Labels

Friday, January 12, 2018

තිසරණ සරණ ගොස් පන්සිල් සුරකිමු

"බුදුරජාණන් වහන්සේ “අභිසන්ධ” සූත්‍රයේදී වදාළේ යම් කෙනෙක් අවබෝධයෙන් තිසරණ සරණ යනවානම්, ඒ ශ්‍රාවකයාට පුණ්‍ය ගංඟා තුනක් ගලන බවයි. වර්තමානයේ බොහෝ බෞද්ධයන්ට මේ පුණ්‍ය ගංගා අහිමිවීම කනගාටුවට කරුණක්."
2018 වසර අදින් උදාවෙයි. නව වසරේ දුරුතු පොහොය දිනය ද අදට යෙදී ඇත. ජීවිතය ගැන හැරී බැලීමක් කිරීමට වැරැදි නිවැරැදි කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි.
පසුගිය වසරවලදී අප තුළ තිබූ මිථ්‍යා දෘෂ්ඨික සිතිවිලි ඉවත්කර මේ මොහොතේ පටන් සම්මා දෘෂ්ඨියෙන් යුතුව කටයුතු කරන්නේ නම් උදාවූ වසර යහපත් කර ගැනීමට මග හසර උදාවනු ඇත.


ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. අපට උන්වහන්සේගේ සරණ යාමේ දුර්ලභ අවස්ථාව උදා වී ඇත. එහෙත් අවාසනාවකට මෙන් මේ රටේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින බොහෝ දෙනෙකුට උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් නැත; අවබෝධයක් නැත; වටිනාකමක් නැත.
එමෙන්ම ශී‍්‍ර සද්ධර්මය පිළිබඳවත් අගයක් වටිනාකමක් නැත. ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් ඇත්තේ එබඳුම ආකල්පයකි. එයට හේතුව තුන් සරණය පිළිබඳ ඔවුන්ගේ නො දැනුවත්කමයි. අපගේ බහුතරයක් බෞද්ධයෝ බුදුරජාණන්වහන්සේ ගේ නව අරහාදී බුදුගුණ නො දනිති. ධර්මයේ ගුණ හය නොදනිති. ආර්ය මහා සංඝ රත්නයේ ගුණ නවය නො දනිති.

අතීතයේ අපේ මුතුන් මිත්තෝ මේ ගුණ ඉහළින්ම අවබෝධ කරගෙන සද්ධර්මය තුළ ස්ථාපිත වූහ. එබැවින් ඔවුහු සැබෑ ශ්‍රද්ධාවත් බෞද්ධයෝ වූහ. ඔවුහු බුදුරජාණන් වහන්සේ විශ්වාස කළහ. ධර්මරත්නය විශ්වාස කළහ. ආර්ය මහා සංඝ රත්නය විශ්වාස කළහ. නමුත් පසුකාලීනව දකුණු ඉන්දියාවේ කාලිංග – මාඝ ආක්‍රමණ දාඨිය – පීඨිය, පනයමාර – පිලයමාර ආදී චෝල ආක්‍රමණිකයන්ගේ බලපෑම් එල්ල විය. ඒ නිසා බුදුදහම යටපත් විය. හින්දු ආගමික විශ්වාස මෙහි රජ කරන්නට විය. 1505 න් පසුව පෘතුගීසි , ලන්දේසි, ඉංගී‍්‍රසි ආක්‍රමණ නිසාත් බුදුදහමට හානි එල්ලවන්නට විය.
විශේෂයෙන්ම 16,17 වර්ෂවල ශී‍්‍ර ලංකාව පාලනය කළ ශ්‍රී විජයරාජසිංහ, රාජාධිරාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණින් බුදුදහම වැළඳඟත් නායක්කර්-වංශික රජවරු වූහ. ඔවුන්ගේ බිසෝවරු වූයේ ඉන්දියාවෙන් ගෙන්වාගත් කාන්තාවන් ය. මේ නිසා ඔවුනට තම ආගම ඇදහීම සඳහා රජු විසින් විහාරයේ ම දේවාලයක් ඉදිකර දුන්නේ ය.රජතුමා බුද්ධ මන්දිරයට ගොස් බුදුන් වඳින අතරතුර දී දේවිය දේවාලයට ගොස් දෙවියන් වැන්දා ය.
එහෙත් පසුකාලීනව ශී‍්‍ර ලාංකික බෞද්ධ ජනතාව කල්පනා කළේ බුදුමැදුරත්, දේවාලයත් එකම භූමියක පිහිටි නිසා ඒ දෙකම ඇදහිය යුතු බවයි. ඇතැම් අවස්ථාවලදී සිදුවූයේ බුදුමැදුර අමතකව ගොස් දේවාලය පමණක් වැඳීමයි. මෙයින් සිදුවූයේ උතුම් තිසරණයෙන් ලබාගත හැකි මහ රැකවරණය අපට අහිමි වීමයි.
එවකට සිටි දුටුගැමුණු ,විජයබාහු, වළගම්බා, පරාක්‍රමබාහු, ආදි රජවරු තෙරුවන් මුල්කරගෙන කටයුතු කළ රජ දරුවෝ ය. දුටුගැමුණු රජතුමා නිරතුරුව ම සිහිපත් කළේ

බුද්ධෝ තිලෝක සරණේ
ධම්මෝ තිලෝක සරණේ
සංඝෝ තිලෝක සරණේ

යන තිසරණය මුල්කරගත් ගාථා ය. එමෙන් ම “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ” ගාථාව ද එතුමා නිතර සිහිපත් කළේ ය.
නුදුරු අතීතය ගෙන බැලුව ද අපගේ පැරණි ජනතාවගේ මුවින් නිතර පිටවූයේ

බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුුරු දරාගෙන
මේ තුන් සරණේ අපි අදහාගෙන

යන තුන් සරණයයි. ඔවුහු ගොයම් කැපීමට ගිය විටදී පැල් රකිනවිටදී වන්දනා ගමන්වලදී මේ කවි නිතර ගායනා කළහ. ත්‍රිවිධ රත්නය නිතර සිහිපත් කළහ.
බුදුරජාණන් වහන්සේ “අභිසන්ධ” සූත්‍රයේදී වදාළේ යම් කෙනෙක් අවබෝධයෙන් තිසරණ සරණ යනවානම්, ඒ ශ්‍රාවකයාට පුණ්‍ය ගංඟා තුනක් ගලන බවයි. වර්තමානයේ බොහෝ බෞද්ධයන්ට මේ පුණ්‍ය ගංගා අහිමිවීම කනගාටුවට කරුණක්.බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය විශ්වාස නොකරන අපේ ඇතැම් බෞද්ධයෝ කේන්දරයෙන්, සාස්තරයෙන් යම් දෙයක් පැවසුවොත් එය හිස් මුදුනින් පිළිගනිති. ලෞකික වශයෙන් ගත් කල යම් සුළු දේවල් ඒවායින් පැවසීමේ හැකියාව තිබිය හැකිය. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට ඒ වා කෙසේවත් සමකළ නොහැකිය.
වර්තමානයේ ඇතැමුන්ට මෙය තේරුම්ගත නොහැකි නිසා එතරම් උතුම් මැණික් ගල් තුනක් අතහැර කළුගල්, බොරළුකැට අහුලමින් යති. ඒවා වටිනා බව පවසමින් සුරැකිව තබා ගනිති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ

යේකේචි බුද්ධං සරණං ගථාසේ
නතේ ගමිස්සංති අපායං
පහාය මානුසං තේහං
දේවකායා පරිපුරෙස්සන්ති

යම් කෙනෙක් උතුම් තිසරණේ සරණ ගියානම් ඒ තැනැත්තා සතර අපායට නොවැටේ. මේ මිනිස්කය අත්හැරිය පසු දෙව්ලොව උපත ලබයි. යනු එහි අර්ථයයි
අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ සඳහන් වන ආකාරයට යම් කෙනෙක් පංච ශීලය රකිනවා නම්, රහතන්හන්සේලා සියක් නමකට දෙන දානයට වඩා පිනක් සිදුවේ. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා පිනක් සිදුවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙන දානයට වඩා පිනක් සිදුවේ. පසුගිය වසරවල අප නොයෙකුත් මිථ්‍යා දෘෂ්ඨික ක්‍රියා සිදුකරන්නට ඇත. නමුත් මේ ලැබු නව වසරේදී අප කළ යුත්තේ තිසරණ සරණ ගොස් පංචශීලය සුරැකීමයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කිරීමයි. ඒ පින් දෙවියන්ට අනුමෝදන් කර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමයි.
ලැබු මේ නව වසරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් මෙලොවත් පරලොවත් සාර්ථක කර ගැනීමට උත්සුක වෙමු. කෙළවර සසර දුක් නිමාකර ලබන ඒ අමා මහ නිවන් සුව ලබා ගනිමු.


ඔබ සැමට තෙරුවන් සරණයි



පොල්පිටිමුකලානේ
පඤ්ඤාසිරි හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment