Labels

Saturday, October 28, 2017

බුදුරජුන්ගෙන් පාර නෑසු අවසනාවන්තිය III


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... කරුමයක උරුමය සොයා.....

'සතර අපායෙන් මිදෙමු' - 54 කොටස


(ඉකුත් දෙසතිය - කුඩා කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණියද දිවිනසාගනී. භික්‍ෂුක්‌ උතුම් සමාධියෙන් පසුවද්දී මෙසේ සියදිවි නසාගත් දියණියගේ ඊළඟ භවය අරමුණු කරයි. එහිදී අරමුණු වනුයේ නිරයේ ගිනිදැල්ය. එවිට නිරයට වැටීම පිණිස ඇයව ඇද දැමීමට හේතුවූ අකුසලය කුමක්‌දැයි දැනගැනීම පිණිස එම භික්‍ෂුව ඇය සියදිවි හානිකර ගැනීමට පෙර ආත්මය අරමුණු කරයි)

එහෙම අරමුණු කර බලන්න භික්‍ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්‌ව ඉපදුණු ජීවිතයේදී, ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි දුප්පත් පවුලක ඉපදීම, කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම නිසා අහිමිවීම, ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම, පාසල් වයසේදීම මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම, ලාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම, කෙටි කලකින් එම පෙම්වතාද සියදිවි නසාගැනීම, සමාජයෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් චෝදනා අපවාද එල්ලවීම,අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම පිණිස කරුණු කාරණා සකස්‌වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ ජීවිතයට පැමිණි දේවල් නොවේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටගෙන උපදී කියලා. කර්මය මගේකොටගෙන ජීවත්වෙයි කියලා. මේ කාරණයෙන් ඉතා පැහැදිලිsයි, ඉහත ඇය මුහුණදුන් සියලු ජීවිත බාධක ඇගේ පෙර ජීවිත වල සිදුවූ අකුසලයන් බවට. ඒ නිසාමයි භික්‍ෂුව ඇයගේ පෙර ජීවිතය අරමුණු කර බලන්නේ. භික්‍ෂුවට අරමුණු වෙන්නේ ඇය පෙර ජීවිතයේදී භූත ස්‌වභාවයේ සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටි බවයි. භික්‍ෂුවට ඉතා හොඳින්ම සමාධිය තුළදී දර්ශනය වෙනවා, අඩි 2 ක්‌ පමණ දිගැති ශරීරයක්‌ ඇති කුඩා බෝනික්‌කකුගේ ස්‌වරූපය සහිත කොණ්‌ඩය කරල් දෙකකට ඉතා හොඳින් ගොතා බැඳ ඇති ගැහැණු ළමා රූපයක්‌ හිස්‌ අවකාශයේ පාවෙමිනුයි මෙම භූත ගැහැණු දරුවා සිටින්නේ. ඇය ඇස, කණ, නාසය, දිව, මන, කය කියන ආයතන හය සහිත සත්ත්වයෙක්‌. නමුත් දෙපා බිම තබාගෙන නොවේ ඇය සිටින්නේ. භූත ස්‌වභාවයේම පාවෙන ළමා ගැහැණු ස්‌වරූපයේ සත්ත්වයෙක්‌. එම භූත ස්‌වභාවයේ සිඟිති දැරිය අරමුණුවීමෙන් පසුව භික්‍ෂුව ඇගේ ඊටත් පෙර ජීවිතය අරමුණු කර බලනවා. මොකද මෙතෙක්‌ භික්‍ෂුවට අරමුණු වුණේ නැහැ ඇය අතීතයේ කරන ලද අකුසල් විපාකය කුමක්‌ද කියලා. එම නිසාමයි භූත ස්‌වභාවයට පෙර ජීවිතය අරමුණු කර බලන්නේ.

එම අවස්‌ථාවේ උතුම් සමාධියේදී භික්‍ෂුවට අරමුණු වෙනවා වයස අවුරුදු හතේ පමණ ගැහැණු දැරියක්‌. දැන් පිංවත් ඔබ හොඳින් සිතන්න මේ මොහොතේ ඇය අපායේ ගිණිදළු අතර දුක්‌ විඳින නිරි සතෙක්‌. ඊට පෙර ජීවිතය භූත ස්‌වභාවයේ පාවෙන ළදැරියක්‌. ඊටත් පෙර ජීවිතයේදී ඇය වයස අවුරුදු 7 ක පමණ වන මනුෂ්‍ය දියණියක්‌. තවමත් මුළින් සඳහන් කළ විපාකයන්ට හේතුවූ බරපතළ අකුසල කර්මය හෙළිවුණේ නැහැ. මෙම දියණියගේ ජීවිත 4 ක්‌ අරමුණුවෙලාත්..... නැවතත් භික්‍ෂුව අරමුණුකර බලනවා වයස අවුරුදු 7 පමණ දැරියක්‌ව සිට මියයැමට පෙර ජීවිතයේදී ඇය ලබා තිබූ ජීවිතය කුමක්‌ද කියලා. ඒ කියන්නේ ඇය පිළිබඳව 5 වැනි ආත්මභාවයත්.. අන්න එතැනදී තමයි භික්‍ෂුවට ඉහත සියදිවි නසාගැනීමට හේතු සකස්‌වූ, දෙමාපියන් අහිමිවීමට හේතු සකස්‌වූ, පෙම්වතා සියදිවි නසාගැනීමට හේතු සකස්‌වූ අකුසල් කර්මය අරමුණු වෙන්නේ.

ඇගේ එම ජීවිතයේදී වයස අවුරුදු 25ක පමණ කාන්තාවක්‌ ලෙසින් භික්‍ෂුවට අරමුණු වෙනවා. සමාධියේදී දුටු එම කාන්තාවත් දරු ගැබක්‌ කුසේ දරාගෙන සිටින කාන්තාවක්‌. ඇය සිය දෑතින් කුස මිරිකමින් තම කුසේ සිටින දරුවා ගබ්සා කරනවා. භික්‍ෂුවට හොඳින් දර්ශනය වෙනවා ඇය ගර්භාෂය දෑතින් පොඩි කරන ආකාරය. මෙතැන තමයි මේ දරුණු අකුසලයේ ආරම්භය.

දැන් අපි එතැන ඉඳලා පහළට එමු. මනුෂ්‍ය ලෝකයේ කාන්තාවක්‌ව ඉපිද තමාගේම කුසේ ඇතිවූ කලල රූපය ගබ්සාකර, මරා දමනවා. එම අකුසලය නිසා නැවත මනුෂ්‍ය ලෝකයේම මිනිස්‌ දියණියක්‌ව ඉපිද වයස අවුරුදු 7 දී පමණ අඩු වයසින් මියයනවා. වයස අවුරුදු 7 දී අඩු ආයුෂින් මියයැමේදී ශක්‌තිමත් කුසල් අකුසල් සිතක්‌ සකස්‌ නොවීම නිසාම භූත ස්‌වභාවයේ පාවෙන භූත දැරියක්‌ව ඉපදෙනවා. එම භූත දැරිය කුමක්‌ හෝ පිනක්‌ අනුමෝදන්ව නැවත දුප්පත් මව්කුසක දැරියක්‌ව උපත ලබනවා. මේ ලැබූ උපත තමයි පාසල් දැරියක්‌ ලෙසින් දිවිනසාගත් දියණිය.

ඉහත සටහනේ ජීවිත 5ක්‌ පිළිබඳ කථාවක්‌ කියවෙනවා. ඒ කියන්නේ මෙයට ජීවිත 4 කට පෙර ඇය ලැබූ ඒ කාන්තා ජීවිතයේදී තමාගේ දරුගැබ තමා විසින්ම විනාශකර මරාදැමීම නිසා එහි අකුසල් විපාකය, ප්‍රාණඝාත අකුසලය ජීවිත 4 ක්‌ පසුවටත් විපාක දෙමින් පැමිණ අවසානයේ එම අකුසලය විසින්ම ඇතිකරන විපාක හේතුවෙන් ඇයව නිරයේ ගිණිදළු මතට ඇද දමනවා. තමගේ කුසේ සිටින හයක්‌ හතරක්‌ නොදන්නා ලේ කැටි දරුවා තමා විසින්ම ගබ්සා කිරීමට ගැලපෙන ආකාරයටමයි ඇයට කර්මය විපාකදෙන්නේ අකුසලයේ ප්‍රතිබිම්භයමයි. විපාකයේ වෙනසක්‌ නැහැ. සම්බුදු වදන ඉතා හොඳින් අර්ථවත් වෙනවා. තම කුස උන් දරුවා මරාදැමීම නිසා ඊළඟ ජීවිතයේදී වයස අවුරුදු 7 තරම් අඩු ආයුෂින් මිය යනවා. නැවත භූත ස්‌වභාවයේ සත්වයෙක්‌ව උපදිනවා. ඊළඟට මේ රටේ දුෂ්කර පෙදෙසක දුප්පත් අම්මා කෙනෙකුගේ මව් කුසේ ඉපදෙනවා. පුංචි කාලෙම තාත්තා සියදිවි නසා ගන්නවා. අම්මා ඈත්වෙනවා. පෙම්වතාද දිවිනසා ගන්නවා. සමාජයේ අපවාද, චෝදනා නැගෙනවා. අවසානයේ තමාත් සියදිවි නසාගෙන අපායේ ගිණිදළු මත අකුසල් විපාකය විඳිනවා. බලන්න, මෙයට ජීවිත 4 කට පෙර තම දරුගැබේ සිටි දරුවා මරාදැමුවා වගේම පියාත්, පෙම්වතාත්, අවසානයේ තමාත් සියදිවිනසා ගන්නා ඉරණමකට ලක්‌වෙනවා. මේ සිදුවීම් වල දුක පීඩනය තමා විසින් දරාගන්නවා.

දැන් පිංවත් ඔබට පේනවාද අකුසල් විපාකවල බරපතළභාවය. එය විපාක දෙමින් පැමිණෙන දුර. පිංවත් ඔබ ජීවත්වන සමාජයේ ගබ්සාව කියන අති අමානුෂික මනුෂ්‍ය ඝාතනය නීතිගත කරන්න කියලා රාවයන් ඇසෙනවා නේද? ගබ්සාවක්‌ සිදුකරන ආයතන අප්‍රමාණව රට තුළ ක්‍රියාත්මක වෙනවා නේද? මේවා නැති කරන්න පුළුවන් දේවල් නොවේ. මාරයාගේ ලෝකයේ කාමයේ, රාගයේ අස්‌වැන්න තමයි මේ ගබ්සාව. මනුෂ්‍යයාගේ සිත කාමයෙන් රාගයෙන් මත්වෙන්න මත්වෙන්න අස්‌වැන්න බහුල වෙනවා. සක්‍රිය වෙනවා. ඒකයි මේවා ලෝක ධර්මයන් කියලා සටහන් කළේ. මෙම සටහන කියවන ඔබ හික්‌මෙන්න. ජීවිතයේ කවදාවක්‌වත් ඉහත අකුසලය සිදුනොකරන බවට සිතාගන්න. අසම්මත දරුගැබක්‌ ඔබට ලැබුණොත් එය මරා නොදමන්න. ලෝකයා අවමන් කරපුවාවේ. නින්දා කරපුවාවේ. ගල් ගැසුවාවේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් එම දරුවා ඔබ හදාවඩාගන්න. එම දරුවාට මෛත්‍රිය කරන්න. එහෙම කළොත් ඔබට ලෝකයාගෙන් අපවාද නින්දා පැමිණේවී. නමුත් එසේ කිරීමෙන් ඔබව නිරයට නොවැටෙන බවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා.

පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙන්වූ පාර අමතකකොට, තෙරුවන් කෙරෙහි ඇති විශ්වාසයෙන් තොරව, ලෝකයාගෙන් නැගෙන අපවාද නින්දා වලට බියෙන් එම දරුගැබ මරාදැමුවොත් යම් දවසක නිරයේ වියරු ගිනිදැල් මතට පතිතවන බවට හොඳම උදාහරණය ඉහත සටහන තුළ තිබෙනවා. කැමති දේ ඔබ තෝරාගන්න. ශීලයේ අර්ථය ජීවිතයට එකතුකොටගෙන ඉහත අවදානමින් පිංවත් ඔබ මිදෙන්න. තෙරුවන් කෙරෙහි ඇතිකරගන්නා අචල ශ්‍රද්ධාවත්, දන්දීම තුළින් ඇතිකරගන්නා අත්හැරීමේ ශක්‌තියෙන් මෙන්ම මේ සියල්ල තුළින් මෝදුවන මෛත්‍රී ශක්‌තියෙන් ඉහත සතර අපායේ අවදානමින් ඔබව මුදවන ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙන්වාදුන් මාර්ගයට පිංවත් ඔබ පියනගන්න.



2013.11.17  වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment