වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 13:
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
තණ්හාව නිසයි ශෝකය හටගන්නේ.
තණ්හාව නිසයි භය හටගන්නේ.
තණ්හාවෙන් අතමිදුන අයෙකුට ශෝකයක් නෑ."
තණ්හාව නිසයි භය හටගන්නේ.
තණ්හාවෙන් අතමිදුන අයෙකුට ශෝකයක් නෑ."
බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා නොයෙක් ආකාරයේ බ්‍රාහ්මණවරු. ඒ වගේ ම සිටුවරු, ධනවත් අය, මේ හැමෝ ම එක එක දේවලට ආශා කරමින් ජීවත් වුණා. එක බ්‍රාහ්මණයෙකුට ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාවක් නැති බ්‍රාහ්මණයා මිථ්‍යා දෘෂ්ඨිකයි. ඔහු කුඹුරක් හදන්න පටන් ගන්නවා.
මේ කුඹුර සකස් කරන්න පටන් ගන්නකොට ම බුදුරජාණන් වහන්සේ වඩිනවා කුඹුරට.බ්‍රාහ්මණය, නුඹ ‘මොකද කරන්නේ? ‘මම මේ කුඹුර හදනවා’ කතාව එපමණයි. බුදුරජාණන් වහන්සේ වැඩියා. තව ටික දවසකින් බුදුරජාණන් වහන්සේ නැවතත් වැඩියා. ‘බ්‍රාහ්මණය මොකද කරන්නෙ?’ උන්වහන්සේ ඇසුවා ‘මම දැන් මේ කුඹුර වපුරනවා.’ බ්‍රාහ්මණයා කීවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ කාර්යයන් කරන අවස්ථාවන්හි කුඹුරට වඩිනවා. එතකොට මිථ්‍යා දෘෂ්ඨික වුණත් මේ බ්‍රාහ්මණයා තුළ හිතවත් කමක් ඇති වුණා. සමහර විට අපත් එහෙමනේ. අන්‍ය ආගමික කෙනෙක් අපට හැමදාම මුණ ගැහෙනවා නම්, හිතවත් කමක් ඇතිවෙනවා නේ ද? ඒ වාගේ හිතවත් කමක් ඇති වුණා. ඉන්පසු මොකද කරන්නේ? හිතවත් කමත් එක්ක ඉන්න කොට කියනවා ‘මගේ කුඹුරේ අස්වැන්න හොඳට නෙළුවොත් ඔබ වහන්සේටත් මම කොටසක් දෙන්නම්.
බුදුපියාණන් වහන්සේ නිශ්ශබ්ද ව ඉවසගෙන ඉන්නවා මේ කියන කතා. දැන් මොකද වෙන්නේ? හොඳට ගොයම් කරල් පැහිලා. ගොයම් බර වෙලා. පුදුම සතුටින් මේ බ්‍රාහ්මණයා ඉන්නේ, අහෝ පුදුමයක් නේ. කලින් දවසේ රාත්‍රියේ මහා ධාරානිපාත වර්ෂාවක් වැටුණා. කුඹුරේ ගොයම් ඔක්කෝම ගංවතුරට ගියා. හිස් පිට්ටනියක් වගේ. පහුවෙනිදා උදේ. මේක දරාගන්න බැරි දුකක්. දරා ගන්නට බැරි ශෝකයක්. මේ බ්‍රාහ්මණයාගේ බලාපොරොත්තු සියල්ලක් ම නැති වුණා. ඉතින් බුදුපියාණන් වහන්සේ දන්නවා කල්මත්තෙන් මේ දේ වෙන බව. උන්වහන්සේ බ්‍රාහ්මණයාගේ ගෙදරට ම ගියා.
එතකොට මේ බ්‍රාහ්මණයා කන්නෙත් නෑ. බොන්නෙත් නෑ. ඒ ගැනම හිත හිතා නිදාගෙන ඉන්නවා. බුදුපියාණන් වහන්සේ වැඩියා මිතුරුකමකුත් තියනවනේ. ඉතින් කියනවා ‘බලන්නකෝ මගේ කුඹුරට වෙච්ච දේ ඔබ වහන්සේට දෙන්න තිබුණු කොටසක් නැතිවුණානේ. ඉතින් බුදුපියාණන් වහන්සේ අහනවා ‘ඉතින් ඔච්චර දුක් වෙන්නේ ඇයි? අන්න ඒ වේලාවේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා.
“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකෝ කුතො භයං”
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකෝ කුතො භයං”
තණ්හාව නිසා තමයි මේ ශෝකය හටගන්නෙ, තණ්හාව නිසා තමයි මේ භය හටගන්නෙ. තණ්හාවෙන් අතමිදුන අයෙකුට ශෝකයක් නෑ. එසේනම් භයක් කොයින් දැයි බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කළා. ඇයි? බුදුපියාණන් වහන්සේ ලෝභය සම්පූර්ණයෙන් ම නැති කරලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ ලෝභය නැති කරන හැටි කියලා දුන්නේ.
ඊළගට ද්වේශය, ‘දෝසෝ දුස්සනා දුස්සිතත්තං’ අපේ හිතේ ගැටීම, ගැටෙන ආකාරයක්, ගැටෙන ආකාරයේ ස්වභාවයක් ඇතිවෙනවා නම් මේක තමයි ද්වේශය කියලා කියන්නේ. ද්වේශය ඇති වෙනකොට දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත වෙනවා. අපේ සිතේ මානසික දුක් වේදනාව සමඟ පටිඝය හැප්පීම හට ගන්නවා. මේ ද්වේශය හටගන්න ක්‍රම දහයක් දේශනාවේ සඳහන් වෙනවා. අපි ඒකට කියන්නේ දස ආඝාන වස්තු කියලයි.
අහවල් පුද්ගලයා වරදක් කළා කියලා තමන්ට දැනෙන විට හිතේ තරහක් ඇතිවෙනවා නේද? කවුරු හරි කෙනෙක් අවඩැක් අනර්ථයක් කළා කියලා ආරංචි වෙන කොට, මතක් වෙනකොට හිතේ තරහ ඇතිවෙනවා.
තවත් අවස්ථාවක තමන්ට අනර්ථයක් කරන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා. සැලසුම් කරනවා. ඒ වගේ ම සංවිධානය කරනවා. ඒ වාගේ දෙයක් ආරංචි වෙනකොට ම තමන්ගේ හිතේ තරහ ඇතිවෙනවා.
තමන්ගේ ප්‍රිය මනාප ඥාති කෙනෙකුට, හිතවත් කෙනෙකුට අනර්ථයක් කරලා තියෙනවා, කවුරු හෝ කෙනෙක් ඒ ගැන තමන්ට දැනගන්න ලැබෙනවා. අන්න හිතේ තරහා ඇතිවෙනවා.
තමන්ගේ ප්‍රියමනාප කෙනෙකුට අනර්ථයක් කරමින් ඉන්නවා යැයි දැනගන්නා විට තරහ, කේන්තිය ඇතිවනවා.
කෙනෙක් තමන්ගේ ප්‍රියමනාප කෙනෙකුට අන්තරායක් කරන්න සැලසුම් කරලා තියෙනවා ගහන්න, බනින්න සැලසුම් කරලා තියෙනවා. එහෙම වෙනකොට තමන්ගේ හිතේ තරහ ඇතිවෙනවා.
ඒක තමයි අද කාලයේ වැඩිපුර තියෙන්නෙ. අප්‍රිය, අමනාප කෙනෙක්, තරහ පුද්ගලයෙක් ඉන්නවා. බැරි වෙලාවත් ඉතින් තමන්ගේ තරහ යාළුවෙකුට තමන්ගේ බිරිඳ උදව්වක් එහෙම කරලා තිබුණොත් ගෙදර එකම කාල ගෝට්ටියයි. ගෙදර එකම යුද්ධයක් ඇයි? තමන්ගේ හතුරෙකුට තමන්ගේ හිතවත් කෙනෙක් උදව්වක් කරලා තිබුණොත්, උදව්වක් ඉල්ලමින් ඉන්නවා කියලා දැන ගත්තොත් මොකද වෙන්නේ?. තමන්ගේ හිතේ තරහා ඇති වෙනවා. ඊළඟට ‘අස්ථාන කෝපය’ කිසිම හේතුවක් කාරණයක් නැතුව අත වැදුණත්, බිම පය වැදුණත්, කෝප්පයක් බිමට වැටුණත්, කෙනෙක් ළඟින් ගියත් හිතේ වහාම තරහක් ඇති කරගන්නවා. මේකටත් කියන්නේ ‘අස්ථාන කෝපය’ කියලා.
ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
දිගන සුගතවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment