ජීවිතයක යාම තුනකි. බාල ළමා යාමය, යොවුන් තරුණ යාමය, මහලු වැඩිහිටි යාමය යනුවෙනි. ළමා වයස නම්, පෙරයම ය. තරුණ වයස නම් මැදියම ය. මහලු වයස පසු යම ය. තමා නිතැතින් ම පි‍්‍රයවන්නේ තමාටයි. ඒ බව දන්නා තැනැත්තා ඉහත කී ත්‍රිවිධ යාමයෙන් එකක දී හෝ නොකළ යුතු පව්කම් ආදිය නොකර කළ යුතු පින්කම් ආදිය කරමින් තමා රැක ගන්නේ ය, යනු බුද්ධ වචනයයි.
තාරුණ්‍යයෙන්, යෞවනයෙන් මත්වීම යොබ්බන මදයයි. එනම් උමතුවීම ය. සිත් විකෘති කර ගැනීම ය. යෞවන මදයෙන් මත් වූ, බුදු බණ නොදන්නා තරුණයා කයින් වචනයෙන් මෙන් ම සිතින් ද දුසිරිත් කරන්නේ ය. සිය තාරුණ්‍යය විනාශ කර ගන්නේ ය. මග වරද්දා ගන්නේ ය. මත්ව, උමතුව සිටින ඒ තරුණයාට වැරදි මග හරි යැයි හැඟෙයි, පෙනෙයි, සිතෙයි, නිවැරැදි මග වැරදි යැයි හැඟෙයි, පෙනෙයි, සිතෙයි. ඔහුට සත්‍යය, ප්‍රකෘතිය පෙනෙනුයේ අසත්‍යය, විකෘතිය ලෙස ය. මේ හේතුවෙන් හෙතෙම ආධ්‍යාත්මිකව ද, භෞතිකව ද පිරිහෙයි. නොයෙක් අයුරින් සිය අභිවෘද්ධියට දියුණුවට යහපත්ව යොදාගත හැකි තරුණකම විනාශයට පිරිහීමට පත් කරගනියි. එබදු තරුණයෙකු පිළිබඳ පුවතක් දම්පියා අටුවාවෙහි හමුවන්නේ ය. ඔහු මහධන සිටුපුත් නම් විය.
ධනවත් වංශවත් කුලයෙක උපන් හෙතෙම නිසි අධ්‍යාපනයක් ද නොලද්දෙකි. සිය පරපුරෙන් ආ ධනයකට හිමිකම් ලද මෙම තරුණ සිටුවරයා එබඳුම ධනවත් වංශවත්, නූගත් සිටු කුමරියක සරණපාවා ගත්තේ ය. නූගත්, බුද්ධි හීනයෙකු වූ හෙතෙම නොබෝ කලෙකින් ම නුසුදුසු සමාජ ඇසුරට යොමු විය. සිත කය දෙකම මත්වන, උමතුවන මද්‍යසාර භාවිතයට ද පෙළඹුණේ නිසැකව ම ඒ හා බැඳුණු තවත් දුසිරිත් ද නිසා තාරුණ්‍යය විනාශකර ගත්තේ ය. මත් ලෝලියෙකු මෙන් ම තරුණ සල්ලාලයෙකු ද වූ ඔහු තම පාරම්පරික ධන සම්පත් මෙන්ම තම බිරිඳ නිසා ලද ධන සම්පත් ද විනාශ කර ගත්තේ ය. ධනවත් අවදියෙහි සිටි මිතුරන් ඔහුට දැන් නැත. සමාජයෙහි පිළිකුළට ද භාජනය වූ හෙතෙම යාචකයෙකු වූයේ ඉඳුල් බත් කෑම පිණිස දෙව්රම් වෙහෙර දාන ශාලාව අසලට බිරින්දෑ ද සමග දිනෙක පැමිණ සිටියේ ය. ඔහු දුටු බුදුරජාණන් වහන්සේ වදාළ සදූපදේශය සිත් ගන්නා සුළු උපමා දෙකකින් යුක්ත විය. කෙටියෙන් වදාළ එම උපමාවන් තේරුම් ගත යුත්තේ මෙපරිද්දෙනි.
පසුතැවිලි වන ක්‍රියා කුමට ද?
“මහ නියඟයෙක් විය. දැඩි හිරුරැස් මහපොළවට නිබඳව ම පතිත වුයේ ය. එහි එක් තැනෙක පොකුණක් තිබිණි. නියඟය හේතුවෙන් එම පොකුණෙහි තිබූ ජලය සිඳී ගියේ ය. ජලය පිරී තිබිය දී පොකුණ ඇසුරු කොට බොහෝ මත්ස්‍යයෝ ජීවත් වූහ. මේ පොකුණු ගැන හොඳින් දන්නා කොස්වාලිහිණියෙක් ද සිටියේ ය. ඔහුගේ ආහාරය මෙකී මසුන් වූ නමුදු හෙතෙම කෙළි දෙලෙන් වාසය කළේ ජලය පිරී තිබියදී පොකුණෙහි සිටි මසුන් අල්ලා නොගත්තේ ය. හෙතෙම දැන් පසුතැවිලි වෙයි. පොකුණ දෙස බලා සුසුම් හෙළයි. නියඟය නිසා සිඳී ගිය පොකුණෙහි දැන් මසුන් නැත. ඉක්ම ගිය දෑ සිතමින් හෙතෙම පසුතැවිලි වෙයි. අනුවණයා ද එබන්ඳෙකි. තරුණ අවදියෙහි බඹසර යැයි කියන ලද උතුම් පිළිවෙත්හි නොහැසිරුණු, ධනය ද උපයා සපයා නොගත් හෙතෙම අධ්‍යාත්මික, සදාචාරාත්මක වශයෙන් මෙන් ම ලෞකික, භෞතික සම්පත් ද, පිරිහී ගොස් සිටියි. හෙතෙම මසුන් නැති දිය සිඳුණු විලක මඩෙහි එරී තැවෙමින් සිටින කොස්වාලිහිණි මෙන් තැවෙයි. දුක්වෙයි.”
“ඊතලය ශක්තිමත් ය. දුන්න එයට අධි වේගයක් ලබා දෙයි. එහෙත් ඒ වේගය තාවකාලික ය. දුන්න සපයන බලය ඇතිතාක් අධිවේගයෙන් හඬාගෙන යන ඊතලය යම් දුරක් ගොස් බලය සිඳී වේගය අවසන් වී ඇද වැටෙයි. දුනුවායෝ නැවත දුන්නෙන් මිදී දුරගොස් වැටුණු, ඒ ඊතලය සොයා නොයති. එය ඇද වැටුණ තැනම දිරා යයි. නුවණින් තොර තරුණයා ද එසේ ය. තරුණ ජවය සිඳී ගිය විට හෙතෙම පසු තැවෙයි. දුක්වෙයි.”
තාවකාලික තාරුණ්‍යය
තාරුණ්‍යය තාවකාලික බව ද, එය ජරාවට, දිරා යාමට ගොදුරුවන්නක් බව ද මහලුවියෙන් අවසන් වන බව ද දැන සිටියේ නම් එසේ පසු තැවීමට ඔහුට සිදු නොවේ. අප ජීවත්වන මෙම සමාජය තුළ ද මෙසේ යොවුන් මදයෙන් මත්ව නොමනා සිතිවිලි ද, හැසිරීම් ද නිසා වනසාගැන්මෙන් පසුතැවිල්ලට, අසහනයට පත්වන තරුණ තරුණියන් දැක ගත හැකි ය. එම පිරිහීමට භෞතිකවාදී අරමුණු ඇති අධ්‍යාපනය ද, ආර්ථිකය, දේශපාලනය මෙන් ම තාක්ෂණය ද, සන්නිවේදන මෙවලම් හා ක්‍රියාවලිය ද වගකිවයුතු බව පෙනේ. ආගම ඉගෙනීම පවා සිදුවන්නේ ආධ්‍යාත්මික වර්ධනය, සදාචාර වර්ධනය ඔස්සේ පෞරුෂ වර්ධනය ඉලක්ක කොටගෙන නොවන බව ද, හුදෙක් යැපීම් මාර්ගයක් පාදා ගැන්ම අරමුණු කොටගෙන ම බව ද පෙනේ.
පරමාදර්ශී තරුණ ශ්‍රාවක සංවිධානය
සිදුහත් කුමරු ගිහි ජීවිතය හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදිව විමුක්තිය, ධර්ම මාර්ගය සොයා ගියේ නව යොවුන් වියෙහි ය. ඒ අතිශයින් ම සුකුමාල තරුණයෙකු වශයෙනි. මවුපියන් හඬා වැටෙද්දී, කලුකෙස් ඇති යෞවනයෙහි එතුමන් කෙස් රවළු බහා කසාවත් හැඳ ගිහිගෙය හැර පැවිදි වූ බව පෙළ දහම කියයි. උන්වහන්සේ යෞවන ලෝකයට අසිරිමත් ආදර්ශයක් දෙමින් අත්‍යන්ත කැපවීමෙන් යුතු ව සත්‍ය ගවේසී වූහ. අවසානයේ සිය අරමුණු උන්වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද්දේ ද තරුණ වියෙහි දී ම ය. සිදුහත් කුමරුන් ගිහිගෙය හැරපියා අබිනික්මන් කළ බව දැක්වෙන්නේ උපතින් විසිනව වැනි වියේ දී වන අතර බුද්ධත්වයෙන් නිවන් පසක් කොට, ලෝකාර්ථ චරියාවට එළඹී ඇත්තේ තිස් පස් වැනි වියේ දී ය. බුදුරජාණන් වහන්සේ ජීවිතය හා ලෝකය පිළිබඳ ගැඹුරුතම ප්‍රඥා පාඨවයෙකින් හෙබි පරමාදර්ශී තරුණ සංවිධානයකට මඟ පෙන්වූහ. උන්වහන්සේ විසින් පිහිටුවන ලද ඉතිහාසය පුරාම බොහෝ ජනයාගේ හිතසුව සැලසු, දැනුදු එම උතුම් මෙහෙවරෙහි නිරතව සිටින ඒ පරමාදර්ශී තරුණ ශ්‍රාවක සංවිධානය නම් සංඝ සංවිධානයයි. අගසව් සාරිපුත්ත, මොග්ගල්ලානා දී මහ රහත් මාහිමිවරුන් ද, ආනන්ද, නන්ද, රාහුල, මහා කාශ්‍යපාදී හිමිවරුන් ද සංඝ සමාජයට එක් වූයේ විකසිත වූ ප්‍රඥාව ද, වැඩුණු චරිතය ද ඇති තරුණ භික්ෂූන් වහන්සේලා වශයෙනි. බොහෝ තරුණ කාන්තාවෝ ද සමකාලීන සමාජ පීඩනයෙන් හා ගෘහ ජීවිතයේ දුක් දොම්නස්වලින් ද මිදී භික්ෂුණීන් වහන්සේලා වූහ. මහරහත් බවටද පත් වූහ. ඒ බුදු සමය තරුණ පෙළට දුන් අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ මඟ පෙන්වීමේ විශිෂ්ට ප්‍රතිඵලයයි.
ගතානුගතිකත්වය රුචි නොකිරීම, සාම්ප්‍රදායික මතවාද නොපිළිගැනීම, පදනම් විරහිත මිථ්‍යා විශ්වාස බැහැර කිරීම හා නිදහස් නිවහල් විචාර පූර්වක විමසුම්ශීලී චින්තනය අගය කිරීම, සහේතුකව, සකාරණව තහවුරු කළ හැකි අදහස් පිළිගැනීමාදී විශිෂ්ට ලක්ෂණ බුදු සමය තුළ කැපී පෙනෙයි. එම ගති ලක්ෂණයෝ තරුණ වියට අයත් දැක්ම හා චර්යාව සමඟ වෙසෙසින් ම ගැළපෙන්නේ ය. බුද්ධ දේශනා රැසකින් ම නැවත නැවතත් මතුකෙරෙන එකී විශිෂ්ට ලක්ෂණ කෙරේ ප්‍රසාදයට පත්, සමකාලීන ගතානුගතික බමුණු මතවාද නිසා අප්‍රසාදයට හා පීඩාවටද පත් තරුණ තරුණියන්ට එදා බුදුසමය සිදු කළේ සැබැවින් ම එක්තරා විප්ලවීය මඟ පෙන්වීමෙකි.
හරවත් ජීවන දැක්මක්
මදයෙන් මත් නොවී ක්‍රියා කරන, පසුව පසුතැවිලි නොවන, අසහනයෙන්, අතෘප්තියෙන් පීඩා නොවිඳින හරවත් ජීවන දැක්මකින් හා ඵලදායක චර්යාවකින් ද හෙබි තරුණ දරුවෝ අනාගතයට නොබියව මුහුණ දෙති. එබඳු දරුවන් ගොඩනැගීමේ පළමු වගකීම ඇත්තේ දෙමාපියන් අත ය. දෙවනුව ගුරුවරුන් වෙතය. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ගුරු දෙගුරුන්ට මඟ පෙන්වූහ. දූ පුතුන් උදෙසා මවුපියන් විසින් කළ යුතු දෑ උගන්වා වදාළහ. හිරු උදාවන්නේ පෙර දිගිනි. මවුපියෝ දරුවනට හිරු උදාව සේ නන් අයුරින් පිහිට වෙති.
පවින් වළක්වති. දුසිරිත්වලින් වළකාලති.යහපතෙහි පිහිටුවති. සුසිරිත්වලට යොමුකරති, ශිල්ප උගන්වති, අධ්‍යාපනය ලබා දෙති. සුදුසු කල ආවාහ විවාහ කර දෙති. දායාද පවරා දෙති. මෙසේ මවුපියන්ගේ සංග්‍රහය, අනුග්‍රහය ලබන දරුවෝ ද මවුපියන් පෝෂණය කරන්නෝ ය. ඔවුන්ගේ කටයුතු කර දෙන්නෝ ය. පරපුර රැක ගන්නෝ ය. උරුම දේපළ රැක ගන්නෝ ය. මියගිය මවුපියන්ට පින්පෙත් දෙන්නෝයැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.
දකුණු දිසාව ගුරුවරු ය. ඔවුන් විසින් ද සිය ශිෂ්‍ය ප්‍රජාවට පස් ආකාරයෙකින් සංග්‍රහ කළ යුතු ය. ඔවුහු සිසු දරුවන් මනාව හික්මවති, හැදියාව ලබාදෙති. හොඳින් උගන්වති, මැනවින් ප්‍රගුණ කරවති, නොඅඩුව උගන්වති, ගුරු මුෂ්ටි තබා නොගනිති, හිතවතුන්ට හඳුන්වා දෙති. සමාජයට එක් කරති, අවශ්‍ය රැකවරණය ලබා දෙති. ආරක්ෂාව ලබා දෙති.
මෙසේ ගුරුවරුන්ගේ ශික්ෂණය ලබන සිසුන් ද ඔවුන්ට ගරු සරු දැක්වීමෙන්, අවශ්‍ය උපස්ථානාදිය කිරීමෙන්, හොඳින් ඉගෙනීමෙන්, කුදු මහත් දෑ කර කීමෙන් හා මනාව සවන් දීමෙන් ද ප්‍රති සංග්‍රහ කරන්නේයැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 10 වන ඉරිදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment