ගැඹුරු දහමක් වටහාගත නොහැකි ඇතැම් ගැමි ජනතාව පුණ්‍ය සංකල්ප දෙසට යොමු කරවමින් ජනතාවගේ ජීවන ගතිපැවතුම් දිගුකලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කතා සාහිත්‍ය විශිෂ්ට මෙහෙවරක් ඉටුකර ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය යහමගට යොමුකරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.
මහනුවර යුගයේ ලියවුණ කෘතියක් බවට බෝහෝ දෙනා විශ්වාස කරන යශෝධරාවත කාව්‍ය බොහෝ සේ වටිනා කෘතියක් වේ. මෙම කෘතිය තුළින් ආගමික වශයෙනුත්, සාහිත්‍ය වශයෙනුත් වටිනා කාරණා රැසක් පිළිඹිබු කෙරේ. බෞද්ධයන්ට පමණක් සීමා නොවන යශෝධරාවත කෘතිය අන්‍යාගමිකයන්ට පවා වටිනා කෘතියක් ලෙස සදහන් කළ හැකි ය. එම කෘතියෙහි සඳහන්ව පවතින පතිභක්තියෙහි ඇති වටිනාකම සමස්ත කාන්තා පරපුරටම ආදර්ශවත් බවක් එක් කරයි.
යශෝධරා දේවියගේ චරිතයේ වැදගත් අවස්ථා ඒකරාශී කොට ධම¡ ගෞරවය ගොඩනැගෙන පරිදි සංවේදී බව ආරක්ෂා කරගනිමින් රචනා කර ඇත. බෝසතාණන් වහන්සේ මවගෙන් වරම් ලබා, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා, අනේක ජාති සංසාරයෙහි උප්පත්තිය ලබමින්, අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජීවිතය කැප කරමින් පාරමිතා පූරණය කරමින් අවසාන වශයෙන් වෙස්සන්තරව උප්පත්තිය ලැබූ ආත්මභවයේදීත් දරුවන් දන්දුන් ආකාරයත්, සිදුහත් චරිතය හා අවසන් භවයෙහි යශෝධරාවන් වී ලෞකික සැප සම්පත් විඳි ආකාරයත්, සිදුහත් කුමරු තපසට ගිය පසු විරහ වේදනාවෙන් සන්තාපයට පත්වූ ආකාරයත් කවියා සංෙවිදීව ඉදිරිපත් කර ඇති ආකාරය අන්තර්ගතය වශයෙන් සඳහන් කළ හැකි ය. ගතවූ සෑම ආත්මභවයේදීත්, වෙස්සන්තර වූ අවසාන ආත්මභවයේදීත් සහකාරිය හෝ දේවිය වශයෙන් යශෝධරා දේවිය පැමිණි ආකාරය පැහැදිලි ය. බෝසතාණන් වහන්සේ ඉපදීිම කෙළවර කරනු ලැබූයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ය. මහාමායා දේවිය දුටු සිහිනය, සිද්ධාර්ථ කුමරා උප්පත්තිය ලැබීම පිළිබඳව යශෝධරා වතෙහි සඳහන් වේ.
සිද්ධාර්ථ කුමරා ගිහිගෙය අතහැර පැවිදිවීමට සිතූ ආකාරයත් අභිනික්මන් කරන අවස්ථාවේ දී යශෝධරා දේවිය හා රාහුල කුමරුත් දෙස අවසන් වරට බැලු ආකාරයත් මෙසේ සඳහන්වේ.
රන්යහනේ සැතපෙන මගෙ බිසවුන්ට
ලන්කර කුමරු බැළුවෝතින් යහන පිට
රන් ලිය වැලකි සිරි හස්තය කුමරු පිට
පින්කඳ බිසව සැතපෙන සැටි දුටු නෙතට
ලන්කර කුමරු බැළුවෝතින් යහන පිට
රන් ලිය වැලකි සිරි හස්තය කුමරු පිට
පින්කඳ බිසව සැතපෙන සැටි දුටු නෙතට
දුකක් වන් කලට අතමිට හිඟ වෙමින
සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙන
ඇදත් නොව කතුනි සැලකුවෝතින
කිමෙක් මොක් දකිනු බැරි යශෝධරා මෙන
සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙන
ඇදත් නොව කතුනි සැලකුවෝතින
කිමෙක් මොක් දකිනු බැරි යශෝධරා මෙන
කාන්තාවකගේ මාතෘත්වය, සෙනෙහෙබර බිරියකගේ වගකීම් අමතක නොකොට ක්‍රියා කිරීෙමි අගය පැහැදිලි කරගත හැකි ය. අර්ථ ශූන්‍ය වූ සමාජ සිරිත් විරිත් අනුකරණය කරන නිවැරැදි මාර්ගෝපදේශකත්වයක් නොමැති වීමේ හේතුවෙන් ජීවිතාවබෝධයක් නොමැතිව ජීවිතය ගෙවන තරුණ කාන්තා පරපුරට තමාගේ ජීවිතය අර්ථවත් කරගැනීමට උපකාරී වේ. යශෝධරාවතෙහි කවි 130 පුරාවටම ආගමික ස්වරූපයක් දක්නට ලැබෙන අතර කවි 130ම සරල වූ මිශ්‍ර භාෂා ශෛලයකින් ලියවී ඇති බැවින් පාසල් යන දරුවාගේ සිට වැඩිහිටි උගත් පරපුර දක්වා ම හොඳින් රසවිඳීමේ අවස්ථාව ලැබේ. යශෝධරා දේවිය සිදුහත් කුමරු ආමන්ත්‍රණය කිරීම සඳහා රන්කඳ, රන්බඳ, අමාරස, ඇත්රජ වැනි උපමාවන් භාවිත කිරීමෙන් කුමරා කෙරෙහි අප්‍රමාණ සෙනෙහසක්, දයාවක්, කරුණාවක් පැවැති බව ආදර්ශවත් වේ.
ස්වාමියා සමඟ ජීවත් විය යුත්තේ කුමන ආකාරයටද ? ස්වාමියාට සැලකිය යුත්තේ කුමන ආකාරයටද? දරුවන් ලබාගෙන සමගි සම්පන්නව සිටිය යුතු ආකාරය ද පැහැදිලි වේ. යශෝධරාදේවිය සංසාරයෙහි දීර්ඝ කාලයක් පුරාම පති භක්තියෙන් කටයුතු කළ ආකාරය පැහැදිලි කිරීම සඳහා ජාතක කතා සිහිපත් කළ ආකාරය 74 වන පද්‍යයේ මෙසේ සඳහන් වේ.
මුව ජාතියේව ද පළමුව උපන්නේ
එම ජාතියේ සිට නෑරම මම එන්නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන්නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන්නේ
එම ජාතියේ සිට නෑරම මම එන්නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන්නේ
මේ ජාතියේ ඇයි මා තනිකර යන්නේ
ස්වාමියා සමඟ රණ්ඩු සරු නොකර අප්‍රමාණ සහයේගයෙන්, සාමයෙන්, පතිභක්තියෙන් කටයුතු කළ ආකාරය මෙසේ සඳහන් වේ.
තෙමා වැටේ මගෙ සළුපිලි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහි වෙනවා.
දමා කුමරු වැඩියා මට සිහි වෙනවා
මෙම ඇර ලියෝ ලෙව් තුල ඇද්ද තවා
අමා රසක් වැනි හිමි සඳ සිහි වෙනවා.
දමා කුමරු වැඩියා මට සිහි වෙනවා
මෙම ඇර ලියෝ ලෙව් තුල ඇද්ද තවා
දරුවාත් ස්වාමියාත් සමග බිරියක් කෙසේ වෙහෙසිය යුතුද? යන ආකාරය වර්තමාන කාන්තාව අවබෝධකර ගත යුතු ය.
ආහාරපාන, ඇඳුම් පැලඳුම් පිළියෙල කර දෙමින් ස්වාමි දියණිය භාර්යාවක් වශයෙන් නිවසක් තුළ කෙතරම් වෙහෙස වෙනවා ද ? කෙතරම් ආදරණීය බැඳීමක් තිබෙනවා ද? යන්න මේ කවිවලින් කියවේ. ආදරයෙන් සෙනෙහසින් ස්වාමියා සමග සමගි සම්පන්නව සිටිනවා නම්, කුමන අඬදබරද? ගහබැනගැනීම්, මිනීමරා ගැනීම් කිසිවක් සිදුවන්නේ නැත.
හොර, වංක, සට කපටිකම් නැති බිරියක් ලෙස ජිවත් විය යුතු ආකාරය මේ කවියෙන් පැහැදිලි වේ.
රහසක් මගේ කවදාවත් නැත මෙතුරා
වෙහෙසක් වෙන්ට ඇරියේ නැත යශෝධරා
යහපත් මම අඬමි නිම නැති ව නුඹ කරා
දහසක් ගුණැති මම වද යශෝධරා
වෙහෙසක් වෙන්ට ඇරියේ නැත යශෝධරා
යහපත් මම අඬමි නිම නැති ව නුඹ කරා
දහසක් ගුණැති මම වද යශෝධරා
සිද්ධාර්ථ කුමරා ගිහිගෙය අතහැර දමා ගිය දවසේ සිට යශෝධරා දේවිය ද හරිහැටි කුසට ආහාරයක් නැතිව, විසිතුරු ආභරණ ඇඳුම් පැලදුම් පැළදීමෙන් තොරව, සුවඳ විලවුන් නොගල්වා ස්වාමියා නැති දුක දරාගෙන භාවනාවෙන් කාලය ගත කළ ආකාරය සඳහන් වේ. ස්වාමියෙකුගේ දුකේදී කම්පා වීම, එකට සිටීම කෙතරම් අගය කළ යුතු ද?
හිමයේ ගොසින් මල් යහනක සිටිනවද
කොමළ අනගි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත්රජුනි අද කොතැනකද
කොමළ අනගි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත්රජුනි අද කොතැනකද
යශෝධරා දේවිය තමාගේ ස්වාමියාට කෙතරම් ආදරයක් සෙනෙහසක් ප්‍රකාශ කරනවාද? අනේ මගේ හිමියනි, මම අතහැර ගියත් ඔබට කිසිම කරදරයක් නොවේවා . ඔබට කරදරයක් නම්, වෙන්න එපා ඇයගේ ප්‍රාර්ථනයයි. පියා ගෙදරින් නික්ම ගොස් ඇති අවස්ථාවල පැරැණි අම්මාවරුන් සොයා බලන පුරුද්දක් එදා සමාජයේ පැවතුණ ද වර්තමානය තුළ එම ස්වභාවය වෙනස් වෙමින් පවතී. එම තත්ත්වය නැවත ගොඩනඟා ගන්නේ නම්, පවුලක සොඳුරු බව ආරක්ෂා කරගත හැකි ය. මෙවැනි දේ කියවමින් රසවිඳිනවා නම්, වර්තමාන කාන්තා පරපුර නොමඟ යන්නේ නැත. යශෝධරාවත කෘතියෙන් සමාජයට විශාල පණිවුඩයක් ලබාදෙන නිසාම වර්තමානයෙහිත් පාසල්, පිරිවෙන්, උසස් අධ්‍යාපන ආයතනවලට යශෝධරාවත කෘතිය පරිශීලනය කිරීමට නියම කර ඇත.
පැරැණි අම්මාවරුන් වැඩිහිටි දරුවන් ලබා මෙවැනි කවි ගායනා කළ අතර අතීතයේදී මළගෙවල් තුළ ද මෙම කවි ගායනා කළහ. ආගමික භේදයකින් තොරව සියලු දෙනාම ශෝධරාවත කෘතිය පරිශීලනය කිරීම වැදගත් වේ.
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය
අලහේනේගම සුමනරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment