වර්තමානයෙහි තරුණ පිරිස් ආගමට යොමු වීම අඩු බවට ඇතැම් පිරිස් තර්ක කරති. ඊට එකඟ විය නොහැකිය.බොහෝ විහාරස්ථානයන්හි කෙරෙන ආගමික සහ සාමාජීය කටයුතුවලදී තරුණ පිරිස් වෙනදාට වඩා සහභාගි වෙති. වර්තමාන තරුණ දරුවන් නිදහස් අධ්‍යාපනය , වෙනත් අධ්‍යාපන පහසුකම් සමඟ සෑහෙන ප්‍රමාණයකට අධ්‍යාපනයක් ලබා තිබෙන පිරිසක් නිසා එම පිරිසට විශේෂයෙන්ම ආගමික කටයුතු සමඟ සම්බන්ධවීමට හොඳ පසුබිමක් නිර්මාණය වී තිබේ.
දහම් පාසල, පන්සලෙහි තිබෙන තරුණ සංවිධාන, වෘත්තීය පහුණු මධ්‍යස්ථාන, සුභසාධන සේවාවන් වැනි කටයුතු සඳහා තරුණ සහභාගිත්වයට අවස්ථාව ලැබේ. සිල් සමාදන්වීම, භාවනා කිරීම වයසට ගිය පසු කරන කටයුතු මිස තරුණ කාලයෙහි කරන දේවල් නොවන බවට මතයක් අප අතර පවතී.එම අදහස වැරැදිය. බුදු දහම වයසට ගිය පිරිසට පමණක් දේශනා කළ ධර්මයක් නොවේ. ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනු ලැබුවේ තරුණයන්ට සහ තරුණ කණ්ඩායම් සඳහායි. පස්වග තවුසන්ට පසුව පැවිදි වූ නන්ද කුමරු, භද්ද වග්ගිය කුමාරවරු, යසකුල පුත්‍රයා යන තරුණ පිරිස් ඊට උදාහරණයන් වේ.
තරුණ පිරිස් සඳහා ආගමික කටයුතු හැරුණ විට බුදු දහමත් සමඟ බැඳී තිබෙන විවිධ ක්‍රියා කාරකම්වලට සම්බන්ධ වීමට තරුණ දරුවන්ට අවස්ථාව තිබේ. බුදු දහම සමඟ සම්බන්ධ වූ විශාල කලා සම්ප්‍රදායක් තිබේ. එම කලාශිල්ප සමඟ එකතුවෙමින් විවිධාකාරයෙන් ගීතය, සංගීතය, නැටුම් වැනි දේ සඳහා සහභාගි වීමට තරුණ දරුවන්ට අවස්ථාවන් ලැබී තිබේ. ඒ වගේම තරුණ ජීවිත කඩාකප්පල් වන ආකාරයෙන් විවිධ බලවේග මේ සමාජයෙහි තිබෙන නිසා එම කාරණාවන් හඳුනාගැනීම අවශ්‍ය වෙයි. වර්තමාන සමාජයෙහි පවතින මත්ද්‍රව්‍ය සහ මත් කුඩු උවදුර තරුණ යන් එල්ල කරගනිමින් කරන කූට ව්‍යාපාරික කල්ලියකගේ සැලසුමක්.විවිධ ජාතිකයන්, ව්‍යපාරිකයන් ලංකාවට මත්කුඩු රැගෙන පැමිණියත් එම පුද්ගලයන් ඇතැම් විට මත්කුඩු භාවිතයට පෙළඹෙන්නේ නැත. එම නිසාම මත්කුඩු බොන තරුණ පිරිස් එය මහා උවදුරක් බවට කල්පනා කළ යුතුයි. ජීවිතයම විනාශවන දෙයක් නිසා එම මත්ද්‍රව්‍ය වලින් බැහැර වීමට තරුණයන් විසින්ම යම් සංවිධාන ඇතිකරගත යුතුයි. යම් ව්‍යාපාර තරුණ සංවිධාන ඇතිකරගෙන මෙම උවදුර සමාජයෙන් පලවාහැරීමට ආගම් භේදයකින් තොරව ක්‍රියාකරන්නට තරුණ පිරිසම කටයුතු කළ යුතු වේ. දුම් පානය වර්තමාන සමාජයෙහි බොහෝ සෙයින් ඉවත්ව තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළෙහි සාර්ථක ප්‍රතිඵල විය හැකියි. නූතන තරුණ පරම්පරාවට තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ පහසුකම් ලැබී තිබුණත් ,ඒවා අවභාවිතය කිරීමෙන් තරුණ පිරිස් මුළාවට පත්වෙමින් ඔවුන්ගේ ජීවිතය කඩාකප්පල් කරගෙන ඉතාම අවසනාවන්ත තත්ත්වයට පත්වෙන අවස්ථාවන් ගැන අසන්නට දකින්නට ලැබේ. තරුණ සංවිධාන මගින්ම සමවයස් කණ්ඩායම්වලට ඒවායෙහි තිබෙන අයහපත් බව හඳුන්වාදෙමින් යහපත සඳහා යොදවාගැනීමට කටයුතු කළ යුතුයි.
තරුණ පිරිස් තාක්ෂණ මෙවලම්වලට හුරුවීමෙන් පොත් පත් කියවීම අඩු ප්‍රවණාවයක් පවතී. එම නිසාම සාහිත්‍යය, ඉතිහාසය පිළිබද දැනීම අඩුවීමක් දක්නට ඇත. අප වැඩි වැඩියෙන් පැරැණි සාහිත්‍යය පොත් කියවිය යතුයි. අපේ සංස්කෘතිය, සදාචාරය ,අතීතඋරුමයන් පිළිබඳ තරුණ පරම්පරාවට එමඟින් විශාල දැනුමක් ලැබේ. ඒ වගේම එම දැනුම ලබාගැනීම සඳහා තරුණයන් විශේෂයෙන්ම පාසල , දහම් පාසල, අනෙකුත් ආයතන සමඟ සම්බන්ධවීම වැදගත් වේ. ඒ සඳහා අවශ්‍ය පසුතලය සකස්කර දීම වැඩිහිටි සමාජයට අයත් කාර්යයකි.
විශේෂයෙන්ම දහම් පාසල විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරයි. දහම් පාසල් විභාග සඳහා ඉදිරිපත් වෙමින් දහම් පාසල් සහතිකයක් ලබාගැනීමට ඉගෙන ගැනීම දහම් අධ්‍යාපනය ලෙස ඇතැමුන් සිතනවා නම්, එය වැරැදි අදහසකි. පන්සල අපේ ජීවිතයේ සැම කේෂ්ත්‍රයකටම සෙවන ලබාදෙන ස්ථානයක් බව තරුණ දරුවන් දැනගත යුතුයි.අපේ ජීවිතයේ හැඩගැසීමට , බෞද්ධ සිරිත් විරිත් හඳුනාගැනීමට,යහ පුරුදු ඉගෙන ගැනීම ඒ සඳහා ප්‍රායෝගිකව සහභාගිවීමට පන්සලෙන් , දහම් පාසලෙන්, විශාල කාර්යයක් ඉෂ්ට වේ.. අපේ සාහිත්‍ය පිළිබඳව දැනුමක් ලබන්නට ,බෞද්ධ උත්සව සංවිධානය කරගැනීමට භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය තරුණ පිරිසට අවශ්‍යවේ.
බෞද්ධයෙකු ලෙස භික්ෂූන් වහන්සේලාගේ ඇසුරින් තොරව හැදෙනවා නම්, තමන් එක්තරා අවධියකට පැමිණෙන විට තමන්ගේ පසුබිම තුළ බෞද්ධ දරුවෙකු ලෙස හොඳ අත්තිවාරමක් දමා නොතිබුණ හොත්, තමන්ගේ දරුවන් හදාගැනීමට ගිය පසු එම අත්දැකීම නොලබා තිබීම විශාල අඩුවක් විය හැකියි.එවිට කනගාටුවීමෙන් ප්‍රයෝජනයක් නැත. කුඩා කල සිට තරුණ වයස දක්වාම දරුවන්ට අපේකම ඇතිකරගැනීමට පන්සල මුලික ස්ථානය විය යුතුයි. , සියලු සිරිත් විරිත්, මව්පියන්ගෙන් ලැබුණත්, ඔවුන්ට පමණක් එම කාර්යයභාරය ඉටුකිරීම අසීරුයි. දරුවන්ට සාරධර්ම පිළිබඳව ප්‍රායෝගික වශයෙන් යම් කිසි උප්පත්තියක් ලබා නොතිබුණොත්. තරුණ පරම්පරාවේ අභිලාෂයන් දියුණු කරගැනීම අසීරුවේ. ජීවිතයට ආර්ථික වටිනාකමක් ලබාගැනීම යන භෞතික කාරණා පමණක් කල්පනා කළ හොත් තමන්ගේ ජීවිතයේ එක් පැත්තක අඩුවක් ඇති විය හැකියි.ජීවත් වීම සඳහා රැකියාවක් අවශ්‍ය වන්නා සේම රැකියාවක් බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය ලබමින් ලබන රැකියාව ධාර්මික විය යුතුයි. බුදු දහම සැම විටම ධාර්මික ජීවිතයකට මඟ පෙන්වන අතරම අධ්‍යාත්මික පැත්ත යම් ආකාරයකින් පෝෂණයක් ලැබිය යුතු බව අවධාරණය කරයි.අද තරුණ පරම්පරාව සාමන්‍ය පෙළ විභාගය දක්වා ගමන් කරමින් එතැනින් පසු ත්‍රිරෝද රථ පදවාගෙන යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ තුළ තිබෙන සමාජය තරුණ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට කිසිදු ආකාරයකින් පදනමක් සපයන්නේ නැත. ඉදිරි දියුණුවක් සඳහා ශිල්පයක් ඉගෙන ගැනීමටවත්, ව්‍යපාරයක් ආරම්භ කිරීමටවත් අවස්ථාව ලැබෙන්නේ නැත. විවිධාකාරයේ අපචාරයන්වලට ගොදුරුවන අවස්ථා නැතිවා නොවෙයි. තරුණ දරුවන් යහපත් දේ සඳහා යොමු කිරීම මව්පියන්ගේ වගකීමකි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,
මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment