මිනිස් දරුවන් ලෙස මෙලොවට බිහි වූ අපගේ ජීවිත යහමඟට ගැනීමේ සද්කාර්ය ඇරඹෙන්නේ අම්මාගේ හදවතිනි. ඉපදුණ දා පටන් ලබා දුන් ඒ අනුපමේය දායාදය ගැන ලොකු මතකයක් නැත්තේ ළාබාල වියේ බොහෝ මතකයන් අපගෙන් ගිලිහි ගොස් තිබෙන නිසාවෙනි.
හොඳ, නරක, යහපත, අයහපත තෝරාබේරා දෙමින් යහපත් මිනිසෙකු වශයෙන් අප සමාජගත කරන්නට අම්මා දරන වෙහෙස අපමණ ය. සැබැවින්ම අප දුකට, කඳුළට, සිනහවට සංවේදී හෘදයාංගම මිනිසුන් බවට පැමිණෙන්නේ අම්මාගේ ගුණ ධර්ම අපගේ ජීවිතයටද එකතු වීම නිසා ය.
විශ්වයේ ජීවයත්, අම්මාත් අතර ඇත්තේ නො බිඳෙන සම්බන්ධතාවයකි. දරුවා පිළිසිඳ ගත් දා පටන් ම අම්මා දරුවා සමඟ අධ්‍යාත්මික ගනුදෙනුවකට එක් වන්නී ය. නූපන් දරුවාගේ හැඩය, පැහැය, ස්ත්‍රි, පුරුෂභාවය කිසිවක් නො දැන ඇය දරුවාට කථා කරන්නී ය.
හදවතින් ස්පර්ශ කරමින් දරුවාගේ සුව පහසුව වෙනුවෙන් සිය ජීවිතයේ පෙර නො වූ විරූ ආරම්භයක් ඇතිකර ගන්නී ය. අම්මා මේ ආරම්භය ගනුයේ ඇය වෙනුවෙන් නොවේ ය. ආරක්ෂිත පවුරු තර කර ගන්නේ නූපන් දරුවෙකු වෙනුවෙනි. කන, බොන, අඳින, පළඳින, සිතන පතන සියල්ල දරුවෙකු පිළිසිඳ ගත් පසු ඇය තමන්ට ඕනෑ ලෙස නොව දරුවාට සුබදායකවන ලෙස දරුවා හැඩ ගස්වා ගන්නීය. ආරක්ෂාව උදෙසා ම ඇය අඩියක් ඔසවා අනෙක් අඩිය බිම තබන්නී ඉතා සීරුවට ය. පරිස්සමට ය. මවු කුස සුවපහසු යහනයක් නො වන බව ඇය හොඳින් දනී. ඒ නිසාම ඇවතුම් පැවතුම් තුළින් ඒ මවුකුස සුවපහසු යහනක් කරන්නට ඇය දිවා රෑ වෙහෙසෙන්නී ය. තමන්ට පි‍්‍රය වූව උෂ්ණාධික ජලය, ශීතාධික ජලය, ඇය බැහැර කරන්නී ඒ පෙළඹවීමෙන් ය.
අඳුරු මවුකුසේ වැඩෙන ජීවිතයට පහන් එළියක් ගෙන දෙන්නේ අම්මාවරුන්ගේ අපරිමිත දයාවත්, ආදරයත් සෙනෙහසත් පමණම ය.
ජීවිතයේ දුක, සතුට, කරදර, සැප සම්පත් සියල්ල අභියස අතැර නො යන සෙවණැල්ලක් සේ අම්මා අප ළඟ සිටින්නී ය. කිසිවක් නො තේරෙන අනුන්ගේ පිහිටෙන් යැපෙන්නට වන ළදරු වියේ දී සිටම අපට පෝෂණය කරන අම්මා ජීවිතයේ අනේක දුක් කම්කටොළු අබියස අතරමං වූ විටෙක මහා කතරකට වසින වැස්සක් සේ අපගේ සිත් සුවපත් කරන්නී ය.
පරිත්‍යාගයන්, කැපවීම් ඇයගේ ජීවිතය පුරාම දුලබ නොවේ. ලෙඩ දුකේ දී නිදි නොලබා වෙහෙසෙමින් අප සුවපත් කරන අම්මා ඇයගේ අසනීපය ද අමතක කරන්නී ය. ඒ කාලය ද දරුවන්ටම වෙන් කරන්නී ය. අපගේ සතුටක දී වැඩියෙන් සතුටු වන්නී ද අම්මා ය. ඇයගේ ජීවිතයේ වැඩිම කාලයක් ශ්‍රමය වෙන්වුණේ අප වෙනුවෙන් ම ය. පවුලේ අනෙක් කටයුතු වෙනුවෙන් ඇය වෙහෙසෙන්නී දවසේ වැඩි කාලයක් යුතුකම්, වගකීම් නො පිරිහෙලා ඉටු කරන්නී පරාර්ථ සේවයක යෙදෙමිනි.
ඒ අම්මාගේ සිත වචනයකින් වත් රිදවන්නට අපට පුළුවන් ද? ඒ යුතුකම මඟ හරින්නට පුළුවන් ද? අප ගැන ම වෙහෙසුණ, ජීවිතය කැප කළ අම්මාගේ ජීවිතය ගැන සෙවීම, බැලීම අපගේ යුතුකම නො වන්නේ ද? ලස්සන වුවත්, කැත වුවත්, දුර්වර්ණ වුවත්, නැතත් අම්මාගේ සිත අපට තේරුණත් නැතත්, අම්මා අප වෙනුවෙන් සිදුකළ අප්‍රතිහත මෙහෙවර ඇස් පනාපිට ම දැක තිබිය දීත්, දකින්නට තිබියදීත් ඇය නො සළකා හැරීම දරුකමට නො සෑහේ. මිනිස්කමට නො සෑහේ. රජෙක්, රැජිනක් වුව ද ඒ ජීවිතයේ කිසිදු වටිනාකමක් නොවේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment