Labels

Saturday, January 20, 2018

බුදුදහම අවධාරණය කළ සමානාත්මතාවයේ අගය

පිනිබර දුරුත්තෙහි පුන්සඳ උදාවන මොහොතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිදුවිය. භාරතීය ජන සමාජය තුළ මුල් බැසගෙන තිබූ දැඩි ගෝත්‍රවාදය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ගංගා, යමුනා, අචිරවතී ආදී සිවු මහා ගංගා ගලා බසින විට එහි ජලය ඒ ඒ නමින් හැඳින්විය හැකි බවත්. එහෙත් ඒ ජලය මහ සමුද්‍රයට එක් වූ විට එය හඳුන්වනු ලබන්නේ සමුද්‍ර ජලය ලෙසත් වන බවය. එමෙන් භාරතීය සමාජයේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර ආදී කවර කුලයකින් පැමිණ පැවිදි වුව ද ඒ සියලු දෙනා හඳුන්වන පොදු නාමය “භික්ෂු” යන නාමය හෙවත් ‘සංඝ’ යන පොදු නාමය බව පෙන්වා දුන්හ.


ඉතා ක්‍රමානුකූල පදනමක් මත පිහිටා බුදුරජාණන් වහන්සේ බුදුසසුන පිහිටුවාවූ බව පැහැදිලි වේ. සංඝ යන්නෙහි වටිනාකම පැහැදිලි කළ බුදුපියාණන් වහන්සේ සංඝ යන පොදු නාමයට පත්වන තැනැත්තා හිමිකරගත යුතු සමාජ වටිනාකම ද පැහැදිලි කළහ. මහවතුරක් ගලා එන්නාසේ පොදු ජනයා සඟ සසුනට ඇදී ආහ. සසුනට ලැබුණු ප්‍රත්‍ය පහසුකම් කෙරෙහි ආශාවෙන් ද, රාජ උදහසට ලක් වූවන් ද, සොරුන් මං පහරන්නන් ආදී වශයෙන් විමුක්ති මග නොසොයා පැමිණි ඇතැම් විවිධ අය ද සසුනට ඇතුළත්වීමට උත්සාහ කළහ. ඒ නිසා ම සසුනට ඇතුළත්වීමට යම් කොන්දේසි පැනවීමට ද ඇතැම්විට සිදුවිය. මහා වග්ගපාලියේ ඒ පිළිබඳ සඳහන් වේ.

පැවිදි කළ හැකි පිරිස් පිළිබඳ දැක්ම පූජෝපහාරයට, වන්දනීයත්වයට පත්වන අයුරෙන් සසුන බිහි කරන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ සිතා බලන්නට ඇත. සඟ සසුනේ යහපත, ආරක්ෂාව පිණිස, විනය පිටකය බිහි විය. ඉන්දීය සමාජය තුළ පැවැති ප්‍රාථමික ගති සිරිත් වෙනස් කර දකින බලන අයගේ ප්‍රසාදයට ලක්වන අයුරෙන් සේඛියා ධර්ම ආදිය පනවා ඒ කටයුතු සිදු කිරීමට බුදුරජාණන් වහන්සේ නීති පැනවූහ.
ශාරීරික දුබලතා ආදී විවිධ දුර්වලතාවයන්ගෙන් වියුක්ත වූ පිරිසක් ජනපි‍්‍රය නියෝජිත පිරිසක්වීම නිරායාසයෙන් සිදු වන්නකි. අඳින පොරවන වස්ත්‍රවල ආකාරය, ඇහැට පි‍්‍රය කහ වර්ණය, මැසි මදුරුවන් ළංනොවන, දේශගුණයට උචිත, පි‍්‍රය ශාන්තබවට ගැළපෙන, කැපී පෙනෙන වර්ණයකි. හිස කෙස් බූ ගෑමෙන් ගිහි ගතියත්, අහංකාරබවත් ඉවත් විය. නිහතමානී අහිංසක පිරිසක් බවට පත් විය. ඒ පිරිස පරාර්ථ සේවය හා පොදු බවෙන් යුක්ත විය. හැම භික්ෂුවක් ම පොදු තැනැත්තෙකි. උන්වහන්සේ සතු සියල්ල සංඝයා සතු ය.වසන පන්සල ද, තමන් වහන්සේ සතු නොවී ය. සංඝයා සතු විය. සාංඝික ය. හැම භික්ෂු නමකටම ඇලීම් ගැටීම් නැත. දෙවැන්නෙක් නැත. තමන් නිසා යැපෙන පිරිසක් ද නැත. එනතුරු බලා සිටින කෙනෙක් ද නැත. ඔහු නාවොත් බඩගින්නේ හාමත් වන පිරිසක් ද නැත. තමන් වෙනුවෙන් හඬා වැටුණු පිරිසක් ද නැත. තමන් වහන්සේ කිසිවෙකුට අයිති නැත. එබැවින් භික්ෂුව ශෝක නොකරයි. ඒ බව සංයුක්ත නිකායේ සඳහන් වේ. තමන්ගේ ජීවිතය ශාසනය නමැති ශ්‍රේෂ්ඨ ආයතනයට කැපකර ඇත. උතුම් පරමාර්ථ, උඩ ජීවිත පරිත්‍යාග කර ඇති පිරිසක් වෙත් නම් ඒ බෞද්ධ භික්ෂු පිරිස ය. සංඝ යනු සමූහයා යන අදහසයි. පොදු යන්නයි. මෙසේ සකස් කළ සඟ සසුනට ගෞරව දැක්වූහ.
දිනක් තම සුළු මෑණියන් වූ මහා ප්‍රජාපති ගෝතමිය සියතින් නූල් සකසා රෙදි වියා සිවුරක් සකස් කර ගෙනවිත් බුදුරදුන්ට පූජා කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී මෙය සංඝයා වෙත පූජා කරන්න. සංඝයාට පූජා කළ විට මට ද පූජා කළා වේ යැයි එය සංඝයා වෙත පැවරූහ. සඟ සසුනෙහි වටිනාකම ඉන් පෙන්නුම් කෙරේ. සඟරුවනෙහි ගුණ වර්ණනා කරමින් ඒ සඟ පිරිස හැම දේටම සුදුසු පිරිසක් ලෙස සමාජයට ඉදිරිපත් කළ හ.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වෙත විවිධ තනතුරු පිරිනැමූහ. ඒ ගුණාත්මක බව හැමවිට ඉහළින් අගය කරමිනි. සුවිශේෂී ශක්තීන්, හැකියාවන්, දක්ෂතාවයන් මුල්කරගනිමිනි. සෘද්ධිමතුන් අතර අග තනතුර මුගලන් හාමුදුරුවන්ටත්, ප්‍රඥාවන්තයන් අතර අග තනතුර සැරියුත් හාමුදුරුවන්ටත් ආදී වශයෙන් ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වෙත විවිධ තනතුරු පිරිනැමූහ. එහෙත් ඒ පිරිස අතර තම පුතු රාහුල හෝ මස්සිනා වූ දේවදත්ත නොවූහ. ඥාතිත්වය ගැන නොසිතූහ. උන්වහන්සේගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකළහ.
සියලු දෙනාගේ දක්ෂතාවයන් හැකියාවන් දෙස බලා ඒ ඒ තනතුරු පිරිනැමීමේ දී සමානාත්මතාවයෙන් කළා මිස පුද්ගල වාදයෙන් කටයුතු නොකළහ. ගෝත්‍රවාදී නොවූහ. ඒ අනුව උන්වහන්සේ තුළ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්නුම් කෙරේ.
සඟ සසුන සංඝරත්නය සඳහාම වූ පාලන ක්‍රමයක් විය. ප්‍රජාතාන්ත්‍රික විය. සාධාරණ විය. අතිශයින්ම මානුෂික විය. යම් භික්ෂුවක් වරදක් කළ විට ඒ භික්ෂූව සඟ පිරිස ඉදිරියට පමුණුවා ඉදිරිපත් වී ඇති චෝදනාවලට අසවල් විනය නීතිය අනුව වරදකරු බවට ඒත්තු ගන්වා නියමිත දඬුවම් තුන්වරක් කියවයි. ඊට පසු දඬුවම පිළිබඳ සියලු සංඝයාගේ අනුමැතිය ලබාගෙන දඬුවම් පමුණුවයි. ඡන්න භික්ෂුව ඇවතකට පැමිණි විට එසේ වූ බව පිළිගැනීමට අකමැති විය. ඒ කරුණ බුදුරදුන්ට දැන් වූ විට බුදුරදුන් සංඝයා රැස් කරවා කරුණු විමසා ඡන්න භික්ෂුවට දඬුවම් පැමිණවීමට කටයුතු කළ අයුරු ආදර්ශවත් විය. සඟ සසුනෙහි පැවැති ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ ද ඉන් පෙන්නුම් කෙරේ.
බුදුරදුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත්, ශිෂ්ට සම්පන්න ලෙසත්, සමානාත්මතාවයෙන් කටයුතු කළ ආකාරයත්, සැමට සාධාරණ පොදු වූ නීතියක් අනුව ක්‍රියා කළ අන්දමත් මෙවැනි කරුණුවලින් අවබෝධ කරගත හැකි වේ.
ආරාම පූජාවේ දී සතර දිගින් වඩින මහා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස එය පූජා කරවූහ. එසේ පූජා කළ විට එහි තනි අයිතිකරුවෙක් නැත. මේ රටේ පැරැණි සෙල්ලිපිවල සඳහන් වන පරිදි අගත අනගත චතුදිස සගස දිනි යන වදන් වලින් සතර දිසාවෙන් වඩින මහ සඟරුවන වෙත ආරාම පූජා කරන ලද බව සඳහන්ව ඇත.
පසු කලෙක යටත්විජිත පාලන සමයන්හි දී අපේ විහාරස්ථාන පාලනයට පෙර පැවැති පාලන ක්‍රමයට වෙනස් ව පාලක පක්ෂය මඟින් විහාරාධිපති තනතුරක් පත් කළහ. එතෙක් පැවැති ප්‍රජාතාන්ත්‍රවාදී බව සඟ සසුනෙන් ඈත්විය. විහාරවාසී යන වදන හැර විහාරාධිපති යනුවෙන් වචනයක් පැරැණි ලක්දිව බෞද්ධ සාහිත්‍යයෙහි හෝ සෙල්ලිපිවල දක්නට නොවී ය.
අනේපිඬු සිටුතුමා ආදී මහා ධනවත් සිටුවරුන් සතු වූ ධනය දුප්පතුන් අතරේ හෝ දියයුතු යැයි කල්පනා නොකළ අතර ගිහි සමාජය ධනය ඉපයිය යුතු අන්දමත්, ඒවා පරිහරණය කළයුතු ආකාරයත් තම අභිවෘද්ධිය මෙන්ම නැති බැරි අය වෙනුවෙන් ද දනට පිනට යෙදවිය යුතු ආකාරයත් තථාගතයාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව බලන විට සංඝ සමාජය තුළ කෙතරම් සාධාරණ බවකින් මෙන් ම සමානාත්මතාවයෙන් කටයුතු කළේ ද යන්න මැනවින් පැහැදිලි වේ.
උපාලි ගෘහපති නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන ශිෂ්‍යයා විය. බුදුරජාණන් වහන්සේ ළඟට උපාලි ගෘහපති තෙවරක් ම පැමිණියහ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඔහු ආපසු හරවා යවන ලද්දේ තම ගුරුවරයාගෙන් අවසර රැගෙන පැමිණෙන ලෙසය. ඉන් පෙනී යන්නේ අනෙකුත් ආගම් වෙත ද බුදුරජාණන් වහන්සේ දක්වන ලද ආගමික සහනශීලිත්වයයි.
බුදු දහම ඉතා ශීඝ්‍රයෙන් දඹදිව පුරා ප්‍රචලිත වී යන විට විවිධ සතුරු බලවේගවලින් ද අඩුවක් නොවී ය. ඒ සියල්ල තථාගතයාණන් වහන්සේගේ අපරිමිත බුදුනුවණින් දැක ක්‍රමානුකූලව ක්‍රියා කළ හෙයින් ම සම්බුදු දහම ඉතා කෙටි කලකින් ව්‍යාප්තවීමට බලපෑහ.
රජ මැදුරේ රජතුමාටත්, පැල්පතෙහි වෙසෙන දුගියාටත් දානය පිළිගැන්වීමට අවස්ථාව උදා විය. භික්ෂූන් වහන්සේ පිඬු සිඟා වැඩම කරන ලද්දේ ගෙපිළිවෙළට ය. ඒ අවස්ථාවේ දී පවා පෙන්නුම් කරන ලද්දේ බුදුදහම තුළ පැවැති සමානාත්මතාවයයි.
බුදුරදුන් හමුවට පැමිණි සියලු දෙනාට කරුණාවෙන් පිහිටවූහ. පිහිටවීම සඳහා දුරුකතර ගෙවා ගෙන පවා වැඩම කළහ. සුනීත, සෝපාක, රජ්ජුමාලා වැනි අසරණයන් සොයාගොස් බුදුරජාණන් වහන්සේ පිහිටවූහ. බුදුරජාණන් වහන්සේගේ කරුණාව, අවධානය පොදුවේ සමස්ත සමාජයට ම ලැබිණි. ඒ උන්වහන්සේ තුළ පැවැති සමානාත්මතාවයේ විශිෂ්ට ලක්ෂණය හේතුවෙන් සිදු වූවකි.
කොළඹ ගංගාරාමාධිකාරී 
ආචාර්ය 
කිරින්දේ අස්සජි හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment