Labels

Thursday, May 5, 2016

සැපය - සදාචාරය සහ බුදුදහම


විඳීම (වේදනා) වූ කලී මූලික වශයෙන් ම දෙයාකාරය. එනම් දුක්. විඳීම (දුක්ඛ වේදනා) හා සැප විඳීම (සුඛ වේදනා) යනුවෙනි. සියලු සත්වයෝ සැප විඳීමට මැ කැමැති වෙති. නිබඳව සැපයම සොයා යති. දුකට අකැමැති වෙති. එය පිටු දකිති. සැපය දෙයාකාරය. ඒ ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය යනුවෙනි. මෙහි ලෞකික සැපය නම් ලෝකයට අයත් සැපයයි. (ලොක+ඉක= ලෞකික) ලොක යනු ස්කනධ ධාතු න් ආයතන යැයි කියනු ලබන හේතු ප්‍රත්‍යාකාර වු සංස්කෘත ධර්මයෝය.

ඒ ලෝක යන්නෙන් බුදුසමය හෙළිකරන දාර්ශනික අර්ථයයි. එම ධර්මයන්ගේ පටිපාටිය නොසිඳී පැවැත්ම සංසාරයයි . ඒ අනුව සංසාරික සත්වයාගේ ස්වභාවය නම් එම සැපයම කැමැති වීමය. එයම සොයා යාමය. මෙහි ලෝකෝත්තර සැපය නම් ඉහළට යාමෙන් එතෙරවීමෙන් (ලොක +උත්තර =ලෝකොත්තර) ලබන සැපයයි. ලෝක නිරෝධය යි. බුද්ධාදී උතුමෝ ලෝකයෙන් එතෙරව ලෝකෝත්තර සැපය සාක්ෂාත් කළෝය. එය අත්දැකීමක් බවට පත් කර ගත්තෝය.
බුදුසමය විරාගී දර්ශනයෙකි. එනම් මූලික වශයෙන්ම සියල්ල අනිත්‍යය, දුකය, අනාත්ම යැයි දැන දැක පසක් කිරීමෙන් සියල්ල (සබ්බ) යැයිද ලෝක යැයිද කියන ලද ස්කන්ධාදි ධර්මයන් කෙරේ නිර්වේදය එනම් කළකිරීමද, කළකිරීමෙන් විරාගයද, විරාගයෙන් විමුක්තියද ලබා ගැනීමට උගන්වන දහමකි.
එසේම ඒ සඳහා මඟපෙන්වන විරාගී වරණයෙකි. මෙබඳු දහමක් ලෞකික සැපය අගය කරන්නේදැයි යමෙකුට විමතියක් ඇතිවිය හැකිය.
ගිහි පැවිදි දෙපක්ෂයටම මෙලොව හා පරලොව වශයෙන් අත්විඳිය හැකි, විටෙක එසේ අත්විඳිය යුතු යැයි පෙන්වාදෙනු ලබන විවිධ සැප බුදුසමය උගන්වයි. පින් කිරීමෙන් ලබන සැපය ඉන් එකකි. පහන් සිතින් යමක් කියන්නේද , කරන්නේද සිරුර නොහැර යන සෙවණැල්ලක් මෙන් ඔහු පසුපස සැපය ලුහුබඳින්නේය. පින් කරන්නවුන්ට ධම්මපදය උපදෙස් දෙන්නේ නැවත නැවතත් පින් කරන්නටය. පිනෙහි උපරිමය,සැපය වන බැවිණි. දිවි කෙළවර ද පින සැපයකැයි දක්වා තිබේ. මෙසේ පින් කිරීමටත් එමඟින් සසර සැපවත් බව ලබා ගැනීමත්, බුදුසමය අනුබල දෙයි.සැපයෙහි විවිධ ප්‍රභේද බුද්ධ වචනයෙහි දැක්වෙයි. ගිහි සැපය හා පැවිදි සැපය, කාම සැපය හා නිශ්කාම සැපය, උපධි සැපය හා නිරූපධී සැපය, ආර්ය සැපය හා අනාර්ය සැපය, සාශ්‍රම සැපය හා අනාශ්‍රම සැපය, සාමිස සැපය හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර වන්නේය. අතින් සැපය, හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර වන්නේය. අත්ථී සැපය, භොග සැපය ,අණන සැපය හා අනවජ්ජ සැපය යැයි සැපය සතරාකාර යැයිද දැක්වෙයි. නිවන පරම සැපය වන්නේය. බෞද්ධයෙකු විසින් මෙකී සියලු සැප සදාචාරය නොඉක්මවා ලැබිය යුතු වෙයි.
අකුසල ක්‍රියාවන් නිසා මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද විඳීමට සිදුවන අනේකකාර වු දුක් පීඩාවන් හා එහිලා හේතු භූතවන කායික, වාචසික හා මානසික දුෂ්චරිතයන් ගැනද බුද්ධ වචනයෙහි නොයෙක් අයුරින් සඳහන් වෙයි. එසේම එබඳු දුෂ්චරිතවලින් වැළකීම තුළින් දුක් මඟහරවා ගැනීමටද බුදුසමය ප්‍රජාව පොලඹවයි. ඒ නන් අයුරිනි. පාපය, අකුසලය, දුක් උපදවයි. පස්පවින් දස අකුසලයෙන් වැළකීම තුළින් දුක්පීඩාවන්ගෙන් නිදහස් විය හැකි යැයි පුන පුනා උගන්වයි. සංසාරික දුක් ගැහැටින් මිදී සුඛිත, මුදිත, පෞද්ගලික හා සාමාජික ජීවිතයක් ගත කිරීමට ගිහිපැවිදි දෙපක්ෂයටම ධර්ම විනයෙන් මඟ පෙන්වා තිබෙන බවද ප්‍රකටය. දස කුසල ධර්මයෝ ම සසර සැප උපදවන්නෝය. සදාචාර මාර්ගය හා සැපය අතර ඇත්තේ අත්‍යන්ත සම්බන්ධයෙකි. සසර දුක් සහිත යැයි බුදුදහම උගන්වන බව සැබෑවකි. ලෝකය දුක මත පිහිටියේය. එහෙත් සසර සැපතක් නැතැයි ඉන් අදහස් නොවේ. ගෘහස්ත ජීවිතයක් ගතකරන බෞද්ධයාට අදාළ අත්ථී සැපය එනම්, තමා සතුව ප්‍රමාණවත් වූ ඇති පමණ ධන ධාන්‍යාදී භෝග සම්පත් ඇතිතරම් අගය කරන බුදුදහම උත්සාහයෙන් වීර්යයෙන් එම සම්පත් උපයා සපයා ගැන්මටද මඟ පෙන්වයි. අනේක විධ වූ උපද්‍රවාදියෙන්ද පාප මිත්‍ර සේවනයෙන්ද එම සම්පත් විනාශ වී යාම වළක්වා ගනිමින් සැපවත් දිවි පැවැත්මක් උදෙසා ඒවා ආරක්ෂා කර ගැනීමටද උගන්වයි. ගිහියාට දිළිඳුකම දුකකැයි පිළිගනිමින් ඉන් අත්මිදීමෙහි අවශ්‍යතාවය පෙන්වාදෙයි. දිළිඳුකම පසුපස එන්නේ අදත්තාදානය , ප්‍රාණඝාතය, මුසාවාදය වැනි දුසිරිත්ය. එබැවින් රජුන් විසින් ද දිළිඳුකමින් ප්‍රජාව මුදාගනිමින් ඔවුන් සුඛිත මුදිත කිරීමට පියවර ගත යුතු බව පෙන්වාදෙයි. ඒ සඳහා රජුන් කුමක් කළ යුතු දැයි ප්‍රායෝගිකව පැහැදිලි කරයි. සැප උපදවනුයේ දැහැමි ධනෝපායනයයි. සම්මා ආජීවයයි. විධිමත් ධන පරිහරණයයි. මනා කළමනාකාරිත්වයයි.
සිඟාලෝවාද , මංගල, පරාභව ආදි සූත්‍රාන්ත ධර්ම තුළින් ද ගෘහස්ථ ශ්‍රාවකයාට උපදෙස් දී ඇත්තේ සැපවත් ජීවිතයක් මෙලොව වශයෙන්ම ගත කිරීම පිණිසය. අනේකවිධ දුසිරිත් හා ඇතැම් දුබලතාවයන්ද තුළින් ස්වකීය ආර්ථික ජීවිතයේ ප්‍රගතිය අඩාලකර නොගත යුතුය.
නුසුදුසු සමාජ ආශ්‍රයෙන් වැළකී ඵලදායක ලෙස සමාජය ඇසුරු කළ යුතු යැයි බුදුසමය පෙන්වාදෙයි. ඒ සියලු සදූපදේශයන්ද ගිහියාට මෙලොව පරලොව දුක් දොම්නස් වළක්වා ගැන්මටය. සතුට සැපත උදාකර ගැනීමටය. පුද්ගලයාගේ පරාභවය ඇති කරමින් ඔහු දුකට පත් කරුණු කවරේද සමාජ ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍යයෙන් ද ඔහුගේ පිරිහීම උදාකරන්නේ කවර චර්යාවන්ද ඔහුගේ දෙලොව ප්‍රගතිය පිණිස වන කරුණු කවරේද කවර චර්යාවන් සුවසෙත ඇති කරන්නේදැයි , සැපත උදාකරන්නේ දැයි බුදුදහම පැහැදිලි කර දෙයි. ආධ්‍යාත්මික වශයෙන් කාමාදී කෙලෙස් වලින් දූෂිත වූවහුට එබඳු සිත් සතන් හේතුවෙන් දුරාචාරවලට යොමු වූවහුට විඳීමට සිදුවන අනේකවිධ දුක් පීඩාවන් බුදු සමය පැහැදිලිකරයි.විටෙක මෙලොව වශයෙන්ද විටෙක පරලොව වශයෙන්ද මහ දුක් කඳකට හෙතෙම ගොදුරු වෙයි. එැබවින් එකී දුක් පීඩා වළක්වා ගනිමින් සැපවත්ව ජීවත්වීම පිණිස මානසික දියුණුවත් එය පාදකකොටගත් සදාචාරයත් උපකාරි වන්නේය.
බුදුන් වදාළ විමුක්ති මාර්ගය මිථ්‍යා චර්යාවන්ගෙන් බැහැරව සම්‍යග් චර්යාවන් පුහුණු කිරීම ඔස්සේ දිව යන්නකි. එය ආර්ය මාර්ගය නොවේ නම් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවයි. ඒ වූකලී මැදුම් පිළිවෙතකි. සමකාලීන සාමයික චින්තාවන් ඇසුරු කොට ගෙන උපන් ප්‍රතිපදාමය උභයාන්තයටම අනුගත නොවූ සදාචාර පිළිවෙතකි. එයින් නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවරවේය යන අශාස්වත චින්තාව ඇසුරුකොටගෙන උපන් කාම සුඛල්ලිකානුයෝගය සදාචාරය පිටුදකින්නක් විය. දිවි ඇතිතාක් මෙලොව කම්සුව විඳීම එක් අන්තයෙකි. උපරිම වශයෙන් ඉඳුරන් පිනවීම සීමාන්තව පස්කම් සැප විඳීම එයින් ඉගැන්විණ.එහිලා මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, පින් පව් නැත, එහි අනුරූප විපාක ද නැතැයි සලකා ගැනුනි. මෙසේ පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිකර වූ ද සදාචාරය , සංස්කෘතිය පිටුදකින්නාවූ ක්‍රියාවලියක් උදෙසා අනුබල ලැබිණ. බලවත් ආගම් විරෝධයක් සමඟ සුබ පරමවාදී උමතුවක හැඩතලය එයින් ප්‍රකට වූයේය. දෙවැනි අන්තය වූයේ අත්තකිලමතානුයෝගයයි. උපරිම වශයෙන් කයට දුක් දීම, පස්කම් සුවය,ඉඳුරන් පිනවීම, ඍජවුම පිටු දැකීම එමඟින් අර්ථවත් විය. නිත්‍ය වු සදාකාලික වු ආත්මයක් ඇත යන ශාස්වත චින්තාව එහි පදනම වූයේය. පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිදායක ලෙස ඔහු සීමාන්තික ආත්මාර්ථකාමියකු කරමින්, ඇතැයි පිළිගත් ආත්මයට කටුක දුක් පීඩා දුන් විවිධ ව්‍රත එහිලා අනුගමනය කරන ලදී. (අත්ත+කිලමථ+ අනුයෝග) ආත්ම විමුක්තියක් අරමුණුකොටගත් මෙලොව වශයෙන් සැපත පිළිකෙව් කළ කුසල ධර්ම සංවර්ධනයක් හෝ උසස් ඥානාධිගමයක්ද ඇති නොකළ ආගම් උමතුවක හැඩතලය එයින් ප්‍රකට විය. එයද සදාචාර සංවර්ධනයට අනුබලයක් නොදුන් බව පැහැදිලි වෙයි. කාම සුඛල්ලිකානුයෝගය ලෞකික කම් සැපතෙහි ගිජුවන සමාජයකට මඟ පෙන්වූ අතර අත්තකිලමථානුයෝගය එයට ප්‍රතිපක්ෂ වු පරාජිත සමාජයකට මඟපෙන්වීය. බුදුසමයෙහි සදාචාර මාර්ගය හෙළී පෙහෙළි වන්නේ මෙකී උභයාන්තයෙන් එකකට හෝ අනුගත නොවන මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙනි. එම උභයාන්තයම බුදුරදුන්ගේ විචාරයට ලක්විය.
මේ අනුව හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් හා බැඳුණු අනාර්ය වූ අවැඩදායක වූ කාම සුඛලිල්ලිකානුයෝගයට මෙන්ම පීඩාජනක වූ, අනාර්ය වූ, අවැඩදායක වූ අත්ත කිලමථානුයෝගයටද අනුගත නොවන මැදුම් පිළිවත අර්ථවත් වන සැපය බෞද්ධ චින්තනයට අභිමත වන්නේය. එහිලා ලෞකික වු පස්කම් සැපයට ගිජුවීම මෙන්ම එකී සැපයට එරෙහිවීම ද දක්නා නොලැබෙයි. සදාචාර විරෝධි බවින් මෙන්ම වරදවාගත් සදාචාර උමතුවකින් ද තොරව සැප විඳීමට බෞද්ධයෙකුට අවස්ථාව තිබේ.
උපරිම වශයෙන් සැප විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය යන සමකාලීන මතවාදය මෙන්ම උපරිම වශයෙන් දුක් විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය යන මතවාදය ද බුදුසමයට අභිමත නොවේ. මැදුම් පිළිවෙත අවබෝධ කළ බුද්ධාදී උතුමෝ වෛර සහිත වු මිනිස් සමාජයෙහි වෛර රහිතවද, කෙලෙස්වලින් ආතුර වූවන් අතර අනාතුරුවද, කම් සැපයම සොයන්නන් අතර නිෂ්කාමීවද සුවසේ වසති.







මහාචාර්ය 
දේවාලේගම මේධානන්ද හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 21 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment