෙන මහත් අස්වැසිල්ලකි. ප්‍රේතයන් උදෙසා පින් අනුමෝදන් කිරීම මෙන්ම එවන් අඳුරු ලෝකයක ඉපදීමට හේතුවන පාපයෙන් හා අකුශලයෙන්ද වැළකීමත් එයට අනුබල නොදීමත් සසර සැපවත් වීමට හේතුවේ.
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment