බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වානයෙහි ආදාහන කටයුතු අවසන් කළ පසු සම්බුදු සිරුරෙහි පැවැති සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනීය පූජනීය කොටස් ලෙස බෙදා දුන්හ. එම ධාතූන් වහන්සේලා බොහොම ගෞරවයෙන් වැඩමවා පුදපූජා පැවැත් වූහ. අජාසත්ත රජතුමා තමා ලද ධාතූන් වහන්සේලා වැඩමවාගෙන වසර හතක්,මාස හතක්,දින හතක් පුරා බුදුගුණ සමරමින්, සිහිකරමින් පුද පූජා පවත්වා ඇත.
මේ ආකාරයට සර්වඥ ධාතු වන්දනය යන අදහස ලෝකය තුළ ඇති විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ මෙනෙහි කළ බෞද්ධයෝ උන්වහන්සේගේ සිරුරෙහි තිබූ කොටස් සර්වඥධාතූන් වහන්සේලා ලෙස වන්දනාමාන කළහ. මේ ආකාරයට සර්වඥ ධාතු වන්දනය ආරම්භ විය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාට නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අවතක්සේරු
කිරීම බරපතල අකුසල් වැඩෙන පාපයක් ලෙස බණ පොතේ ධාතු විවන්නක පේත වත්තුව තුළ පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතිමහත් ගෞරව පුර්වකව තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති බෞද්ධයන් සර්වඥ ධාතු වන්දනය සිදුකරනු ලබයි. එය ඉතාම වැදගත් වූ පූජනීය අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.
රජගහ නුවර එක්තරා ධනවත් තරුණයෙකුගේ භාර්යාවත්, දියණියත් , ලේලියත් සර්වඥ ධාතූන් වහන්සේ පිළිබඳ පැහැදීමකින් ධාතූන් වහන්සේලා වන්දනාවෙහි නිරතව සිටියහ. මේ තිදෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කළ ද එම භාර්යාවගේ ස්වාමිපුරුෂයා එයට කැමැති වුයේ නැත. ඔහු විරුද්ධ විය.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා හෙලා දකිමින්, ගර්හා කරමින් පහත් කොට සලකන ලදී. එම පිරිස සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කරමින් පින් සිද්ධ කරගන්නා විට තරුණයා ධාතූන් වහන්සේලාට අවමන් වන ආකාරයට එම පිරිස අභියස කතාබහ කළහ. ඇට කැබලි පිදීමෙන් කවර ප්‍රයෝජනයක්ද? යනුවෙන් ඔහු විමසන ලදී. සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරෙහි පවතින අස්ථි කොටස් හා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයෙහි තිබූ අස්ථි කොටස් අතර වෙනසක් පවතින බවට බෞද් ධයන් තුළ විශ්වාසයක් මෙන්ම විශාල ගෞරවයක් ද ඇත. බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ට මෙලෙස අවමන් කිරීම නිසා මොහුට බරපතල අකුසලයක් සිදු විය.
කාලයක් ගතවීමත් සමග ආයුෂ කෙළවරවී මේ සියලු දෙනාම මරණයට පත් විය. භාර්යාවත්, දියණියත් ,ලේලියත් මරණයට පත්වූ අතර ධාතූන් වහන්සේලා ට අවමන් කළ තරුණයා ද මරණයට පත් විය. එම තරුණයා තුනුරුවන් පිළිබඳව ගෞරවයකින් තොරව බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාට අවමන් කළ නිසා මරණයට පත්ව නරකාදියෙහි උප්පත්තිය ලැබී ය. එම පාපකර්මය වෙනුවෙන් නරකාදියෙහි ඉපිද මනසින් සහ වචනයෙන් සිද්ධ කළ අකුසලය වෙනුවෙන් බොහෝ කාලයක් දුක් විඳින ප්‍රේත ආත්මයක ප්‍රේතයෙක්ව උප්පත්තිය ලැබීය. ප්‍රේතයෙක් වශයෙන් උප්පත්තිය ලබා පේ‍්‍රතයෙක් වශයෙන් මිනිස් සමාජයෙහි හැසිරුණ ද සාමාන්‍ය මිනිසාගේ ඇසට ප්‍රේත ආත්ම පෙනෙන්නේ නැත. දිනක් පිණ්ඩපාතයේ වැඩම කළ මහාකාශ්‍යප මහ තෙරණුවන්ට මේ ප්‍රේතයා විඳින දුක දැක එම දුක විඳීමට ඔහු කළ බරපතල අකුසලය පිළිබඳව තේරුම් ගෙන සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන මේ ප්‍රේතයා සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් සාමාන්‍ය ඇසට දර්ශනය වෙන ආකාරයට සැලැස්වූහ. නුඹ කෙරෙන් කුණු ගඳ හමයි. ඔබේ කුණු ගඳ හමන මුඛය පණුවෝ කති. පෙර නුඹ කළ අකුසලය කුමක් ද? නුඹගේ කර්මය විසින් මෙහෙයවන ලද සත්ත්වයෝ තියුණු ලෙස මුවහත් කළ අවිගෙන නැවත නැවත නුඹගේ මුඛය කපති. කැපූ කැපූ මොහොතෙහි කාරම් ජලය වක්කොට නැවත නැවත කපති. කයින් වදනින් සිතින් නුඹ කවර නම් පාපකර්මයක් කළෙහිද? යනුවෙන් ස්වාමින් වහන්සේ මේ ප්‍රේතයාගෙන් විමසනු ලැබී ය. එසේ විමසන විට ප්‍රේතයා මේ ආකාරයට පිළිතුරු ලබාදුන් බව පේත වත්තුව නමැති බණ පොතේ සඳහන් වේ. ස්වාමීනී, මම රජගහ නුවර බොහෝ කොට ධන ධාන්‍ය රැස්කළ ඉසුරුමතෙක් වීමි. එකල මගේ බිරිඳත්, දියණියත්, ලේලියත් මල් දම් හා අලුත් විළවුන් ද රැගෙන සෑය පිදීමට යන විට ධාතු පුජාවට ගර්හා කරමින් මම එය ප්‍රතික්ෂේප කළෙමි. එවැනි අසූහය දහසක් වූ සෑය පිදීම ගර්හා කර ප්‍රේත ලෝකයෙහි ඉපිද වෙන වෙනම තම තමන් විසින් විඳිය යුතු බලවත් මහ දුක් වේදනාවන් විඳිමි. අතිශයින් නරකයේ දුක හා සමාන පේ‍්‍රත ලෝකයෙහි ද දුක් වින්ඳෙමි. අරහත් වූ සම්බුදුවරුන්ගේ චෛත්‍ය පුදන මහෝත්සවයක් පවත්නා විට මා මෙන් ගරහන්නන්ට ඒ පින නොලැබේ. එබඳු පුද්ගලයන් එම පිනෙන් බැහැර වන බව දැනගත යුතුයි ආදී වශයෙන් ධාතු පූජාවෙහි වැදගත්කමත්, ධාතූන් වහන්සේලාට ගර්හා කිරීමෙන් තමන් විඳින දුක ඔහු කියන්න ට පටන් ගත්තේ ය.
මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරන පුද්ගලයන්ට තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් කටයතු කරන පුද්ගලයන්ට ඒවා හෑල්ලුවන ආකාරයට අවතක්සේරු වන ආකාරයට කතාකරන්න යාම පවා බරපතල අකුසල ලබාදෙන පව් කම් හැටියටයි.
තුනුරුවන් පිළිබඳ ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මිනිසා පුදන දේ පරිහරණයට රැගෙන කනවා බොනවා කියන්නේ අපාදුක් විඳිමට සිදුවන අකුසල කර්මයක්.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment