බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුබවාදී දහමක්වත් සුබවාදී දහමක්වත් නොවෙයි. යථාර්ථවාදී දහමක්. ඇත්තටම එය දර්ශනයක්. දර්ශනයක් කියන්නේ අදහන දෙයක් නෙවෙයි. පිළිපැදිය යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ’ යනුවෙනි. එන්න බලන්න. තම තමන්ම දැන ගන්න. අවබෝධ කරගන්න. බුද්ධ යන වචනයේ අර්ථයත් අවබෝධය යන්නයි.
යමක් විශ්වාස කිරීම ඉතා පහසුයි. එහෙත් යමක් අවබෝධ කර ගැනීම ඉතා අපහසුයි. දැනුම සහ අවබෝධය අතරත් ලොකු වෙනසක් පවතිනවා. බොහෝ දෙනාට ධර්මය පිළිබඳ ව ඉහළ දැනුමක් තිබෙනවා. එහෙත් අවබෝධයක් නැහැ. බුදු සමය පෙන්වා දෙන්නේ මිනිසකු වශයෙන් ජීවත් විය යුතු හොඳම ක්‍රමය. එම නිසා ඔබ තේරුම්ගන්න. බුදුදහමේ පෙන්වා දී ඇති වටිනාකම් සිතසිතා සිටීමෙන් හෝ සාකච්ඡා කර කර සිටීමෙන් කිසිදු පලක් නෑ. එය පිළිපදින්න ම ඕනෑ. එහි අන්තර්ගත ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයෙහි භාවිතාවෙන් අත්හදා බැලිය යුතු යි.
කනගාටුවට කරුණ අද අපේ බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අනුගමනය කරන්නේ ජනපි‍්‍රය බුදුදහම විමයි. ජනපි‍්‍රය බුදුදහම තුළ මුල් තැන දී තිබෙන්නේ ඇදහිලි විශ්වාස හා පුද පූජාවලට. මෙය බුදුදහමේ හරය නොවේ. පුද පූජා, වැඳුම්, පිදුම්, නරකයි කියලා කියන්නෙ නෑ. එය සිදු කිරීමත් හොඳයි. නමුත් ඔබ මුල් තැන දිය යුත්තේ දර්ශනයට, ධර්මයට.
බුදුරජාණන් වහන්සේ සැබැවින්ම බලාපොරොත්තු වූයේ උන්වහන්සේගේ ප්‍රතිරූපය වන්දනා කිරීම නොවේ. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා නොකළත් ඒවාට වැඳුම් පිදුම් කිරීම හොඳයි. එහි කිසිදු වරදක් නැහැ. නමුත් ඔබ කළ යුත්තේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි යාමයි.
උන්වහන්සේ වරක් -
" නහී මය්හං මාලා ගන්ධාදීහි පූජා කරොන්තා..."
යනුවෙන් දේශනා කළේ මල් සුවඳ ආදියෙන් තමන්ට පුද පුජා පවත්වන්නෝ නියම ලෙසින් තමා පුදන්නෝ නොවන බව හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන අය නියම ලෙසින් තමා පුදන්නන් වන බවයි. උන්වහන්සේ හැම විටම අගය කළේ තම ධර්මය අනුගමනය කරන අයයි.
බුදුරජාණන් වහන්සේ මොනතරම් ප්‍රායෝගික ද කියනවා නම් උන්වහන්සේ වරක් උන්වහන්සේගේ ධර්මය ඔරුවකට උපමා කළා.
“කුල්ලුපමං වො භික්ඛවේ ධම්මං දේසිස්සාමි
නිත්තරණත්ථාය නෝ ගහණත්ථාය”
මහණෙනි, මම ධර්මය ඔරුවකට උපමා කොට ඔබට දේශනා කරනවා. ධර්මය එතෙර වීම පිණිස මිස කර ගහගෙන යාම සඳහා නොවේ. පසුගිය කාලෙ ලාංකේය සමාජයේ දාර්ශනික බුදු දහම ඉදිරියට ගෙන ඒමට යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොල රාහුල, රේරුකානේ චන්දවිමල ආදී සම්භාවනීය වියත් මහ යතිවරයන් වහන්සේලා ගත් උත්සාහය නැවතත් අප ඉදිරියට ගෙන යා යුතු කාලය දැන් එළඹ තිබෙනවා. බුදුදහම ලෝකය පුරා ජීවත්වන මිනිසුන්ගේ දෛනික ජීවිතය සාර්ථක කර ගැනීමට මහඟු ආදර්ශයක් සපයන බව ආගම් භේදයකින් තොරව බොහෝ අය තේරුම්ගෙන සිටිනවා. නමුත් ප්‍රායෝගික නැතිවීම තමයි කනගාටුවට කරුණ. ඇතැම් අය 21 වන සියවසේ ජීවත් වුවත් බොහෝ විට යථාර්ථයට වඩා මිථ්‍යාවට සමීප වීමට කැමැත්තක් දක්වනවා. මෙය සුබ දෙයක් නොවේ. සත්‍යයෙන් ඈත් වෙලා මිථ්‍යාව වැළඳ ගැනීමට දක්වන ආසාව මානව බුද්ධියට නිගා කිරීමක්. බුදු හාමුදුරුවෝ අනෙක් ආගමික ශාස්තෘවරුන්ගෙන් වෙනස් වන්නේ උන්වහන්සේ හැමවිටම මිනිසුන්ගේ බුද්ධියට කතා කළ නිසා. ඔබට ශ්‍රද්ධාව තිබෙන්න ඕන තමයි. නමුත් මතක තබා ගන්න බුද්ධිය ඉදිරියෙන් තබාගන්න. හැම විටම බුද්ධියට පිටුපසින් භක්තිය රඳවා ගන්න. ශ්‍රද්ධාව කියන්නේ බුදුන්වහන්සේගේ ධර්මය නිසා ඇති වන පැහැදීම මිසක් අන්ධ භක්තියක් නොවේ.
වක්කලී පැවිදි වුණේ බුදුහාමුදුරුවන්ගේ ලස්සන දැකලයි. බුදුහාමුදුරුවන්ගේ දිහා සතියක් විතර බලාගෙන හිටියා.
බැරිම තැන බුදුහාමුදුරුවෝ වක්කලී හාමුදුරුවන්ට කිව්වා. “වක්කලී , මම දිහා බලාගෙන හිටියා ඇති. දැන් ධර්මය දිහා බලන්න.’ කියලා එසේ නම් ඔබත් කළ යුත්තේ ධර්මය දිහා බැලීම නොවේද? බලන්න බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ මංගල කරුණු ගෙනහැර පාමින් භික්ෂූන් වහන්සේලාගේ දැකීම මංගල කාරණයක් කියලා පැහැදිලි කරනවා. නමුත් අපේ බෞද්ධයන් උදේට හාමුදුරුනමක් දකින්න හරිම අකමැතියි. සමහර බස්වල රියැදුරු මහත්වරු බස් රියට පළමුවෙන් ම හාමුදුරු නමක් නගිනවට කැමති නැහැ. නමුත් මේ රියැදුරු මහත්මයම උදෙන් ම බස් එකට සුවඳ දුම් අල්ලල බුදු පහන පත්තු කරල ගමනාරම්භ කරන්නේ. ඒ වුණත් හාමුදුරු නමක් මුලින් ම බස් රියට නගිනවට අකමැතියි. බලන්න අවිචාර සහගත මිථ්‍යා විශ්වාස නිසා අපි කොතරම් අසීරු තත්ත්වයකට පත්වෙලා ද? කවුරු නමුත් මිථ්‍යා දේවල් විශ්වාස කිරීම නිසා ආර්ථික අතින් පිරිහෙනවා. සමාජීය අතින් පිරිහෙනවා. යාළුවන් අහිමි වෙනවා. සමාජයෙන් හුදෙකලා වෙනවා. බුදුන් වදාළ ධර්මයට අනුව ප්‍රඥාවෙන් යුතුව ජීවිතය හැඩගස්වා ගැනීම තමයි මිථ්‍යාවෙන් මිදීමේ එකම මාර්ගය.
නුගේගොඩ,ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණේ
නියෝජ්‍ය පරිවේණාධිපති,
බෙලිඅත්ත, කහවත්ත,
පුරාණ රාජමහා විහාරාධිකාරි ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment