Labels

Sunday, January 21, 2018

බලයෙන් මත්වන්නේ බලයෙන් මත්වන්නේ දුබලයන් ය


ලෝකය පුරා අද පවතින්නේ බල තරගයක්. මේ සඳහා හැම කෙනෙක් ම දැඩි උත්සාහයක යෙදී ක්‍රියා කරනවා. තමන්ට කිසියම් බලයක් නොමැති අවස්ථාවල දී ඇතැම් පුහුදුන් පුද්ගලයෝ අයුතු ලෙස නැති බලයක් පාවිචචි කර සමාජයේ අකටයුතුකම් කරනවා. නැතිනම් තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට ක්‍රියා කරනවා. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ එන ගාථා පාඨයකින් අපට මැනවින් පැහැදිලි කර දී තිබෙනවා.

“පුත්තාමත්ථි ධනම්මත්ථි - ඉති බාලො විහඤ්ඤති, අත්තාපි අත්තනො නත්ථි - කුතො පුත්තා කුතො ධනං” මෙය තමයි ලෝකයේ පවතින සැබෑ ඇත්ත. අපි බොහෝ දෙනෙක් ක්‍රියා කරන්නේ, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා පාඨයෙන් අපට පැහැදිලි කරලා දෙන ආකාරයට තමන්ගේ බලවත් පුතුන් ගැන, ධනය ගැන, පිරිස් ගැන කියමින්, සිතමින් තමන් සතුව නො පවතින බලපුළුවන්කාරකම් පෙන්වලා ලෝකයේ ව්‍යාජ ප්‍රතිරූපයක් තමා පිළිබඳව ගොඩනගාගෙන යි. ඒ වගේම තමා ධනයෙන් මත් වූ පිරිස. ඔවුන් හැමවිට ම පෙන්වා දීමට උත්සාහ වන්නේ, යුක්තිධර්මයට එකඟ නො වී හෝ අයුක්තියෙන් අසාධාරණයෙන් සොයා සපයා ගත් ධනය ගැන මත් වී, ඒ බලය අනිසි ලෙස යොදා, සමාජයෙහි පෙන්වා තම ශක්තිය ගොඩ නගා ගැනීමට යි. මේ ක්‍රියා දෙක ම මුළාවට පත් වූවන්ගේ සිතිවිලි ක්‍රමය ක්.

මෙවැනි ව්‍යාජ හේතුමත තම බලය පෙන්වා ක්‍රියා කරන ඇතැම් අනුවණ පුද්ගලයන් නිසා සමාජයට මහත් අවැඩ රාශියක් සිදුවනවා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ අපට තේරුම් කර දෙන්නේ අපේ අනුවණ සිතිවිලි ක්‍රමය නිසා මේ තත්ත්වය තේරුම් ගන්නට හැකියාවක් නොමැති බවයි. මේ කියන ව්‍යාජ බලතල සමාජය ඉදිරියේ හැම විට ම ජයග්‍රහණය නො කිරීම නිසා මහත් වෙහෙසට පත්වන ආකාරය යි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන්ටවත්, තමන් නොමැති බව යි. ලෝක සත්‍යය නම් තමන්ටවත් තමන්ගේ පිහිටක් නැති බවයි. එය ලොව පවතින අස්ථිර අනිත්‍ය ස්වභාවය යි.
එහෙම නම් ධනය, බලය, පිරිස, දූදරුවන් ගැන සිතමින්, කියමින් කෙනෙකුගේ බලය වර්ධනය කර ගන්නට හැකියාවක් ඇති කර ගන්නේ කෙසේ ද? යන්න යි. තමන් කුමන මට්ටමක බලයක් දැරුවත් කර්මානුරූපව තමන් මුහුණ දෙන විපත්ති කර අවස්ථාවන්හි දී වත් තමන්ට ඒ බලයෙන් කරන්නට පුළුවන් කිසිදු කාර්යයක් නැහැ. එසේ නම් අප තවත් අයෙකු හෝ දෙයක් සතු බලයක් ගැන වෙහෙස වෙලා කටයුතු කිරීමෙන් ඵලයක් ඇති වන්නේ නැහැ. එයයි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ. මෙවැනි ආකාරයට බලය ගොඩනගා ගෙන ඒ බලයෙන් මත් ව ක්‍රියා කරන භික්ෂූන් වහන්සේ නිසා නොයෙක් විනය නීතිරීති පවා පැනවිමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා.
මේ අතර “ඡබ්බග්ගිය” යනුවෙන් නම් දැරූ භික්ෂු පිරිසක් හිටියා. මේ ඡබ්බග්ගිය කියා කියන්නේ “හය දෙනාගේ කල්ලිය” කියන තේරුම යි. මොකක්ද? මේ හයේ කල්ලියේ වැඩ පිළිවෙළ. ඔවුන් ඕනෑම අවස්ථාවක, ඕනැම තැනක ඔවුන්ට මනාප විදියට යුක්තියක්, ධර්මයක් නැතිව ක්‍රියා කිරීම යි.
ඉතින් බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ බලවත්ව සිටියේ සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා දෙනම යි. එයිනුත් සැරියුත් හාමුදුරුවෝ ප්‍රමුඛත්වයට පත්ව සිටියා. මේ අය තම කණ්ඩායමේ බලය සිතට අරගෙන ක්‍රියා කළා. මේ නිසා ඔවුන් බුදුරජාණන් වහන්සේගේ විනයානුකූල ඉගැන්වීම්වලට අනුකූල නො වී ඔවුන්ගේ මතය අනුව ක්‍රියා කළා. මේ නිසා මහජනයා තුළ භික්ෂූන් වහන්සේගේ අමනෝඥ ක්‍රියා කලාපය නිසා මහත් කළකිරීමක් ඇති වී මහජන විරෝධයට ලක් වුණා. ඉතින් තවදුරටත් ඒ පිළිබඳව කල්පනා කොට, සසුනට වන හානිය වළක්වා ගැනිමට, යහපත් ගතිසිරිත් ඇති කර ගැනිම පසෙක ලා මේ භික්ෂු පිරිස ඔවුන්ගේ නොමනා ගති පැවතුම් තවදුරටත් වැඩි කළා.
මෙවැනි තත්වයක් එදා ශාසනය තුළ පවා ඇති වූයේ බලය අයුතු විදයට යොදවා තමන්ට රුචි දේ පමණක් කිරීම නිසයි, එමගින් සෑහිමකට පත් වීමේ හැඟීමෙන් ක්‍රියා කිරිම නිසයි. ඉතින් එක් භික්ෂුවක් මේ ආකාරයෙන් විනයවිරෝධි ලෙස ඉදිරිපත් වී අකටයුතු ක්‍රියාවක් කරන්නට පෙළඹෙන කොට ඊට සමාන අදහස් ඇති අය තවත් උදවිය එකතු වීම නිසා ඔවුන් බලයක් ගොඩනගා සමාජ විරෝධි කටයුතුවල යෙදී ශාසනය පමණක් නොව රටක් ජාතියක් වුවත් මහත් අගාධයකට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා.
මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙවැනි තත්වයන් උද්ගත වන්නේ සමාජයේ ජිවත් වනවිට පවිටු මිතුරන් සමවයස් කණ්ඩායම් ඇසුර නිසයි. මේ නිසා ගුරුවරුන් විශේෂයෙන් ශිෂ්‍ය සමූහ පිළිබඳ සිතා ඔවුන් ගැන, ක්‍රියා කරන ඇසුරු කරන සමාජ කණ්ඩායම් ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේ ජිවමාන අවදියෙහි ම පවා කෙතෙක් දුරට බලවත්ව ක්‍රියා කළා ද යන්න විස්තර වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේ එදා සිද්ධාර්ථ, ගෞතම නම් රජව සසර කළකිරී, රහසේ ම රජමාළිගාවෙන් පිටත්ව, නේරංජනා ගඟින් එතෙරව ගයා ශීර්ෂයට පැමිණියේ කන්ථක අසුපිට නැගී ඡන්න නම් ඇමතිවරයා සමඟ යි.
සිදුහත් රජතුමා පසුව තවුස්වෙස් ගෙන විරිය වඩා බුදුබවට පත් වූ පසු ඡන්න ඇමතිවරයා ද පැවිදි බවට පත් වුණා. එහෙම වුණත් මේ ඡන්න භික්ෂුව නිතර ම සිතට ගත් වැරදි මතයක් වූයේ තමන් බුදුරජාණන් වහන්සේ සමඟ ගිහිකල පටන් පවත්වා ගෙන ආ සම්බන්ධතාව යි. මේ නිසා සැරියුත් මුගලන් මහරහතන් වහනසේලා ගැනවත් සැලකිලිමත් වුණේ නැහැ. මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා.
උන්වහන්සේට වැටහුණා ඡන්නගේ මේ දඩබ්බර ගතිපැවැතුම්වලට හේතුව බුදුරජාණන් වහන්සේ සමඟ දූරාතීතයේ සිට පැවති බරපතල සම්බන්ධතාව ය බව. මේ සබැඳීයාව ඡන්න භික්ෂුව විසින් අනිසි ලෙස පාවිච්චි කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වාර තුනක් ම ඡන්න තෙරුන් කැඳවා අග්‍රශ්‍රාවක උතුමන් කෙරේ ගෞරවයෙන් ක්‍රියා කරමින් ඒ දෙපළ කල්‍යාණ ගුණ සම්පත්තියෙන් හෙබි උත්තමයන් දෙපළක් නිසා උන්වහන්සේලා පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්තව ක්‍රියා කරන ලෙස අනුශාසනා කළා. ඒ වුණත් ඒ එකකටවත් එකඟ වී ඡන්න භික්ෂුව ක්‍රියා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ පවා යමක් ප්‍රකාශ කරනවිට එය ට නිගා කොට කථා කිරීම ඡන්නගේ පිළිවෙලක් බවට පත් වුණා. මෙය කොපමණ බලවත් වුණාද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාව දක්වා ම ඡන්නගේ මේ තත්ත්වය වෙනස් වූයේ නැහැ.
අන්තිමට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට සූදානම් වන දිනයේ ඡන්නගේ තවදුරටත් පවතින මේ නො හික්මුණ නොසරුප් ගතිපැවතුම් වෙනස් නො වී පවතින නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුව සෙසු භික්ෂූන් විසින් ඡන්න සම්බන්ධයෙන් අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රියා පිළිවෙලක් ද යන්න පිළිබඳ ව සාකච්ඡා කළා. මෙය ගැටලුවක්. ඒ නිසා එය ආනන්ද හාමුදුරුවන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ “ආනන්ද ඡන්නට බ්‍රහ්ම දණ්ඩය දෙන්න’‘ යන්න යි. බ්‍රහ්ම දණ්ඩය කියා කියන්නේ කිසියම් විනය විරෝධි කටයුත්තක යෙදෙන භික්ෂුවට අවවාද අනුශාසනා කිරීමෙන් පලක් නො වුණ විට තවදුරටත් අවවාද කිරීමෙන් වැළකී සෙසු භික්ෂූන් ඒ භික්ෂුව අමතා කථාබස් කිරීමෙන් වැළකීම යි.
මෙයින් සිදු වන්නේ භික්ෂුව සමාජයේ කොන් වීම යි. එය විෂමාචාරය සිදු කළ භික්ෂුවගේ මානසික තැවිල්ලට බරපතළ ලෙස හේතු වෙනවා. ඡන්න තෙරුන්ට මෙම දඬුවම ලබා දුන් පසු ඡන්න භික්ෂුව ප්‍රකාශ කර සිටියේ “මා විනාශ කර නැති කරන්න එපා.” කියල යි. මෙතුවක් කල් සසර දුකින් අත මිදීමට ඡන්න තෙරුන්ට නොහැකි වූයේ බලයෙන් මත්ව ක්‍රියා කිරීම නිස යි. සැබවින් ම මේ දඬුවමින් පස්සේ ඡන්න තෙරුන් තුන් විටක්ම සිහිසුන්ව ඇද වැටුණා. මහත් ලෙස අසහනයට පත් වුණා. පස්සේ මේ නිසා ම වැඩිහිටි තෙරුන් වහන්සේලා කෙරෙහි කීකරු බවට පත් වූ ඡන්න තෙරුන් වහන්සේ පසු කාලයක බුදුදහමෙහි හරය තේරුම් ගෙන රහත්බවට ද පත් වුණා.
ඡන්න තෙරුන් මෙවැනි දඩබ්බර නො කීකරු ගතියක් පෙන්නුම් කිරිමට හේතු වූයේ තමන් වහන්සේ ගිහි කල ඡන්න ඇමති වශයෙන් බෝසත් සිදුහත් රජතුමා සමඟ රාජමාළිගාවෙන් කන්ථක අසුපිට නැගී නික්ම ආ වේලාවේ බෝසතුන්ට හිටියේ තමන් පමණක් බවත් දැන් දැන් “අගසව් හාමුදුරුවරු කියා මහසව්වන් බවට පත් වී සිටින අය කවු ද? ඒ අය මට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කොහොම ද?” කියා මෙසේ තමන්ගේ හයිහත්තිය බුදුරජාණන් වහන්සේ වෙතින් ආරෝපණය කර ගෙන ක්‍රියා කිරීම නිසයි.
බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වය දැනගෙන ඡන්නට අවාවාද අනුශාසනා කළ වාර අපමණ යි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුවච කීකරු බවක් අඟවමින් ඒ දේශනා කරන කරුණු අහගෙන සිටින ඡන්න තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් ඈත් මෑත් වුණු විට නැවත නැවතත් තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වා කථා කරමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට දොස් පවරන්නට ක්‍රියා කළා. ඉතින් බුදුජාණන් වහන්සේ එවැනි ශ්‍රේෂ්ඨ උතුමන්ගේ අගය වටිනාකම පෙන්වා දී අවවාද කළත් වැඩක් නො වූ තැන යි ඡන්නට බ්‍රහ්මදණ්ඩය පැනවූයේ.
මේක ලෝකයේ සැමදාමත් පවතින තත්වයක්. තමන්ට බලයක් නැති විට වෙනත් අයගේ බලයන් තමන්ට ආරෝපණය කර ගෙන ක්‍රියා කරනවා පමණක් නොවේ. සමාජයේ නොයෙක් අකටයුතු දෑ කරමින් විශාල හානිකර තත්වයක් ඇති කරනවා. මේ නිසා අප කවුරුත් මෙවැනි තත්වයනට පත් නෙ වී සරල නිහතමානි ජීවිත ගත කිරීමේ වැදගත්කම අවබෝධ කරගත යුතු වෙනවා.


මහනුවර අස්ගිරි මහා විහාරයේ 
කාරක සංඝසභික
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 01 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment