Labels

Saturday, October 28, 2017

බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය - II


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ සතර අපායෙන් මිදෙමු' - 53 කොටස

ඉකුත් සතියෙත් කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණිය ද දිවිනසාගනී)

දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න, මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්නට ඇති ද කියලා. 
ඇය සියදිවිනසා ගැනීමට පෙර බොහෝම සංයමයෙන්, කලබලකාරී බවකින් තොරවයි අවසන් ලියුම ලියන්නේ. එම ලිපියෙන් ඇය කියනවා, ඇයට මියගිය පෙම්වතා සිහිනෙන් ඇවිත් අඬගහන බව. සුදුමල් වට්‌ටි, සුදුමල් ගස්‌ ගැන කියනවා. ඇය කාටවත් දැඩි ආකාරයෙන් ද්වේශ කරන අයුරක්‌ එම ලිපියෙන් හැඟෙන්නේ නැහැ. ඉහත කරුණු කාරනා ගලපාගැනීමෙන් ඔබ සිතන්නේ ඇය මරණින් මතු කුමන තැනක උපත ලබන්න ඇතැයි කියලාද?

දැන් පිංවත් ඔබ ඔබට දැනෙන ආකාරයට පිළිතුරක්‌ සිතාගත්තාද? 

ඔබ පිළිතුරක්‌ සිතුවා නම් පහත සටහන කියවා එම පිළිතුර නිවැරදි දැයි දැනගන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබේ කර්මය, කර්මඵලය ගැන දැනීම නිවැරදි බව දැනගන්න. එහෙත් ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ලකුණු ගැනීමට ඇති කැමැත්ත අඩුකොට, ගුණාත්මක අවබෝධය දෙසටම යන්න. මෙම සටහනේ කරුණු පිංවත් ඔබ පිළිනොගන්නේ නම් එය ප්‍රතික්‍ෂේප කරන්න. පිළිගැනීමත් ප්‍රතික්‍ෂේප කිරීමත් ලෝක ධර්මයක්‌ බව දකින්න. 

එක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙද්දී මේ මියගිය දියණියගේ නැවත උපත කිනම් ස්‌ථානයක සිදුවූවා දැයි අරමුණු කර බලනවා. එවිට භික්‍ෂුවට දර්ශනය වෙනවා හරි හතරැස්‌ ගිනි ජාලාවක්‌. මේ ගිනිජාලාවේ ප්‍රමාණය ස්‌ථිරව කියන්න බැහැ. එය අඩි 10ක්‌ දිගයි, අඩි 10ක්‌ පළලයි කියලා ගත්තොත් ඒ ප්‍රමාණයටම පෙනෙනවා. එම ගිනි ජාලාව අඩි 100ක්‌ දිගයි, අඩි 100ක්‌ පළලයි කියලා ගත්තොත් එම ප්‍රමාණයට පෙනෙනවා. ඒ ස්‌වභාවය ආශ්චර්යයක්‌. දිගක්‌, පළලක්‌ ප්‍රමාණය කරන්න බැහැ. මේ ගින්න තැඹිලිපාට සහ කහපාට මිශ්‍ර ගින්නක්‌. කිසිම දුමක්‌, අඟුරු කැබැල්ලක්‌, අළු ටිකක්‌, ඉතාමත් සියුම් වශයෙන් හෝ එම ගිනි ජාලාවේ පෙනෙන්නට නැහැ. කළු පැහැයත්, රතු පැහැයත්, නිල් පැහැයත් එම ගිනි ජාලාවේ පෙනෙන්නට නැහැ. ප්‍රභාශ්වර, ඉතාමත් ආලෝකමත් පිරිසිදු කහ සහ තැඹිලි පැහැති ගිනි දළු පමණයි. මේ ගිනිදළු අපිරිසිදු දේ පෙරාගත් පිරිසිදු ගිනිදළුයි. භික්‍ෂුව උතුම් සමාධියෙන් මේ දකින්නේ එක්‌ ස්‌වභාවයක්‌. 

ඒ කියන්නේ සියදිවි නසාගත් දියණිය මරණින් මතු නිරයේ ගිනි ජාලා මත උපත ලබා ඇති බවයි. මෙම සිද්ධියෙන් පැහැදිලිවන්නේ ඇය එම ගිනිදළු නිරයේ උපත ලබා අතිශය වේදනාත්මක දුකකට වැටී ඇති බවයි. 

පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන් මෙම පාසල් දියණිය සියදිවි නසාගැනීමට පෙරාතුව බොහොම සංයමයෙන් සිය අවසාන ලිපිය ලියාපු කෙනෙක්‌. ඒ ලියන මොහොතේත් දරුණු ද්වේශයක්‌ සිතේ තිබුණු බවක්‌ ලිපියේ අදහස්‌ තුළින් පෙනෙන්නේ නැහැ. එම ලිපියේ මල්වට්‌ටි ගැන, මල්ගස්‌ ගැන සඳහන්ව තිබුණා. එහෙම සිතුවිලි සකස්‌වුණ කෙනෙක්‌ව කොහොමද මේ සා දරුණු නිරයකට වැටුණේ කියලා. 

එම කාරණය පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මෙහෙම තේරුම්ගන්න අවශ්‍යයි. ඇය අදාළ ලිපිය ලියන මොහොතේ තම මියගිය පෙම්වතා, තමාට ඔහුගේ ලෝකයට එන්න කියලා කථා කරනවා කියන තෘෂ්ණාව තුළ ඇති වූ සතුටින් තමයි සියදිවි නසාගැනීමට සූදානම් වෙන්නේ. තීරණය ගත්තාට පසුව පාළු ගෙදර වහලයට ලණුව දමලා තොණ්‌ඩුව සකස්‌ කරන්නෙත් බොහොම කැමැත්තෙන්. පෙම්වතාගේ ලෝකය කෙරෙහි ඇති ජන්ද රාගය නිසාමයි. ගමේ මිනිසුන්ගෙන් එල්ල වන චෝදනා නිසා ඇති වන කලකිරීම මතින් තම පෙම්වතා සිටින එම ලෝකය කෙරෙහි ඇති ජන්දරාගය තවත් වැඩිවෙනවා. ඒ එම චෝදනා අභියස ඇය තව තවත් හුදෙකලා වූ නිසයි. මෙන්න මේ මනෝභාවයෙන් තමයි සිය කැමැත්තෙන්ම තොන්ඩුව ගෙලට දමාගන්නෙත්. තොණ්‌ඩුව ගෙලට දාගන්නෙත් සිය පෙම්වතා සිටින ලෝකයට යැමේ තෘෂ්ණාවෙන්. නමුත් බෙල්ලට තොණ්‌ඩුව හිරවෙනකොට, එක්‌ ක්‍ෂණයකින් මියයන්නේ නැහැ. ඇය දඟලලා උගුරු දණ්‌ඩ කඩාගෙන ඕනේ මියයන්න. 

තොණ්‌ඩුව බෙල්ලට දමා පහළට පැනීමත්, අවසන් හුස්‌ම පොද නික්‌මීමත් අතර තිබෙන කාල පරාසය තුළ ඇය අත්විඳින්නේ මරණීය දරුණු වේදනාවක්‌. එම දැඩි මරණ වේදනාවේදී ඇයට මියගිය සිය පෙම්වතා පිළිබඳව තෘෂ්ණාවක්‌ නොවෙයි සකස්‌වෙන්නේ. මරණීය වේදනාවෙන් තොණ්‌ඩුවේ එල්ලී වියරුවෙන් දඟලනකොට තමා කෙරෙහිම තමාට ද්වේශයකුයි සකස්‌වෙන්නේ. තමාව එතැනට ඇද දැමූ තමාට වෛර කළ ඥාතීන්, ගම්වැසියන් ගැන ද්වේශයකුයි සකස්‌වෙන්නේ. ඒ වෙලාවට මල් වට්‌ටි, සුදුමල් ගස්‌, සුරංගනා ලොවක සිටිනවා යෑයි සිතූ තම පෙම්වතා මතක්‌වෙන්නේ නැහැ. තමා කරගත් මෝහ මූලික ක්‍රියාව නිසා, තමා තුළම තමා කෙරෙහි ඇති වන්නාවූ ද්වේශය බොහොම භයානක අකුසලයක්‌. මෙන්න මේ ද්වේශ සහගත අවසාන චුති සිත නිසාමයි මරණින් මතු ඇය නිරයේ ගිනිජාලාව මත උපත ලබන්නට ඇත්තේ. 

ඉහත පිළිතුර සමග දැන් පිංවත් ඔබ දැන් ඔබ මුළින් අනුමාන කළ පිළිතුර හරිදැයි ගලපා බලන්න. පිංවත් ඔබ මෙවැනි යෞවන වයසේ අයෙකුගේ මරණයකදී හුඟක්‌ වේලාවට ඒ අය සුගතගාමි ජීවිත ලබන බවයි විශ්වාස කරන්නේ. එම සිතුවිල්ල ඔබ තුළ ඇතිවන්නේ මැරෙන අයගේත්, මැරෙන්න භාවිතා කරන ක්‍රමවේදයේත්, මරණයට හේතුවන අහිංසකභාවයත් නිසාමයි. නමුත් මෙම සිද්ධියෙන් පිංවත් ඔබට හොඳින් පැහැදිලියි එම මතය නිවැරදි නොවන බව. 

භික්‍ෂුව එම දියණිය ස්‌ථිර වශයෙන්ම නිරයේ ගිනිදැල් මත අපාදුක්‌ විඳින බව දැනගත් පසුව මෙවැනි දරුණු, වියරු අපා දුකක්‌ අත්විඳීමට හේතුවූ, එවැනි දුකකට වැටීමට හේතුවූ කරුණු ඇගේ ජීවිතයට ඇතුළු වූයේ, ඇය අතීතයේ කුමන අකුසල කර්මයක්‌ කළ නිසාද යන්න දැනගැනීමට ඇයගේ පෙර ජීවිතය, ඒ කියන්නේ පාසල් දියණියක්‌ව ඉපදීමට පෙර ජීවිතය කුමක්‌ ද කියලා අරමුණු කර බලනවා. 


2013.11.10  වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment