Labels

Monday, April 24, 2017

ප්‍රාණඝාතයෙන් වැළකී අභය දානය දෙමු

සත්ත්වයකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය යි. උපන් සත්ත්වයාට තම ජීවිතින්ද්‍රි‍්‍රය පවත්වන්නට නියමිත කාලය තුළ, එසේ පවත්වන්නට නොදී කිසියම් උපක්‍රමයකින් ඒ ජීවිතය වනසා දැමීම ප්‍රාණඝාතය ලෙස හැඳින්වේ. යමෙක් මනුෂ්‍යයෙක් ලෙස ඉපදුන කල්හි තම ජනක කර්මයෙන් මෙතරම් ආයු ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙහි ජීවත්විය යුතු යැයි නියමයක් තිබේ. තම කර්මයෙන් ලැබූ ඒ ආයු ප්‍රමාණය ජීවත්වීමට ඉඩ නොදී කෙනෙක් බලහත්කාරයෙන් සත්ත්වයෙකුගේ ජීවිතය තොර කරයි නම් ඝාතනය කරයිනම් එය ප්‍රාණඝාතය ලෙස විස්තර වෙයි.

එයට පසුකාලීන “පර” යනුවෙන් වචනයක් එකතු කර ඇති සෙයක් පෙනෙන්නට ඇතත්, පර පණ පමණක් නොව තමාගේ ප්‍රාණය පවා ඝාතනය කිරීම ප්‍රාණ ඝාතයකි. පර පණ යනුවෙන් ගත් කළ අනුන්ගේ පණ නැසීම පමණක් නොකළ යුතුයි යන වැරදි වැටහීමක් අපට ඇති විය හැක. නමුත් තම පණවත් තමන්ට අයත් නොවන බව අප දනිමු. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ගොඩවල් පහම තමන්ගේ නොවන කල පණ පමණක් තමන්ගේ විය හැක්කේ කෙසේද?


ප්‍රාණ ඝාතය යනු කුමක්ද?


ඝාතනය පාපයක් නිසා එයින් වැළකීම කළ යුතුය.එසේ වළකින්නට ප්‍රථම පාණ හෙවත් ප්‍රාණ යන වචනයෙන් නියම අර්ථය මනාව වටහා ගත යුතුය. ප්‍රාණ යනු පණ යි. එය නැසීම, නැති කර දැමීම හෙවත් ඝාතනය කිරීම ප්‍රාණ ඝාතයයි. මේ ප්‍රාණ යන වචනයෙහි නියම අදහස දැන ගැනීමේදී බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ශික්ෂා පදවලින් මහත් පිටුවහලක් ලැබේ. බුද්ධත්වයෙන් වසර විස්සක් යන තෙක් මේ ශාසනය තුළ සිල්පද පැනැවීමක් නොතිබුණු අතර පොදුවේ සැවොම අනුගමනය කළ ප්‍රතිපත්ති වුයේ “පාණාතිපාතා පටිවිරතෝ හෝති” වශයෙන් තිබූ ඉගැන්වීම් සමුපදාය යි. ස්වාමින් වහන්සේ සාමණේර උපසපන් වශයෙන් වර්ගීකරණයකට ලක් වූවාට පසු උන්වහන්සේ විසින් රැකිය යුතු විනය ශික්ෂාපද සමූහයක් ඇතිවිය. ඒ අනුව සතුන් මැරීමෙන් වැළැකීමේ ප්‍රතිපත්තිය අර්ථවත් කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේලාට සිල්පද කිහිපයක් පැනවූහ.

නිසියාකාරය ප්‍රාණඝාතයෙන් වැළැකීමට ක්‍රම තුනක් අනුගමනය කළ යුතුය.

1. කිසිදු පණක් නො නැසිය යුතුය. හිරිහැර නොකළ යුතුය

2. අන් අය ලවා කිසිදු පණකට හානි නොකළ යුතුය

3. අන් අය පණ නසන විට, පණට හානි කරන විට සතුටු නොවිය යුතුය.




පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි යනුවෙන් පන්සිල්වල පළමු සිල්පදය සමාදන් වන තැනැත්තා විසින් සතුන් නොමරා සිටීමෙන් පමණක් සෑහීමට පත් නොවිය යුතුය. පන්සිල් පද සෑම එකකම භාවාත්මක පැත්තක් සහ අභාවාත්මක පැත්තක් ද ඇත. අභාවාත්මක පැත්ත වේරමණී යන පදයෙන් අර්ථවත් කර ඇති අතර භාවාත්මක පැත්ත සමාදියාමි යන පදයෙන් අර්ථවත් කර ඇත. ඒ අනුව සතුන් මැරීමෙන් වළකින්නා සේ ම සියලු සතුන්ට ජීවත්වීමට ඇති අයිතිය සුරැකිය යුතුය. එය කිසිවෙකුටත් උදුරා ගත නොහැකිය. වෙනත් කෙනෙකුගේ ප්‍රාණයට වගකීමට මවට පියාට හෝ තවත් කෙනෙකුට හැකියාවක් නැත.



යන්ත්‍රානුසාරයෙන් ජීවත් වේනම්


යන්ත්‍රානුසාරයෙන් හෝ ජීවිතය පවත්වා ගෙන යන තැනැත්තෙකුගේ ජීවිතය ගැන තීරණය ගැනීමට බාහිර පාර්ශ්වයකට ඉඩකඩ නැත. පන්සිල් සුරකින තැනැත්තා අනුන්ට ජීවත්වීමට ඇති අයිතිය කිසි ලෙසකින් අහුරාලන්නේ නැත. එය හැකි සෑම මොහොතකම සුරකියි. එපමණක්ද නොවේ සියලු සතුන් කෙරෙහි මුදිතාවෙන් පවට ලජ්ජාව ඇතිව සියලු සතුන් කෙරෙහි දයාන්විතව, හිතානුකම්පාවෙන් වාසය කරයි. එමෙන්ම දුකට, පීඩාවට පත්ව සිටින කිසිවෙකුත් දැක එයින් සතුටු වන්නේද නැත. හැකි සෑම අවස්ථාවකදීම දුකට පත් සතුන් එයින් මුදවා ගැනීමට උත්සාහවත් වෙයි. ඉහත දක්වන ලද ආකාර තුන ක්‍රියාත්මක වන පරිදි කටයුතු කරන තැනැත්තා පරිපූර්ණ වශයෙන් ප්‍රාණ ඝාතයෙන් වැළැකීමේ සිල්පදය ආරක්ෂා කරන්නෙක් වෙයි.



ප්‍රාණඝාතයක් වීමට සම්පූර්ණ විය යුතු කරුණු


1. පණ ඇති සතෙකු වීම, 

2. ඒ ප්‍රාණියාට පණ ඇති බව ප්‍රාණියා මරණ පුද්ගලයා දැන සිටීම, 

3. මරණ චේතනාව, 

4. මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම

5. එම උපක්‍රම හේතු කොට ගෙන ප්‍රාණියා මරණයට පත්වීම


මෙම කරුණු පහ සම්පූර්ණවීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර තුන්වැනි කරුණ වන මරණ චේතනාව මෙයින් ප්‍රබලම අංගය හැටියට සැළකේ. අනෙක් කාරණා හතර සම්පූර්ණ වී ඇතත් මේ කියන මරණ චේතනාව පහළ වී නොතිබුණා නම් එතැන විපාකයක් සැකසෙන්නේ නැත. එහි ඇති වන්නේ ක්‍රියාකරකම් පමණි.
මෙතැනදී මරණයට පත්වන ප්‍රාණියාට පණ ඇතිබව ප්‍රාණියා මරණ පුද්ගලයා දැන සිටීම යන කරුණ දෙස අප මදක් විමසා බලමු. කෙනෙක් දැනුවත් විය යුත්තේ ප්‍රාණියාට පණ තිබෙන බව පමණි. එය ස්වභාවිකව ඇති පණක් හෝ යම් යන්ත්‍රයක් උදව්වෙන් ඇති පණක් හෝ විය හැක. එසේ යාන්ත්‍රිකව හෝ ආශ්වාසය ප්‍රශ්වාසය ක්‍රියාත්මක වනවා නම් එතැන පැහැදිලිවම ජීවිතින්ද්‍රියක් ක්‍රියාත්මකයි. එය මළමිණියක් නොව පණ ඇති සත්ත්වයෙකි. යම් හෙයකින් යන්ත්‍රයෙහි සිටින තැනැත්තා මියගොස්ය යන තීරණය වෛද්‍යවරුන් විසින් තහවුරු කිරීමෙන් පසු එම යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ නැත. එසේ නොමැති පසුබිමක යමෙක් අර යන්ත්‍ර ක්‍රියා විරහිත කරනවා නම් එය පාපයකි. මෙතැන චේතනාවෙහි අඩුවැඩි වීමක් සිදුවිය හැක. ළඟට එන කෙනෙකුට පිහියකින් ඇණ මැරීම, වෙඩි තබා මැරීම වැනි ප්‍රබල කරුණු සාහසික චේතනාවක් නොවුවත් එතැනද ඇත්තේ මරණ වේතනාවයි. තමන් කරන මෙම කි‍්‍රයාවෙන් අදාළ පුද්ගලයා මරණයට පත්වන බව දැන සිටීමෙන් අර පාපය සම්පූර්ණ වේ. කිනම් ක්‍රියාදාමයකින් හෝ යමෙකුගේ දිවි තොර කිරීමෙන් අපට අත්විය හැකි ඉරණම පිළිබඳව අප මනාව දැනුවත් විය යුතුයි. එමෙන්ම මෙවැනි කනගාටුදායක අවස්ථාවන් තුළින් තම දරුවන් මුදවීමට දරුවන් කල් තබා දැනුවත් කිරීම දෙමවුපියන්ගේ ද වගකීම වේ.
එවැනි අවස්ථාවක දරුවන් අසරණ විය හැක. තම දෙමාපියන් නිසා එවන් යන්ත්‍රයක ආධාරය නොගෙන බැරි නමුත් ඉන් අනතුරුව එම යන්ත්‍රයෙහි අධික වියදම දැරීමට නොහැකියාව නිසා එය නැවැත්වීමට අකැමැත්තෙන් හෝ එකඟවීමට සිදුවෙන අවස්ථා ඇත. එහෙත් ඒ එකඟතාවය මත යන්ත්‍රය විසන්ධි කළ සැණින් රෝගියා මරණයට පත් වීමෙන් එම පාප කර්මය බරපතල එකක් විය හැක. පිහිඇනුම්, බෙලි කැපීම්, වෙඩි තැබීම් වැනි ක්‍රම මඟින් සිදුවන සත්ත්ව ඝාතනයන්හි ඇතිවන ප්‍රබල මරණ චේතනාවක් මෙහිදී ඇති නොවුවත් එහිද මරණ චේතනාවක් ඇති බැවින් ප්‍රාණඝාතයක් සිදුවේ.
එවන් ක්‍රමයකින් වැනසෙන්නේ තම මව හෝ පියා නම් එමඟින් ආනන්තරිය පාප කර්මය සිදුවන බව අවධාරණය කළ යුතුයි. යමෙක් තමන් දායාද කරගත් කර්මයට අනුව ඒ තැනැත්තාගේ මරණය සිදුවේ. කරුණු එසේ තිබියදී අපේ මැදිහත් වීමකින් එම ගමන වෙනස් කිරීමට තීරණය කිරීම අනවශ්‍ය වේ. ජීවත් වීමට කෙනෙකුට කර්මයක් තිබුණා හෝ නොතිබුණා හෝ ඒ කර්මයට අපේ සක්‍රීය සම්බන්ධතාවය නොකළ යුතු දෙයකි.


ප්‍රාණඝාතයෙහි ආදීනව


ප්‍රාණඝාත අකුසල කර්මය කරන්නා එහි අනිෂ්ඨ විපාක වශයෙන් මෙලොවදීම විවිධ කරදර හිරිහැරවලට පත් වේ. ආරක්ෂක අංශවලදී විවිධ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන්නට සිදුවන අතර ම බන්ධනාගාර ගතවීමෙන්ද බොහෝ කායික හා මානසික පීඩාවන්ට ලක් වේ. එසේම අප්‍රමාණ නින්දා අපහාසවලට ගොදුරු වේ. ඝාතන ක්‍රියා සිත නැඟෙන මොහොතක් මොහොතක් පාසා අප්‍රමාණ මානසික වද වේදනා විඳින්නට සිදුවේ. මරණින් පසු නිරයගාමිව බොහෝ කල්ප ගණන් දුක් විඳීමට සිදුවේ. යම් හෙයකින් දුගතියෙන් මිදී මනුෂ්‍ය ලෝකයේම උපන්නේනම් අල්පායුෂ ව උපදී. එසේම අනුන් මරනවා දැක අතීතයේ සතුටු වූයේ නම් මේ භවයෙහි තමන්ගේ ඤාතීන් හා සමීප හිතවතුන් අකල් මරණවලට ගොදුරු වෙනවා දැක දුක් විඳින්නට සිදුවේ. එසේම උපතින් ම අංග විකල භාවයට පත්වේ. හොඳීන් ඉපදුනාද විවිධ අනතුරුවලට ලක්ව අත් පා බිඳී යයි. එසේම ඇස් ආශි‍්‍රත රෝග, කන් ආශි‍්‍රත රෝග වැනි විවිධ බලවත් කායික වේදනාවන්ට පත් වන්නට සිදුවේ. එසේම රජුන්ගෙන් සොරුන්ගෙන් මං පහරන්නන්ගෙන් විවිධ අමනුෂ්‍යයන්ගෙන් පීඩාවට ලක් වේ. මේ ආදි විවිධ දුක්ඛ පීඩාවන්ට ගොදුරු වෙමින් අභාග්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීමට සිදුවෙයි




ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක පොහෝ   දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment