දෙව් ලොව උපත ලබන්නට කෙනෙකුට වැදගත් ම වන්නේ ශ්‍රද්ධාව යි. බුද්ධ ශාසනයක් ඇතිවන කාලවල බොහෝ දිව්‍ය පිරිස බහුල වෙයි. එවිට දෙවිවරු බුදුරදුන් මුණ ගැසී දිව්‍ය පිරිස් බහුලවීම ගැන සතුටු වෙයි.
දෙව්ලොව දෙවිවරු අතර සුර අසුර ගැටුම් ඇති වෙයි. ඒ සුර දෙවිවරු ධර්මයට ලැදි , ධර්ම මාර්ගයේ හැසිරෙන, තෙරුවන් සරණ ගිය, මාර්ග ඵල ලාභී, දෙවි දේවතාවෝ වෙති. බොහෝ පිරිසක් චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතී, පරනිම්මිත වසරවර්ති දිව්‍ය ලෝක හයෙහි ම වැඩ සිටිති. මනු ලොව ආසන්නයේ පිහිටි චාතුර්මහා රාජිකය, තාවතිංසය දෙකෙහි අධිපති වන ශක්‍ර දෙවියන් සුර දෙවියන්ගේ නායකයා වෙයි. ශක්‍ර දෙවියන් සමඟ නිබඳව ම ගැටුම් ඇති කර ගන්නේ අසුර පිරිස යි. ඔවුන් ක්ෂණිකව කෝප වෙයි. ඇතැම් විට ගැටුමට පැමිණෙයි. දෙවියන් යනු කෙලෙස් සහිත පිරිසකි. ඇතැම් විට ඔවුන් දෙව් ලොව සිටිය ද දිගින් දිගට වෛර බැඳගෙන පළිගන්නා පිරිසකි. ඒ අය හඳුන්වන්නේ අසුර පිරිස යනුවෙනි. සුර අසුර ගැටුම ඇතිවූ ආකාරය කෙසේදැ’යි බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.
බොහෝ පිරිස අපරමිත ශ්‍රද්ධාවෙන්, බුදු ගුණ සිහි කර ගනියි. සඟ ගුණ සිතයි. සිල් රැක බණ භාවනා කරයි. නිවන් අවබෝධය අරමුණු කරගෙන ශ්‍රද්ධා ආදී ගුණ ධර්මයන් වඩනා බැවින් සුර දෙවියන් බලවත් වෙයි. ඒ නිසා දෙවිවරු බුදුරදුන් හමුවී, වැඳ නමස්කාර කර ශ්‍රද්ධාවෙන්, සතුටෙන් පවසන්නේ, බුදුන් සරණ යන බැවින් දිව්‍ය පිරිස බහුල වන බව යි. බුදුන් සරණ යන යම් කිසිවෙක්, කිසිවිටකත් අපායගාමී නොවී ඒකාන්තයෙන් ම සුගතියේ උපත ලබයි.
බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත් පමණින් ම කෙනෙකුට සුගතිගාමී විය හැකි යි. ලොව කලාතුරකින් පහළ වන බුදුකෙනෙකුට වන්දනා මාන කිරීමෙන්, එක බුදු ගුණයක් හෝ සිහි කිරීමෙන් ලැබෙන ආනිසංස කෙතරම්දැ’යි සීමා කරන්නට බැහැ. ඒ බුද්ධ විෂය ලොව අචින්ත වූවක් නිස යි.
එක්තරා දවසක් බුදුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලොව දෙස බලද්දී අසරණ මවක් බුද්ධ ඥානයෙන් දුටුවා. වියපත්ව දුර්වල වූ ඇය කුදු ගැසී, හැරමිටි වාරුවෙන් ඉතා අසීරුවෙන් පාර දිගේ ඇවිද යනවා. මේ අම්මාට නිවන් අවබෝධ කරන්න, මාර්ග ඵල ලබන්නට කිසිදු පිනක් නැති බවත්, ඇය මරණාසන්න බවත් දුටු අමා මෑණී බුදු පියාණන් වහන්සේ මේ වියපත් මෑණියන්ට පිහිට වුණා.
බුදුන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ වියපත් මෑණියන් පැමිණෙන විරුද්ධ පැත්තට වැඩම කර, ඇය අබියස නතර වුණා. කුදු ගැසුණු මේ මෑණියන් පළමුව දුටුවේ බුදුන් වහන්සේගේ සිරි පතුල යි. මේ කවුරුන්දැ’යි එකවර හඳුනාගත නො හැකිව, කුදු සිරුරක් සහිත වියපත් ඇය ඉතා අසීරුවෙන් හිස ඔසවා බැලුවා. එවිට මහා කාරුණික බුදු පියාණෝ මෙලෙස වදාළා. මෑණියනි, සිත පහදවා ගන්න, ඔබතුමිය, අබියස වැඩ සිටින්නේ තුන් ලොවට ම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යි. මේ වදනින් ම අසරණ මෑණියන්ගේ සිත පැහැදුණා. එහෙත් ඇය ධර්මය නොදත්ත ද, අනේ! සාධු කෙතරම් නම් දෙයක්දැ’යි? සිතුවා. මෙවන් උත්තමයෙකුගේ දසුන කෙතරම් භාග්‍යවන්තදැ’යි සිතා ශ්‍රද්ධාවෙන් වැඳ නමස්කාර කළා. පසුව තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමඟ ඉදිරියට වැඩම කළා. ටික දුරක් ගමන් කරන මේ ශ්‍රද්ධාවන්ත මෑණියන් කුපිත වූ එළදෙනෙක් ඇණීමෙන්, මරු මුවට පත් වුණා. එහෙත්, ඇය දිව්‍ය විමානයක නින්දෙන් පිබිදුණාක් මෙන් උපත ලැබුවා. එසේනම්, ඇය දෙව් ලොව උපත ලැබීමට හේතු වූයේ බොහෝ කාලයක් සිල් ගුණ දහම් පිරීමෙන් හෝ පටිච්ච සමුප්පාදය දැන ගැනීමෙන් හෝ බණ භාවනා කර නිවන් මඟ වැඩීමෙන් නොවෙ යි. මරණාසන්න මොහොතේ දී බුදුරදුන්ට වැඳ නමස්කාර කර ඇති වූ චිත්ත ප්‍රසාදයෙන් ඇය දෙව් ලොව උපත ලබන්නට හේතු වුණා. ඇයට ඇති වූ ශ්‍රද්ධාව ආසන්න කුසලයක් ලෙසින් සුගතිගාමී වීමට තරම් බලවත් වුණා. මෙලෙස මරණාසන්න මොහොතේ එක බුදු ගුණයක් හෝ සිහි කර සුගතිගාමී වූවෝ ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙයි. ඒ නිසා කෙනෙකුට සුගතිගාමී වීමට එක බුදු ගුණයක් හෝ මරණ මංචකයේ දී සිහිවීම ඉතාමත් ම බලවත් කුසල කර්මයක් වෙයි.
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment