Labels

Tuesday, November 21, 2017

පර්වතයක් වගේ සිරුරක් ... (සීහළවත්ථු කතා 1 )

විපාකය නම් පලදීම යි. එය කුසල විපාකයක් විය හැකියි. එසේ නැතිනම් අකුසල විපාක විය හැකියි. පේ‍්‍රත ලෝකයේ උපන් පේ‍්‍රතයන්ට වෙන් වූ වෙනත් ලෝකයක් නැත. ඔවුහු අඳුරු ස්ථානවල, අරණ්‍ය,පර්වත ආදී වූ කිසියම් තැනක ඕපපාතික ව උපදිති. ප්‍රේත ලෝකයේ ඉපදෙන්නෝ බොහෝ විට සා පිපාසයෙන් පෙළෙන බව සඳහන් වේ. මේ, මීට බොහෝ කලකට පෙර අප රටේ සිදු වූ සත්‍ය සිදුවීමකි මෙය.
දකුණු ප්‍රදේශයේ විසූ හැට නමක් පමණ භික්ෂූන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමේ අදහසින් කාවේරි පටුනෙන් ගොඩ බැස්සහ. එතැන් සිට මහ වනය මැදින් බොහෝ දුර ගමන් කළහ. එහෙත් මග සොයා ගැනීමට නො හැකි විය. උන් වහන්සේලාට ඇතෙකු ගිය මග දැක ගන්නට හැකි විය. ඉන් පසු ඒ මග දිගේ දින තුනක් පුරා ගමන් කළහ.

ඉතාමත් විශාල ගලක් මෙන් ශරීරයක් ඇති, දුකසේ ජීවත්වන පේ‍්‍රතයෙක් ඒ මග අසළ සිටියේය. වෙහෙසට පත් ස්වාමින් වහන්සේ මේ නම් ගිමන් හැරීමට සුදුසු ගල් තලාවක් යැයි සිතා ඒ මතට පිවිස රාත්‍රිය පුරා වැඩ සිටියහ.
මේ සඟ පිරිසෙහි වැඩ සිටි ගුරු ස්වාමින් වහන්සේ රාත්‍රි කාලයෙහි නො නිදා ගල් පර්වතය උඩ සක්මන් කරමින් සිටියහ. එක් වරම ඒ ගල් පර්වතයට අත් පා, හිස ආදිය තිබෙන බව දැක ගන්නට ලැබුණි. උන්වහන්සේ විශ්මයට පත්වුණි.
”අනේ මේ ගල් පර්වතයක් නොවේ නේද? අප මේ නැග සිටින්නේ පේ‍්‍රතයෙකුගේ පිට උඩට නේ. ආයුෂ්මතුනි, ඉක්මනින් මේ ගල් තලාවෙන් බසින්න” යැයි කියා සිටියහ. සියලු දෙනා බිමට බැසගත්හ. පේ‍්‍රතයා හිස එස වූයේය.
”මහා කලුගලක් වගේ ඔබගේ ශරීරය ඉතා විශාල යි. සිට ගැනීමට හෝ ඇවිදීමට නොහැකි ඔබ බොහෝ සේ දුක් පීඩා විඳින බවයි හැඟෙන්නේ. ඔබ කවර නම් විපාකයක් කළ අයෙක් ද?
“ස්වාමිනි, මම පේ‍්‍රත ලෝකයේ ඉපදුන පේ‍්‍රතයෙක්මි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මම මිනිස් ලෝකයේ ඉපදී සිටියෙමි. දුෂ්ඨ අදහස් තිබූ මම සංඝයා වහන්සේට අයත් දේ විනාශ කළෙමි. ආරාම, කෙත්වතු, ධනධාන්‍යය විනාශ කළෙමි. ස්වාමිනි, ඒ විපාකයට මම මිනිස් ලොව අත්හල පසු ඉතාමත් කටුක දුක් පීඩා විඳින පේ‍්‍රතයකු ලෙස ඉපදුණෙමි.
මේ පේ‍්‍රත ලෝකයෙන් චුත වූ පසුවද මට සහනයක් නම් නැත. අවිචී මහ නිරයේ ඉපදීමට නියමිතය.”
“පේ‍්‍රතය, සාංඝික දේ විනාශ කළේ කොයි ආකාරයට ද?”
”මහා කාරුණික කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මම සඟසතු කුඹුරු වලින් ධාන්‍ය රැගෙන අනුභව කළෙමි. දරුවෝත්, නැදෑයොත්, දාසයොත් එකතුවයි මම ඒ කෑම අනුභව කළේ. නමුත් ස්වාමිනි, දැන් මම දුක් විඳින්නේ තනිවමය. මා කළ බැරෑරැම් පාපය දැඩිසේ මාව දවන්නේය. මම මහා දැඩි පිපාසයෙන් පෙළෙමි. ස්වාමිනි, මා කෙරෙහි මහත් වූ අනුකම්පාව උපදවා මාගේ මුඛයට වතුර පොදක් වත්කළ මැනව.”
හැටක් පමණ වූ භික්ෂූන් වහන්සේට මේ ගල් පේ‍්‍රතයා ගැන විශාල අනුකම්පාවක් ඇතිවුණි. ඔහුගේ පිපාසය නිවීමට උන්වහන්සේලා ගඟට බැස පාත්‍රාවලින් පැන් ගෙනවිත් කටට වත්කළහ. ඒ ප්‍රේතයාගේ පාපය කෙබඳු ද කියනවානම් ඔහුගේ දිව අගවත් ඒ පැන්වලින් තෙමුණේ නැත. බොහෝ වේලාවක් ජලය ලබා දුන් පසුව “පේ‍්‍රතය, ඔබගේ පිපාසය නිවුනා ද?” යි භික්ෂූන් වහන්සේ ඇසූහ.
“ස්වාමිනි, ඔබ වහන්සේලා වගේ දහස් නමක් වැඩම කොට, සත් දිනක් තිස්සේ මාගේ මුඛයට පැන් වත්කළ ද, මාගේ දිව අගවත් තෙමෙන්නේ නැත. ඉතින් පිපාසය නිවීම ගැන කවර කතා ද?” ”ස්වාමිනි, සංඝරත්නය සතු දේ විනාශ කිරීමෙන් මෙවැනි කටුක විපාක තිබෙන බව මම දැන සිටියේ නැත. සැපක් යැයි සිතා මට දුකට වැටෙන දෙයක් ම කළෙමි. මට කළ දෙයට අද තනිව ම විපාක විඳිමි. මෙසේ මට පිහිට වූ ඔබ වහන්සේලා කවුරුන්ද? කාගේ ශ්‍රාවකයන් වහන්සේලා ද?”
“පේ‍්‍රතය, අප ගෞතම නමින් වූ සර්වඥයන් වහන්සේගේ ශිෂ්‍යයෝ යි. උන්වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ යි.”
“අනේ ස්වාමිනි, ලෝකනාථ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ නම් තවත් සත් දවසක් යන්නට පෙර මම අවීචියේ ඉපදීමට නියමිත ය. ස්වාමිනි, මා කියනා දෙය අසන්න, කාශ්‍යප - ගෞතම බුදුරජුන් දෙනමගේ කාලය අතරතුර දී මේ මහ පොළොව හත් ගව්වක් වැඩුණි. පේ‍්‍රත ලෝකයේ දුක් විඳන මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඒ අතර ඉක්ම ගියේය. දැන් අවීචි නරකයේ දී ඉතිරි විපාකය ගෙවා දමන්නට නියමිත යි. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් කර්මය මට මහත් සේ විපාක ගෙන දුන්නේය. යම් කෙනෙක් සඟසතු දේපල රකිත්නම් ඔවුන්ට ලැබෙන පින්ඵල ද ඉමහත් ය.

“ස්වාමින් වහන්ස, දැන් ඉතින් ඔබවහන්සේලා මෙතැනින් වඩිනු මැනවි. මගේ ශරීරය ගිනි ඇවිල යනු ඇත. මට වූ මේ විපත දැක බුදු සසුනේ අප්‍රමාදි වෙන්න. ලෝකයේ දුර්ලභ වූ උතුම් ක්ෂණ සම්පත්තිය ලැබ එය අත්හැරීමට ඉඩ නොදී වීර්යය කරනු මැනව. අප්‍රමාදීව බුදු සසුන සම්පුර්ණ කරගෙන දුක් කෙළවර කරගනු මැනවි. එතැනින් භික්ෂූන් වහන්සේ වැඩම වූ පසු පේ‍්‍රතයාගේ ශරීරය මහා ගිනි කඳක් මෙන් උසට ඇවිලී ගියේය. ස්වාමින් වහන්සේ ඒ ගිනිදැල් එළියෙන් එදා රාත්‍රියේ ගව් එකහමාරක් දුර ගමන් කළහ. උන්වහන්සේලා සියලු දෙනා ධර්ම සංවේගයට පැමිණ බවුන් වඩා අරහත්වයට පත්වූහ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 17 වන  සිකුරාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment