නඩත්තුව නමින් හඳුන්වනු ලබන සෑම අවස්ථාවකම බොහෝ වේලාවට මතකයට නැඟෙන්නේ නඩත්තු නඩු පිළිබඳවයි . නඩත්තු නඩු නිතර නිතර අපට ඇසෙන නිසා එම කාරණාව වැරැදි නැහැ. ඒ වගේම නඩත්තු යන්න අපට ඇසෙන විටම සිතට නැඟෙන්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකියි. තවත් ආකාරයකින් කියනවා නම්, නඩත්තු කිරීම යනු පවුලක් නඩත්තු කිරීම,වාහනයක් නඩත්තු කිරීම, ගේ දොර නඩත්තු කිරීම, වහලය නඩත්තු කිරීම ආදී වශයෙන් නඩත්තු යනු මූල්‍ය වියදමක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකිය. එවැනි කාරණාවන් නඩත්තුව වුවත් අපට සාමාන්‍යයෙන් පවුල් ජීවිතය නඩත්තු කිරීම සතුට නඩත්තු කිරීම, යන්න එතරම් හුරු පුරුදු වචනයක් බවට පත්වන්නේ නැහැ.
අප සාකච්ඡා කළ යුතු වන්නේ ශ්‍රී ලාංකිකයා ලෙස ද, විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයා ලෙසද ,අතිවිශේෂයෙන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයා ලෙස සතුට නඩත්තු කිරීම යන කාරණාව පිළිබඳවයි. මින් පෙර ලිපියක කෙටියෙන් සඳහන් කර ඇති පරිදි අප විසින් සළකා බැලිය යුතු වන්නේ සරල කාරණාවක් වශයෙන් නොවෙයි. එය ඉතාමත්ම බර කාරණාවක් වශයෙන් සැලකිය යුතුයි. මක් නිසාද යත්, ලංකාව පුරාම ඇති වෙමින් පවතින්නාවූ අර්බුද සියල්ලටම හේතුභූත වී ඇත්තේ පවුලක සතුට නඩත්තු කිරීම අවශ්‍ය කාරණාවක් ,හෝ අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස එකී පවුලේ සාමාජිකයන් විසින් නොපිළිගැනීම හේතු කොටගෙනයි.
මෙහිදී සතුට නඩත්තු කිරීම යනු කුමක්ද?පවුලක පුද්ගලයන් විශාල පිරිසක් සිටියත් මේ සියලු දෙනාගේම සාමුහික වෑයම විය යුත්තේ පවුල නඩත්තු කිරීමයි. ඇතැම් විට ජාලබද්ධ සමාජයක සිට චත්‍රගත සමාජයක් දක්වා ශ්‍රී ලාංකේය සමාජය වෙනස් වෙමින් පවතී. දැලක් වශයෙන් බැඳුන සාමූහික ජීවන රටාව වෙනුවට ඒක කේන්ද්‍රීය හුදකලා සැලැස්මක් සහිත ශරීර නඩත්තු කිරීම් ගනයට වැටෙමින් පවතී. පෙර සඳහන් කළ පරිදි මිනිසුන් ශරීර නඩත්තු කිරීම පමණක් කරගෙන යනු ලබයි. සතුන්සේ ජීවත් වීමට වෑයම් කරයි. සාමාන්‍යයෙන් සත්ත්වයන්ට ජීවිත නැහැ. ඔවුන්ට ඇත්තේ ශරීරය පමණයි. ඔවුන් අතර ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, ඥාතිධර්මතා,දරු මුනුපුරන්, අම්මා අප්පච්චිකම් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසාම ඔවුන් අතර හැඟීම් නැහැ.ඔවුන් එකිනෙකා පිළිබඳව හැඟීම් දැනීම් විරහිතයි. ඔවුන්ට ඇත්තේ කායික විඳීම් පමණයි. ඔවුන්ගේ කායික අවශ්‍යතා පමණක් ඉටුකර ගැනීම සඳහා එකට ජීවත් වෙයි. එකිනෙකාට සෙනෙහස ,ආදරණීයබව,ලෙන්ගතුබව නැහැ. කිසිම සත්ත්වයෙක් කිසිම සත්ත්වයෙකුට විශ්වාස නැහැ. ආහාර ඉතිරි කර තබාගන්නේ නැහැ. එපමණටම ඔවුන් අතර ලෙන්ගතුකම් පවුල් ජීවිත නඩත්තු කිරීම් නැහැ. මිනිසුන් ඊට වඩා වෙනස් . අපේ සමාජයෙහි විශේෂයෙන්ම ඈත ඉතිහාසය විග්‍රහ කර බලන විට ජීවිත අතර වැඩි දෙනෙක් කරනු ලැබුෙවි සතුට නඩත්තු කිරීමයි. අප විසින් ලියාපදිංචි බෞද්ධ සමාජයක් යැයි හඳුනාගනු ලබන මෙකී ශ්‍රී ලාංකේය සමාජයට වඩා ලියාපදිංචි බෞද්ධ සමාජයක් යැයි සඳහන් නොකරන ඇතැම් රටවල මෙකී බෞද්ධ රටක සාරධර්ම නඩත්තු කිරීම හෙවත් සතුට නඩත්තු කිරීම මැනවින් දක්නට ලැබෙයි. ඇතැම් විට බෞද්ධ සමාජයක නාමික දැනීීමක් වත් නොමැති තත්වයක් තිබුණමුත් ඔවුන් සෑම සති අන්තයකම සතුට නඩත්තු කිරීම උදෙසා රාජකාරියෙන් බැහැරව වෙනත් ස්ථානවලට ගොස් විනෝදාශ්වාදයෙහි යෙදෙයි. සති අන්තය ඔවුන් ගත කරනු ලබන්නේ සතියක් පුරාවටම තමාගෙන් ඈත්ව ගිය සාමාජිකයන් සමීපකරගන්නා අවස්ථාවක් ලෙසයි. ඔවුන් එක්කාසුව කමින් බොමින් සතුටු වෙමින් එකී සතුට විනාශ නොවන සේ නඩත්තුව ගොඩනඟා ගනී.
සතුට නඩත්තු කිරීම හරියට අත්පන්දු ක්‍රීඩාවක් වගෙයි. අත්පන්දු ක්‍රීඩාවේ සියලුම ක්‍රීඩකයන්ගේ වගකීම වන්නේ පන්දුව ඔසවා තබාගැනීමයි . පවුලක්ද එසේ විය යුතුයි. පවුලක සියලු සාමාජිකයන්ගේ වගකීම වන්නේ එකී සතුට ඉහළින් රඳවා තබාගැනීමයි. එය බිඳී යා හැකිය. ක්‍රිඩකයෙකු අතින් පන්දුව බිම වැටුණ හොත් සම්පූර්ණ කණ්ඩායම පරාජයට පත්වන නිසයි. කිසියම් පොකුණක් වෙටිට දස දෙනෙක් වාඩි වී සිටිනවා යැයි සිතුව හොත් මෙකී මනස්කාන්ත නිල් දියපිරි වැවෙහි එහි වාඩි වී සිටින්නාවූ එක් අයෙකුට ගලක් ගසා ජලය බොර කළ හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ පොකුණ වටා සිටින්නාවූ සියලු දෙනාටම බොර වතුර පානය කිරීමට සිදු විමයි.පවුලක සතුට බොර කළ හැක්කේ ද එලෙසයි. ජලය බොර කිරීමෙන් බොර වතුර බීමට සිදුවන්නේ ජලය බොර කළ තැනැත්තාට පමණක් නොවෙයි. ඔහුත් සමඟ ජීවත් වන්නාවූ සියලු දෙනාට බොර වතුර බීමට සිදුවෙයි.සතුට බොර වී යන්නේ ඒ ආකාරයටමයි.
මේ ආකාරයට බලාගෙන ගිය විට සතුට නඩත්තු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙයි. සති අන්ත ඉරිදාවක සතුට නඩත්තු කිරීමත් සෑම රාත්‍රියකම සතුට තාවකාලිකව හෝ නවතා තබාගැනීමත් පවුල් ජීවිතයකට අත්‍යවශ්‍ය කාරණාවක්. බුදුපියාණන් වහන්සේ අපරිහානිය ධර්මවල සඳහන් කරනු ලැබ ඇති රැස්වීම, නිතර නිතර රැස්වීම, රැස්වීම් වැඩි වීම කියන කාරණාව සෑම පවුල් ජීවිතයකටම අත්‍යවශ්‍ය කාරණාවක් සේ සලකා බැලිය හැකියි. සෑම රාත්‍රියක්ම සුන්දර රාත්‍රියක් වෙයි. සෑම සැන්දෑවක්ම සුන්දර සැන්දෑවක් වෙයි. හැන්දෑවේ හතේ සිට රාත්‍රි දහය දක්වා අතර සොඳුරු බර වේලාව සැබවින්ම පාවිච්ච් කළ යුතු වන්නේ පවුල් ජීවිතය මෙකී උත්තරීතර ඒකාත්මිකභාවය ආරක්ෂා කරගැනීම උදෙසායි. එය ටෙලිනාට්‍යයකින් හෝ වෙනත් දෙයකින් සුනු විසුනු කිරීමට ඉඩ දීම අප දක්කනු ලැබූ අවාසනාවන්ත යෝජනාවක් ලෙස සැලකිය හැකියි.අම්මා තාත්තාගෙන්ද, දරුවන් දෙමව්පියන්ගෙන්ද, දෙමව්පියන් දරුවන්ගෙන්ද වෙන් කරනු ලබන එල්් ඊ ඩී යන්ත්‍ර පෙට්ටිය විසින් කරනු ලැබ ඇත්තේ පවුලේ සාමාජිකයින්ගේ එකී සුහද වුවමනාව නැති කරලීම පමණයි. පෙර කලෙක රාත්‍රියෙහි මිනිසුන් ගිනිගොඩක් ගසාගෙන එම ගිනිගොඩ අවට වාඩිවී පවුල් ජීවිතයෙහි සුවඳ විඳි අයුරු පවසා තිබෙනවා. ඉන් පැහැදිලිව පෙනෙන්නේ සතුට නිරන්තරයෙන් නඩත්තු කළ යුත්තක් බවයි. එය සතියක් දෙකක් ඇවෑමෙන් ඇත්ත වශයෙන්ම සතුට නඩත්තු නොකර අතහැර දැමුවහොත් එය අක්‍රීය විය හැකි දෙයක්. ජීවිතය යාවත්කාලින කිරීම නිරන්තරයෙන් සිදු විය යුතුයි. සෑම අයෙකුගේම ජීවිතවල අත්‍යවශ්‍ය අංගයක් වන්නේ එම නිසයි. සෑම රාත්‍රියකදීම සෑම සන්ධ්‍යාවකදීම ආදරණිය දරු මුනුපුූරන් ඔඩොක්කුවට ගෙන ඔවුන් ආදරයෙන් සතපාලමින් කාරණා කියා දීමට දෙමවුපියන්ට කාල වේලාවක් නොමැති නම්,මහා අභාග්‍යසම්පන්න අවාසනාවන්ත කාරණාවක් ලෙස සැලකිය හැකියි. දරුමුණුපුරන්ට ආදරය බෙදාදීමට හා දැනුම බෙදාදීමටත් ඔවුන්ගේ බුද්ධි පරිශීලනය කිරීමටවත් අවස්ථාවක් නොලැබෙන දෙමවුපියන් කවර අරමුණකින් යුතුව ධනය හා මුදල් සම්පාදනය කරන්නේද? යන්න සිතා ගැනීමට නොහැකියි.
මෙකි සෑම සන්ධ්‍යායාමයකදීම ආදරය සෙනෙහස ලෙන්ගතුකම විශ්වාසය පවුල් ජීවිතයෙහි සාමාජිකයන් අතර නඩත්තු කරමින් සතුට පෝෂණය කරන අතරවාරයෙහි සති අන්තයට මෙකී සතුට තවත් උද්දීපනය කිරීම උදෙසා යම් යම් එකමුතු වීම සූදානම් කර ගත හැකියි. එලෙසම සති අන්තයට වගේම මාසයකට එක් දිනක් බෞද්ධයෙකු ලෙස පොහොය දවසට සංවර්ධනය කර ගත යුතු වන්නේ ආගමික වශයෙන් මෙකී සුහදතාව වඩාත් පෝෂණය කිරීම සඳහායි. මසකට වරක් පොහොයක් පැමිණෙන්නේ මෙකී කාරණාවට මිස අන් කුමන කාරණාවටද?ආගමික වශයෙන් පවුලේ සාමාජිකයන් අතර පවතින්නාවූ සුහදකම් මඟින් පිනක් සිදුකර ගන්නවාට අමතරව පවුලේ සාමාජිකයන්ගේ සුහද එකමුතුභාවය වඩ වඩාත් තහවුරු වන බව දක්නට ලැබෙන කාරණාවක්. එය සමාජ විද්‍යාත්මකවද තහවුරු වන කාරණාවක්. වර්ෂයකට වරක් චාරිකාවක් යාම තුළින් පවුලේ සාමාජිකයන් හා එක්වීමත් වැදගත් වෙයි.
මේ ආකාරයෙන් පවුල් ජීවිත නඩත්තු කිරීම නැතහොත් සතුට පෝෂණය කිරීම යන කාරණාව වඩාත් තහවුරු කරගත යුතු අත්‍යවශ්‍ය කාලීන කාරණාවක් ලෙස සලකා බැලිය හැකියි.
නූතන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ අර්බුද අතර ඔවුනොවුන් එකිනෙකාගෙන් වියුක්ත කරන්නාවූ මේ ආර්ථිකය ඉලක්ක කරගත්තාවූ සමාජ වපසරිය වෙනස් කර ගත හැක්කේ මෙබඳු කාරණාවක් සාකච්ඡා කරගැනීමෙන් හා තමන්ගේ ජීවිතයට අවබෝධ කරගැනීමෙන් පමණයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment