එක්තරා පොකුණක මිතුරෝ දෙදෙනෙක් වාසය කළෝ ය. ඉන් එකෙක් ඉඳිබුවෙකි. ඔහුට ගොඩදිය දෙකම හුරු ය. ඉඳිබුවාගේ මිතුරා මාළුවෙකි. ඔහුට ගොඩබිම නුහුරු ය. දියෙහි ම ඉපිද එහි ම වසන හෙතෙම ගොඩබිම් පරිසරය නොදනියි. දිනක් ඉඳිබුවා පොකුණෙන් ගොඩබිමට පැමිණ දීර්ඝ සංචාරයක යෙදුණේ ය. ඔහුට බොහෝ දේ අසන්නට ද දකින්නට ද ලැබුණි. සවස් යාමයෙහි නැවත පොකුණට පැමිණි හෙතෙම තම හිතුරු මාළුවාට කථා කළේ ය.
තමා ගොඩබිම ඇවිද ආ බවත්, බොහෝ දේ දුටු බවත් පැවසුවේ ය. ඉඳිබුවා සිය ගොඩබිම අත්දැකීම් එසේ ඉතා සතුටින් හා උද්‍යෝයෝගයෙන් සිහිපත් කළේ ය. එහෙත් මාළුවාට කිසිවක් නො තේරිණි. “ ඒ කියන්නේ ඔබ පිහිනා ගිය බව නොවේදැ යි “ අවසානයේදී හෙතෙම විමසී ය. ගොඩබිම ඝණ බවත්, එහි පිහිනිය නොහැකි බවත්, ඇවිද යා යුතු බවත්, මාළුාවාට කියා දෙන්නට ඉදිබුවා බෙහෙවින් උත්සාහ කළේ ය. ඒ මාළුවාට කිසිවක් නො තේරුණි. ගොඩබිම ද , පොකුණ මෙන් ජලය ඇති, රළ සහිත, කිමිද පිහිනා යා හැකි තැනක් විය යුතු බව මාළුවා තදින් ම කියා සිටියේය. මෙය උපමා කථාවකි.
සසර වසන, කෙලෙස් සහිත පුහුදුන් තැනැත්තෙකුට සසරින් එතරවීමෙන් ලබන කෙලෙස් රහිත වු දුක්ඛ නිරෝධය හෙවත් නිවන යනු කුමක්දැයි කියාදීම පහසු කටයුත්තක් නොවේ. එය ඉඳිබුවා මාළුවාට පොකුණෙන් එතෙර ඇති ගොඩබිම ගැන කියා දීමට සමාන කළ හැකි ය.
නිවන යනු බුද්ධාදී මහරහතුන් වහන්සේ ගේ අත්දැකීමයි. උන්වහන්සේලා සසර දුක් ඇති කරන කාම තණ්හාව හෙවත් පස්කම් සැපතෙහි ඇති කැමැත්ත එනම් ඉඳුරන් පිනවීමේ රුචිය ද, භව තණ්හාව හෙවත් මගේ ය. මම වෙමි. මගේ ආත්මය වේයැයි සලකා ගන්නා ශාස්වත දාෂ්ඨිය අනුව භවයෙහි හැකිතාක් සැප විඳීමට ඇති ආශාව ද, විභව තණ්හාව හෙවත් සියල්ල මරණයෙන් කෙළවර වේ. මතු පැවැත්මක් පුනර්භවයක් නැත යන උච්ඡේද දෘෂ්ටිය මුල් කොටගත් මෙලොව හැකිතාක් සැප විඳීමට ඇති ආශාව ද දුරුකළ උතුමෝ වෙති. එසේ තුන් වැදැරුම් යැයි පළමු දම් දෙසුමේ දී බුදුරදුන් වදාළ තෘෂ්ණාව මුලුමනින්ම දුරුකළ බුද්ධා දී ආර්ය උතුමන් ගේ අත්දැකීම නිවන යි. එය විඳගත් , දැන දැකගත්, එහි ඇතිසුවය හඳුනාගත්, එම නිදහස ශාන්තිය උදාකරගත් උන්වහන්සේලා ගේ එම අත්දැකීම සසර වසන, තෘෂ්ණාව ඇති, කෙලෙස් සහිත අපට විඳගත නොහැකි ය. තේරුම්ගත නොහැකි ය. එනිසා ම අප ලියන, කතා කරන භාෂාව පවා දුක්ඛ නිරෝධයේ හෙවත් නිවනෙහි ස්වභාවය පැවසීමට සපුරා ප්‍රමාණවත් නොවේ. භාෂාවෙහි ඇත්තේ අප දන්නා දේ අපේ අදහස් හා අත්දැකීම් පැවසීමට යොදන වචනයි. නිවන අපගේ අත්දැකීමක් , වින්දනයක් නොවන බැවින් ඒ ගැන විස්තර කිරීමට එම වචන සපුරා ප්‍රමාණවත් නොවේ. එහෙත් අපට භාෂාව නැතිව බැරි ය. භාෂාව හැර සසර හෝ නිවන විස්තර කිරීමට අපි අසමත් වෙමු. මේ අනුව බුදුරජාණන් වහන්සේ ද පරමාර්ථ සත්‍යය වූ නිවන තේරුම් කර දීමට සම්මුතියක් වන භාෂාව භාවිත කරති. එහි දී භාෂාවේ හමුවන ‘ඇත” යන අර්ථය ඇති වචන පසෙකින් තබා “නැත” යන අර්ථය ඇති වචන බුද්ධ දේශනාව තුළ නිරෝධ සත්‍යය විස්තර කිරීමට යොදා ගෙන තිබේ. එසේම නිරෝධය හා එහි ස්වභාවය විස්තර කිරීමේ දී සමාන හා සමීප අර්ථ ඇති වචන රැසක් එක්වර යොදා ගැනීම ද සූත්‍ර දේශනාවල දැකගත හැකි ය. බුදුරජාණන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනාවෙහි තෙවැනි ආර්ය සත්‍යය වූ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය මෙසේ විස්තර වේ.
“මහණෙනි , දුක නැති කිරීමේ ආර්ය සත්‍යය මෙය යි. එනම් දුකට මුල්වන්නා වූ ඒ තෘෂ්ණාව ම ඇලීමෙන් තොරව සහමුලින් නසා දැමීම, හැර දැමීම, ඉවත දැමීම ඉන් මිදීම හා එහි නො ඇලීමයි.”
මේ අනුව සත්ත්ව සන්තානයෙහි මුල්බැස ඇති, කැ වැදී ඇති තෘෂ්ණාව සපුරා නැති කිරීම, මුලිනුපුටා දැමීම නිවන යි. නිරෝධයයි. තවත් බුද්ධ දේශනාවක තෘෂ්ණාව ක්ෂය කිරීම නිවන වේ යැයි, දක්වා තිබේ. තෘෂ්ණාව ඇතිතාක් සසර දුක ඇත. එනම් ඉපදීම , ලෙඩවීම , මහලුවීම, මරණය ආදි කටුක අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණදීමට අපට සිදුවේ. තෘෂ්ණාව සපුරා නැති කළ විට සසර දුක ද සපුරා නැති වේ. මෙසේ තෘෂ්ණාව ද ඉන් උපදවා සියලු දක් දොම්නස් ද නැවත නූපදනා පරිදි නැතිවීම සැපතකි. එය පරම සැපතයි. උතුම් සැපත යි. බුදු දහමෙහි ඉගැන්වෙන පරම නිෂ්ටාව යි. අවසාන විමුක්තිය යි.
භව යනු පැවැත්ම ය . ස්කන්ධ ධාතු , ආයතනාදී වශයෙන් දහමෙහි හැඳින්වෙන සත්ත්වයා ගේ ජීවනයට හා පැවැත්මට තුඩුදෙන භෞතික මානසික ශක්තීන් ගේ නොසිඳී පැවැත්මයි. එයට ම සසර යැයි කියනු ලැබේ. එබැවින් බුද්ධ වචනයෙහි භව නිරෝධය නිවන නම් වේ යැයි ද දක්වා තිබේ. එසේ භවය අවසන් වන්නේ තණ්හාව සපුරා නැතිවීමෙනි. සියලු කෙලෙස් නැති වීමෙනි. සසර දුකට හා දුක් සහිත පැවැත්මට එකම හේතුව තණ්හාව නොවේ. එය මූලික හේතුවයි. රාග,ද්වේශ මෝහාදී තණ්හාව පෙරටු කොටගත් සියලු කෙලෙස් සසර දුක් උපදවයි. ඒ අනුව මිනිස් සන්තානයෙහි කා වැදී ඇති රාගය මුලුමනින් ක්ෂයවීම , ද්වේශය මුලුමනින් ක්ෂයවීම, මෝහය මුලුමනින් ක්ෂයවීම නිවන යැයිද බුදුරජාණන් වහන්සේ වදාළහ.
තණ්හාව ඇතුළු රාග, ද්වේශ, මෝහාදී සියලු කෙලෙස් මුල් කොටගෙන දුක් ඇතිවන බව අපි දනිමු. ඉපදීම හෙවත් සත්ත්වයාගේ හටගැන්ම ජරාව හෙවත් දිරායාම එනම් මහලුවීම, ව්‍යාධිය හෙවත් ලෙඩදුක් , රෝගපීඩා ඇතිවීම, මරණය හෙවත් ජීවිතයේ අවසානය ආදි වශයෙන් දුක්ඛ ආර්ය සත්‍ය දේශනාවෙහි පෙන්වා දුන් සසර වසන සත්ත්වයාට විඳීමට සිදු වී ඇති එකී දුක් දොම්නස් සියල්ල අවසන් වීම නිවන ය. එබැවින් නිවන යනු සසර දුකෙහි අන්තය යැයි දක්වා තිබේ.
සියලු සංස්කාරයන් සංසිදීම සියලු බැඳුම් අත්හැරීම, තෘෂ්ණාව සපුරා නැති කිරීම විරාගය, නිරෝධය, නිර්වාණයයි. හේතු ප්‍රත්‍ය ඇති කල ඇතිවන , නැතිකල නැතිවන අනිත්‍ය වු දුක් සහිත වු අනාත්ම වු සියල්ල මෙහි සංස්කාර යනුවෙන් දක්වන ලදී. එකී සසර පැවැත්ම ඇතිකරන ස්කන්ධ ආදි සංස්කාර ධර්මයන්ගේ සංසිදීම නිවන ය. සසර වසන අපි සංචේතනික, අචේතනික සජීවි – අජීවි බොහෝ දෙයට සිතින් බැඳී සිටිමු. ඇලී සිටිමු. එම බැඳීම්, ඇලීම් අත්හැරීම, නැතිවීම නිවනයි. එබැවින් තෘෂ්ණාව සපුරා අවසන්වීම විරාගය හෙවත් නොඇලීම, නිරෝධය නිවන යැයි උගන්වන ලදී.
දුක්ඛ නිරෝධය හෙවත් නිවන සැපතක් වන්නේ කෙසේදැයි අනුමාන වශයෙන් හෝ තේරුම් ගැනීම මෙහි ඉතා වැදගත් වේ. දුක සිරගෙයක් හා සමාන ය. සසර නමැති සිරගෙයි වසන සත්ත්වයෝ නොයෙක් ආකාරයේ දුක් පීඩාවලට ගොදුරු වෙති. මිනිස් සිත තුළ තෘෂ්ණාව නොමැති නම් එතැන දුක නමැති සිරගෙය ද නැත. එය පරම සැපතකි. අප සමාජය තුළ ජීවිත්වීමේ දී යම් යම් කරුණු මුල් කරගෙන අධික ලෙස කෝපයට පත්වන අවස්ථා තිබේ. එවිට පිටස්තරව අප දෙස බලන කෙනෙකුට අපගේ මුහුණ අතපය යනාදී ශරීරාංගවල පවා යම් වෙනසක් දැකිය හැකි ය. ඒ කෝපය ඇතිවීමෙන් උපන් මානසික විකෘතිය නිසා ය. කෝපය තාවකාලික ය. එය තුරන් වී ගිය පසු අප සිතට කෙතරම් සුවයක් හා සැනසිල්ලක් ලැබේද යන්න සිතා බැලිය යුතු ය. අප සංසාරිකව සොයන විඳින සැප සම්පත් හැඳින්වෙන්නේ ‘වේදයි’ සැප යනුවෙනි. එනම් ලෞකික වශයෙන් විඳින සැප ලෙස ඒවා හැඳින්විය හැකි ය. නිවන අවේදයිත සැපතකි. විඳින්නට දෙයක් නැති සැපතකි. එනම් නිවන සැපතකැයි කියන්නේ අප සිතන පතන සැප එහි ඇති නිසා නොවේ. දුකක් නැති නිසා ය. ජාති , ජරා මරණාදියෙන් තොරවන නිසා ය.
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
දේවාලේගම මේධානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment