Labels

Friday, January 19, 2018

ජීවන ප්‍රතිපදාවට ..

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශීත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි කෙලෙස් සතුරෝ තිදෙනෙක් මතුකොට දක්වයි. ඒ රාගය හෙවත් ඇලීම ය. ද්වේෂය – තරහවය. මෝහය නම් වූ මුළාවය.
මේ ලෝක සත්ත්වයන් දීර්ඝ කාලයක් ඉපදෙමින් මිය යමින් සසරෙහි අපමණ දුක්විඳ තිබේ. දීර්ඝව පැමිණි සසර ගමනේ දී මෙන් ම මේ ජීවිතයේ ද බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවේ. ඒ දුක්ඛ වේදනාවන්ට සැබෑ හේතුව කුමක් ද? නුවණින් විමසා බලන්න. රාගය නම් වූ ආලය නිසා ම බව නොවේ ද? ආලයක්, ඇලීමක්, බැඳීමක්, ආදරයක් , සෙනෙහසක් නැතිව කෙසේ නම් ජීවත් වෙන්නදැයි ඇතැමෙකුට ප්‍රශ්නයකි. නැතිවම බැරි යැයි සිතූ ආලය, ඇලීම ආදරය නිසා ඔබ කොපමණ නම් හඬා වැළපී තිබෙනවා ද? අහිමි වීම් දරා ගන්නට නොහැකිව කොපමණ නම් පීඩාවට, වේදනාවට පත්ව තිබෙනවා ද?
වරෙක සුවයක් දැනෙන්නට ඇති. එහෙත් ඒ සුවය තාවකාලික වූවා නොවේ ද? රාගයෙන් මත්වී, අන්ධවී කළ ක්‍රියා නිසා තමාටත්, අන් අයටත්, ජීවත්වන පරිසරයටත්, මිනිස්කමටත් සිදු වූ නිගාවන් කොපමණ වෙත් ද?

ජීවන ගමනේ දී රාගය නිසා වන විනාශය අවම කර ගැන්මට තරමක් හෝ නිදහස්වීමට බුදු දහමේ ගිහි අපට ශික්ෂා පද පහක් අනුදැන වදාරා තිබේ.
ගෘහස්ථ ජීවිතයක් ගත කරන අපට ලබා දී ඇත්තේ උපාසක, උපාසිකා යන නාමයන් ය. අප විසින් ආරක්ෂා කළ යුතු සීලය වන්නේ පංච ශීලයයි. මෙම පංචශීල ප්‍රතිපදාවෙහි තුන්වෙනි ශික්ෂා පදය කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමය.
එහි එක් අංශයකින් බලන කල ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඕනෑම අයෙකුට යහපත් වූ විවාහ ජීවිතයක් ගත කරන ආකාරය බුදු දහමින් පෙන්වා දී ඇත. ඒ අඹුසැමි දෙදෙන “දේවෝ දේවියා සන්ධිං සංවසති” දෙවියෙක් විසින් දිව්‍යාංගනාවක් සමඟ ගත කරන්නාක් මෙන් පවුල් ජීවිතය ගත කරන ලෙසය. ස්වාමි දියණියට සහ ස්වාමි පුත්‍රයාට ආරාධනා කරන්නේ, දෙදෙනා එකහා සමානව දෙදෙනා කෙරේ ම ශ්‍රද්ධා, ශීල, චාග, ප්‍රඥා නම් ගුණ සම්පත්තීහු දියුණු කර ගන්නා ලෙසය. මේ ලෙසින් ගුණ ධර්ම දියුණු වන විට රාගාදී කෙලෙස්වලට පාලනයකින් තොරව අසංවරව නැඟී සිටීමට අවස්ථාවක් නො ලැබේ.
කුස ජාතකයේ දී කුස රජතුමාට රාගය නිසා තමන් අගරජ බව ද අමතක වීය. රජකම පසෙක තබා ප්‍රභාවතිය නිසා සත් වසරක් පුරා වෙස්වළාගෙන අරක්කැමිකම් කළේ ය. අපමණ ගැහැට වින්දේය. බෝධි සත්ත්ව උතුමන් පවා එවැනි ස්වභාවයකට පත් කරවන්නට තරම් පාලනයකින් තොර රාගය බලවත් ය.
ද්වේෂය ද බලවත් වූ ක්ලේශයකි. ද්වේෂය සිතට පැමිණි කල හොඳ නරක නොපෙනේ. දෙව්දත්, සුප්පබුද්ධ රජ, මාගන්දිය වැනි ගිහි පැවිදි අය ද බුදුරදුන් වැඩ සිටි දවස ද්වේෂය නිසා බලවත් ලෙස පිරිහිණි.
ද්වේෂය පාලනය කොට දුරු කිරීමට නම් මෛත්‍රීය පුරුදු පුහුණු කළ යුතුය. මෛත්‍රීය බලවත් කුසල කර්මයකි. ද්වේෂයට පත් වූ තැනැත්තා ජීවිත නසන අතර මෛත්‍රී සහගත පුද්ගලයා ජීවිත රකී. සියලු සත්ත්වයන්ට මෛත්‍රීය දක්වයි. ද්වේෂයෙන් යුතු තැනැත්තා සුවඳ විලවුන් ආලේප කොට වටිනා ඇඳුමෙන් සහ ආභරණවලින් සැරසුන ද දුර්වර්ණය. නපුරුය. අප්‍රසන්නය. දකින්නට අප්‍රියය. මෛත්‍රී තැනැත්තා චාම් වූව ද ඉතා වටිනා ඇඳුමින් සැරසුණේ නැති ද ඉතා ප්‍රසන්නය, පින්බරය, සත්පුරුෂ තැනැත්තෝ ද්වේෂ සහගත පුද්ගලයාගෙන් මිදෙති. මෛත්‍රී සහගත පුද්ගලයා වෙත ම සමීප වෙති.
මෝහය නම් මුලාවයි. මෙලොව පවතින සියලු සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන්හි ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය තේරුම් නොගත්තේ එම වස්තූන් වෙනස් නොවන සේ සිතා සිතින් අල්ලාගෙන තෘෂ්ණාවෙන් අකුසල කර්ම රැස්කර ගත්තෝ මුලා වූවෝ ය. ඔවුහු පණ ඇති, නැති වස්තු දිරායන විට, වෙනස්වන විට, අත්හැරෙන විට, බලවත් සේ දුකට පත්වෙති. මේ නිසා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් දුහුවිලි සෝදා පිරිසුදු කරගැනීම උතුම් ජීවන ප්‍රතිපදාවකි.


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment