‘ඉත්තීපි පණ්ඩිතා හොන්ති
තත්ථ තත්ථ විචක්ඛණා’
එදා කොසොල් රජුට දියණියක උපන් වේලාවේ එතුමා බොහෝ දුකට පත්වී ය. ඒ, ඉන්දීය බමුණු සමාජයේ පැවැති මතවාදයට අනුව දියණියකගේ උපත අවාසනාවේ සලකුණක් ලෙස සැලකූ හෙයිනි. එහෙත් කොසොල් රජු අස්වැසූ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ගැහැනු දරුවෙකු ඉපදීම කිසිසේත් ම දුකට කරුණක් නොවන බව ය. ඇය ද නුවණින් හා විචක්ෂණශීලී බවින් පොහොසත් වන බව ය.
බුදුදහමට අනුව සමාජ කාර්යභාරයේ දී පිරිමින් හා සමාන ලෙස කාන්තාවන් ද වගකීම් ඉටුකරන පිරිසක් ලෙස පිළිගනී. දැනට ලංකාවේ ථෙරවාදී සංස්කෘතික සම්ප්‍රදායට අනුව කාන්තා පැවිද්ද ගැළපෙනවාද? නොගැළපෙනවාද? ඇයට උපසම්පදාව දීම සුදුසු ද? නුසුදුසුද? යන්න පිළිබඳව සංවාදයක් ගොඩනැඟී තිබේ. මේ ගැටලුවේ දී දීමට හැකි හොඳම පිළිතුර වන්නේ චුල්ලමාළුඤ්ච පුත්ථ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුර හා සමාන පිළිතුරකි.
අවශ්‍යයෙන් ම කියනවා නම් මේ අනවශ්‍ය සංවාදයකි. කාලය කා දමන සංවාදයකි. එක් අවස්ථාවක චුල්ලමාළුඤ්ච පුත්ථ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස. මේ සමාජයේ මිනිස්සු බොහෝ දුශ්ශීලවෙති. නිරන්තරයෙන් අධාර්මික වෙති. මෙයට විසඳුමක් දෙනු මැනවි. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් හෝ මේ ගැටලුව විසඳනු මැනවි.” එකල්හි බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරුවන්ගෙන් මෙසේ විමසූහ.
“චුල්ල, තමන්ගේ සිරුරේ ඊතලයක් වැදුණු කෙනෙක් මේ විදිහට සිතනවා. මේ ඊතලය ආවේ කොතැනින් ද? එව්වේ කවුරුන් ද? තනා තිබෙන්නේ කුමන ලෝහයෙන් ද? මෙය මොනතරම් විෂ සහිත ද? දිග ද? පළල ද? ආදී ලෙස සිතනවා. එලෙස අනේක සිතිවිලි අතර කාලය ගෙවී යනවා. එහෙත් ඊතලය ගලවා දමන්නට අදහසක් නැත. මෙය හරිද? වැරැදි ද?
“භාග්‍යවතුන් වහන්ස, එය වැරැදි ය”
“එසේ නම් කළයුතු වන්නේ කුමක්ද? ඊතලය වහාම සුදුසු පරිදි ඉවත්කර තුවාලය පිරිසුදු කිරීම ය. ඖෂධ ගැල්වීම ය. එය මඟ හැරෙන මොහොතක් පාසා විෂ ශරීර ගතවන්නට පුළුවන. තුවාලය ඔඩු දුවන්නට පුළුවන. අවසන මරණය සිදුවන්නට ද පුළුවන.
කාන්තා පැවිද්ද සම්බන්ධව කරන සාකච්ඡාව ද මෙවැන්නකි. කාන්තා පැවිද්දට, උපසම්පදාවට පක්ෂ අය ද, විරුද්ධ අය ද පළමුව සිතන්නට ඕනෑ, මේ සාකච්ඡා, සංවාද අත්‍යවශ්‍යම ද? යන්න ගැන ය.
ගිහි ජීවිතයෙන් වෙන් වී අනගාරික ජීවිත ගත කරන, දසසිල් ස්වරූපයෙන් හෝ වේවා, භික්ෂුණීන් වහන්සේගේ ස්වරූපයෙන් හෝ වේවා හත් දහසක පමණ පිරිස් මෙරට සිටිති. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. එමෙන් ම මහා බල ශක්තියකි. කළයුතු වන්නේ ශාසනික දියුණුවට මේ ශක්තිය යොදවා ගැනීම ය. කුමක් නිසා ද? වර්තමානයෙහිත් ශාසනික දියුණුව වෙනුවෙන් භික්ෂූන් වහන්සේ අපමණ මෙහෙවරක් සිදු කරති. එහෙත් ප්‍රමාණාත්මකව බැලූ කල භික්ෂූන් වහන්සේලා සීමිත ය. ඈත ගම්බද බොහෝ පන්සල් වැසී යමින් තිබේ. භික්ෂූන් වහන්සේ නැති නිසා බොහෝ වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති සිද්ධස්ථාන, ආරාම පරිහානියට යමින් තිබේ. සාම්පූර් චෛත්‍ය නටබුන් විනාශකර ඇති බවට පසුගිය දිනවල වාර්තා විය. හේතුව ප්‍රමාණවත් භික්ෂූන්වහන්සේ නොමැතිකම ය. පාළුවට ගිය සැණින් සතුරු උපද්‍රව ඇතිවීම වැළැක්විය නොහැකි ය.
දානමාන පින්කම් කටයුතුවලට නාගරික වශයෙන් භික්ෂූන් වහන්සේ විශාල ප්‍රමාණයක් සිටිය ද දුෂ්කර ගම්බද තත්ත්වය ඉතා කනගාටුදායක ය. සමහර විහාරස්ථානයන්හි ආගමික කටයුතු කරන්නේ විදේශික ස්වාමීන්වහන්සේලා ය.
අපේ දරුවන්ට ගුණ ධර්ම සමීප කරවන්නට නම් ධර්මාචාර්යයන් වහන්සේගේ සේවය පාසල් අධ්‍යාපනයට අත්‍යවශ්‍ය ය. දහම් පාසල් පිහිටුවීම අවශ්‍ය ය. අපගේ පෙර පාසල් දරුවා හැදෙන්නට, වැඩෙන්නට ඕනෑ බෞද්ධ ඌරුවකට අනුව ය.
මේ තැනට, මේ හිඩැසට අනගාරික කාන්තාවන් පුහුණුකර ගැනීම කාලෝචිත ය. ඔවුන් කෙරෙහි දයාව, කරුණා, කැපවීම තිබේ. ධර්මානුකූල බව, ශ්‍රද්ධාව ඉහළ ය. ඒ පිරිස් ධර්මඥානය සමඟ පාලි, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි භාෂා දැනුමින් පෝෂණය කළ යුතු ය. පෙර පාසල් පුහුණුව ලබා දිය යුතු ය.
අපේ රටේ සියදිවි නසාගැනීම් ගැන විවිධ ප්‍රදේශයන්ගෙන් විවිධ වයස් මට්ටම්වලින් වාර්තා වේ. ඇතැම්විට සිතන්නටවත් නොහැකි වයසේ කුඩා ළමයින් පවා මේ තත්ත්වයට පත්වේ. එවැනි සිදුවීම් පසුගිය දිනවල වාර්තා විය. මේ වැනි කනගාටුදායක දේ වන්නේ කුමක් නිසා ද? සිතට එන ආවේග පාලනය කර ගන්නට ධර්මානුකූල උපදෙස් නොලැබීම නිසා ය. වෙසෙසින් ගැහැනු දරුවෙකුට එවැනි උපදේශන ලබා දීමට භික්ෂූන් වහන්සේට අපහසු ය. එහෙත් කාන්තාවකට පුළුවන. අවශ්‍ය වන්නේ ඇයට මානසික උපදේශනය පුරුදු පුහුණු කරවීම ය. අපගේ ගෘහණියට සමීපවන්නට, කුස්සියට ගිහින් ඇය සමඟ කතා බහ කර ඇයගේ අනන්ත, අප්‍රමාණ වූ මානසික ගැටලුවලට ධර්මානුකූලව පිළිසරණක් වෙන්නට කාන්තාවකට ඇති හැකියාව ඉහළ ය.
අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත ප්‍රමාණවත් නොවන අවස්ථාවන් බොහෝ ඇත. මේ නිසා ම රෝගීන් අපහසුතාවට පත්වන අවස්ථා සුලබ ය. ඇතැම් අවස්ථාවන් හි රෝගීන් ඇපයට තබමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගනිති. මේ තත්ත්වය අපරාධයකි. අනගාරික මාතාවන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්වේච්ඡා සහායක සේවිකාවන් ලෙස යොදවන්නට පුළුවන.
මෙසේ, විශේෂයෙන් මානසික උපදේශන, සෞඛ්‍ය සේවය හා පෙර පාසල් අධ්‍යාපනය යන ප්‍රධාන ක්ෂේත්‍රයන් හි විශේෂඥයන් ලෙස පුහුණු කරවන්නට සාර්ථක ක්‍රියාමාර්ගයක් හඳුන්වා දිය හැකි නම් මේ මාතාවන්ට අප්‍රමාණ, පිළිගැනීමක්, ගෞරවයක් ලද හැකි වන්නේ ය.
අද කාන්තාවන්ට උදව් කරනවා යැයි කියන සංවිධානයන් හි කාර්ය භාරයන් බොහෝ විට ප්‍රායෝගික නැත. අපගේ අනගාරික කාන්තාවන්ට භික්ෂූන් වහන්සේ යන මග ම යා යුතු නැත. එහෙත් සිදු කිරීමට උත්සාහ කරන්නේ ද එයම බව පෙනේ.බණ දේශනා කිරීම, පිරිත් සජ්ඣායනය, පිණ්ඩපාතයේ යාම වැනි පිළිවෙතින් බැහැර වන ස්වභාවයක් පෙනෙන්නට නැත. අපේ තථාගතයාණන් වහන්සේ දේශනා කොට වදාළේ,
‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛා ය......’ ආදී ලෙසයි. එනම් අනුන්ගේ හිත පිණිස, අනුන්ගේ සුව පිණිස චාරිකාවෙහි හැසිරෙන්න මා එකෙන ද්වේ අගමිත්ථ’ එහෙත් එකම මගක දෙදෙනෙක් ගමන් නොකරන ලෙසයි. මෙහි අර්ථ දෙකකි. එක මඟක නොයන්න යනු එක් අර්ථයකි. එකම ක්‍රමයක් අනුගමනය නොකරන්න යනු අනෙක් අර්ථයයි. එනම්, විවිධ ක්‍රම අනුගමනය කළ යුතු බවයි.
මහජන සේවයට, ජනතාවට සමීප වීමට විවිධ ක්‍රම තිබේ. මේ ක්‍රමවේද ඔස්සේ කාන්තා සංවිධාන, භික්ෂුණී සංවිධාන පෙරට ආවේ නම්, අත්‍යවශ්‍යවන, ශාසනය රකින බලවේගයක් බවට පත්වනවා නො අනුමානයි. එවිට උපසම්පදා කළ යුතු ද? භික්ෂුණීන් වශයෙන් සැලකිය යුතුද? යන ප්‍රශ්නවලට ඉබේම පිළිතුරු ලැබෙනු ඇත.
කාන්තාවගේ ශක්තිය රටකට විශාල සම්පතකි. මහායානික භික්ෂුණීන් වහන්සේ නමක් අද ලෝකයේ විශාල බලයක් ගොඩනඟාගෙන තිබේ. ලොව විශාලම සහන සේවා වැඩසටහන් මෙහෙයවන රතුකුරුස සංවිධානයටත් වඩා ඉහළ, මහා පරිමාණ විපත් සහන සංවිධානයක් වන තායිවානයේ ‘සුචි’ පදනම මෙහෙයවනු ලබන්නේ භික්ෂුණියක විසිනි. එම සංවිධානය මුළු ලෝකයටම ඉතා නිහඬ සේවයක් කරයි. එහි ශාඛා සෑම රටකම පාහේ ස්ථාපිත ය. එවැනි මහා පරිමාණ ලෝක සේවයක් කරන්නට මෑත කාලීන භික්ෂූන් වහන්සේ නමකට තවමත් හැකිවුයේ නැත.
අපේ රටේත් මේ වගේ දක්ෂ, අනගාරික පැවිදි කාන්තාවන් සිටී. එළඹ තිබෙන්නේ මේ අයගේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ගැන දුරදක්නා නුවණින් කටයුතු කරන්නට ගිහි පැවිදි බෞද්ධ නායකත්වය විසින් කටයුතු කරනු ලැබිය යුතු කාලයකි. භික්ෂුණීන් වහන්සේ යන නාමය නොගැළපේ නම්, මෙහෙණින් වහන්සේ, බ්‍රහ්මචාරීන් වහන්සේ හැටියට සලකාගෙන මේ මහා කාන්තා බලවේගය සංවිධානය කොට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට යොදාගත යුතුව තිබේ.
චුල්ලමාළුඤ්ච පුත්ථ හාමුදුරුවන්ට ඇති වූ ප්‍රශ්නය වගේ ශාසන දේහයට වන ප්‍රශ්න බොහෝ තිබේ. එක හීයක් නොව හී පහර රැසක් වැදේ. ශාසනික දේහය අන්ත අසාධ්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව දිනපතා ඇසෙන ශෝචනීය ප්‍රවෘත්තිවලින් කියැවේ. ඒ ශාසනික දේහය සුවපත් කරන්නට විශේෂඥ වෛද්‍යවරුන්ගේ පමණක් නොව විශේෂඥ වෛද්‍යවරියන්ගේ සේවය ද අත්‍යවශ්‍ය වේ. දුර දක්නා නුවණින් කටයුතු කොට ශාසනික බලවේගයක් ලෙස ඔවුන් භාවිත කළ යුතුව තිබේ. සටන්පාඨ කියමින්, පෙළපාළි යමින් ප්‍රශ්න විසඳන්නට නොහැකි ය. නිසි පුහුණුවක් ලබා දී නිසි මගට ගැනීමෙන් කාන්තා බලවේගය අති විශිෂ්ට ලෙස නඟා සිටුවන්නට හැකි නම්, එය ශාසනයට විශාල ශක්තියකි.
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්නට, යෝජනා කරන්නට, ක්‍රියාත්මක කරන්නට යම් සංවිධානයක් ඉදිරිපත් වෙනවා නම්, මූලික පහසුකම් සැපයීමට, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මඟ පෙන්වීමට අපි ද සූදානමින් සිටිමු.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment