Labels

Friday, January 19, 2018

සැමට සෙත සදන පිරිත් දෙසුම

පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන කියවෙන රණමයුර ජාතක කතාව තුළ ද පිරිත් දේශනා පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

ඛුද්දක නිකායේ ධම්ම පදයේ සහස්ස වග්ගයේ 8 වෙනි ගාථාවට අදාළ නිදාන කතාව තුළ පිරිත් දේශනාව පිළිබඳ ව අගනා තොරතුරු ගණනාවක් අනාවරණය වේ.


දඹදිව දීඝලම්බික නුවර බමුණෙක් තපස් රැකීමට වනගත විය. 48 වසරක් තාපස චරියාවේ හැසුරුණු ඔහු පසුව කුල පරපුර නැසුනොත් විනාසයක් වන බව දැන තපස් හැරගොස් විවාහයක් කර ගත්තේ ය. ඔවුන්ට පුතෙකු ඉපදිණි. මවුපියෝ දිනක් දරුවා රැගෙන බුදුරදුන් හමුවීමට ගියහ. බුදුරදුන්ට වන්දනා කළ විට දීඝායුකොහෝථ (බොහෝ ආයු විඳුවයි ආශිර්වාද කළහ.) එහෙත් දරුවා වන්දනා කළ විට එසේ ආශිර්වාදයක් බුදුරදුහු නො කළහ. විමතියට පත් මවුපියෝ දරුවාට අනතුරක් ඇත්දැයි විමසූහ. දරුවා මියෙන්නට ඇත්තේ සත් දිනක් පමණක් බව බුදුරදුන් දෙසූහ. කනගාටුවට හා බියට පත් මවුපියෝ එම උවදුරෙන් තම දරුවා මුදා ගැනීම සඳහා කුමක් කළ යුතු දැයි විමසූ හ. සිය ගෙදර මණ්ඩපයක් තනා අසුන් පනවා භික්ෂූන් වහන්සේ අට නමක් හෝ දාසය නමක් වඩා හිඳුවා සතියක් පුරා අඛණ්ඩව පිරිත් දෙසුම් පවත්වා එම උවදුර බැහැර කර ගන්නැයි බුදුන් වහන්සේ වදාළ සේක. බුදුරදුන් ගේ උපදෙස් පරිදි ගේ දොර පිරිසුදු කරවා මණ්ඩපයක් තනා සියලු කටයුතු නිමවා සංඝයා වහන්සේ වැඩමවා පුතු ද පසෙක තබා සතියක් පුරා නොකඩවා ම පිරිත් දේශනා කරවා ගත්හ. සත්වන දවස බුදුරදුන් ද වැඩම කළහ. ඒ නිසා දෙවියන්ගේ පැමිණීම ද සිදුවිය. එම කුමරු උතුරු දිසාධිපති වෙසවුනු රජුගේ නියමය පරිදි අවරුද්ධ නම් යකුට බිල්ලක් ව සිටියේ ය. පිරිත් දෙසුමේ අනුහසින් සෙත සැලසී ආයු වැඩුණේ ය. තුනුරුවන්ගේ පිහිට ලැබිණ. දෙවියන්ගේ රැකවල් ඇති විය. ඒ නිසා වෙසවුනු රජුගේ නියමය වැරදුනේ ය. අවරුද්ධ යකුගේ බිල්ල වැළකුණේ ය. අනතුරුව දරුවා ලවා බුදුරදුන්ට වන්දවන ලදී. බුදුරදුහු දීඝායුකෝහෝථ (දීර්ඝායුෂ විඳුවව්) වදාළ සේක. ඒ කුමරු එකසිය විසි අවුරුද්දක් ආයු වින්දනය කළේ ය. ආයු වඩ්ඩන නමින් ප්‍රසිද්ධ විය. ඒ නිමිතිකර ධම්ම පදයේ

අභිවාදන සීලිස්ස
නිච්චං වුද්ධාපවායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති
ආයු වණ්ණෝ සුඛං බලං ගාථාව දේශනා කර තිබේ.

නිතර සිල්වතුන්ට වඳින, වැඩිහිටියන්ට පුදන තැනැත්තාගේ ආයු, වර්ණ, සැප, බල වැඩෙන බව මෙම ගාථාවෙන් පෙන්වා දී තිබේ.

ඛුද්දක නිකායේ උරග වග්ගයේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කිරීමට අදාළ වූ කතා පුවතින් ප්‍රකට වන්නේ පිරිත් සජ්ඣායනා කිරීමෙන් තමන් වෙත පැමිණ තිබෙන උපද්‍රව බැහැර කිරීමට හැකි බවයි. විසාලා මහනුවර තුන්බිය ඇති වූ අවස්ථාවෙහි දී ද රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් සජ්ඣායනා කර නගරය පුරා පිරිත් පැන් ඉසිමින් පැමිණ තිබූ රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ යන තුන්බිය දුරුකරවා නුවර වැසියන්ට සෙත සැලසූ බව සඳහන් වේ.

බුදුරදුන් ජීවමාන කාලයේ ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගාතුර වූ අවස්ථාවේ දී මහා කාශ්‍යප බොජ්ඣංග සූත්‍රයත් මුගලන් හිමියන් අසනීප වූ අවස්ථාවේ දී මොග්ගල්‍යාන බොජ්ඣංග පිරිත දේශනා කර තිබේ. බුදුරදුන් කායිකව වෙහෙසට පත් වූ අවස්ථාවක දී චුන්ද හිමියන් ලවා සප්ත බොජ්ඣංග දේශනා කරගත් බව ද සඳහන් වේ. ආනන්ද හිමියන් විසින් ගිරිමානන්ද හිමියන් කායික ව වේදනාවෙන් පසුවන බව බුදුරදුන්ට සැළ කළ විට ගිරිමානන්ද හිමියන්ට දස සංඥා දේශනා කරන ලෙසත් එවිට උන්වහන්සේගේ රෝගී තත්ත්වය සමනය වනු ඇති බවටත් බුදුරදුන් දේශනා කළහ. ආනන්ද හිමියන් ඒ උපදෙස් අනුව ක්‍රියා කිරීම නිසා චුන්ද හිමියන්ට වැළදී තිබුණු රෝගාබාධය සන්සිඳුනු බව සඳහන් වේ.





ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පති 
ශාස්ත්‍රපති
බුස්දුල්ලේ සිරිධම්ම හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment