Labels

Sunday, November 19, 2017

අපායට නොයන්න පින්කම් කරන්න

“ලොවේ සියලු ම සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ වෙති’යි යනුවෙන් කියමනක් ඇත. සියලු ම සත්ත්වයෝ පින් පව් මත වාසය කරති. පින් කරන්නෝ සුගතියෙහි ද පව් කරන්නෝ දුගතියෙහි ද උපත ලබති. සුගතිගාමී වන්නෝ දුලබ වන අතර අපායගාමී වන්නෝ බහුල වෙති.

අටමහා නරකය යනුවෙන් ප්‍රධාන අපාය අටක් තිබෙයි. මේ එකකට දාසය බැඟින් සියලු ම අපාය එකසිය තිස් හයක් තිබේ. තිරිසන්, පේත, අසුර ආදී අපාය මඟින් සිදු වන්නේ අයහපතක්ම යි. දුක් විඳින්න ම සිදු වෙයි. ඒ දුක උරුම වන්නේ සත්ත්වයන්ගේ කර්මයට අනුව සිදුවන විපාක මත යි. අවීචි මහා නරකයෙහි ඇත්තේ දරුණු ම දුක යි. පංචානන්තරීය පව් සහ මිසදිටුකමින් යුක්ත වූවෝ අවීචි මහා නරකයට පත් වෙති.


අත පය කපා දැමීම, උල තැබීම, ලෝ දිය පෙවීම, ගිනි ජාලා මධ්‍යයට ඇද දැමීම වැනි සියලුම දඬුවම් ඒ ඒ අකුසල කර්ම විපාකයට අනුරූපව ලබා දෙයි.
සත්ත්ව ඝාතන ආදී දරුණු පව් කළඅය සතර අපායෙන් එක් තැනකට වැටී අපමණ දුක් විඳිති. අපායේ ස්වභාවය දුක නම්, සැප ගැන සිතා, සුගතිය ගැන සිතා කල්පනාකාරීව දාන, ශීල, භාවනා ආදී පින්කම් සිදු කළ යුතු යි.
මුගලන් මහ රහතන් වහන්සේ ධර්ම දේශනා මඟින් අපායේ තතු පෙන්වා වදාළහ. අපායේ නිරි සතුන් සමඟ කතා කර විඳින දුකට හේතු වූ කර්මය කුමක්දැ’යි විමසා ඒ මඟින් මිනිසුන්ට ධර්ම දේශනා වදාළහ. උන් වහන්සේ දෙව් ලොවට වැඩම කර එහි ඇති සැප සම්පත් ද මිනිසුන්ට පැහැදිලි කළහ.

පංච ශීලය නො රැක, සිත , කය, වචනය අසංවර ව, පිනට දහමට විරුද්ධ ව ,මවට පියාට නොසලකා , මවු පියන්ට තර්ජන ගර්ජන සිදු කර, සිල්වත් , ගුණවත් උතුමන්ට නිග්‍රහ කරන , තුනුරුවන්ට අගෞරව කරන, වෙහෙර විහාර විනාශ කරන, වැඩිහිටියන්ට අගෞරව කරන සියලු ම ලෝ සතුන්ට වද හිංසා පමණුවන්නෝ අපාය ගාමී වෙති. ඔවුන් නැවත සුගතිගාමී වනු දැකීම අසීරු යි. අපායේ ස්වභාවය දුක් ලබා දීම යි. එහි පිනක් දහමක් නොවන නිසා නැවත පත් වන්නේ ද අපායට ම යි. එහි ඇති දුක් කම්කටොලු ගැන කල්පනාවෙන් ඒ ගැන තොරතුරු විස්තර දැනකියාගෙන අපායට බියෙන් හැකිතාත් පින් දහම් කළ යුතු යි.
දස විධ කුසල ධර්ම රැස් කළ යුතු යි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ත්‍රිවිධ ශික්ෂා දියුණු කළ යුතු යි. අපායට බියෙන් සුගතියට සිත සකසාගත් සැවොම සුගතිගාමී වෙති. එසේ නොවූවෝ අපාය ගාමී වෙති. තණ්හාවෙන් මිය යන්නෝ පේත ලොවෙහි උපත ලබා අපමණ දුක් විඳිති. සමහර ප්‍රේතයන් සා පිපාසාදී දුකෙන් පෙළෙති. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් කිසිවක් නැත. ඇතැම් ප්‍රේතයෝ ගිනි ජාලා මධ්‍යයේ දුක් සෝ සුසුම් විඳිති. තිරිසන් සත්ත්වයන්ගේ දුක ද අසීමිත යි. අසුර අපායේ සත්ත්වයෝ ද එසේම යි.
එක්තරා දවසක කොසොල් මහ රජතුමා සිහිනයක් දුටුවේ ය. ඒ සිහිනයේ දී අකුරු සතරක් ඇසුණි. එයට බිය පත් වූ රජතුමා, උදෑසන බුදුරදුන් හමුවී “ස්වාමීනි,භාගභ්‍යවතුන් වහන්ස, මා මහා භයානක සිහිනයක් දුටුවා. එහිදී මට අකුරු සතරක් ඇසුණා” යි කීවේ ය. එවිට බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, බිය විය යුතු නැහැ. මේ රාජ්‍යයෙහි වාසය කළ දරුණු පව්කාර පුද්ගලයෝ සතරක් ලෝ කුඹු නරකයට පත් ව සියක් වසක් ආයු ගෙවා නැවත කැරකි කැරකී පොළොව මතු පිටට පැමිණියා. ඒ අතුරින් එක් අයෙක් පවසන්නේ අනේ! මින් මතු නම් පව් කරන්නේ නැහැ. පව් කිරීමෙන් ලබපු දුක පෙනෙනවා නේද? මින්පසු පව් නොකරන බවට පොරොන්දු වෙනවා. එසේනම්, මහ රජතුමනි, පවට ගිජුකමින් වාසය කළ අයට අත් වූ ඉරණම පෙනෙනවා නේදැ’යි බුදුන් වහන්සේ, රජතුමාට පහදා දුන් සේක.
නරකාදී එකසිය තිස් හයක් වූ අපායේ දුක් විඳින සත්ත්වයෝ අපමණ දුක් විඳිති. එය දුකක් බව වටහා ගෙන මෙවැනි දුකකට අප නම් පත් නොවේවා’යි සිතමින් සිය සිත රැක ගන්න. දාන, ශීල, භාවනා පින්කම් කිරීමෙන් සුගතිගාමී ව උපත ලබයි.
සූදුව, සුරාව, දුරාචාරය ආදිය දරුණු පව් තම දිවි මඟ මුළුමනින් ම විනාශයට පත් කරයි. එසේ ම සැප සම්පත් සියල්ල ම ඉවත් කර දමයි. ලෝකුඹු අපායට වැටෙන සත්ත්වයා අපමණ දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අජාසත්ත රජතුමා ද තම පියාණන් ඝාතනය කර සිදු කළ ආනන්තරීය පාප කර්මයෙන් අවීචි මහා නරකයේ දුක් විඳිමින් වාසය කළේය. ඔහුගේ හිතවතා වූ දේවදත්ත හාමුදුරුවන් ද අවීචියේ ඇති උල් ආදිය ඇනී, දැගලිය නොහැකි සේ සිරවී දුක් විඳියි. එසේ ම මිසදිටුකමින් යුක්තව කටයුතු කළ සැවොම අපමණ දුක් විඳිනවා. චිංචි මානවිකාව, මාගන්ධියා, කෝකාලික, නන්ද මානවක ආදී දරුණු පව් කළ අය අපායගාමී ව දුක් විඳිති.
එසේනම්, සැවොම අපායට බිය වී සුගතිය පිණිස සතුටින් කටයුතු කළොත් තම තමාට ලොකු දැනුමක් ලබා ගන්නට පුළුවන් වෙයි. අපායේ නිසි තතු දැනගෙන එහි ඇති දුක වටහාගෙන හැකිතාත් පෝයට සිල් සමාදන් වන්න. මව් පියන්ට වැඩිහිටියන්ට සලකමින් ගුණයට නැඹුරු වන්න. කෙනෙකුට යමක් ලබා දී දන් දීම පුරුදු පුහුණු කරන්න. ශීල, භාවනා වැඩසටහන් වලට සිත යොමු කරන්න. පවිටු අදහස් සිතිවිලි තුරන් කරන්න. විහාරස්ථානයට ගොස් අතු පතු ගා පවිත්‍ර කරන්න. මල් පහන් ගිල්න්පස පූජාවන් තබන්න. එය ඔබට ඉමහත් පිනක් වේවි.
අන්‍යයන්ටත් අපායේ තතු පහදා දෙන්න. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අපායේ තතු සියලුම සත්ත්වයන්ට වදාළහ. අපායගාමී වන කරුණු උන් වහන්සේ කාරුණිකව පහදා දුන්නහ. එවැනි ශාස්තෘවරයෙක් ලොවෙහි තවත් නැත. ඒ නිසා සැවොම තමන්ගේ ගුණ දහම් මතු කරගනිමින් අගුණ දේ ඉවතට දමා ශීල සම්පදා ආදිය සම්පත් දියුණුව සලසා ගත යුතු යි. එවැන්නන්ට සුගතිගාමී වී අපායෙන් නිදහස් විය හැකි යි. ශීල ආදිය ප්‍රතිපත්තියට නැඹුරු නොවී, අදහම්, අවිනීත ව දුර්ජනව, අසද්පුරුෂව වැඩ කරන්නෝ අපායගාමී ව අනන්ත දුක් විඳිති. අපායට වැටුණොත් නැවත බේරා ගන්නට සමත් අයෙක් ලොවෙහි නැත. එය බුදුකෙනෙකුටවත් කළ නොහැකි ය. මෙබඳු පව් මේ තැනැත්තා කර තිබෙන බවට යම රජතුමා තීන්දු කරයි. මේ අය අපායට ම යොමු වී දුක් විඳින්න අවශ්‍ය බව ඔහු තීරණය කරයි.

එසේ ම මේ තැනැත්තා පින් දහම් කළ බවට සිහිපත් වුණොත් එතනින් නිදහස් විය හැකි යි. එසේනම්, පින්වත්නි, අපායේ තතු දැන ගෙන එහි දුක්ඛිත ස්වභාවය හොඳින් වටහා ගන්න. අපායට බිය වුණොත් අපට එයින් අත් මිදිය හැකි යි. සියලු ම දුකෙන් නිදහස් වන සුවය වන්නේ නිර්වාණය යි. ඒ අපේක්ෂාවෙන් උතුම් පින් දහම් සිදු කළ යුතු යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කළ යුතු යි. ඒ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ ගමන් ගත් පිවිතුරු මඟ යි. එලෙස වාසනාවන්ත මඟ යන්නෝ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මඟ ඵල ලබති. එසේනම්, කිසි ම දවසක අපායගාමී නොවී දුකින් නිදහස් ව නිවනට පත් වේවා ‘යි පැතුම පින්වත් සැවොම සිත්හි දරාගෙන කටයුතු කළ යුතු යි.

අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ගුණවර්ධන යෝගාශ්‍රමයේ 
ශ්‍රී කල්‍යාණ යෝගා ශ්‍රමයේ මහා ලේඛකාධිකාරී 
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය, 
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment