Labels

Sunday, May 28, 2017

සතුටින් ජීවත් වෙන්න නම් යහපත් සිතුවිලි ඇතිකරගන්න

දෙහදක් එකතු වන මේ මංගල මල් සමයේ ජීවිතයට කොයිතරම් නම් දේවල් එකතුකර ගන්න තියෙනවාද? අද සදහම් සෙවණ තුළින් මේ පිළිබඳ දහම් දෙසුම අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක අග්‍රමහා පණ්ඩිත,පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගෙනි. 
වර්තමානයේ අලුතින් යුග දිවියට ඇතුළුවන තරුණ පරම්පරාවේ ජීවිතවල ප්‍රශ්න වැඩියි. සමහර අය කියනවා මම අවුරුදු හතක් තිස්සේ යාළුවෙලා හිටපු කෙනාගෙ හැටි දැනගත්තෙ කසාද බැඳලා ගිහින් සතියෙන් කියලා. තවත් සමහර තරුණ පිරිමි ළමයි කියනවා මම අවුරුදු දහයක් දොළහක් ආදරය කළේ මේ ගෑනු ළමයට ද කියලා හිතුණේ පවුල් ජීවිතය ගත කරන්න අරගත්තට පස්සෙ කියලා. මේ හැම කතාවෙම සත්‍යයක් තියෙනවා. ඒ මොකද ආදරය කරන කාලසීමාවයි පවුල් ජීවිතය ගත කරන කාලසීමාවයි අතර ලොකු වෙනස් තියෙනවා.
ආදරය කරන කාලේ ඔය ඇත්තන්ගෙ ජීවිතය වෙන්නෙ පුංචි පරාසයක්.
පවුල් ජීවිතය ගතකරනකොට අර ළබැඳියාව ටිකෙන් ටික ඈත්වෙනවා. ඉස්සර නම් ඔයා කෑවද බිව්වද කියලා අහන්න ඕනෙ තරම් වෙලා තිබුණා. හැබැයි කසාද බැන්දට පස්සෙ ඔය පෙම්වතියන්ගෙන්, පෙම්වතුන්ගෙන් කීයෙන් කී දෙනාද මහත්තයා කෑවද නෝනා කෑවද කියලා හොයලා බලන්නෙ. ඒක තවත් දුරට ඈතට යනවා තමන්ගෙ ලෝකයට දරු පැටියෙක් ආවාට පස්සෙ. ඒත් ආදරණීය දුවේ, පුතේ ජීවිතයේ ආදරණීය දේවල් හැමදාම පරෙස්සම් කරලා තියාගන්න. කසාද ජීවිතය ගෙවෙනකොටත් මේ දේවල් තිබුණොත් ඔය අයගෙ ජීවිතය සාර්ථක වෙනවා.
පවුල් ජීවිතයේ ගැටලු ඇතිවීම ස්වාභාවිකයි. ඒකට හේතුව අපි දවසක් අවදි වෙලා තව දවසකට මුහුණ දෙන්නේ තව අලුත් අත්දැකීම් සමඟ. කසාද බැන්ද යුගයේ දී ඔය තත්ත්වය වැඩි වෙනවා. තරුණ ජීවිතයේ තිබුණු වගකීමෙන් තොර බව ඉවත් වෙනවා. ඉඩමක් ගන්න ඕනෙ. ගෙයක් දොරක් හදාගන්න ඕනෙ. මේවා කොහොමද කරගන්නෙ කියලා ඔළුවට එනවා. සමහර වෙලාවට රෑට නින්ද යන්නෙත් නැහැ. ඇත්තටම ජීවිතයක මෙවැනි වගකීමක් තියෙන්න ඕනෙ. මවුපියන්ගෙන් දෑවැදි ඉල්ලන්න යන්න එපා. තමන්ගෙ ජීවිතේ තමන්ම ගොඩනගා ගත්තහම දැනෙන ආත්මීය සතුට මිල කරන්න බැහැ. කාලයක් ගිහිල්ලා ඔබේ දරු මල්ලන්ට ඔබට කියන්න පුළුවන් මම මේ හැම දෙයක්ම මගේ වීර්යයෙන් හම්බ කරගෙනයි මෙතැනට ආවේ කියන එක. ඒක දරුවන්ගෙ ජීවිත ගෙනියන්නත් හොඳ ආදර්ශවත් පාඨයක් වේවි. අතට පයට හුඟක් දේවල් හම්බවුණ අපේ අලුත් පරම්පරාවේ ජීවිත හුඟක් සාර්ථක නැහැ. ගැටලු ගොඩයි.
දෑවැදි ඉල්ලලා, දෑවැදි දීලා දීග ගිය ජීවිත සාර්ථක නැහැ. සමහර අම්මලා දුවගෙ කසාදෙට දෙන දේවල් හරි උජාරුවෙන් කියනවා. ඒත් අල්ලසකුත් එක්ක දරුවෙක් දීග දෙනවා කියන්නෙ දරුවගෙ මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න ඕනෙ. කසාද ජීවිතය අල්ලස්වලින්, ඇස්බැන්දුම්වලින් ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබේ දුව පුතාට දුක, සැප දෙකම සමව දරාගෙන ඉන්න පුළුවන් කෙනකුයි ඕනෙ. මංගල යෝජනා කතා කරන්න ගියාම මගෙ දුව පුතාට මෙන්න මේවා දෙනවා.... කියනවාට වඩා පැහැදිලිවම කියන්න මම හොඳ දුවෙක් හදලා ඉන්නෙ. මගෙ දුව ඕනෑම තැනක ජීවත් වෙන්න දන්න කෙනෙක්. මගේ පුතා මත් පැන් බොන්නෙ නැහැ. සල්ලාල ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමේ. අන්න ඒ වගෙ ස්ථාවරයකින් මවුපියන්ට කියන්න පුළුවන් නම් ඒක තමයි දෙන දායාදය.
සමහර මවුපියන් හැම විටම තමන්ගෙ රුචි අරුචිකම් මත තම දරුවන්ගෙ ජීවිත තීරණය කරනවා. ඒක වැරැදියි. හැම මවුපියෙක්ම දරුවන්ගෙ ජීවිතයේ යා යුතු මාර්ගය පෙන්වා දෙන්න. උපරිම ආදරයත් සමඟ අවවාද අනුශාසනා දෙන්න. ඇතැම් අම්මලා කියනවා ඒ කෙල්ල බැන්දට පස්සෙ මගෙ පුතා වෙනස් වුණා කියලා. එහෙම කෙනෙක් ක්ෂණිකව වෙනස් කරන්න බැහැ. දරුවො වෙනස් වෙන්නෙ පුංචි කාලෙ ඉඳන්මයි. හිතන තරම් පහසුවෙන් කවුරුත් කාටවත්ම වෙනස් කරන්න බැහැ. වෙනස් වීම් තියෙනවා. හැබැයි ඒවා අල්ප මාත්‍රව සිදුවන වෙනස්වීම්.
දරුවොත් සිතිය යුතු යමක් තියෙනවා. අද අපේ දුවලා, පුතාලා හොයන්නෙ රූපවාහිනි තිරයේ දකිනවා වගේ ලස්සන තරුණයෙක්. තරුණියක්. ඇහැ දකින දේ සුන්දර වූ පමණින් ඒ ලස්සන තරුණිය, තරුණයා කසාද ජීවිතයේ සැමියා, බිරිය කරගන්න සුදුස්සෙක් නෙමෙයි. රූපය නෙමෙයි කසාද ජීවිතයට වටින්නෙ. කසාද ජීවිතයට වටින්නෙ මෙයාට මාත් එක්ක අවබෝධයෙන් ජීවිතය පවත්වාගෙන යන්න ගොඩනගා ගන්න පුළුවන්ද කියන කරුණයි. දැන් සමහර තරුණ තරුණියො කියනවා එයා මාව අතහැරියා කියලා. ඇත්තටම කවදාවත් තමන්ව හැර ගිය අය වෙනුවෙන් දුක්වෙන්න එපා.

තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න බැරිව තමන්ට ජීවිතයේ ප්‍රශ්නයක් වූ මොහොතක හැරගිය කිසි කෙනෙක් නැවත ආවත් භාරගන්න එපා. ඔහු හෝ ඇය පස්සෙම වැලපෙමින් ඉන්නත් එපා. එයා මාව හැර යන්න ඇත්තෙ එයාට එපා නිසානෙ. මම එයාට වරදක් කරලා නැහැ. එහෙම හිතලා හිත ශක්තිමත් කරගන්න.
ඔබේ වටිනාකම ඔවුන්ට දැනෙන්නට ඉඩ හරින්න. ඔබේ දුක ඉවර වෙනකම් ඔබ හඬන්න. නැතිනම් හැරගිය කෙනකු කසාද ජීවිතයට එක්කරගෙන ජීවිත කාලයම හඬන්නට වේවි.
අපි හැමෝම ආසයි ලස්සනට සතුටින් ජීවත් වෙන්න. නමුත් තමන්ට නොගැළපෙන තමන්ගෙ හිතේ සතුටින් ඉන්න බැරි කෙනකු සමඟ ජීවත්වීමෙන් ජීවිතය එපා විය හැකියි. ලස්සනට ජීවිතය ගෙනියන්න ලොකු දේවල් අවශ්‍ය වෙන්නෙ නැහැ. පුංචි දේවල් ඇති ලස්සනට ජීවත් වෙන්න.
තවත් ප්‍රශ්න පැන නගින තැනක් තමයි නැන්දම්මා ලේළි හබය. සමහර මහත්වරු ඇවිත් කියනවා මගේ අම්මට තාත්තට කිසි දෙයක් අරන් දෙනවට නෝනා කැමැති නැහැ කියලා. ඒ වගේම නෝනලා කියනවා මම රැකියාවක් කරන්නෙ නැහැ. මහත්තයා හම්බ කරන එකෙන් අපේ අම්මට තාත්තට යමක් අරන් දෙනවට කැමැති නැහැ කියලා.
මේවා අද පවුල්වල සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් ඔබ මතක තියාගන්න ඔබගේ ලෝකය තනපු අම්මයි තාත්තයි බිරියගෙ සැමියගෙ අම්මයි තාත්තයි කියලා වෙනසක් වෙන්නෙ නැහැ. ඔබව බිහි කරන්න, ඔබට රැකවරණය දුන්න අම්මා තාත්තා කරන ලද කැපකිරීම බිරියගෙ, සැමියගෙ අම්මා තාත්තත් කරලා තියෙනවා. ඔවුන් දෙපාර්ශ්වයම හින්ද තමයි ඔබ දෙපළට අද ලස්සන ලෝකයක් ලැබිලා තියෙන්නෙ. ඒක නිසා නෝනගෙ ගෙදරට එක විදිහකටත්, මහත්තයාගෙ ගෙදරට එක විදියකුත් සලකන්න එපා.
ඒ වගේම වැඩිහිටියො දූ දරුවන්ගෙ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න ඕනෙ. ලේළිය දෙස මීට වඩා දයානුකම්පිතව බලන්නට ඕනෙ. වැඩිහිටි ඔබේ ලෝකය පුළුල් එකක්. තරුණ දරුවන්ට වඩා වැඩිහිටියන්ගේ ලෝකය තුළ අත්දැකීම් තියෙනවා. දරුවන්ගෙ වැරැදි තියෙන්න පුළුවන්. ඒවා උලුප්පන්නෙ නැතිව ජීවත් වීමයි වටින්නෙ.
විශේෂයෙන් පුතෙක්ගෙ බිරියක් වෙලා ඉන්න කෙනෙක් ගෙයක ඉන්නවා නම් ඒ දුවට තමන්ගෙ පුතාට සලකන විදිහට සලකන්නට පුරුදු වෙන්න.
ඇයත් මේ අම්මාට තාත්තාට තමන්ගෙම මවුපියන්ට මෙන් ආදරය දැක්වීමෙන් සහයෝගයෙන් ඉන්නට හැකි වෙනවා.
මේ සඳහා අවශ්‍ය වන්නේ මානසික සිතුම් පැතුම් විතරයි. ජීවිතවලට අවශ්‍ය සැබෑ ආදරය, කරුණාව ලබා දිය හැකි නම් ඔබට පුළුවන් ඔබේ ආදරණීයයන් සමඟ සතුටින් ඉන්න.
අලුතින් පවුල් ජීවිතයක් ගත කරන්න යන හැම දුවෙක්ම පුතෙක්ම මේ පුංචි දේවල් අවබෝධකර ගත්තොත් ගොඩාක් සතුටින් ජීවිතය ගෙනියන්න පුළුවන්.
දහම් දෙසුම
අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක
අග්‍රමහා පණ්ඩිත පූජ්‍යපාද
කොටුගොඩ ධම්මාවාස
මහානායක ස්වාමීන් වහන්සේ


2017.05.22  දින තරුණි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment