Labels

Tuesday, October 3, 2017

බිරියගේ ආමන්ත්‍රණය නැවතිල්ලේ සැනසිල්ලේ විය යුතුමයි

පින්වත් දරුවනේ අද සදහම් සෙවණින් සාකච්ඡාවට යොමු කරන්නේ අපේ සමාජයේ බොහොම සුලභ ගැටලුවක් පිළිබඳයි. ඒ තමයි අඹු සැමි ආරවුල. බලන්න, මේ මෑතකදී මාව මුණගැසුණ තරුණ පුතෙක් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කිව්වා
එයාගේ විවාහයේ දෙවැනි සංවත්සරය යෙදී ඇත්තේ පසුගිය සතියේ දිනකයි. විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන මොහු ඉතා ආදරණීය සැමියෙක්. ඔවුන්ට දැන් පුංචි පුතෙක් ඉන්නවා.
එහෙත් ඇතැම් විට බිරිය කෙරෙහි කෙතරම් ආදරයක්, සෙනෙහෙසක් දැක්වුවත් එය පෙන්වීමට යන්නේ නැහැ. විවාහ සංවත්සරය දා සිදු වු ඛේදවාචකයටත් හේතුව මෙයත් විය හැකියි. එදින බිරිය ඔහු සුබ පතනකල් බලන් හිටියත් එය සිදුවූයේ නැත. කිසිදු විශේෂයක් නොකොට රැකියාවට ගිය හෙතෙම රාජකාරිය නිමා වී පෙර දා මෙන් නිවෙසට වෙලාවට පැමිණියේත් නැත. මේ වන කොට බිරියගේ කෝපය එන්න එන්නම වැඩි වෙලා. ඔහු නිවෙසට ආවේ මනෝ වෛද්‍යවරයකු වූ මස්සිනා සමඟ මත්පැන් පානයකර කාලය ගතකිරීමෙනුයි.

එහෙත් ඔහු බිරිය වෙනුවෙන් වටිනා සාරියක් තිළිණ කරන්නටත් අමතක නොකළා. කෝපාවිෂ්ටව සිටි තරුණ බිරිය වටිනා සාරිය කීතු කීතුවලට කපලා.
“අපේ හාමුදුරුවනේ මම එහෙම දිනපතා මත්පැන් පානය කරන කෙනකුත් නෙමෙයි. මගේ පවුලට මම හරිම ආදරෙයි. බිරිය මගේ ජීවිතය හා සමානයි.
ඒත් ඇය පුංචි දේකටත් කේන්ති ගන්නවා. ඇතැම් විට මේක මට මානසික වදයක්.” ඒ තරුණ පුතා මා ඉදිරියේ කියූ කාරණය ඔහුට විතරක් නෙමේ සමස්ත සමාජයේම ඇති ප්‍රශ්නයක්.
අද ජීවත්වන තරුණ දූ දරුවන් හරිම ආවේගශීලියි. ඔවුන් තැන නොතැන පුද්ගලයා නොබලා තමන්ගේ මතය ක්‍රියාත්මක කරනවා. එහෙත් දෙහදක් එකතු වූ තැන සිදුවන විවාහයකදී අනෙකා වෙනුවෙනුත් ඉවසීම, කැපකිරීම සිදු කළ යුතුයි. විවාහයක් අතිශය අවබෝධයෙන් බුද්ධියෙන් ගෙන යා යුතු වෙනවා. එහිදී බිරියකගේ වගකීම් වැඩියි. ඇය සැමියාගේ මානසිකත්වය මැනවින් වටහාගත යුතුයි. සැමියාගේ ස්වභාවය අනුව ඇය කතා කළ යුත්තේ නැවතිල්ලේ සැනසිල්ලේයි.
බුදුරජාණන් වහන්සේ ‘සිඟාලෝවාද සූත්‍රයේ’ දේශනා කළේ මෙයයි. ස්වාමියා විසින් බිරියටත්, බිරිය විසින් ස්වාමියාටත් ඉටු කළ යුතු යුතුකම් පෙළක්ම තියෙනවා. ඒ අතර සම්මානනාය වැදගත් තැනක් ගන්නවා. එනම් බිරියට හෝ සැමියාට ගරු කළ යුතු තැන ගරු කළ යුතු බවයි.
දැන් අර දරුවා සාරිය ගෙන දුන්නේ දෑ අවුරුද්දක් එක වහලක් යට ජීවත් වූ ඇය ඇගැයීමක් වශයෙන්. ඒත් සාමාන්‍යයෙන් කාන්තාව කතාව බලාපොරොත්තු වෙනවා.
ඇයට උදේම විවාහ සංවත්සරය ගැන මෙසේ සිහි ගැන්වූවා නම් ත්‍යාගය අවශ්‍ය නොවන්නත් පුළුවන්. දැන් අපේ විවාහයට අවුරුදු දෙකයි. මට හරි සතුටුයි ඔයා වගේ කෙනෙක් ලැබීම ගැන. මම මගෙ පණටත් වඩා ඔයාට ආදරෙයි.
මෙහෙම අවබෝධාත්මක කතිකාවන් අද පවුල් ජීවිත තුළ නැහැ. ගොඩක් පවුල් දෙදරා යන්නට හේතුව එයමයි.
ඇතැම් විට මේ ස්වාමියා නිහඬව ආදරය කරන කෙනෙක් විය හැකියි. ඔහු සංවත්සරය අමතක වූවා සේ හිඳ ඇයව පුදුම කරන්නට ඉන්න ඇති. අවබෝධය ඉතාමත් වැදගත් කියන්නේ මේ නිසාවෙනි.
බුද්ධ කාලයේ ජීවත් වූ අනේපිඬු සිටුතුමා ගැන අපි හැමෝම දන්නවා. දිනක් බුදුරජාණන් වහන්සේ සිටුමැදුර අසලින් වඩින විට මහා ගෝෂාවක් ඇසුණා.
අසා බලන විට සිටුතුමාගේ ලේළිය සුජාතා නිවෙසේ කලබලයක් ඇති කරලා.
ඇය ධනයෙන්, බලයෙන්, කුලයෙන්, රූපයෙන් ආඪ්‍යයයි. ඒ බල සම්පන්නකම මාමාටත්, නැන්දණියටත්, සැමියාටත් ඇය නිතර උළුප්පා දක්වනවා. මෙදිනත් එවැන්නක්මයි සිදුවූයේ.
බුදුරජාණන් වහන්සේ සුජාතාව කැඳවා ‘සප්ත භරියා’ සූත්‍රය දේශනා කරනවා.
සුජාතාවනි මෙය අවසානයේ ඔබ කිනම් භාර්යාවකදැයි පවසන්න යැයි කියනවා. වධක, චෞර, ආර්ය, මාතු, සඛී, දාසි, භගිනි යන බිරියන් අතරින් ඇය ඒ මොහොතේ පටන් මාතු, සඛී, භගිනි, දාසි භාර්යාවක වන බව පොරොන්දු වූවා.
සුජාතාවට දේශනා කළ සප්ත භාර්යාවෝ ගැන මැනවින් දැන සිටීම අද සමාජයේ බිරින්දෑවරුන්ටත් බෙහෙවින්ම වටිනවා.

වධක භාර්යාව

දුෂ්ට සිතැඟි හිතානුකම්පා රහිත, පරපුරුෂයන් කෙරෙහි ඇලුණු ස්වාමියා උපදවන ධනය ගෙන වධ දීමට උත්සුක වූ මෙවැනි බිරියන් පුරුෂයකුට වෙයි නම් ඕ වධක භාර්යාවකි.

චෞර භාර්යාව

ස්වාමියා ශිල්ප, වෙළෙඳාම්, රැකියා කරමින් උපයන ධනයෙන් ටිකක්වත් පැහැර ගැනීමට කැමැතිවන මෙවැනි බිරියන් සෙර බිරියක්ම වෙයි.

මාතු භාර්යාව

සැමදා හිතානුකම්පා ඇතිව මව පුතකු රකිනවාක් මෙන් සැමියා ආරක්ෂා කරයි නම්, රැස්කළ ඔහුගේ ධනය රකීනම් මෙවැනි බිරිය මාතු භාර්යා වේ.

ආර්ය භාර්යා

කටයුතු නොකැමැති, අලස, බොහෝ කන, පරුෂ, චණ්ඩි, රළු බස් කියන, සැමියාගේ උත්සාහය මැඩගෙන සිටින මෙබඳු බිරියක් පුරුෂයකුට වේ නම් ආර්යා භාර්යාව වේ.

භගිනි භාර්යාව

වැඩිමහල් සොහොයුරා කෙරෙහි බාල සොහොයුරිය මෙන් සිය සැමියා කෙරෙහි ගෞරව සහිත වන, ලැජ්ජා සිත් ඇති සැමියාගේ වසයෙහි වසන මෙවැනි බිරියක් පුරුෂයකුට වෙයි නම් සොහොයුරිය බඳු භාර්යාවත් වේ.

සඛී භාර්යාව

මෙලොව කලකින් ආ මිතුරකු දැක සතුටුවන මිතුරියක මෙන් සිය සැමියා දැක සතුටු වන කුලවත් සිල්වත් පතිව්‍රත ඇති මෙවැනි බිරියක් පුරුෂයකුට වෙයි නම් මිතුරියක බඳු භාර්යාව සඛී භාර්යාව යැයි කියයි.

දාසි භාර්යාව

වධයෙන්, දඬුවමින්, තර්ජනය කරන ලදුව නොකිප,ී ශාන්තව, දුෂ්ට සිත් නැතිව, සැමියා ඉවසන නොකිපෙන මෙවැනි බිරිය දාසි භාර්යාවයි.

මෙහි වධක, චෞර, ආර්ය යන දුශ්ශීල ස්වභාවය ඇති බිරියන් මරණින් මතු නිරයේ ම උපදී.
යම් බිරියක් මාතා, භගිනි, සඛී, දාසි කියා කියැවෙයි නම් සිල්වත්ම දිගුකල් සංවර වූ ඔවුහු කය බහා සුගතියට යයි.

සුජාතාවනි, මේ පුරුෂයන්ගේ සත් භාර්යාවෝය. ඔබ උන්ගෙන් කවරෙක්ද? ‘ස්වාමීනි, අද පටන් මා සැමියාගේ දාසිසම භාර්යාව ලෙස දකින සේක්වා.” ඇය පිළිගත්තා සේම දියණිවරුනි ඔබ ද ඔබ ගැන වැටහීමක් ඇතිකර ගන්න.
එදා සුජාතාව අවබෝධ කරගත් මේ භාර්යාවන් පිළිබඳ වත්මන් දියණිවරුන් ද මැනවින් උගනී නම් පවුල් සංස්ථා දෙදරා නොයාවි. අංගුත්තර නිකායේ දෙවැනි පණ්නාසකය අව්‍යාකන 10 වැනි සූත්‍රය පරිහරණය කරන්නට හැකි නම් ස්වාමියාට හිතැති ආදරණීය බිරිය වන්නේ කෙසේදැයි අවබෝධකර ගත හැකියි.
“වධක - චෞර - ආර්ය යන නම් දරණ
බිරින්දෑවෝ වෙයි නිති හදවත දවන
මාතු - භාතු - සඛී - දාසි යැයි කියන
බිරින්දෑවෝ වෙයි නිති හදවත නිවන”

නෑ සිය මිතුරන් මැදින් මංගල පෝරුවක නැග කුලගෙට පියනැගූ ඔබ නිති යහපත් බිරියක් වෙත්වා. එවැනි බිරියකට ස්වාමියාගේ ආදරය හැමදාමත් ලැබේවි.
තම දරුවන් සමඟ පවුල් සංස්ථාව වෙහෙසකින් තොරව ගෙන යා හැකි බිරිඳට ලෝ දහමට අනුව ඇයට හිංසා පීඩා, සතුරු විපත් එන්නේ නැත. සියලු දෙවිවරු නිති ඇය රැකදේ. මෙලෙස ප්‍රිය බිරියකට සිය සැමියා ද සෙනෙහෙවන්තව සිටී නම් ගිහිගෙය ගිනිගෙයක් නොවේවි.
අනුශාසනාව
පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ
2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා දින තරුණි කන්තා පුවත්පත

No comments:

Post a Comment