Labels

Monday, May 8, 2017

බුදු දහමට අනුව ජීවත් වෙනවා නම් සැප සතුට හැමදාමත් රැඳේවි

පින්බර වෙසක් පුන් පෝය දිනයක් වෙනුවෙන් වෙසක් සඳ ගුවනට මෝදු වී තිබේ. මේ වෙසක් සඳත් ඔබට සිහිකැඳවන්නේ පින් සිතුවිල්ලට ඉඩ දෙන ලෙසයි. පින් පුරන්නට සියල්ල අතහැර නවගුණවැල අතට ගත යුතුද? 
ජීවිතයේ සතුට අතහැර දුක්ඛ සත්‍ය මෙනෙහි කරමින් පින්පුරණා තරුණ පරපුරක් අද අප රටේ සිටිති. මේ තරුණ දූපුතුන්ට ජීවිතය අස්වද්දා ගත යුතු තරුණ වියේදීම ජීවිතය අතහැරී තිබේ. සැබැවින්ම මේ ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් පටලවා ගැනීමක්ද? එය එසේ විය යුතුද? රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියෝ අපේ විමසුමට බුදුදහම ඇසුරින් මෙලෙස කරුණු කාරණා පසිඳලන සේක.
පින්වත් දරුවනේ, පටලවා ගන්න එපා! බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට දෙසූ දහම ඒ ආකාරයෙන්ම ගිහියන්ට දේශනාකර නැහැ. එලොවත් මෙලොවත් දියුණුව වෙනුවෙන් ගේ දොර අතහැර කැලෑ වැදී බවුන් වඩන්නැයි බුදුරජාණන් වහන්සේ ගිහියන්ට දේශනාකර නැහැ. බුදු දහමින් ගිහියන්ට පෙන්වා දෙන්නේ ගිහි ජීවිතය තුළ සිටම එලොවත් මෙලොවත් සැපවත් කරගන්නා ආකාරයයි.
ඒත් ගිහි දරුවෝ බණ දහම් රකින්න යැයි වනවාසී වීම අද රැල්ලක් වෙලා. ඒ වෙනුවෙන් රට පුරාම තැන තැන රමණීය වන භාගවල අලුත් ආරාම ඉදිවෙලා. මේ ආරාමවලට යන අපේ දුවලා පුතාලාට ජීවිතය එපා කරවන දේශනා අසන්නට ලැබෙනවා.
“විවාහ වෙන්න එපා..! දරුවෝ හදන්න එපා...!! ඒවායින් තණ්හාව ඇතිවෙනවා. ඊළඟ භවය විනාශ වෙනවා.”
මේ අශුභවාදී ධර්මය නිසා දරුවන්ගේ ජීවන අපේක්ෂා බිඳ වැටෙනවා. ඔවුන් මනසින් ඇද වැටෙනවා. ඔවුන්ට ජීවිතය පෙනෙන්නේ අශුභවාදීවයි.
ඔවුන් එතැනින් එහාට අධ්‍යාපනය ලබන්නේ නැහැ. රැකියා අත්හරිනවා, හරිහම්බ කරන්නේ නැහැ. ගෙයක් දොරක් හදන්නේ නැහැ. යාන වාහන ගන්නේ නැහැ. හරි ආර්ථිකයක් - සමාජ මට්ටමක් ගොඩ නඟා නොගත්ත මේ දරුවන්ගේ ජීවිත එලොවටත් මෙලොවටත් නැති ගාණයි.
ජීවිතය දිහා අශුභවාදීව දකින්න හුරුකළ මේ දරුවන්ව බොහොම ඉක්මණින් මහණ කරවනවා. ඇත්තටම මේ භික්ෂූන්ගේ ධර්ම ඥානය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වියත් සභාවකට ඇවිත් බණක් කියන්න බෑ. ඒ තරමට ධර්ම කරුණු පිළිබඳ අවබෝධයක් මේ පැවිදි අයට නැහැ. ඇත්ත වශයෙන්ම භික්ෂුවකට පැවිදි වීමට ප්‍රථම ධර්මය විනය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒත් මෙතැන ඇත්තේ තරුණ තරුණියන්ට සිවුරු පෙරවීමට ඇති හදිසියක් පමණයි.
වෛද්‍ය, ඉංජිනේරු උපාධි හදාරමින් සිටි විශ්ව විද්‍යාල දරුවෝ පවා අලුතින් ඉදිවූ වනවාසී ආරාමවලට පැමිණ ජීවිතයේ අශුභවාදී පස ගැන කියන දේශනා අසා පැවිදි වී සිටිනවා. ඇත්තටම මේ උගතුන් ලෙස විශාල සමාජ මෙහෙවරක් ඉටුකරන්න හැකිකම තිබූ දරුවන් පන්සල් අතුපතු ගාගෙන ඉන්න පැවිද්දන් බවට පත්වීම කනගාටුවට කරුණක් නොවේද? අද ඉදලට කොස්සට සීමා වෙලා තියෙන්නේ මේ දරුවන්ගෙන් රටට ජාතියට ගන්න තිබූ උදාර මෙහෙවරයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ බණ තමයි විනය පිටකයේ තියෙන්නේ. විනය පිටකයට අනුව භික්ෂූන් වහන්සේලාට ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. කසාද බඳින්න බෑ. විවාහ වෙන්න බෑ. සල්ලි හම්බකරන්න බෑ. භික්ෂූන් වහන්සේලා අහසේ පියාසර කරන පක්ෂියකු වගේ නිදහසේ ජීවත්වෙන්න ඕනෑ.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ ධර්මය අද ගිහියන්ටත් දෙසීමෙන් නොවෙයිද මේ අවුල හදා ගෙන තියෙන්නේ?
භික්ෂූන් වහන්සේලා මරණය ගැන කල්පනා කරන්න ඕනෑ. ජීවිතයේ අනිත්‍ය ගැන කල්පනා කරන්න ඕනෑ. අලුත් ආරාමවලින් අද තරුණ පරපුරට ඇහෙන්නේත් මරණය ගැන දේශනායි.
“මැරෙනවා...
මැරෙනවා...
ඉතින් ජීවත්වීමට මහන්සිවීමෙන් පලක් තිබෙනවාද?
ඉගෙන ගන්න, සල්ලි හම්බ කරන්න අවශ්‍ය නෑ.
මරණය පිළිබඳව කල්පනා කරන්න. භාවනා කරන්න.”
ගිහි සමාජය අන්තවාදී විදිහට දුක්ඛ සත්‍යය දකින්නට පෙලඹවීමෙන් අපට පෙනෙන්නේ එදා නිගණ්ඨ නාථ පුත්‍ර කළ කාර්ය භාරයයි.
එදා නිගන්ඨනාථ පුත්‍ර පූජකවරයා දේශනා කළේ ජීවිතය ඵලක් නෑ. මේ සියලු ආසාවන් අත්හරින්න. ඇඳුමට ඇති ආශාවත් අත්හැරි ඔවුන් නිරුවතින් සිටියා. සතුන් මැරේවි යැයි යන මඟ කොස්සකින් අතුගාමින් ගියා. නිගන්ඨනාථ පුත්‍රගේ ධර්මයට අනුව සත්තු මැරෙන නිසා මිනිස්සුන්ට කුඹුරු කොටන්න බෑ. අඩුම තරමේ දත් ටිකවත් මදින්න බෑ. මේ නිසා එදා භාරතීය සමාජය අශුභවාදී වුණා. ආර්ථිකය විනාශ වෙන්න පටන් ගත්තා. මිනිසාගේ වටිනාකම නැති වුණා.
අශුභවාදී පැත්තම දකිමින් අද අපේ දරුවනුත් අතහරින්නේ ජීවිතයේ වටිනාකමයි. එක්තරා අවස්ථාවක තරුණයන් පිරිසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණ මෙසේ කියනවා.
“ස්වාමීනි ඔබවහන්සේ වගේ අපට කහ සිවුරු ඇඳගෙන හිස මුඩු කරගෙන ඉන්න බෑ. අපට කම්සැප විඳින්න ඕනෑ.” බුදුරජාණන් වහන්සේ මේ තරුණ මතය වැරැදි සහගත යැයි බැහැර කළේ නැහැ. උන්වහන්සේ ගිහියන් ආකාරයට කම් සැප විඳින්නට නම් සම්පූර්ණ විය යුතු කරුණු දේශනාකර වදාළා.
ගිහියන් කොපමණ හරි හම්බ කළත් කමක් නැහැ. හැබැයි හරි හම්බ කළ යුත්තේ ගුණයක් තිබෙන සල්ලියි. ඒ නිසා නිවැරැදි මාර්ගවලින් උපයන්න. මෙලෙස හරි හම්බ කරගත් දේ නිසි පරිදි කළමනාකරණය කරගත යුතුයි. ගෙයක් දොරක් හදාගන්න. වාහන මිලදී ගන්න, ව්‍යාපාරයක් දියුණු කරගන්න, අම්මාට - තාත්තාට - ඥාතීන්ට - අසල්වාසීන්ට - අමුත්තන්ට සලකන්න, පන්සලට උදව් කරන්න, රජයට බදු ගෙවන්න. මෙසේ නිවැරැදි දේ සඳහා පමණක් වියදම් කරන්න.

තමන්ට ලැබෙන මුදල් අනවශ්‍ය විදිහට මත්පැන්වලට - නැටුම් ගැයුම්වලට වියදම් කරන්න එපා. ණය වෙන්න එපා. දහමට අනුව ජීවත්වනවා නම් ජීවිතයේ සැප - සතුට හැමදාම රඳනවා.
සැබැවින්ම ගිහියකු සිටම ඔබට පින් කරන්න පුළුවනි. සසරෙන් එතෙර වීමට පැවිදි විය යුතුම නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසටයි. භික්ෂු භික්ෂුණියන් සාසනය තුළ රැකෙන්නට උපාසක උපාසිකාවන් ගිහි ජීවිතය තුළ ශක්තිමත් වෙන්න ඕනෑ. ඔබට ආර්ථිකයක් තිබුණෝතින් පමණයි පන්සලක් හදන්න - පන්සලට දානය ටික පූජා කරන්න පුළුවන් වන්නේ.
ජේතවනාරාමය හැදූ අනේපිඬු සිටුතුමා කවදාවත් මහණ වුණේ නැහැ. සත්හැවිරිදි වියේදීම සෝවාන් ඵලය ලබා තිබුණත් විශාකා මහා උපාසිකාව දරුවන් මෙලොවට බිහි කිරීම නැවැත්තුවේ නැහැ. මොනතරම් පින්කම් කළත් මල්ලිකා සිටුදේවිය දරුවන් බිහිකිරීම නැවැත්තුවේ නැහැ.
තරුණ දූපුතුනි, ඉගෙනිය යුතු කාලයේ හොඳින් ඉගෙන ගන්න. ඉන්මතු රැකියාවකින් රටටත් - සමාජයටත් පවුලටත් යුතුකම් ඉටුකරන්න. ගෙයක් දොරක් හදාගන්න. නිසි කලට විවාහ වන්න. ආගම දහමට අනුව ජීවත්වන මාපියන් පතන දරුවන්ට උපත දෙන්න. ගිහියකු නම් මේ සමාජයට දරු සම්පතක් දෙන්නම ඕනෑ. ඒ දරුවා අතිජාත දරුවකු වුණෝතින් ඔබට මොනතරම් පිනක්ද?
ජීවිතේ මේ පිළිවෙළ කොතැනකදී හෝ අතහැරුණොත් ඔබට අවසානයේ ඉතිරිවන්නේ පශ්චාත්තාපයක් පමණයි. ඔබට මනුෂ්‍යත්වය ලැබී ඇත්තේ පෙර සසරේ සිදුකළ මහා කුසල කර්මයකටයි. එය අසුභවාදී පවුකාරයකු ලෙස ගෙවන්න එපා. සුභවාදී පින්වන්ත ජීවිතයක් ගෙවන්න.
පින්වත් දරුවනේ, ගිහියා ගිහියා ලෙසට ජීවත් විය යුතුයි. පැවිද්දා පැවිද්දා ලෙසට ජීවත් විය යුතුයි. ගිහි ඔබ පන්සලකට ගොස් නවගුණවැලක් කරේ දාගෙන පැය විසිහතරම ගෙවනවා නම් එය මහා මෝඩකමක් වනවා. ඔබේ ජීවිතය සරුකර ගැනීමේ මඟ බුදුදහමින් ගිහි විනය ලෙසට සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වනවා. ඒ අනුව උට්ඨාන සම්පදා ඇතිකරගෙන උත්සාහයෙන් ඉපයිය යුතුයි. ආරක්ෂණ සම්පදා ඇතිකරගෙන හරිහම්බ කළදෙය ආරක්ෂා කරගත යුතුයි. බුද්ධ දේශනාවට අනුව දන් දිය යුත්තේත් ඉපයූ දෙයින් හතරෙන් එකක් පමණයි. ගිහි ජීවිතය තුළ සමබර වෙමින්ම දාන - ශීල - භාවනා මඟින් ඔබට පින් රැස් කළ හැකියි. 
දහම් දෙසුම: රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමි.
2017.05.8 දින තරුණි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment