Labels

Friday, January 12, 2018

චේතනාත්මකව කර්මයක් කරයි ද එහි විපාකය ඒකාන්තයි




" චේතනාත්මකව කරන ලද්දා වූ, රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහී මොලොවදී විපාක දෙන්න පුළුවනි. නැතහොත් ඊළඟ ජීවිතයේ දී විපාක දෙන්නට පුළුවන. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැන දී විපාක දෙන්නට පුළුවන."
අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් තථාගත බල දහයකින් යුතු වන සේක. මේ දෙව් මිනිස් ලෝකයා ඉදිරියේ අභීත ස්වරයෙන් උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කොට වදාළේය. එනිසාම අප භාග්‍යවතුන් වහන්සේ දසබලධාරී නමින් හඳුන්වමු. උන්වහන්සේ තුළ පැවැති ඒ ඤාණ බලයන් අතරින් එක් ඤාණයක් වූයේ කර්මය විපාක දෙන ආකාරය ගැන මුළුමනින් ම දන්නා නුවණ යි.


ඒ උතුම් ඤාණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ විසින් කර්මය පිළිබඳව දේශනා නො කරන්නට සකල ලෝකවාසී බොහෝ දෙව් මිනිසුන් හට තවමත් එය විසඳාගත නොහැකි වූ අද්භූත ප්‍රහේලිකාවකි. එනමුදු සියල්ල අතැඹුලක් සේ අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ කර්මයන්ගේ ස්වභාවයත්, එය ලෝක සත්ත්වයා විෂයෙහි බලපවත්වන ආකාරයත්, එයින් නිදහස් වන ආකාරයත් මැනවින් වදාළ සේක. පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය යයි කියමි. චේතනා පහළ කොට කයින්, වචනයෙන්, මනසින් යම් කර්මයක් කරයි ද, එහි විපාක ද ඒ ආකාරයෙන්ම සිදුවෙයි.
මේ ලෝකය තුළ සැප, දුක තීරණය කරන ප්‍රධාන බලවේගය කර්මය යි. සසරේ ගමන් කරන සත්ත්වයා කර්මයෙන් නිදහස් විය නො හැකි ලෙස කර්මයටම සිර වී සිටින්නේ කරත්තයේ රෝදය කඩ ඇණයකින් සිර වී පවතින ලෙසිනු යි. පින්වත් මහණෙනි, මේ සත්ත්වයෝ (කම්මස්සකා) කර්මයම තමා අයත් දේ කොට සිටිති. (කම්ම දායාදා) කර්මය දායාද කොට සිටිති. (කම්මයෝනි) කර්මය උප්්පත්ති ස්ථානය කොට සිටිති. (කම්මබන්ධු ) කර්මය ඤාතියා කොට සිටිති. (කම්මපටිසරණා) කර්මය පිළිසරණ කොට සිටිති. (යං කම්මං කරිස්සති කල්‍යාණං වා පාපකං වා) කල්‍යාණ වූ හෝ පාපී හෝ යම් කර්මයක් කරයිනම් (තස්ස දායාදෝ භවිස්සති) ඔහුගේ දායාදය බවට පත් වන්නේ එම කර්මය යි. (සංසප්පනී පරියාය සූත්‍රය –අං.නි)
මේ අයුරින් බලපවත්වන කර්මය විසින් සත්ත්වයා සුගති දුසුගතිවල උපදවමින් කර්මානුරූප විඳීම් ලබාදෙන ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කොට වදාළ සේක. “පින්වත් මහාරාජ, සිවු මංසලක මහල් සහිත ප්‍රාසාදයක් තිබේ යැයි සිතමු. එහි ප්‍රාසාදයෙහි උඩු මහලෙහි සිටින දෑස් පෙනෙන පුද්ගලයෙක් පහළ බලයි. එවිට නිවසට ඇතුළුවන්නා වූ මිනිසුන් ද, නිවසෙන් නික්මෙන්නා වූ මිනිසුන් ද දකී. එසේම මං මාවත්හි ඔබමොබ ඇවිද යන්නා වූ මිනිසුන් ද දකී. ඒ සිව්මංසල මැද වාඩි වී සිටින්නා වූ මිනිසුන් ද දකී. එවිට ඔහුට මේ අදහස ඇති වේ. මේ මිනිස්සු නිවසට පිවිසෙති. නිවසෙන් නික්මෙති. මේ මිනිස්සු මං මාවත්හි ඇවිද යති. මොවුන් සිව්මංසල මැද වාඩි වී සිටිති යනුවෙනි.
පින්වත් මහාරාජ, මේ සසුනෙහි භික්ෂුව මේ ආකාරයෙන් ම සිත සමාහිත වූ විට, පිරිසුදු වූ විට, දීප්තිමත් වූ විට, බාධක උපක්ලේශ නැති වූ විට, මෘදු වූ විට, ක්‍රියාවට යෝග්‍ය වූ විට, නො වෙනස්ව පවතින විට සත්ත්වයන්ගේ චුතියත්, උපතත් පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස, සිත යොමු කර, සිත නැඹුරු කරන්නේ ය.
එවිට ඒ භික්ෂුව පියවී මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්ත්වයන් දකී. චුත වන්නාවූ ද, උපදින්නා වූ ද, සත්ත්වයන් දකී. හීන වූ ද, උසස් වූ ද, වර්ණවත් වූ ද, දුර්වර්ණ වූ ද, සුගතියේ උපදින්නා වූ ද, දුගතියෙහි උපදින්නා වූ ද, ඒ ඒ කර්මානුරූපව උපත කරා යන්නා වූ ද, සත්ත්වයන් පිළිබඳව දැන ගනී. මේ සත්ත්වයෝ වනාහි කාය දුෂ්චරිතයෙන්, වචී දුෂ්චරිතයෙන්, මමෝ දුෂ්චරිතයෙන් සමන්විත වූවාහු ය. ආර්යයන් වහන්සේට උපවාද කළාහු ය. මිසදිටු වූවාහු ය. මිසදිටු මත සමාදන්ව සිටියාහු ය . ඔවුහු කය බිඳී මරණින් මතු නිරයෙහි ඉපිද සිටිති.
මේ සත්ත්වයෝ කාය සුචරිතයෙන්, වචී සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහු ය. ආර්යයන් වහන්සේට උපවාද නො කළාහු ය. සම්මා දිට්ඨියෙන් යුතු වූවාහු ය. මිසදිටු මත බැහැර කළාහු ය. ඔවුුහු කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව ඉපිද සිටින බව චුතවන්නා වූ ද, උපදින්නා වූ ද, සත්ත්වයන් දකී. හීන වූ ද, උසස් වූ ද, වර්ණවත් වූ ද, දුර්වර්ණ වූ ද, සුගතියේ උපදින්නා වූ ද, දුගතියෙහි උපදින්නා වූ ද ඒ ඒ කර්මානුරූපව උපත කරා යන්නා වූ සත්ත්වයන් පිළිබඳව දැන ගනී. (සාමඤ්ඤ්ඵල සූත්‍රය දීඝ නිකාය)
මෙයින් පැහැදිලි වන්නේ සුගති දුගති ලෝකවල උපත ලබා සැප දුක් විඳීමට මුළුමනින්ම කර්මය බලපාන ආකාරය යි. නමුත් බොහෝ දෙනෙක් සිතන්නේ තම තමාට කැමැති පරිද්දෙන් කර්මයෙන් මඟහැර යාමට පුළුවන් බවකි. බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව මෙසේ ද වදාළ සේක.
පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ, රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහී මොලොවදී ඵල දෙන්න පුළුවනි. නැතහොත් ඊළඟ ජීවිතයේ දී ඵල දෙන්නට පුළුවන. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැන දී පල දෙන්නට පුළුවන. (පඨම සංචේතනික සූත්‍රය – අං. නි)
අපගේ ශාස්තෘන් වහන්සේ විසින් සිත, කය, වචනයෙන් කෙරෙන කර්මයන් ගැන මැනවින් දේශනා නො කරන්නට කළ යුත්තක් නො කළ යුත්තක් තෝරා ගන්නට මේ දෙව් මිනිස් ලෝකයේ කිසිවෙකුට හැකි වෙන්නේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ ප්‍රාණඝාතය, සොරකම, වැරැදි කාම සේවනය කායික අකුසල් බවය. බොරු කීම, කේලාම් කීම, පරුෂවචන කීම, හීස් වචන වාචසික අකුසල ලෙසය. අනුන්ට අයත් දෙය තමා සතු කර ගැනීමේ චේතනාව, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය මානසික අකුසල ක්‍රියාවන්ට අයත් බව ය. යමෙක් ඒවා පුරුදු කරයිනම් දුක ඉපදෙන බව උන්වහන්සේ වදාළහ.
මෙවැනි ස්වභාව ඇති කර්මයේ විපාක වශයෙන් උපතක් කරා යන විට තම තමන්ගේ යහපත් ක්‍රියා කො තරම් උපකාර වන්නේ ද කියා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් විග්‍රහයන්ගෙන් අපට සිතාගත හැකියි.
කෙනෙක් උපදින විට ඔහුට ලැබෙන්නේ ඇස, කන. නාසය, දිව, කය, මනස ආයතන හය යි. එය පැරැණි කර්මයක විපාකයක් බව භාගවතුන් වහන්සේ වදාළ සේක. ඒ තුළින් සිදුවන්නේ කර්මානුරූපව සැප, දුක් වේදනා විඳීමට ය. මේ අයුරින් කර්ම ක්‍රියාවලියකට සිර වී සැප, දුක් විඳිමින් යන ගමනින් සදහටම නිදහස් වන අයුරු ධර්මයේ මනාව විග්‍රහ කෙරේ.
පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම යනු කුමක් ද? පින්වත් මහණෙනි, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යන කර්ම නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ශ වේ ද? මෙය වනාහී කර්ම නිරුද්ධ වීම යැයි කියනු ලැබේ. (කම්ම සූත්‍රය - සං.නි.)
පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කුමක් ද? එය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ය. පින්වත් මහණෙනි, මෙය වනාහී කර්ම නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.(කම්ම සූත්‍රය - සං. නි.)
කර්ම විපාක යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයකි. එය විෂයය වන්නේ මහා නුවණැති බුදුරජාණන් වහන්සේට පමණි.
කර්මය පිළිබඳව මැනැවින් දැනගත හැකි වන්නේ ද බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මයෙන් පමණ යි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේ ද උන්වහන්සේ වදාළ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන් පමණි.


පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment