ද්වේෂය නම් යම් දෙයක් හෝ යම් කිසි කාරණයක් නිසා අපේ සිතේ ඇතිවන නොසතුටයි. පි‍්‍රය නොවන, නොරිස්සුම් සහගතබවයි. සාමකාමී පරිසරය හීන වී අසහනය, අසමගිය ගොඩනැඟෙන්නේ, ද්වේෂය මූලික වීම හේතුවෙනි. ප්‍රතිඵලය වන්නේ සහජීවනය පළුදුවීමයි. කෙලෙස් අතර ශාරීරිකව හා මානසිකව පුද්ගලයා දුර්වල කරන ක්ලේෂය ද්වේෂයයි. ලෝකයේ බොහෝ ගැටුම්, මිනීමැරුම් ඇතිවන්නේ අවි ආයුධ නිසා නොව ද්වේෂය නිසාය.
ද්වේෂය නිසා පළමුව හානිය සිදුවනුයේ ද්වේෂය ඇති තැනැත්තාටය. කෙසෙල් ගසක කැන වැටුනු පසු ගස කපා ඉවත් කරයි. උක්,අන්නාසි වැනි ඵලදාවන්ගේ තත්ත්වය ද මෙසේම ය. යමෙක් ද්වේෂයෙන් ආතුරවු තැන ඇතිවන්නේ මෙවන් තත්ත්වයකි. සසරේ දී අප නැතිකර ගත යුත්තේ තරහ ගතිය මිස තරහකරුවන් නොවේ. ලෝකයේ කිසිම ආගමක් ද්වේෂය, වෛරය තරහ ගතිය අනුමත නොකරයි. පළමු, දෙවන ලෝක යුද්ධයන් ඇති වීම හා හිරෝෂිමා නාගසාකි නගර තුළ ඇතිවු ඛේදවාචකයන්ට මූලය මෙම ද්වේෂයයි. ද්වේෂය තුළ රාජ්‍ය රාජ්‍යන් අතරද, මව්පියන් දරුවන් අතර ද, අඹුසැමියන් අතර, ආගම් අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවන්නේ අන්‍යෝන්‍ය සබඳතාවයයි.
තාවකාලික දිනුම්
වර්ග, පාට, ආගම් ගැටුම් නිරන්තරව ඇතිවන්නේ මිනිස් සිත තුළ ද්වේෂය ඇති බැවිනි. මෙවන් ගැටුම් නිරන්තරව වර්ධනය වීම රටකට සුබවාදී තත්වයක් නොවේ. රටක් ආර්ථික සාමාජික ලෙස පසුබෑමට පත්වීම මේ තුළ නොවැළැක්විය හැකි ය. දියුණු ජන කොටස් විසින් එවැනි පුද්ගලයන්, රාජ්‍යයන් ප්‍රතික්ෂේප කරනු ලබයි.
ගෙවිය නොහැකි පව්
බෞද්ධ ඉතිහාසයේ දෙව්දත් තෙරුන්ට අපාගතවීමට සිදුවුයේ ද, අජාසත් රජු අපාගත වූයේ ද ද්වේෂය තුළිනි. කුස රජුගේ මුහුණේ හැඩය කැවුමක ස්වභාවය ගනු ලැබුවේ ද ද්වේෂය ඇතිකර ගැනීමේ සසර පුරුද්දක් නිසා වෙනි. එක් භවයක පටු කාරණාවක් තුළ ද්වේෂය ඇති කරගැනීම සසර මහත් දුක්ඛයන්ට හේතුවකි. අඳුර නැති කිරීමට නම් පහනක් දැල්විය යුතුම ය. ද්වේෂයේ විසදුම මෙත් සිත හෙවත් මෛත්‍රිය යි. බලය ධනය හෝ වෙනයම් භෞතික අවශ්‍යතාවයක් මත ද්වේෂය සමාජගත කිරීම සසර ගෙවා අවසන් නොකළ හැකි පාපයකි.
මිනිස් සිත් තුළ ද්වේෂය ඇතිවී සමාජ සාමය කඩවනුයේ කාරණා දෙකක් නිසාවෙනි. අ.නි. දෝසුප්පාද සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කරනුයේ හේතුව සහ අයෝනිසෝමනසිකාරය නිසා එසේ සිදුවන බවයි. සමාජ ජීවිතයේ දී ඇතිවන විවිධ හේතු බුද්ධියෙන් විවේක මනසකින් නොබැලීම තුළ ද්වේෂය ද ඒ තුළ ගැටුම් පලිගැනීම් ද ඇතිවේ.
පාට කණ්ණාඩි
තමන් විශ්වාස කරන මතය නිවැරදි යැයි සිතීම මීට ප්‍රධානතම හේතුවයි. පාට කණ්ණාඩි මගින් ලෝකය බැලීම තුළ මේ තත්ත්වයන් නිර්මාණය වී ඇත. බොහෝ ප්‍රශ්නයන්ට මූලය මෙලෙස විවේකී, මැදහත් මනසකින් ලෝකය දෙස නොබැලීමයි. ඉක්මන් නොවී ඇතිවන හේතුව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නේ නම් ප්‍රශ්න නිර්මාණය වී මහත් කලකෝලාහල නිර්මාණය නොවේ. කිසියම් ප්‍රශ්නයක් ඇතිවූ විට අනෙකාගේ ඇඟට බෙල්ලට පැන ඇණකොටා ගනු ලබන්නේ තිරිසනුන් හා නොදියුණුූ ජන විඤ්ඤාණයක් සහිත ගෝත්‍රිකයන්ය. දියුණු මනසක් සහිත මිනිසුන්ට මෙය තරම් නොවේ.
තරහව ද්වේෂය පාලනය කරගත් තරමට ලාභ වාසි අත්වේ. ඉවසීම නිවට කමක් හෝ දුර්වල කමක් නොව උදාරතර ගුණයකි. මෙම ගුණය සකසා නොගැනීම තුළ තමන්ට මෙන්ම සමාජයට මහත් අවැඩක් සිදුවේ. ජාතිකත්වය හෝ ආගමික නැමියාව තව පිරිසක් පීඩාවට පත් කිරීම සඳහා යොදා නොගත යුතුය. ඇතමුන් සත්ත්ව මාංස අනුභව නොකළාට අසල්වැසියා පිළිබඳ දැඩි වෛරයකින් කටයුතු කරයි. එය සුබ තත්ත්වයක් නොවේ. තරහ, කෝපය පැන නැගුණ කළ සිදුවන්නේ අනෙකා පීඩාවට පත්වීමයි. එහිදී බිඳී යන්නේ “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” යන බුදුවදනයි. තමන්ගේ කම් අනුන්ගේකම් තාවකාලිකය. එවන් තාවකාලික යමක් නිසා සමගිය සහජීවනය තුරන්වීම අගය කටයුතු නොවේ.
ද්වේෂය ඇතිවූ විට එය මිනිසුන් ලෙස නැති කරගත යුතු වේ. ඒ සඳහා බොහෝ ඉගැන්වීම් බුදුදහමේ ඇතුළත්ය.ලේ වැගිරීම් වලින් හිංසනයෙන් තම දහම ව්‍යාප්ත නොකරන දර්ශනයක් ලෙස අන්‍ය ආගමික ශ්‍රේෂ්ඨ උගතුන් පවා බුදුදහම පිළිගනී.
උපක්‍රම පහක්
තරහව ඇතිවු විට එය නැති කිරීම පිණිස ආඝාතපටිවිනය සූත්‍රය උපක්‍රම පහක් පැහැදිලි කර ඇත. යමෙක් පිළිබඳ ද්වේෂයක් ඇතිවූවිට ඔහුට මෛත්‍රිය වැඩීම, කරුණාව දැක්වීම, නොවිමසා නොමෙනෙහි කිරීම,උපේක්ෂාවෙන් යුක්ත වීම හා කර්මයෙහි ස්වකීයත්වය මෙනෙහි කිරීම ය .
වෛරය, තරහ බවෙහි ප්‍රතිවිරුද්ධභාවය මෛත්‍රියයි.නොකළ එක හොඳක් පිළිබඳච සිතා සිදුකළ සියල්ල අමතක නොකළ යුතු ය. ජාතියක් වශයෙන් ද මේ පිළිබඳ සිතීම වැදගත්ය. සහයෝගයෙන් එකමුතුව නිදහස ලබාගත්තේ නම් එකමුතුව ජාතික කටයුතු කිරීම වැදගත් ය. පැන නගින ප්‍රශ්න නයි ,මුගටි ලෙස නොව එක මේසයක සාකච්ඡා කිරීම අවශ්‍යය. වෛරයෙන් වෛරය සන්සිඳීමක් නැත. වෛරයෙහි ආදිනව සොයා බලා මෛත්‍රියෙහි ආනිසංස කල්පනා කළ යුතු වේ. යම් සිද්ධියක් ඇතිවු විට භාෂාව ආගම මත එය විසඳීමට නොගොස් ප්‍රශ්නයේ ස්වභාවය මත විසඳුම් සෙවිය යුතුවේ. කැත්තට පොල්ල සේ එදිරිවාදි මානසිකත්වයෙන් කටයුතුකිරීම තුළ ප්‍රශ්න උඩුදුවයි. ශරීර ශක්තියෙන් නොව බුද්ධියෙන් ප්‍රශ්න දෙස බැලීම ඉතා වැදගත් වේ.
අන්‍ය දුකකදී සත්පුරුෂයන්ගේ හදවත් කම්පා වේ නම් එය බෝසත් ගුණයකි. නිවන් පතන කෙනෙකු තුළ මේ කරුණාව අවශ්‍යය. යමෙකු පිළිබද හෝ කොට්ඨාශයක් පිළිබඳ ද්වේශය හටගත් පසු ඔහු ගැන ඔහුගේ දරු මල්ලන් පිළිබඳ රැකියාව පිළිබඳ සිතීම වැදගත් ය. තමන් පමණක් ජයග්‍රහණ අත්පත් කරගත යුතුය, ජීවත්විය යුතුය, අනෙකා එසේ නොවිය යුතුයැයි සිතීම බෞද්ධයකුහට නොගැලපේ. ඇතැම් මිථ්‍යාදෘෂ්ඨි සහිත ආගමිකයෙකුට එය ඇතැම් විට සාධාරණ විය හැකි ය. එහෙත් බෞද්ධයෙකුට එය තරම් නොවේ.
නොවැදගත්දේ
ද්වේෂය පාලනය සඳහා තමන් නොරුස්නා පිරිසක් නම් ඔවුන් ගැන නොහිතා සිතීම වැදගත්වේ. ඔවුන් අඳින පලඳින කන බොන ආකාරය සෙවීම නොවැදගත් ය. ඒ තුළ සිදුවනුයේ අනවශ්‍ය තරහක් නිර්මාණය වීමයි. පුංචි පුංචි කාරණා මහත්කොට සලකා ඒ සඳහා අනවශ්‍ය වටිනාකම් ලබාදීම මහත් අපරාධයකි. සිහිකටයුතු වැදගත් බොහෝ දෑ තිබියදී මෙසේ සිහි නොකළ යුතුදේ සිහි කිරීම දුබලකමකි. ඉතාම සුළුවෙන් විසඳාගත යුතු කාරණයක් අනවශ්‍ය ලෙස සිතීමට යාම තුළ ජීවිත දේපළ හානිවලින් කෙළවර වේ. එය සමාජයක ඉදිරිගමනට මහත් පිළිලයකි. එහෙයින් පෞද්ගලික ඇතැම් කාරණා සමාජ ප්‍රශ්න ආගමික ප්‍රශ්න ලෙස හුවා නොදැක්වීමට වගබලා ගැනීම ඉතා වැදගත් ය.
උපේක්ෂාව හෙවත් මැදහත්බව ද්වේෂය පාලනයට ඉතා වැදගත් ය. සියල්ල මටම ,අපිටම වෙනවායැයි සිතීම මුලාවකි. මේ ලෝකයෙහි ගර්හාවට, අපහාසයට පත්නොවූ කිසිවෙකු ඇත්තේ නැත.නත්ථිලෝකේ අනින්දිතෝ” එහෙයින් යම් යම් කාරණාවන් වලදි අනවශ්‍ය ලෙස කෝප ගැනීම නුසුදුසු ය.අටලෝදහම අවශ්‍යවන්නේ මෙවන් අවස්ථාවලදී ය. පාට කණ්ණාඩි හෝ තමන් දරන දේශපාලන මතය මත පදනම්ව ලෝකය දෙස නොබැලිය යුතුය. සියල්ල අනිත්‍ය ලෝකය තුළ ජාතිය හෝ භාෂාව නිත්‍ය නොවේ.අනිත්‍ය ලෝකයෙහි යමක් නිත්‍යකොට සලකා එකිනෙකා සමඟ ගැටුම් හදා ගැනීම අනුවණ කමකි. සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ හැකියාවක් විශේෂයෙන් බෞද්ධයා සතුවිය යුතු ය. බුදුරදුන් තරම් උපේක්ෂාවෙන් සියල්ල දරාගත් ශාස්තෘවරයකු නැති තරම් ය.
ද්වේෂය, තරහව ඇතිවූ විට ඒ සඳහා ඉඩහසර සකසාදීම වෙනුවට කර්මයෙහි ස්වකීයත්වය මෙනෙහි කළ හැකි ය. යමෙක් තමන්ට වෛර කරන්නේ නම් ඒ තුළ ඔහු නරක කර්ම රැස්කර අපාගත වේ. තමන්ද ඔහුට වෛර කර නරක කර්ම රැස්කර ගන්නවා වෙනුවට මෛත්‍රිය කොට හොඳ කර්ම රැස්කර ගැනීම වැදගත් ය. සුනඛයෙකු මිනිසෙක් සපාකෑවද මිනිසා විසින් සුනඛයා සපා කෑ යුතු නොවේ. පව,පින, කර්ම , කර්මඵල විශ්වාස නොකරන පිරිස් ද්වේෂය යෙන් අගතියට ගිය ද එසේ විශ්වාස කරන පිරිස් එවන් තත්ත්වයකට පත්විය යුතු නොවේ. එලෙස ධර්මය තුළින් ද්වේෂය පාලනය කරගන්නේ නම් ගැටුම් අවම පරිසරයක් නිර්මාණය වේ. ඒ තුළ සමගිය,සාමය, සහජීවනය වර්ධනය වේ.
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව
පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment