Labels

Wednesday, January 3, 2018

පින්වත් චරිතයක් අවශ්‍ය නම් ...

 සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනය ම, මුදල් ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම්, හිත ඇත්නම් ගෙදර දී වුව ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. සෑම දිනකම උදේ සවස බුදුන් වඳින්නට පුරුදු වන්න. විනාඩි පහක් පමණවත් මෛත්‍රි භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණ උදවු උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් ඇවැසි නොවෙයි. "
සැවැත් නුවර විසූ ලොකුම ධනවතා අනේපිඬු සිටුතුමා ය. ඔහුගේ නිවසේ, භික්ෂූන් වහන්සේ දෙදහසක් පමණ දිනපතා දන් වළඳති. ඒ ලෙසම විශාඛා මහෝපාසිකාවගේ නිවෙසේ ද දෙදහසක් පමණ භික්ෂූන් වහන්සේ නිතිපතා දන් වළඳති. සැවැත් නුවර වැසි බොහෝ ජනයා ද බුදු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය තම තමන්ගේ නිවසට වඩමවා දානය පිරිනැමීමට කටයුතු කරති. ඒ සඳහා සූදානම්ව අනේපිඬු සිටුතුමාටත්, විශාඛාවටත් එම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරති. මේ දෙදෙනාගේ පැමිණීම ඉතා වැදගත්යැයි ඔවුහු කල්පනා කළහ.
ඔවුන්ගේ සහභාගිත්වය නොමැතිව දෙන දානයෙහි බැබළීමක්, වටිනාකමක් නැතැයි සිතූහ. දානය දෙන්නේ කෙසේද? දන්බෙදන්නේ කෙබඳු ආකාරයට ද? භික්ෂූන් වහන්සේගේ ඕනෑ එපාකම් මොනවාද? එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍රවාරිත්‍ර මොනවාදැයි මේ දෙපළටම හොඳ අවබෝධයක් තිබුණි. මේ දෙදෙනා සිටින තැන භික්ෂූන් වහන්සේ ද පි‍්‍රයශීලිව හොඳින් දානය වළඳති. මෙසේ බොහෝ ඉල්ලීම් අනුව පිටත නිවෙස්වල දානමය පින්කම් සඳහා නිතර සහභාගි වන නිසා තමන්ගේ සිටු මැදුරුවල නිතිපතා පිරිනමන දානමය පින්කමට සහභාගි විය හැකි අවස්ථා අවම විය.

මේ ගැන සිතූ විශාඛාව තම සිටු මැදුරෙහි නිතිපතා සිදු කෙරෙන දානමය පින්කම් අඩුපාඩුවක් නැතිව, වගකීමෙන් යුතුව ඉටු කරලීම සඳහා තම මිනිබිරියට කටයුතු පැවරී ය. අනේපිඩු සිටුතුමා ද සිය සිටු මැදුරේ දානමය පින්කම් වගකීමෙන් යුතුව ඉටු කරන්නට තම දියණිය වු මහා සුභද්‍රාවට පැවරුවේ ය. ඇය ඉතා ශ්‍රද්ධාවෙන් සියලු කටයුතු ඉටු කළා ය. බුදු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කළා ය. දහම් අසා සෝවාන් ඵලයට පත්වූවා ය. ටික කලෙකින් ඇය විවාහ දිවියට පත්වූ නිසා නිවෙසේ දානමය පින්කම්හි සියලු කටයුතු සොයා බැලීම සිටුතුමාගේ සුමනා දියණියට පැවරිණි. ඇය ද බොහෝ ශ්‍රද්ධාවන්ත ය. අනලස්ව, සතුටු සිතින් සියලු දේ ඉටු කළා ය. දිනපතා ධර්මය ශ්‍රවණය කළා ය. හොඳින් ධර්මය අවබෝධ කළ ඇය සකදාගාමී ඵලයට පත්වූවා ය. මේ යුතුකම් සහ වගකීම් ඉටු කරමින් කල්ගෙවූ ඇය හදිසියේ ම බරපතළ ලෙස රෝගී විය. අසාධ්‍ය වූ ඇය තමා වෙත පැමිණෙන ලෙස සිය පියාණන්ට පණිවුඩයක් යැවී ය. “ “දියණියනි, මට එන්නට කීවේ කිමද?” වහා ම පැමිණි සිටුතුමා ඇසුවේ ය.
“බාල සහෝදරය, ඔබ කුමක් කියනවා ද?”
“ඇයි දියණියනි, මේ විකාරයෙන් දොඩවන්නේ?”
“බාල, සහෝදරය, මම විකාර නොදොඩමි.”
“දුවණියනි, ඔබ බියට පත්වී ද? “
“නැත, මා කුමක් නිසා බිය වන්නද?”
මෙසේ කී සුමනා සුළු මොහොතකින් මිය ගියාය.සෝවාන් වී සිටියද තම දියණියගේ අකල් මරණය අනේපිඬු සිටුතුමාට දරාගත නොහැකි විය. ආදාහන කටයුතු නිමවා බුදුරදුන් හමුවට ගොස් ශෝකි මුහුණින් පසෙකට වී සිටියේ ය.
“සිටුවරය , ඔබ කුමක් නිසා ශෝකී වන්නේ ද?” බුදුරජාණන් වහන්සේ සිටුතුමාගෙන් විමසූහ. ‘අනේ ! බුදු හිමියනි, මගේ දුවණිය මිය ගියා. ඇයගේ වියෝව මට දරාගත නොහැකි ය.”
“සිටුවරය, අප සියල්ලෝම මරණයට පත්වනවා නොවේද? එයින් නිදහස් වන්නට කිසිවෙකුටත් නොහැකියි. ඒ නිසා දුක් වෙන්න එපා. එය ලෝක සත්ත්වයාට නියත දෙයක්.”
“බුදු හිමියනි, මගේ ප්‍රශ්නය එය නොවෙයි. ලජ්ජා බය ඇතිව හැදුණු වැඩුණු මගේ දියණිය අවසන් මොහොතේ නන් දොඩවන්නට පටන් ගත්තා. ඇය මට කතා කළේ බාල සහෝදරයා කියලයි. “දුව, නුඹ බියට පත්වුණාද? යි මම ඇයගෙන් ඇසුවෙමි. බිය නොවු බව ද ඇය කීවා. ඒ මොහොතේ ඇය අවසන් ගමන් ගියා” “සිටුතුමනි, සුමනාවෝ නන්දෙඩෙව්වා නොවෙයි. බියට පත්වී ද නැත. ඇය ඔබට ‘බාල සහෝදරයා යැයි කීවේ කරුණු සහිතවයි. සුමනා සකදාගාමී ඵලයට පත්වූ තරුණියක් ඔබ පත්ව සිටින්නේ සෝවාන් ඵලයට පමණයි. මේ නිසයි ඇය ඔබට එලෙස ආමන්ත්‍රණය කළේ. වෙනත් හේතුවක් නිසා නොවේ.”
“අනේ, බුදු හිමියනි, මගේ සුමනා දැන් ඉපදී සිටින්නේ කොහේද?
“ඔබගේ පුණ්‍යවන්ත දියණිය තුසිත දෙව්ලොව උපත ලබා සිටින්නීය යි දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ, පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. ම විසින් පින්කම් කර ඇතැයි සුගතියට ගියේ ද? එහිදීත් සතුටුවෙයි යන අදහස් දක්වන


ඉධ නන්දති පෙච්චනන්දති
කතපුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති
භීය්‍යො නන්දතිසුග්ගතිං ගතො


යන ගාථා ධර්මය දේශනා කළ සේක.
සුමනාවගේ චරිතය දෙස බලන්න. මොන තරම් පින්කම් කළ තැනැත්තියක් ද? ඇය නිතර බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය ඇසුවා ය .දිනපතා සංඝයා වහන්සේ උදෙසා දානය පූජා කළාය. සතුටින් පිළි ගැන්වූවා ය. උන්වහන්සේලාගේ අවශ්‍යතා සොයා බැලුවා ය. මේ සියලු කටයුතු කළේ ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙනි. මේ ජීවිතය මොන තරම් පුණ්‍යවන්ත ද? සුමනාවගේ චරිතය අපගේ ජීවිතවලටද මහත් ආදර්ශයකි. ඇයට මෙන්, ධනය වියදම්කර ඒ ආකාරයෙන් දාන මාන පුජා කිරීම අපට කළ නොහැකි ය. එහෙත්, සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනය ම, මුදල්ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම්, හිත ඇත්නම් ගෙදරදී වුව ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. සෑම දිනකම උදේ සවස බුදුන් වඳින්නට පුරුදු වන්න. විනාඩි පහක් පමණවත් මෛත්‍රි භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණ උදවු උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් ඇවැසි නොවෙයි.
නිතිපතා ගේ දොර අතුපතු ගා පිරිසුදු කරන්න. ගෙදරට එන අයට ප්‍රසන්න පරිසරයක් ගොඩනගන්න. සැමට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමටයි. මේ පිරිසුදු කිරීම් කරන්නේ යැයි සිතන්න. උයන පිහන වැඩවලට සුළුවෙන් හෝ සහනයක් වෙන්න. පිඟන් කෝප්ප, භාජන සෝදන්නට පුරුදු වන්න. ඒවා කරුණාවෙන්, මෛත්‍රියෙන් අනුන්ගේ යහපත වෙනුවෙන් කරනවා යැයි සිතන්න. ගෙදරට එන ආගන්තුකයන් සාදරයෙන් පිළිගන්න. ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරන්න. සුහදව කතාබහ කරන්න. පවුලේ අයට ලෙඩක්, දුකක් වූ විට කළ හැකි උපකාර කරන්න. බෙහෙත් ගන්න රැගෙන යන්න. නියමිත වේලාවට බෙහෙත් ටික දෙන්න. මේ ලෙස ඔබට ගෙදර දී කළ හැකි දේ බොහෝ ය.

සැමදාම රාත්‍රී නින්දට යන්නට පෙර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. සිරිතක් ලෙස පැයක් පමණවත් බණ පොතක්, දහම් පත්තරයක් කියවන්න. අසල්වැසියන් සමඟ සුහදශීලිව ඇසුරු කරන්න. ඔවුන්ගේ කරදරයක දී විපතක දී කළ හැකි උපකාර කරන්න. සැමදාම කෙනෙකුට ආහාර ටිකක් දෙන්නට පුරුදු වන්න. ගෙදර අනෙක් අය තමන්ගේ සිත රිදෙන ලෙස කතා කළත්, කරදරකාරි ප්‍රශ්න ඇති කළත් ඒවා නොසලකා හරින්න. තමන් කරන දේ අනුන්ට කරදරයක් නොවන අයුරින් ඉටු කරන්න. ඔබ දවස පුරා පින් රැස් කරගන්නා පුණ්‍යවන්තයකු වනු ඒකාන්ත ය. එලෙස වැඩි වැඩියෙන් පින්කම් කරන්න. ඔබගේ පින්වත් චරිතයෙන් මෙලොවත් සතුටු විය හැකි ය. පරලොව ද සතුටු විය හැකිය. සසර ගමන පුණ්‍යවන්ත ගමනක් බවට පරිවර්තනය වනු ද ඒකාන්ත ය.

බළන්ගොඩ 
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති 
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment