සාමාන්‍ය ව්‍යවහාරයට අනුව පුද්ගලයා කරදර පීඩා වන අවස්ථාවක දී පමණක් මේ කුමන කර්මයක් දැ’යි විමස යි. එහෙත්, කෙනෙක් විභාගයකින් සමත් වුණොත් එසේ නො විමස යි. එනම් පුද්ගලයා කර්මය යනුවෙන් අදහස් කරන්නේ අයහපත් පැත්ත යි. එහෙත්, කර්මය යනු යහපත් සහ අයහපත් ක්‍රියාවයි. එය කුසල් සහ අකුසල් වශයෙන් හඳුන්ව යි. තිදොරින් සිදු කරන්නා වූ ඒ කර්ම බොහෝ විට රැස් කරන්නේ සිත මූලිකව යි.
එක්තරා අවස්ථාවක දී කොසොල් රජතුමා බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහා අසදෘෂ දානයක් පූජා කළා. එය සෑම දෙයකින් ම පරිපූර්ණ අසිරිමත් දානමය පින්කමක්. එහෙත්, රජතුමා මේ දානය ලබා දුන්නේ තමන්ගේ බලය, ශක්තිය කොසොල් පුරවරයට පෙන්වීම පෙරදැරි කරගෙන යි. බුද්ධාදී මහා සංඝරත්නය කෙරෙහි පිරිනැමූ මේ දානයෙහි කුසල විපාක රජතුමාට ලැබුණා.
නමුත්, එතුමාට එවකට බුද්ධාදී මහා සංඝරත්නය කෙරෙහි එතරම් ම ශ්‍රද්ධාවක්, ගෞරවයක් තිබුණේ නැහැ. නමුත්, මේ අසදෘෂ දානයේ අසිරිමත් දසුනෙන් සැනසුණු එක්තරා දුගියෙක් සිටියා. ඔහු කුසල් සිත් ඇති කර ගෙන මෙලෙස සිතුවා. මේ තරම් සිතා ගන්නවත් අපහසු, කෝටි ගණන් විය පැහැදම් කර, රජතුමා වටිනා දානයක් සිදු කරනවා. බුද්ධ ආදී මහා සංඝරත්නය උදෙසා එතුමා ලබා දෙන මේ දානය කෙතරම් අගෙයි ද? එය කෙතරම් අසිරිමත් ද? මෙවැනි පින්කම් සිදු කරන රජතුමා තව තවත් නිදුක්, නිරෝගී වේවා, එතුමාට මෙවැනි දාන මාන පින්කම් කරන්න තව තවත් ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා’යි පැතුවා. ඒ පින්බර සිතිවිල්ලෙන් පිනා ගිය දුගියා මිය ගිය පසුව උපත ලැබුවේ දෙව් ලොව යි. එසේනම්, ඒ මනෝ මූලික කර්ම සිතිවිල්ල කෙතරම් අගෙයි ද?
කුසල් සහ අකුසල් වශයෙන් විපාක දෙන කර්මය, ඇතැම් විට දෙවන ආත්ම භාවයේදී ද විපාක දීමට සමත් වෙයි. එය උපපජ්ජ වේදනීය කර්මය ලෙස හඳුන්ව යි. සිතක ඇතිවන ජවන සිත් (සිතිවිලිවල වේගය) සතෙන් අවසාන අරමුණෙහි උපපජ්ජ වේදනීය කර්මය ඇති වෙයි.
උපපජ්ජ වේදනීය කර්මය බලපාන ආකාරය අනුව සැම විට ම තම තමන්ගේ කුසල පක්ෂය ගැන සැලකිය යුතු යි. කුසල පක්ෂයෙන් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් අනුව අෂ්ට සමාපත්තියට හෝ එක ධ්‍යානයකට සම වැදී තිබේනම්, ඒ පුද්ගලයා බඹ ලොව උපත ලබන්නට හේතු වෙයි. විශේෂයෙන් ම ධ්‍යාන ලබා බඹ ලොව උපත ලැබූ බවට තොරුතුරු ද තිබේ. අකුසල පක්ෂයෙන් පංච ආනන්තරීය පාප කර්ම සිදුකළ පාපකාරී පුද්ගලයාට ඊළඟ ආත්ම භාවයේ දී විපාක ලැබෙයි. ඒ උපපජ්ජ වේදනීය කර්ම වශයෙනි. සම්බුදු සිරුරෙන් ලේ සෙලවීම, සංඝ භේදය ඇති කිරීම වැනි ආනන්තරීය පාප කර්ම සිදු කළ දේවදත්ත හිමියන් උපපජ්ජ වේදනීය කර්මයට අනුව(දෙවන ආත්ම භාවයේ විපාක දෙන) අපාගත වුණා. දේවදත්ත හාමුදුරුවෝ අදට ත් අවීචි මහා නරකයේ අපමණ දුක් විඳිනවා. එසේ ම සුප්‍රබුද්ධ රජතුමා , චිංචි මානවිකාව ආදීන් ද සිදු කළ කර්මයට අනුව අපාගතව දුක් විපාක ලබනවා.
යම් පුද්ගලයෙක් මල්, පහන් පුදා කුසල් දහම් සිදු කර තිබේ නම් ඊළඟ ආත්ම භාවයේ දිව්‍ය ලෝකවල උපත ලබන්න භාග්‍ය ලබනවා. මෙලෙස තමන්ට ඊළඟ ආත්ම භවයේ දී උතුම් උප්පත්තියක් ලැබීමට උපපජ්ජ වේදනීය කර්මය ගැන දැනුම්වත් විය යුතු යි.
කිසිම දිනක පංචානන්තරීය පාප කර්මයන්ට හසු නො වී සිටීමට වගබලා ගැනීම විශේෂයෙන් වැදගත් වෙයි. කුසල් දහම් වඩා, බවුන් වඩන පුද්ගලයන් නිරන්තරයෙන් ම සිතිය යුත්තේ පංචආන්තරීය පාප කර්මයන්ට හසු නො වී සිටීමට යි. එසේ නොවුණේ නම් ඊළඟ ආත්ම භාවයේ දී අවීචි මහා නරකයේ අපමණ දුක් විපාක ලැබෙනවා.
විශේෂයෙන් ම නො සැලෙන, නො බිඳෙන පින්කමක් වන කඨිනය ආදී පින්කම් ඉතා කරුණාවෙන්, ගෞරවයෙන් සිදු කළ යුතු යි. එලෙස තම සිතේ ඇඳෙන මතක සටහන් සංසාර ගමනට අත්වැලක් වෙයි. ඒ යහපත් වූ කුසල් දහම් චුති චිත්තයට ඇති වීමෙන් ඊළඟ ආත්මයේ දී තමන් උපත ලබන භවය සොඳුරු නවාතැනක් වෙයි.
එසේනම්, තාවකාලික අම්බලමක් සේ දිවි ගෙවන මේ ආත්ම භාවයේ දී ලැබූ මිනිස්කමින් යහපත් ව දිවි ගෙවිය යුතු යි. අපේ ජීවිතයට අවශ්‍ය කරන කුසල්, පින් දහම් වර්ධනය කිරීමට අප සිතා ගත යුතු යි. සිය, සිත හඳුනාගෙන යහපත් වූ දේ පමණක් ම සිදු කිරීමට ඇප කැප විය යුතු යි. තම වදන පවා තවත් කෙනෙකුට හිංසා පීඩාවක් නම් එය අකුසලයට අයත් වෙයි. ඒ නිසා ම තම මුවින් පිටවන වදන පවා පිවිතුරු විය යුතු යි. එය ඊළඟ ආත්ම භාවයේ දී යහපත් වූ ස්ථානවල උපත ලැබීමට ම හේතු වාසනා වෙයි.
කුසල් කළ විට කුසල කර්මයන් ද, අකුසල් කළ විට අකුසල කර්ම ද අපට නොපමාව, දෙවන ආත්ම භාවයේ දී ම ලබා දෙනු ලබන්නේ උපපජ්ජ වේදනීය කර්මය යි. මිය යන සත්ත්වයා කුසල, අකුසල කර්ම මත නැවත උපත ලබන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මනුස්සයෙක් හෝ භූතයෙක් ලෙසින් විය හැකි යි. ඒ නිසා ම අප ඊළඟ ආත්ම භාවයේ දී යහපත් උපතක් ලැබීමට සිතෙහි දමනය ඇති කරගත යුතු යි. එලෙස ම හැකිතාත් බවුන් වඩා මේ ආත්ම භාවයේ දී අඩු තරමින් ධ්‍යානයක් හෝ ලබා ගැනීමට උත්සාහවත් විය යුතු යි. විශේෂයෙන් ම මඟ ඵල නිවනින් සැනසීමට භාග්‍යය සලසා ගත යුතු යි. එසේ නොවුණොත් පෘථග්ජන සැවොම අන්ත අසරණ පුද්ගලයෝ වෙති.
සෑම විටම සත්ත්වයාට ලෙඩ රෝග ඇති වෙයි. තවත් මොහොතක අපට දරුවා, ස්වාමියා, බිරිඳ, මව, පියා වශයෙන් පුද්ගලයන් අහිමි වී යයි. ඒ නිසා ම පෘථග්ජන සත්ත්වයා විවිධාකර වශයෙන් දුක්ඛ දෝමනස්සයන් ආදියට බඳුන් වෙයි. ඇතැම් විට කෙනෙකුට බරපතළ දුක් විපාක ලැබෙන්නේ පෙර ආත්ම භාවයක හෝ ඊටත් පෙර ආත්ම භාවයේ සිදුකළ බරපතළ අකුසල කර්මයන් නිසා විය හැකි යි. මේ නිසා උපපජ්ජ වේදනීය කර්මය මිනිසෙකු වශයෙන් ජීවත්වන කාල සීමාව තුළ අවධානයට ගත යුතු යි.
තිදොර රැක ගැනීමට උත්සාහවත් විය යුතු යි. එය මෙලොව වශයෙන් තම දිවි මඟට සතුටක් වෙයි. එවැනි පුද්ගලයා පරලොව ජීවිතයේ දී ද සතුටට පත් වෙයි. මෙලොව කුසල් දහම් වර්ධනය කරගෙන සිත සකසාගත් පින්වතුන්ගේ ඊළඟ ආත්ම භාවය සුවපත් වෙයි.
අටමහා පින්කම් හෝ වෙනත් පින්කමක් ආදිය ඇතැමෙකුට කිරීමට පහසුකම් තිබුණ ද එයට වාසනාව අහිමි වී ඇත. නො එසේ නම් ඒ අසිරිමත් පින්කම අවාසනාවට මෙන් මඟ හැරී යයි. යමෙකුට පින් දහම්, දාන මාන, භාවනා ආදිය කර ගැනීමට නො හැකි වුණොත්, ධර්ම ශ්‍රවණයෙන් ,ධර්ම දේශනාවන් තුළින්, සිල් සමාදන් වීමෙන් ඒ ශීලය ආරක්ෂා කර ගැනීමට පුහුණුව නො ලැබුණොත් ඊළඟ ආත්ම භාවයේ දී ඒ කුසලයන් නුහුරු වී යයි. ඇතැම් අය පිනට දහමට නැඹුරු නොවී කටයුතු කරන්නේ සසරේ සිය සිත පිනට දහමට ප්‍රගුණ නො කළ නිසාවෙනි.
තම මවුපියන්ට කෑම බීම, ඇඳුම් පැළඳුම් ලබා නො දෙන දරුවන් ද අද සමාජයේ අපමණ යි. එයට හේතු වන්නේ ඔවුන් සසරේ දන් දීමට පුරුදු පුහුණු නැති වීම යි. ඒ නිසා ම ඔවුහු බොහෝ විට අඩුපාඩුකම් ඇතිව උප්පත්තිය ලබති. ඒ ලැබූ භවයෙහි ද තවත් අඩු පාඩුකම් උග්‍ර වෙයි. අවසානයේ දී තමන්ට ඇඳුමක් පැළඳුමක්වත් නැතිව මහ පාරේ සිඟමන් යදින යාචකයන් සේ අන්ත දුගී තත්ත්වයට පත් වෙයි. මේ අනුව බුද්ධ දේශනාවන්ගේ සත්‍යය කෙතරම් දැ’යි වටහා ගැනීමට සමත් වෙයි.
එසේනම්, අප කරන සෑම ක්‍රියාවක ම විපාක ඇති බව දැනගත යුතු යි. ඒ විපාක කර්ම වලට බෙදී යයි. උපපජ්ජ වේදනීය කර්මය හඳුනාගෙන යහපත් වූ දේ උපරිම ව කිරීමට තීරණය ඇත්තේ තමා අතේ ය. ඒ බව සිතමින් ලැබූ මිනිස් ජීවිතය මෙන් ම, සංසාර ගමන අසරණ නොවන්නට, තමන්ට තමන් පහනක් වී අවිඳු අඳුර දුරලන්නට උත්සාහවත් වන්න.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment