Labels

Friday, October 27, 2017

ඔබේ තරුණ ලස්‌සන රුව කවුද රැගෙන ගියේ..


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... සතර අපායෙන් මිදෙමු' - 50 කොටස

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. 

ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන කාරණයයි. කව්රු කොහොම බැඳුනත් ඔබ බැඳෙන්නේ කරුණු පහකටය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන කියන කරුණු පහයි. මේ කාරණා පහේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීමයි. යමක්‌ ස්‌ථිරභාවයේ නොපවතී නම් එතැන ඇත්තේ දුකයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ කොතැනකදීවත් දේශනා කරන්නේ නෑ කාමයේ ආශ්වාදයක්‌ නැතිය කියලා. 'කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මහණෙනි, ඒ නිසාමයි සත්ත්වයා මේ තරමටම ඇස, කන, දිව, නාසය, මන, කය කියන ආයතන පිනවන්න උත්සහගන්නේ. ඒ උදෙසා දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. නමුත් පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදය වගේම එහි ආදීනවයකුත් තිබෙනවා. කාමයේ ආශ්වාදය කෙටිය. ඒ උදෙසා විඳින්නට වන ආදීනවය අතිදීර්ඝයි, කටුකයි කියලයි
බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් යමෙක්‌ ආදරයේ නාමයෙන් තව කෙනෙක්‌ සමග බැඳෙනවා කියන්නේ කෙටි ආශ්වාදයක්‌ උදෙසා අතිදීර්ඝ කටුක ආදීනවයකට බැඳෙනවා කියන එකයි.

කෙටි සැපයක්‌ උදෙසා දීර්ඝ දුකක්‌.....

මේ සටහන කියවන පිංවත් ඔබ ආදරයේ නාමයෙන් කුමන හෝ බැඳීමකට ලක්‌වූ අයෙක්‌ නේද? ඔබේ ජීවිතයට මේ උතුම් ධර්මය ගලපා බලන්න. ගෙදර සාලය මත, කුමක්‌ හෝ රඳවනයක්‌ මත තබා තිබෙන ඔබගේ සුන්දර මංගල ජායාරූපයේ හුරුබුහුටි මනාල මහත්මිය සහ කඩවසම් මනාල මහතා යන දෙපලගේ තාරුණ්‍යයේ ලස්‌සන, හැඩරුව මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ රැඳී තිබෙනවාද? ඒවාට මොකද වුනේ? කව්ද අරගෙන ගියේ? කොහෙටද අරගෙන ගියේ?...

ජාති, ජරා, ව්‍යාධි, මරණ දෙසටම නේද?

මොකක්‌ද දැන් ඉතිරිව තිබෙන්නේ? 

ශෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌සයන් නේද?

වර්තමාන සමාජයේ ඔබ සමග ජීවත්වන වයෝවෘධ ආච්චිලා, සීයලාත් අතීතයේ ඔබ වගේම තාරුණ්‍යයෙන් ඔදවැඩී ජීවත්වුන අය. ඒ අයගේ රූපය තුළත්, ඔය තාරුණ්‍යය ඔබට වැඩිය තිබුණා. ඒ අයත් අතීතයේ රූප රාජිණී තරගවලට ඉදිරිපත් වුණා. දැන් තමා දෙස බැලුවහම ඒ අයට තේරෙනවා මොකක්‌ද මම අතීතයේ ඉදිරිපත් කළේ කියලා. ඒ අතීතය මතකයට නගනකොට ඉතිරිව ඇත්තේ පංචඋපාදාන්ස්‌කන්ධයක දුක පමණයි.


මංගල දිනයේ මනමාල මහත්මයෙකුට, මනමාලියකට ඇඳුම් අන්දවන්න, ලස්‌සන කරන්න පමණක්‌ ලක්‍ෂ ගණන් වියදම් කරන සමාජයක්‌ මේක. ලක්‍ෂ ගණන් වියදම්කොට කාටද මේ අන්දවන්නේ. අවිද්‍යාවටම නේද? තෘෂ්ණාවේ සළුපිළි, රන් රිදී තමයි මේ පළඳවන්නේ. ඇඳුම් පැළඳුම් ලස්‌සන බව ඇත්ත. සුවඳ විලවුන් සුවඳ බවත් ඇත්ත. මුහුණේ සිනහව ප්‍රසන්න බවත් ඇත්ත. ඒත් කව්ද මේවායේ හැඩ බලන්නේ? වෙන කව්රුවත්ම නෙමෙයි, මාරයායි මේවායේ හැඩබලන්නේ.

මෙතැනදී මාරයා හැඩ බලන්නේ කාගේද? මාරයාගේ හැඩමයි මාරයා විසින්ම බලන්නේ. රූපයේ කියන්නෙත් මාරයාමය. රූපය ඇසුරින් සකස්‌වන පංචඋපාදානස්‌කන්ධයත් මාරයාමය. මාරයාගේ හැඩරුව මාරයාම බලනවා. පිංවත් ඔබට වැටහෙනවාද මේ කියන කාරණය.

තවත් තේරුම්කොට කියනවා නම් දුක විසින් දුකේ හැඩරුව බලනවා.

රූපය දුකක්‌ වෙන්නේ, රූපය නිර්මාණය වෙලා තිබෙන්නේ නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතුවෙන්. ඒ නිසා නිරතුරුවම යමෙක්‌ ජන්දරාගයෙන් අල්ලාගන්නේ ජාති, ජරා, ව්‍යාධි මරණයට අයත් රූපයක්‌මයි. ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන් 5 ක්‌ සකස්‌වෙන්නේ අනිත්‍යයට පත්වෙන රූපයක්‌ හේතුවෙන්. රූපය අනිත්‍ය නම්, ඒ හේතුකොට සකස්‌වෙන යම් ධර්මතාවයක්‌ වේ නම් ඒවාද අනිත්‍ය විය යුතුය.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රූපය නිරතුරුවම මැරෙමින් ඉපදෙමින් පවතිනවා කියලා. නමුත් ඒ බවක්‌ ඔබ දන්නේ නැහැ. ඔබ මරණය ගැන සිතන්න කැමතිත් නැහැ. ගෙදර තමන්ගේ ඥාතියෙක්‌ මියගියහොත් දේහය ගෙදර තිබෙන තාක්‌, මරණය ගැන සිතනවා. අනේ මමත් මැරෙනවා නේද? කියලා සිතනවා. මාව දාලා ගියේ ඇයි, මාවත් අරන් යන්න කියලා බලෙන් මරණය ගන්න හදනවා. මේ දින තුන හතර මරණානුස්‌සතිය වැඩෙනවා. ඒත් ටික දවසයි ඒ උණුසුම තිබෙන්නේ. ඔබට මරණය අමතක වෙනවා. නැවත මරණය ගැන සිතන්න ඔබ කැමති නැහැ. මරණය ගැන සිතීම අසුබ දෙයක්‌, සෘණාත්මක දෙයක්‌, පසුගාමී දෙයක්‌ හැටියටයි ඔබ දකින්නේ. යමෙක්‌ මරණය ගැන නිරතුරුවම සිතනවා කියන්නේ, නුවණින් දකිනවා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එකයි. මෙතැන සෘණ හෝ ධන දැක්‌මක්‌ නැහැ. මෙතැන තිබෙන්නේ යථාර්ථයයි. සිදුවෙමින් පවතින ඇත්තයි. ඔබ මරණය සිහිකිරීමට බියවෙනවා කියන්නේ ඇත්ත දැකීමට බියවෙනවා කියන එකයි. උදේ සිට රාත්‍රිය දක්‌වා මේ ශරීරයට ආහාර, ජලය, බෙහෙත් ලබාදෙමින් අපි කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වසන් කරන්නට හදන එකයි. ඔබ ඔය සැබෑ ඇත්ත වසංකරලා, මොකක්‌ද ඇත්ත හැටියට අරගන්නේ. මෝහයයි. මෙතැනදී ඔබ අධර්මයමයි ධර්මය හැටියට අරගන්නේ. මේ මෝහ මූලික දැක්‌ම පෝෂණය කරන්න ඕනෑ තරම් මාර බලවේග සමාජය තුළ තිබෙනවා. ජීවිතය අත්විඳින්න¾ මරණය ගැන නොසිතන්න¾..... බොහෝම සුන්දර අදහස්‌ ලෙසින් සමාජයට එනවා. ඒත් ඒවායේ සුන්දරත්වය වැඩි තරමටම එහි ඇති අර්ථය තුළ දුකද ගොඩගැසී තිබෙනවා. 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස නිරතුරවම මැරෙමින් උපදිනවා කියලා. මේ කන, නාසය, දිව, මනස, කය නිරතුරුවම මැරෙමින් උපදිනවා කියලා. ඇසත්, බාහිර රූපයත්, විඥාණයත් ඵස්‌සය වීමේදී ඇස උපදිනවා. ඇස උපදිනවා කියන්නේ චක්‌ඛු විඥාණය උපදිනවා කියන එකයි. ඒ සැනින් ඇස මැරෙනවා. තවත් ආයතනයක්‌ උපදිනවා. ඒ කියන්නේ මනෝ විඥාණය සකස්‌ වෙනවා. මෙය බොහෝම වේගවත් ක්‍රියාවලියක්‌. සෑම මොහොතකදීම කුමක්‌ හෝ ආයතනයක්‌ ඉපදී පවතිනවා. එක ආයතනයක්‌ ඉපදිලා, කියන්නේ අනෙක්‌ ආයතන පහම මැරිලා කියන එකයි. ශරීරයේ උණුසුමත්, ආයුෂත් තිබෙනවා. උපදින කුමන හෝ ආයතනයක්‌ නිරතුරුවම ක්‍රියාත්මකභාවයේ පවතින නිසා විඥාණය ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. ඒ නිසා මරණයක්‌ ගැන ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ මරණය හැටියට දකින්නේ ආයුෂත්, උණුසුමත්, විඤ්ඤාණයත් පහව ගිය ශරීරයක මරණය ගැන පමණයි.

2013.10.20  වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment