" නැවත ඉපදීම හෙවත් උපත ලැබිය හැකි ස්ථාන තිස් එකක් ප්‍රධාන වශයෙන් සඳහන්ව තිබේ. එය තිස් එක් සක්වල ලෙස ද දක්වා තිබේ. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බඹලොව දහසයක්, අරූපාවචර බඹලොව හතරක් යනුවෙනුයි. කුසලා කුසල කර්ම අනුව සත්ත්වයා මේ තිස් එකක් වූ සක්වල උපදිති.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
“නැවත, නැවත ඉපදෙමින් සත්ත්වයා දුකට පත් කරන, ගෘහය සාදන වඩුවා කවුදැයි සොයමින් මම සංසාර ගමනේ සැරි සැරූවෙමි. ඒ ගෘහය හදන තෘෂ්ණාව නමැති වඩුවා මම සොයා ගත්තෙමි. තෘෂ්ණාව නමැති වඩුව, මින් පසුව නුඹ මට ස්කන්ධ පංචකය නමැති ගෘහය නොසදන්නේ ය. මුදුන්වහල, කැණිමඩල, පරාල සියල්ල මම මුළුමනින් ම සුණු විසුණු කළෙමි. නැවත නුඹ මට ගෘහයක් නො සාදව. මේ මාගේ අවසාන භවය යි. නැවත උපතක් නැතැ”යි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට දේශනා කළ පළමු උදානයෙන් නැවත ඉපදීම හෙවත් පුනර්භවය පිළිබඳව දේශනා කළ සේක. නැවත ඉපදීම සිදු වන්නේ කර්මානුරූපවය. එනම් කර්මය නිසා නැවත ඉපදීම හෙවත් පුනර්භවය සකස් වෙන බව මින් පැහැදිලිවේ.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ‘නතුම්හ’ සූත්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කළ සේක.
“නායං භික්ඛවේ කායො තුම්හාකං
නාපි අඤ්ඥේසං, පුරාණමිදං භික්ඛවේ
කම්මං අභිසංඛතං අභිසඤ්චේතයිතං
වේදයිතං දට්ඨබ්බංති”
නාපි අඤ්ඥේසං, පුරාණමිදං භික්ඛවේ
කම්මං අභිසංඛතං අභිසඤ්චේතයිතං
වේදයිතං දට්ඨබ්බංති”
ඔය කය නුඹලාගේ නොවේ. තවත් කෙනෙකුට හෙවත් බාහිර පුද්ගලයෙකුට ද අයිති නැත. මේ කය පෙර කරන ලද කර්මයේ ඵලයකි. පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූවකි. චේතනාව මුල් කොට ඇත්තේ ය. විඳීම විෂයයකොට පවතින්නේ ය. මෙයින් පැහැදිලි වන්නේ, නැවත ඉපදීම ඔස්සේ අපට කයක් සකස් වන්නේ පෙර කරන ලද කර්මානුරූපව බවයි. ඒ කර්මය නිසා නැවත උපත හා සමඟින් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්විත ශරීරය සත්ත්වයන්ට හිමිවේ.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ එනම් තදගතිය, වැගිරෙන බව උෂ්ණය, වායුව, යන ධාතු හතරෙන් ද රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයෙන් ද ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ආයතන හයෙන් ද සැදුණු මේ කය පැවැත්ම සිදුවෙයි.
ශරීරයක් දරාගෙන භවයෙහි උපතක් ලැබූ සත්ත්වයාගේ ජීවිතයේ පැවැත් ම පිණිස ද පෙර කරන ලද කර්මය හේතුවන බව භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම හා මහා කම්ම විභංග සූත්‍ර දේශනාවන් හි දී මැනවින් පැහැදිලි කොට දුන්හ.
චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී මනුෂ්‍යයෙක් ලෙස උපදින සත්ත්වයෙක් අඩු ආයුෂ ඇතිවීමටත්, දීර්ඝායුෂ ලැබීමටත්, ලෙඩදුක් ඇතිවීමටත්, නීරෝගීවීමටත්, විරූපී වීමටත්, සුරූපීවීමටත්, නැණවත් වීමටත්, දුෂ්ප්‍රඥාවීමටත්, දුප්පත්වීමටත්, ධනවත්වීමටත්, උසස් කුලවල ඉපදීමටත් පහත් කුලවල ඉපදීමටත් ආදී වශයෙන් හේතු දේශනා කොට ඇත්තේ ය.
ප්‍රාණඝාත කරන ලද සත්ත්වයෝ මනුෂ්‍යයන් ලෙස උපත ලැබුවත් අඩු ආයුෂයෙන් මියැදෙන බවත්, සත්ත්වයන්ට අභය දානය දෙමින් ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයෝ මනුෂ්‍ය ජීවිතයක් ලබා දීර්ඝායුෂ සම්පත් ලබන බවත් දේශනාවෙහි සඳහන් වේ.
“කම්මං සත්තේ විභජති යදිදං හීනපණීතතායං” කර්මය සත්ත්වයාගේ උස් පහත් භේදය එනම් හීන ප්‍රණීත බව ඇති වන්නේ කර්මය නිසා බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. එසේ කරන ලද කර්මය අනුව භවය සකස්වන බව පැහැදිලියි. කර්මය යනු කුමක් ද? පුනර්භවය සකස්වීමට කර්මය හේතු වන්නේ නම්, කර්මය යනු කුමක් දැයි සරලව පැහැදිලි කරගත යුතු ය.
“චේතනා හං භික්ඛවේ කම්මං වදාමි
චේත යිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා “
චේත යිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා “
සිතින් සිතා ඇති කර ගන්නා වූ කර්මයෝ, ක්‍රියාවෝ කර්ම නම් වේ. එනම් චේතනාව ම කර්මය යැයි දේශනා කරති. එසේ නම් සිතින් සිතා සිදු කරන්නා වූ සිතිවිලි, වචන, ක්‍රියා මේ සියල්ල ම කර්ම බවට පත්වේ. මෙහි දී ප්‍රධාන වශයෙන් චේතනාව ම කර්මය ලෙස ගැනේ.
එසේ නම් යහපත් වූ චේතනාවෙන් සිදු කරන ලද සිතිවිලි, වචන, ක්‍රියාවන් තමන් අත් නොහැර යන සෙවණැල්ලක් සේ සැප විපාක ගෙන දෙමින් පුනර්භවයට සම්බන්ධ වේ. එනම් නැවත ඉපදීමට සම්බන්ධ වේ.
“මනසා චෙ පසන්නේන
භාසති වා කරොතිවා”
භාසති වා කරොතිවා”
පැහැදුණු සිතින් එනම් හොඳ සිතින් යමක් කියන්නේ ද?, කරන්නේ ද? එය සැප විපාක ගෙන දෙන බවයි. ‘පදුට්ඨචිත්ත’ එනම් අපැහැදුණු සිතින්, කිළිටි හෙවත් දූෂිත සිතින් යමක් කියන්නේ ද? කරන්නේ ද? නැවත භවය සකස් කොට දෙන විට දුක් පිණිස ම හේතුවන බව ඉන් පැහැදිලියි. මේ අනුව චේතනාව ම කර්මය වන බවත් එම කර්මය සත්ත්වයා නැවත උපදවමින් සසරෙහි රැගෙන යන බවත් පැහැදිලියි.
නැවත ඉපදීම හෙවත් උපත ලැබිය හැකි ස්ථාන තිස් එකක් ප්‍රධාන වශයෙන් සඳහන්ව තිබේ. එය තිස් එක් සක්වල ලෙස ද දක්වා තිබේ. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බඹලොව දහසයක්, අරූපාවචර බඹලොව හතරක් යනුවෙනුයි. කුසලා කුසල කර්ම අනුව සත්ත්වයා මේ තිස් එකක් වූ සක්වල උපදිති.
පාපය බලවත් වූ සත්ත්වයෝ සතර අපායේ උපදිති. පාපය දුර්වල වී කුසලය බලවත් කරගන්නා වූ සත්ත්වයෝ මනුෂ්‍ය ලෝකයේ සුගති ස්ථානයන් හි උපදිති. ධ්‍යාන වඩන අය බ්‍රහ්ම ලෝකවල උපදිති.
මරණයට පත්වෙන අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයකුගේ නැවත උපත ලැබීම හෙවත් පුනර්භවයේ කතාව කුමක් ද? මේ ගැන දහම් විවරණයක් ඇති කර ගනිමු.
යම් පුද්ගලයෙක් මරණයට පත්වෙන අවස්ථාවේ දී සිදුවන ක්‍රියාවලිය මෙසේ යි. මරණයට පත්වෙන පුද්ගලයාට පළමුවෙන් ම ජීවිතයේ කරන ලද කර්මය මතුවෙන්නට පටන් ගනී. ඒ කර්ම අතරින් ගරුක කර්ම පළමුවෙන් ම මතුවේ. ගරුක නම් බරපතල කර්ම යන අදහසයි. කුසල පක්ෂයෙන් අෂ්ඨසමාපත්ති උපදවාගෙන තිබීමයි. අකුසල පක්ෂයෙන් පංචානත්තරිය කර්ම සිදු කොටගෙන තිබීමයි. ගරුක කර්මයෙන් මරණයට පත්වෙන පුද්ගලයාගේ සිතට නොනැඟුණේ නම්, කුසල් හෝ අකුසල් වශයෙන් ආසන්න කර්මයක් පැන නැගිය හැකි වන්නේ ය. එනම් මරණයට ආසන්නයේ ම සිදු කරන ලද කුසලයක් හෝ අකුසලයක් ය. ගරුක හා ආසන්න කර්මත් නොවේ නම් මීළඟට ආචිණ්ණ හෙවත් ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන ලද කුසල හෝ අකුසල කර්මයක් මතුවිය හැකි ය.
එසේ ගරුක, ආසන්න, ආචිණ්ණ කර්මත් නොමැති නම්, කටත්තා එනම් ඕනෑකමකින් තොරව ඉඳහිට කර්මඵල විශ්වාසයකින් තොරව යම් විටක කරන ලද කුසලා කුසල කර්මයකි. මෙහි ප්‍රතිසන්ධි ස්වභාවය ඉතා ම දුර්වල අවස්ථාවක පවතී. කෙසේ වෙතත් මේ සතර ආකාරයෙන් දක්වන ලද කර්මය මතුවීමෙන් අනතුරුව කුසල් හෝ අකුසල් කර්මයට අනුව කර්ම නිමිත්ත සකස් වේ.
නිදසුනක් ලෙස කුසල කර්මයක් මතු වූයේ නම් කර්ම නිමිති ලෙස දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පින්කම් හා එයට සම්බන්ධ පුණ්‍ය ධර්ම හා කුසල ධර්ම සිතට මතුවිය හැකිවේ. අකුසල කර්මයකින් කර්ම නිමිත්ත සකස් වන්නේ නම් පස් පව්, දස අකුසල් කිරීම හා ඒවාට සම්බන්ධ ක්‍රියා උපකරණ හා සැලසුම් උපක්‍රම වැනි දේ මතුවිය හැකිය. කර්ම නිමිත්තෙන් අනතුරුව ගති නිමිත්ත සැකසේ. ගති නිමිත්ත නම් නැවත උප්පත්තිය ලබන ස්ථානය මතු වී දැනෙන්නට පටන් ගැනීමයි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment